කෙලෙස් කිලුටු නසමු
අමුණුගොඩ
කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු
රජමහා විහාරාධිකාරි
ශාස්ත්‍රපති
පරකන්දෙණියේ
ධීරානන්ද හිමි
නමෝතස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අනුපුබ්බෙන මෙධාවි
ථොක ථොකං ඛණෙ ඛණෙ
කම්මාරො රජ තස්සේව
ද්ධමෙ මල මත්තනො,
කාරුණික පින්වත!
සැවැත් නුවර එක්තරා බමුණෙක් දැහැමිව ජීවත් වෙයි. ඒ බමුණා එක් දවසක්
ජේතවනාරාමය අසලින් ගමන් කරන කල්හි උදෑසන එක් හිමිනමක් ගමනක් වැඩම
කිරීමට සිවුරු පොරවන අයුරු දැක එදෙස බලා සිටියේය. උදෑසන පින්නෙන් ගැවසී
ගත් තණ කොළ නිසා සිවුර තෙමී ගියේය. ඒ දුටු බමුණා පසුදා උදැල්ලක් ගෙන ඒ
අවට සැම තැන තණකොළ සැස දමා පිරිසුදු කළේය. එතැන් සිට ඒ බමුණා නිතර
විහාරයටද පසන් සිතින් යාම් ඊම් කළේය. පසු දවසෙක ඔහු විසින් පිරිසුදු කළ
තැන ඒ හිමි තම සිවුරු පොරවන අයුරු නැවතත් දුටුවේය. එදින උන්වහන්සේගේ
සිවුරු කොන්වල පස් තැවෙරෙන බව දුටු බමුණා අවශ්‍ය ආම්පන්න ගෙනවිත් එතැන
සුදුවැලි අතුරා වඩාත් මනරම් ලෙස පිරිසුදුව සකස් කළේය.
ඉන්පසු ක්‍රමයෙන් උන්වහන්සේට අව්වෙන්, වැස්සෙන්, පින්නෙන් පීඩා නොවන සේ
ආවාසයක් කරවන තරමට ඔහුගේ සිත දියුණු විය. ඒ අනුව ප්‍රසන්න සිතින් කරන
ලද ආවාසයේ වැඩ නිමාකල ඔහු එය පූජා කරන අවස්ථාවේදි ආවාසය පුරා ආසන පනවා
බුදුපාමොක් මහ සඟනට දන් පිළිගැන්වීය. ඉතා දැහැමි එම බමුණා අන් අයගේද
සහාය ලබාගෙන ඉතා උසස් ලෙස එම පින්කම සිදු කළේය.
එහිදී බුදුපියාණන් වහන්සේ සැදැහැති ඒ බමුණා වරින් වර කල පින්කම හිත සැප
පිණිස පවත්නා බව දක්වමින් ඒ නිමිතිකොට ගෙන නුවණැත්තා පිළිවෙළින් අවකාස
ඇති පරිදි ටිකෙන් ටික රත්රන් වල මල ඉවත් කරන රන් කරුවෙකු මෙන් තම
කෙලෙස් මල දුරු කරන්නේය” යි වදාළ සේක. ඒ බමුණා සෝවාන් ඵල පිහිටියේය.
පින්වත, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී‍්‍ර සද්ධර්මය අපටම දේශනා
කළ දහමක්. අවුරුදු 2600 කට පෙර වදාළ දහමක් වුවත්, සබ්බේ සත්තා භවන්තු
සුඛිතත්ථා “ යනුවෙන් වදාළ පරිදි එදා වගේම අදටත් කවරකලටත් සියලු දෙනාගේම
සැප පිණිස හේතුවන නිර්මල දහමකි.
බුදුදහමෙහි කිසිදු භේදයක් නැත. ඒ නිසාමයි එදා විවිධ මත දරමින් බලවත්
ලෙස සමාජය ඉදිරියේ බලවත් ලෙස සිටි විවිධ කොටස් බුදුදහම වටා එක් රොක්
වන්නට වූයේ. බුදු දහමෙන් ලැබුණු නිදහස සැම කෙනෙකුටම ලෝකය නිවැරැදිව දැක
ගැනීමට ලොකු ශක්තියක් වුණා.
බුදුදහම දෙලොව යහපතටම මග පෙන්වූ දහමක්. පිරිසුදු සහ සරු ජීවිතයක් සඳහා
ධර්මය අවශ්‍යයි. ඒ නිසයි පරාභව සූත්‍රයේ පෙන්නුම් කළේ ධර්මයට කැමැති
අය දියුණු වන බවත් ධර්මයට ඇකැමැති අය පිරිහෙන බවත්, “ ධම්මකා මො භවං
හෝති ධම්ම දෙස්සි පරාභවො” යනුවෙන්. ධර්මයට කැමැති අය ධර්මය අහනවා.
ධර්මය උගත් අය ඇසුරු කරනවා. ධර්මයට ගරු කරනවා. සුදුස කල්හි ධර්ම
සාකච්ඡා කරනවා. ශ්‍රමණයන් දකින්න යනවා. මේ තත්වය නිසා ඒ තැනැත්තාගේ
දැහැමි බව වර්ධනය වෙනවා. ගැටලු තැන් නිරවුල් කර ගන්නවා. සාමකාමියි.
සාරධාරණයි. යුක්ති සහගතයි. එසේම ධර්ම විරෝධිබවක් යම් කෙනෙකුගේ පිහිටා
ඇත්නම් ඉතා ශෝචනීයයි. ඔහු පමණක් නොව ඔහු සමග වාසය කරන්නෝද විවිධ
අසහනකාරී අපහසුකම් වලට පත්වෙති. ඒ නිසයි ධර්මයේ උගන්වන්නේ “සුනාථ ධාරේථ
චරාථ ධම්මෙ” අසන්න ධාරණය කරගන්න. ඒ අනුව ජීවිතය සකස් කරගන්න යනුවෙනි.
ඒ අනුව මුලින් දැක්වූ ධම්මපද මල වග්ගයට අයත් ගාථා පාඨය සලකා බැලීමේදී
නුවණැත්තා තම සන්තානයේ ඇති කෙලෙස් මල ක්‍රමක්‍රමයෙන් දුරු කොට දෙලොව
සැපතට පත්වන බව දක්වා ඇත. පින්වත! කෙලෙස් නැති කළ නිසයි “අරහං” ගුණය
උත්තරීතර වූයේ. කෙලෙස් කියවන්නේ කිලිටි සිතිවිලි. නරක නපුරු සිතිවිලි
සිත දූෂිත කරන සිතිවිලි වලටයි වර්තමානයටත් අනාගතයටත් අනර්ථය පිණිසම
හේතුවන දුක් දොම්නස් පසුතැවිල්ල ඇතිකරන සිතිවිලි කෙලෙස් ලෙස සැලකිය
හැකිය. සරල නිදර්ශනයක් ගෙන බලමු.
ඔබේ සිතට අරමුණු වන රූප පිළිබඳව මොනයම් හෝ හේතුවක් නිසා සිතේ යම්කිසි
බැදීමක් ඇති වුනා නම් ඒ සමගම ඔබ සිතන්නේ කුමක්ද? ඒ අරමුණු වූ වස්තුව
(ජීවි අජීවි) අවට අයගේ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ හෝ මුදලට හෝ ලබා
ගැනීමටයි. පහස ලබන්නටයි.
ඒ නිසාම සිත පුරාම ආශාව රාගය, ලෝභය, උපාදානය, වැගිරෙනවා. ඒ මොනවද? ඔබ
වෙහෙසට පත් කරවන කෙලෙස් එනම් කාලය, ධනය, ශ්‍රමය, විනාශ කරන සහ
අසහනය,නොඉවසීම වැනි පීඩාකාරි ලක්‍ෂණයි.
එමෙන්ම ඔබ නොසිතු නොපැතූ අසුබවාදි දෙයක් ඔබට අරමුණූ වුයේ නම් සිතේ ඇති
වන්නේ කුමක්ද? නොමනාපය, තරහවය, වෛරය, ක්‍රෝධය, ද්වේශය,පලිගැනීම වැනි
කෙලෙස් වලින් බරිත වීමයි.
එසේ නම් ධර්මයේ කියන්නේ කුමක්ද? සැම වස්තුවක් දෙසම මැදහත් සිතින් බලන්න
කියලයි. සෑම වස්තුවකම ස්වභාවය වෙනස්වීම සහ දිරීමයි. මේ බව නුවණින්
දැක්කා නම් එතැන කිළිටි අඩුයි.
පරමාර්ථ කරා ළඟා වීමට පහසුකම් සැලසේ.නමුත් අපිට පේනවා බොහෝ අය පැත්තක
තිබෙන කෙලෙස් තමාගේ ගොඩට දමා ගන්න ආකාරය නොදන්නාකම සහ මුලාබව නිසා .
එනම් තම අසල්වැසියා තමාට වඩා සාමාජික ජීවිතය ඉදිරියෙන් සිටි නම් ද්වේශ
සහගතව ඊර්ෂ්‍යාවෙන් දිවා රාත්‍රි වෙහෙසී සැලසුම් කරනවා ඒ තැනැත්තා
ආපස්සට දාන්න.
පින්වත! මොනවද ඒ සිතේ වැඩ කරන්නේ? ගිනියම් වූ කෙලෙස් එහි විපාකය තමා
වෙතමයි හානිකර ලෙස ගමන් කරන්නේ.
මුලින් සඳහන් කළ අර දැහැමි බමුණා එම හිමිනමට පහසුකම් සලසා දුන්නේ කරුණා
සිත ප්‍රසාද සිත පෙරටුවයි. එතුලින් විහාරයට යෑමේ පුරුද්දක් ඇත කර
ගත්තා. ඒ නිසා සැදැහැ ගුණය වර්ධනය වුනා.
දැහැමි බව දියුණු වුනා සංඝාවාසයක් තනන්න හැකි වුනා. සඟ සතු දානයක්
දීගන්න හැකි වුනා. බණ ඇසුවා සෝවාන් මග ඵල ලැබුවා.
පින්වත! මෙවන් පැහැදිලි මාවතක් අපේ දහම තුළ ඇති නිසා තමයි “ කක්තබ්බං
කුසලං” යනුවෙන් දේශනාවේ පෙන්නුම් කරඇත්තේ. බොහෝ සෙයින් කුසල් කිරීම
ප්‍රඥා ගෝචරයයි. කුසලයට බර වූ සිතේ පාපයට ඉඩක් නැත. කුසලයට මැලි නම්
පාපය බලවත් වේ. සොයමින් බලමින් විමසමින් කළයුතු දෙයට දක්‍ෂවීම කුසලයයි.
එබැවින් නුවණ ඇති සැදැහැවත් පුද්ගලයා අවකාශ ලැබෙන ලැබෙන අයුරින් දාන
ශීල භාවනා යන ත්‍රිවිධ පින්කම් වල යෙදෙන්නේ නම් තම සන්තානයේ හට ගැනෙන
කෙලෙස් මල (දෙලොව පිරිහීමට හේතුවන) දුරුවනු ඇත. මලකඩ බැදීමෙන් අඳුරු වූ
රන් කැබලි රන්කරුවා ක්‍රමයෙන් මල ඉවත් කොට රන් කැබලි වල වටිනාකම බැබළීම
ඉහළ දමන්නේ යම්සේද එසේම වාසනාවන්ත මිනිස් ජීවිතයද ධර්මපෝදෙශයන්ට අනුව
ක්‍රියාත්මක වීමෙන් කෙලෙස් මල දුරු කොට දෙලොව බැබලීමට පත්වනු ඇත.
දහම් නැණ වර්ධනය කරගත් ඔබට දෙව් මිනිස් කෙළවර නිවන් සැප ලැබේවා. |