UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වෙසක් අසිරියෙන් ලොවම ඒකාලෝක වෙද්දී මෙවර වෙසක් උළෙල “2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ මහෝත්සවය” ස්මරණය කෙරෙනා උත්තරීතර පොහොය දිනයයි. මේ සුපින්වත් දිනයේ සිට හෝ  බෞද්ධයන් වූ අපි ද බුදු වදනේ අවසන් අවවාදය ගුරු තැන්හි ලා තබාගෙන ආමිසයෙන් ඔබ්බට ගිය ප්‍රඥාවෙන් සමීප විය යුතු නිවන් කෙම් බිම වෙතට පිවිසීමට අදිටන් කර ගනිමු

සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ පරම පූජනීය ඓතිහාසික ආගමික දිනය අසිරිමත් වෙසක් පොහොය දවසයි. දොළොස් මහේ පොහොය අතර වෙසෙසින්ම ඉතා සුවිශේෂී පොහොය වන්නේ ද වෙසක් පුන් පොහොයයි. ඒ අසිරිමත් සම්බුදු සිරිතේ සම්බුදු තෙමඟුල යෙදී ඇති නිසා ය.

එදා දීපංකර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ දිනක් දීපංකර සම්බුදුරදුන් සමඟ හාර ලක්‍ෂයක් රහතන් වහන්සේ වැඩම කරන මඟෙහි මහා මඩ වගුරෙහි දසුන දුටු සුමේධ තාපසයාණෝ සිරි පා කමලේ බිඳකුදු මඩ නොතරවමි’යි දැඩි අදිටනින් තම සිරුර ඒදණ්ඩක් සේ දීපංකර බුදුරදුන්ගේ පාද මූලයේ පුදා මඩ මතුපිට දිගා වූහ. එය දිවැසින් දැක සතුටු වූ දීපංකර බුදුන් වහන්සේ සමන් මල් අට මිටක් ඉස අෂ්ට සමාපත්ති උපදවාගෙන මතු බුදුවීමට සුදුසු වූ සුමේධ තාපසයාණන්ට ගෞරව බහුමාන කළ සේක.

මෙසේ සුමේධ තාපසයාණන් ‘සම්මා සම්බුද්ධත්වය’ පතා දීපංකර සම්බුදුරදුන්ගේ පාද මූලයේ දී ප්‍රථම වරට නියත විවරණ ලැබුවේ වෙසක් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.

ඒ අප්‍රමාණ දීර්ඝ වූ සංසාර ගමනේ අවසන් භවයේ දී ‘සිද්ධාර්ථ’ නමින් ලුම්බිණි ශාල වනෝද්‍යානයේ දී උපත ලබා සත් පියුමක් මත පෙළහර පා ‘ලොවට ශ්‍රේෂ්ඨ වූ මට නැවත ඉපදීමක් නැතැයි’ ලොවම කම්පිත කරවා අභීත සිංහ නාද පැවැත්වූයේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනකය.

විසිනව වියට එළැඹුණු සිදුහත් කුමරු උයන් කෙළියට සපැමිණෙද්දී ජීවිතයේ අනියත වටහා දුන් සතර පෙර නිමිතිවල ව්‍යාධි රූපය පළමුව දුටුවේ ද වෙසක් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.

සංසාර ගමනේ අනේක විධ වූ දුක් විඳිමින් අතරමං වූ ලෝක සත්වයාට අනුකම්පා කළ බෝසතාණන් වහන්සේ ලැබූ සත්විති සුවය අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දැමූ සේක.

සය වසක්ම දුෂ්කර ක්‍රියා කරමින් රූක්‍ෂ ප්‍රතිපදාවල නියැළී බුද්ධත්වය නම් ශ්‍රේෂ්ඨත්වය උදෙසා අපමණ වූ වෙහෙසක් දැරූහ. උට්ඨාන වීර්යෙන් සපිරුණු බෝසතාණන් වහන්සේ අශ්චත්ථ බෝධීන් වහන්සේගේ සෙවණෙහි වැඩ සිටිමින් අවිද්‍යාව නැමැති කැණි මඬල පළා උතුම් වූ රහත්ඵලය පසක් කර ගනිමින් ලොවුතුරා සම්මා සම්බුදු පදවියෙන් පිදුම් ලැබූ වේ අද වැනි උතුම් වූ වෙසක් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.

බුද්ධත්වයෙන් දස මසකින් කිඹුල්වත් පුර තම උපන් ගමට වැඩම කළ බෝසතාණන් වහන්සේ ඥාතීන්ගේ අති මානය දුරැලා යමා මහා පෙළහර පෑවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ දී ලක්දිවි තලය තෙවන වරටත් ඒකාලෝක කරවා බුදුරදුන් කැලණි පුරයට වැඩම කළේ ද පුර පසළොස්වක පොහොය දිනයක් වූ වෙසක් මහේදී ය.

අපේ ඉපැරැණි වංශ කතාවලට අනුව පිරිනිවන් මඤ්චකයෙහි සැතපුණු බුදුරදුන් සක් දෙව් රද අමතා විජය කුමරු සමඟ ලක්දිවට සපැමිණෙන සත්සියයක් පිරිසට රැකවරණය ලබා දෙන්න යැයි ඉල්ලීමක් කළේ ද වෙසක් පුර පසළොස්වක දිනයකදී ය.

රැයකට පැයක් සැතපී පන්සාළිස් වසක්ම සසර පිරූ පාරමී දම් බලයෙන් දුකෙන් පිරි ලෝවාසීනට මහ කරුණාවෙන් සසරේ අඳුරු සෙවණැලි දුරු කරවන සඳහම් මාවත පෙන්වා දුන් බුදුපියාණන් කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් මඤ්චකයෙහි දී සැතපී සම්බුද්ධ පරිනිර්වාණයට සූදානම් වූහ. මෙයින් හඬා වැළපුණු තුන් ලොවෙහිම සත්වයන් ඇමැතූ තිලෝගුරු බුදුපියාණෝ ‘සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය. එබැවින් එළැඹ සිටි සිහියෙන් නොපමාව කටයුතු කරන්නැයි වදාරා අටලෝ දහමින් කම්පිත නොවී නිවන් සෙත් පුර අරමුණු කර පරිනිර්වාණය කරා එළැඹියේ ද අද වැනි වෙසක් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් හතළිස් වසරකට පසු රෝහිණී නදිය මධ්‍යයේ වැඩ සිටි ආනන්ද මහරහතන් වහන්සේ අවුරුදු එකසිය විස්සක් ආයු වළඳා පිරිනිවන් පෑවේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

බොදු සිත සඳහම් සිසිලෙන් පුබුදු කරවූ මේ අසිරිමත් වෙසක් පුර පසළොස්වක බෞද්ධ රජවරුන්ගේ රාජාභිෂේකයන්ගෙන් ද බැබළ වූ උත්තරීතර පොහොය දිනයකි.

දෙවනපෑතිස් රජු ද්වීතියාභිෂේකයෙන් සැඳහැති රජකු බවට පත් වූයේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

සතුරු බලයන් පරදා බොදු බලයෙන් රට බැබළ වූ දුටුගැමුණු රජු රුවන්වැලි මහ සෑයෙහි වැඩ ඇරැඹුවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

මහා විහාර භික්‍ෂූන් වහන්සේ වසරක් පුරා සපුරන උපසම්පදා මහෝත්සවය පවත්වන්නේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

දුටුගැමුණු රජු වෙසක් උළෙල සූවිස්සක් ද භාතිය රජු වෙසක් උළෙල විසි අටක් ද, වසභ රජු වෙසක් උළෙල හතළිස් හතරක් ද පැවැත් වූ බව මහාවංශ කතාවට අනුව පැවසෙයි. ප්‍රදර්ශන හා පෙරහර රැසකින් වෙසක් පුර පසළොස්වක අසිරිමත් වූ බව අශෝක චක්‍රවර්තීන්ගේ සිව්වන සෙල් ලිපියේ සඳහන් වෙයි.

සියවස් ගණනාවක සිටම ලොව බැබළ වූ වෙසක් උළෙල . ලෝකවාසී බෞද්ධයා විවිධ වූ ආකාරයෙන් පවත්වනු ලැබේ.

මෙසේ වෙසක් අසිරියෙන් ලොවම ඒකාලෝක වෙද්දී මෙවර වෙසක් උළෙල “2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ මහෝත්සවය” ස්මරණය කෙරෙනා උත්තරීතර පොහොය දිනයයි.

මේ සුපින්වත් දිනයේ සිට හෝ බෞද්ධයන් වූ අපි ද බුදු වදනේ අවසන් අවවාදය ගුරු තැන්හි ලා තබාගෙන ආමිසයෙන් ඔබ්බට ගිය ප්‍රඥාවෙන් සමීප විය යුතු නිවන් කෙම් බිම වෙතට පිවිසීමට අදිටන් කර ගනිමු.

 

වෙසක් පුන් පෝය

වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]