UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ පූජාවක් ලෙස වෙසක් සමරමු

බෞද්ධයාගේ උතුම්ම ආගමික දිනය වෙසක් පුන් පොහෝ දිනය බව පැවිදි ගිහි සැමගේ පිළිගැනීමයි. සිදුහත් කුමරාගේ උපත, සිදුහත් බෝසතාණන්ගේ බුද්ධත්වය, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සැමරීම උදෙසා වෙසක් පුන් පොහෝ දිනය අපට බෙහෙවින්ම වැදගත්ය.

වෙසක් පුන් පොහෝ දින අන්තර්ජාතික නිවාඩු දිනයක් බවට පත් කර ගන්නා ලද්දේ ද එම දිනයේ වැදගත්කම වටිනාකම ලොවට පෙන්වාදීම උදෙසාය. තෙමඟුල සැමරීම, බෞද්ධයාගේ උතුම්ම දිනය සැමරීම, එසේත් නැත්නම් වෙනත් කුමන නමකින් හැඳින්වුවද වෙසක් පුන් පොහෝ දිනය අපි සැමරිය යුතුමය.

එය සැමරීම කළ යුත්තේ බුද්ධ පූජාවක් ලෙසිනි. බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළවීම මිනිසාට ලැබෙන දුර්ලභ අවස්ථාවක් වන අතර එය ආශිර්වාදයකි.

මේ නිසා වෙසක් පොහෝ දිනය සැණකෙළියක් ලෙස පවත්වනවාට වඩා බෞද්ධයාගේ ගෞරවය ආරක්ෂා කරන දිනයක් ලෙස සැමරිය යුතුයි.

එදින විනෝදවීමට විනෝද ගමන් යාමට යොදා නොගැනීමට අප සිත්හි තබා ගත යුතු වනවා. ප්‍රතිපත්ති පූජාවට මුල්තැනක් ලබා දීමට වෙසක් දිනයේ කටයුතු කිරීමට අප සිතා ගත යුතුයි. එදින ධර්මානුකූලව කටයුතු කිරීමට සිතා ගැනීමත් ඒ අනුව කටයුතු කිරීමත් මෙහිලා වැදගත් වෙනවා. වෙසක් පොහෝ දිනය පමණක් නොව අනෙක් පොහෝ දිනයන්ද රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි නිවාඩු ලබාදී තිබෙන්නේ එම දිනයන්හි ප්‍රතිපත්ති පූජාවට මුල් තැනක් ලබා දිය යුතු නිසයි. අපගේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලින් ඈත් වී ප්‍රතිපත්තියට මුල්තැන ලබා දී කටයුතු කිරීමට අප සිතා ගත යුත්තේ බුදුරජාණන් වහන්සේට කරනු ලබන උපහාරයක් ලෙසිනි.

විහාරස්ථානයේ හිමිවරුන්ට පමණක් ප්‍රතිපත්ති පූජාව තනිව සිදු කරන්නට බැහැ. එය සාර්ථක කර ගැනීමට ගිහි පිරිස් හිමිවරුන් සමඟ එක්වී කටයුතු කළ යුතු වෙනවා.

සියලු පිරිස් එක්ව ග්‍රාමීය මට්ටමින් සංවිධානාත්මකව වැඩපිළිවෙළක් සකස් කළ යුතු වෙනවා. සිල් සමාදන්වීම වෙසක් පොහෝ දින කළ හැකි කළ යුතු එක් ප්‍රතිපත්ති පූජාවක් පමණයි.

එදින ධර්මානුකූලව ජීවත්වීමට කටයුතු කිරීමයි මෙහිලා වැදගත් වන්නේ. ධර්ම දේශනා, ධර්ම ශ්‍රවණය, භාවනා වැනි පින්කම් මෙන්ම බුද්ධෝපස්ථාන ධර්ම උපස්ථාන සංඝ උපස්ථාන කටයුතු වලද යෙදී මෙවන් දිනයන්හි කටයුතු කළ යුතුවෙනවා. මෙයයි බුදුරජාණන් වහන්සේට අපට දැක්විය හැකි හොඳම උපහාරය

නමුත් වෙසක් පෝය දිනය ප්‍රතිපත්ති පූජාවට වඩා බොහෝ දුරට ප්‍රදර්ශනාත්මක වැඩ පිළිවෙළකට පත්වී තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

දන්සල් දීම කොයිතරම් උතුම් ක්‍රියාවක්ද? ඒත් අද දන්සල් දිහා බලන්න. ධර්ම දේශනාවකට වඩින භික්‍ෂූන් වහන්සේ නමකට පවා ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතැම් දන්සල් අසල දක්නට තියෙන්නෙ. පාරේ යන පිරිසට බලහත්කාරයෙන් ආහාරපාන ලබාදීමටයි ක්‍රියාකරන්නෙ. සැබෑ දන්සලේ අරමුණ විය යුත්තේ කිසිවකුටවත් කරදරයක්, බාධාවක් , හිරිහැරයක් නොවන අයුරින් දානය ලබාදීමයි. දන්සල් පැවැත්වීම අපේ සංස්කෘතියේත් බුදුදහමේත් එක් අංගයක්. එය පැවැත්වීම ඒ සඳහා දායකත්වය සැපයීම උතුම් කාර්යයක්. එහෙත් එහි අරුත, එය නිවැරැදිව කළ යුත්තේ කෙසේද යන්න දූ දරුවන්ට තේරුම් කර දීමට වැඩිහිටියන් කටයුතු කළ යුතු වෙනවා.

දූ දරුවන්ට වෙසක් දින සැබෑ අරුත වටහාදීමට ගුරුවරුන්ට පමණක් හැකියාවක් නැහැ. විහාරස්ථානයේ භික්‍ෂූන් වහන්සේට පමණක් එය කරන්න බැහැ.

මව්පියන් සිල් සමාදන් වන අවස්ථාවල දූ දරුවන් ඇප උපස්ථාන කිරීම සඳහා යොදා ගැනීමෙන් දරුවන්ට ඒ පිළිබඳව හැඟීමක් ඇතිවෙනවා. එමෙන්ම එවන් කටයුතු සඳහා දරුවන් දැඩි කැමැත්තකින් එක් වෙනවා.

විශේෂයෙන්ම 2012 වෙසක් පුන් පොහෝ දිනය ලංකාවාසි අප කාහටත් සුවිශේෂී දිනයක්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් වසර 2600 ක් සපිරෙන්නේ එදිනටයි. යළිත් වසර 2700 සම්බුද්ධත්ව ජයන්තිය එළඹෙන විට අප කවුරුත් නැහැ.

පසුගිය වසරේ වෙසක් පොහෝ දිනයේදි ජනාධිපතිතුමන් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය ප්‍රකාශයට පත් කළා. එහිදී අඛණ්ඩව දිග හැරෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි. සම්බුද්ධත්ව ජයන්ති කමිටුවේ අදහස වී ඇත්තේ. එයත් වෙසක් දිනයම උපයෝගී කරගෙන සිදු කිරීමයි අපේක්‍ෂාව වන්නේ. ‘පිළිවෙතින් පෙළ ගැසෙම’ යන්න තේමා කර ගනිමින් සිදු කරනු ලබන මේ වැඩපිළිවෙළින් ප්‍රතිපත්ති පූජාවට මුල් තැනක් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම ගුණ දහම් අගයන සමාජයක් බිහි කිරීමයි මෙහි මූලික අරමුණ වී ඇත්තේ.

වසර 2600 ක් බුද්ධාගම පැවතුණේ පොත්පත්වල ලියා ඇති නිසාම පමණක් නොවේ, අප විසින් රැකගෙන ආ පිළිවෙත් ද නිසයි.

බෞද්ධ වත් පිළිවෙත් විභාගවලින් සමත්වෙලා කරන්න බැහැ. ඊට නිසි ප්‍රතිපත්ති ගරුක ක්‍රමවේදයක් අවශ්‍යයි.

වාහනයක ගැටී සතකු මියගොස් තිබුණොත් ඒ ගැන දුක් වන තරමට අපේ බොදු හැදියාවක් තිබුණා. තිරිසන් සතුන්ට පවා බීමට ජලය ලබාදෙන තරමට අපගේ මිනිසත්කම උතුම් තත්ත්වයක තිබුණා. එහෙත් අද මිනිසකු පාරේ මිය ගිහින් තිබුණත් ඒ දෙස නොබලන තත්ත්වයකට සමාජය පිරිහිලා. වෙසක් දිනය මේ තත්ත්වය වෙනස් කර සමාජ ශෝධකත්වය ඇති කර බොදු හැඟිම් පිරි සමාජයක් ගොඩනඟන්න හොඳම අවස්ථාවක්. එමෙන්ම අපගේ පවුල් සංස්ථාව බිඳ වැටීම නිසා සමාජයේ දරු දැරියන් තනි වී සිරිමත් සමාජ ව්‍යසනයට හේතුවෙලා පවුලේ මව , පියා, දරුවා තාප්පයෙන් වටවෙලා. ආච්චි, සීයා, නැන්ද, මාමා අද පවුලේ නැහැ. මේ නිසා දු දරුවන්ට ආදර්ශ අවවාද ලැබෙන්නේ නැහැ.

මේ වෙසක් දිනයේදී අලුත් සංස්කෘතියකට එසේ නැත්නම් අපේ යටගිය සංස්කෘතීන්ද යළි ගොඩ නැඟිය යුතුයි.

විදේශීය ජාතිකයන් තුන් පිරිසක් මෙරට ආක්‍රමණය කළත් සමස්ත ශ්‍රී ලංකාවම ඔවුන්ට යටත් කර ගන්නට බැරිවුණා. ඉංගී‍්‍රසින් සමස්ත පාලනයම ඔවුන් අතට ගත්තේ ඇයි? අපේ පැවිදි ගිහි සබඳතාව බිඳුණූ නිසා, ඒ නිසා අපේ යටගිය පැවිදි ගිහි සබඳතාත් තහවුරු කර ගැනීමට මේ වෙසක් දිනයේ කටයුතු කිරීම වැදගත් වන්නේ එය ප්‍රතිපත්ති පූජාව උදෙසා මහඟු පිටිවහලක් වන නිසයි. අපේ සාහිත්‍ය කලා ශිල්ප මේ සියල්ලම බෞද්ධ ආභාසය ලත් ඒවා බවත් අප සිහි තබා ගත යුතුයි. බෞද්ධ ආභාසය මත ඒවා රදා පවතින්නේ අප ආමිස පූජාව කරන අතරම ප්‍රතිපත්තියෙහි පිහිටා කටයුතු කළහොත් පමණයි. තොරණ රැසක් ඉදිකළත් නිවසේ මෙහෙකරුවන්ට කුසගින්නේ සිටීමට සලස්වනවා නම් එතන කිසිදු ප්‍රතිපත්තිගරුක බවක් නැහැ. එහෙයින් අප සැම විටම මානුෂීය ගුණධර්ම වඩමින් ප්‍රතිපත්ති පූජාවට මුල් තැනක් ලබා දුනහොත් පමණක් පිළිවෙතින් පෙළගැසීමට මෙන්ම ගුණ දහම් වඩන සමාජයක් මේ වෙසඟෙහි බිහි කිරීමට හැකියාව ලැබෙනු ඇත.

 

වෙසක් පුන් පෝය

වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]