පූජිත පින්කෙත
රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නා හිමි
විදේශීය ආක්‍රමණයන් නිසා 19 වැනි සියවසේ මුල් භාගය වන විට
ධර්මශ්‍රාස්ත්‍රාලෝකයෙන් පරිහානියකට පත්ව තිබූ අපේ දේශය වැලිවිට ශ්‍රී
සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් ගිහි,
පැවිදි වියතුන් කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙන් කිසියම් ආකාරයකින් හෝ
ආලෝකවත් වූ වග අපේ ශාසන ඉතිහාසයෙන් පසක් වේ.
එම ගමන් මග එම සියවසේ අග භාගය වන විට ධීර වීර ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයන්
කිහිප පළක් නිසා ක්‍රම ක්‍රමයෙන් ව්‍යාප්ත වූ ආකාරය අපේ ඉතිහාසමය
තොරතුරු අනුව ප්‍රත්‍යක්‍ෂ වෙයි. ඒ ශ්‍රේෂ්ඨ ධීර වීරයන්ගේ විශිෂ්ට
නාමාවලියෙහි ජ්‍යෙෂ්ඨතම ස්ථානයක් ත්‍රිපිටකාචාර්ය රත්මලානේ ශ්‍රී
ධර්මාලෝක මාහිමිපාණන්ට හිමි වේ.
1828 මැයි මස 28 වැනි දින රත්මලානේ දී ජන්ම ලාභය ලැබූ ඒ සුපින්වත්
කුමරුවන්ගේ පියාණන් වනුයේ රයිගම විදානේලාගේ දොන් කොරනේලිස් අප්පුහාමිය.
අඹේපිටියගේ දෝන අද්‍රියානා හාමිනේ මෑණියන් වූවාය.
මේ කුමරු මව්පියන් විසින් රත්මලානේ පුරාණ විහාරයට පමුණුවන ලදහ.
විහාරාධිපති තලන්ගම සෝභිත මහ තෙරුන් වහන්සේගේ නියමය පරිදි උන්වහන්සේගේ
ශිෂ්‍ය අඬුපේ සෝනුත්තර තෙරුන් වහන්සේ වෙතින් මුල් අකුරු ඉගෙන ගත්තේ ය.
ඒ අතරම මෙම කුමරුන්ගේ පෙර ගමන් මඟට පැපිලියානේ සුනේත්‍රා මහා දේවී
පිරිවෙන්හි විහාරවාසී ගම්පහ රේවත මාහිමිපාණෝ ද සහාය වූහ.
රත්මලානේ ධර්මාලෝක නමින් 1837 දී එම කුමරු පැවිදි දිවියට පිවිසියේ
අඬුපේ සෝනුත්තර මහා ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙනි. එදිනම බෙල්ලන්විල
බෝධිසමීපාරාමාධිපතිව වැඩ විසූ උඩුගම්පොළ රතනපාල මහා තෙරුන් වහන්සේ සමග
යුගාසන ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් අනාගත ධර්ම ශාස්ත්‍රීය ගමන් මඟට පෙර
නිමිති පහළ කළහ.
ධර්ම ශාස්ත්‍රය හැදෑරීමට ඒ කාල වකවානුවෙහි ආචාර්යවරුන් නැත. ශාස්ත්‍ර
ශාලා පිරිවෙන් පත පොත හිඟය. ඉගෙනීමට අවශ්‍ය පරිසරයක් යම්තමට හෝ තිබුණේ
කෝට්ටේ රජ මහා විහාරයෙහි ය. එම විහාරයෙහි වැඩ සිටි ධර්ම කීර්ති ශ්‍රී
මංගල නාහිමිපාණන් වෙතින් ටික කලක් ඉගෙනීම ලත්හ. ඉන් පසුව 1838 – 1847
දක්වා වලානේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමිපාණන් වෙතින් බණ දහම් හදාළහ. 1849
දී සත් කෝරළේ බඹරගල විහාරයට වැඩම කළහ. ජ්‍යෙතිෂ්ශාස්ත්‍රාචාර්ය
පල්ලේවත්තේ මහතෙරුන් වහන්සේගෙන් එම ශාස්ත්‍රය ප්‍රගුණ කළහ. සත්කෝරළයේ
වැඩ වාසය කරද්දී, පැරණි විහාර මන්දිර කිහිපයකම විනාශ වූ චිත්‍ර
සියතින්ම චිත්‍රණය කළහ. පුස්කොළ ලිවීමෙහි අති දක්‍ෂයෙකු වූ උන්වහන්සේ
එම පෙදෙසහි දිසාපතිවරයෙකුගේ ආරාධනයෙන් පිරුවානා පොත් කිහිපයක් ම ලියා
පරිත්‍යාග කළහ.
ධර්ම ශාස්ත්‍ර ඉගෙනීම උදෙසා කැප වූ ජීවිතයක් බැවින් නැණ පහන් දල්වන්නට
අවශ්‍ය පින් කෙත් පත් පොත් සෙවීමට ඔබ මොබ සක්මන් කළ හෙයින් උපසම්පදාව
ලැබීමද ප්‍රමාද වූ බවට තොරතුරු පවතී. 1860 දී මහනුවර මල්වතු මහා විහාර
උපෝෂථාගාරයේ දී උපසම්පදාව ලබා ගත්හ. සංඝ සභාව වෙත ඔප්පු කළේ ගැඹුරු
අර්ථවත් රමණීය පැදි නිබන්ධයකි.
1860 වන විටත් රත්මලානේ ධර්මාලෝක මාහිමිපාණන් සතු වූ ඥාන සම්භාරය ගැන
උගතුන්, වියතුන් අතර බෙහෙවින් ප්‍රකට විය. මේ නිසාම පරකුඹුරේ ශ්‍රී
සරණංකර මහා නායක හිමිපාණන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව සිදු වූ වග
විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.
ඉන් පසු රත්මලානේ පුරාණ විහාරයෙහි වැඩ විසූහ. විහාරස්ථානයට පැමිණෙන
ගිහි, පැවිදි ගෝල බාලයන්ට ධර්ම ශාස්ත්‍ර ඉගැන්වීමෙහි නිරත වූහ.
ධර්මාලෝක නාහිමිපාණන්ගේ වචනවලින්ම කිවහොත් එකල්හි රත්මලානේ පුරාණ
විහාරයෙහි සිට ශාස්ත්‍ර ශාලාවක් සහ ධර්ම ශාලාවක් තැනූහ. ධර්ම ශාලාව නම්
ධර්මාලෝක නාහිමිපාණන්ගේ අග්‍ර ශිෂ්‍ය රත්නය වූ රත්මලානේ ශ්‍රී ධර්මාරාම
මාහිමිපාණන් ය. එවකට අවුල්ව පැවැති ධර්ම ශාස්ත්‍රීය මතයන් නිරවුල් කළහ.
විනාශයට පත්වෙමින් තිබූ සම්භාව්‍ය බෞද්ධ ග්‍රන්ථයන් ප්‍රතිශෝධනය කරමින්
යථා තත්ත්වයට පත් කළහ.
කැලණිය දළුගම ප්‍රදේශවාසී සැදැහැවතුන් පිරිසක් විසින් ඒ පෙදෙස්හි වස්
විසීමට කරන ලද ආරාධනය පරිදි 1875 දී දළුගම (තොරණ ළග) සුන්දර පින්බිමක
ගුරු ශිෂ්‍ය දෙනම වස් විසූහ. වස් විසූ කාලය අතර තුරදී ප්‍රදේශයේ උගතුන්
වියතුන් නැණවතුන් සමග කළ කතා බහ ඔස්සේ විද්‍යාලංකාර සභාව ගොඩනඟා ගත්හ.
පෑලියගොඩ ප්‍රාචීන විද්‍යාස්ථානයක් පිහිටුවාලීමට දායක සභාව කතිකා කර
ගනිමින් ඒ මහඟු සද්කාර්යය ශ්‍රී ධර්මාලෝක නාහිමිපාණන්ට පැවරීය.
ඒ අදහස ඉමහත් සතුටෙන් පිළිගත් ත්‍රිපිටකාචාර්ය රත්මලානේ ශ්‍රී ධර්මාලෝක
නාහිමිපාණන් වහන්සේ රත්මලානේ සිට මනසින් ගොඩ නැඟූ ශාස්ත්‍ර ශාලාව 1875
නොවැම්බර් මස 1 වැනි දින විද්‍යාලංකාර පිරිවෙන නමින් සැබැවින්ම
පිහිටවූහ. පාලන කාර්යභාරයක් කරගෙන යාම උදෙසා විද්‍යාලංකාර දායක සභාව
ස්ථාපිත කළහ.
විද්‍යාලංකාර ශාස්ත්‍රශාලාව ගොඩනඟන අතරම එම විද්‍යස්ථානය පවත්වාගෙන
යාමට අනුරූප ප්‍රබල චරිතයක් ද නිර්මාණය කළහ. ඒ රත්මලානේ ශ්‍රී ධර්මාරාම
නා හිමිපාණන් ය. සෙවනැල්ලක් මෙන් ඇසුරේ තබා ගෙන තමන් වහන්සේ විසින්ම
ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර උගන්වා ඇසක් මෙන් ආරක්‍ෂා කළහ. මහා පඬිවරයෙකු
වූ ශ්‍රී විශ්වනාථ ශිවාචාර්ය කුමාරස්වාමි වැනි විශ්ව කීර්තියට පත් වූ
බුද්ධිමතුන්ගෙන් විෂයාන්තර ඥානය ලබා දුන්හ. තොටගමුවේ ශ්‍රී රාහුල
මාහිමියන් ඇසුරු කිරීමට ද කැමැති දැයි විමසා මොග්ලල්ලාන පංචිකා
ප්‍රදීපය සිය ශිෂ්‍යවරයා අත තැබූහ. සතර කෝරළය සත් කෝරළය බඳු
ප්‍රදේශයන්හි සැරිසරමින් දුර්ලභ පත පොත සොයා දුන්හ. ග්‍රන්ථ කරණයටත්
ග්‍රන්ථ ශෝධනයටත්, හවුල් කර ගත්හ.
කොතෙක් කාර්ය බහුල ජීවිතයක් ගත කළ ද ලැබුණු ඉඩකඩ පත් පොත් පරිශීලනය
උදෙසා යොමු කළහ. පොත් පත් ලිවීම සඳහා නිරතවූහ. රාජ චරිතය, විනය
කතිකාවත, සත්‍ය විලාසිනී, සංස්කෘත වරනැඟිල්ල බඳු කෘති, ධර්මාලෝක
හිමියන් වෙතින් නිම කෙරිණි. සම්භාව්‍ය ග්‍රන්ථ රාශියක්ම ශිෂ්‍ය
ධර්මාරාම හිමිපාණන් සමග එක්ව සංශෝධනය කළහ. ඒ අතර විද්‍යාලංකාර පිරිවෙන
ගොඩනැඟීමේ කටයුතුවලට මුල් තැන දුන්හ. විද්‍යාලංකාර නිර්මාතෘ මෙන්ම
පරිවෙනාධිපති ත්‍රිපිටකාචාර්ය රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමිපාණෝ 1887
අගෝස්තු 15 වැනි දින රාත්‍රියෙහි අපවත් වී වදාළේ ගිලන් බවට පත්වීමෙනි.
හොරණ – බන්ධුල ආර්. ගුලවත්ත |