UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

යුගයුග දිදුලන විද්‍යාලංකාර පිරිවෙන

විද්‍යාලංකාර දින උත්සව හා පින්කම් මාලාව ඉකුත් 29 වනදා සිට 4 වන දා දක්වා පැවැත්වේ.

රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව 1875 නොවැම්බර් 1 වනදා ඇරැඹූහ. එම ශාස්ත්‍ර ශාලාව ඇරැඹීම සඳහා උන්වහන්සේගේ ශිෂ්‍ය රත්මලානේ ධර්මාරාම නා හිමියන්ගේ ද සියලු සහාය ලැබිණි.

එම ශාස්ත්‍ර ශාලාවෙන් රට දැය, සමයට වැඩ ඇති, හිතැනි වැදගත් සිසු පරපුරක් බිහි වූහ.

රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නා හිමියන් ශාස්ත්‍ර ශාලාවක් මෙන්ම “ ධර්ම ශාලාවක්” ද තැනූහ. ශාස්ත්‍ර ශාලාව නම් විද්‍යාලංකාර පිරිවෙනයි. ධර්ම ශාලාව නම් රත්මලානේ ධර්මාරාම නාහිමියන් වේ. රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමියන්ගේ ජීවිතයෙහි සුවිශේෂි වු නිර්මාණය නම් විද්‍යාලංකාර පිරිවෙනයි. මෙසේ මහගු මෙහෙවරකට මග පෑදු විද්‍යාලංකාර ප්‍රථම පරිවේණාධිපති රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමියෝ 1887 දී අපවත් වී වදාළහ.

රත්මලානේ ශ්‍රී ධර්මාරාම නා හිමි

විද්‍යාලංකාර පරිවේණාධිපති ධූරයට 1887 දී පත්වූ රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන් සිංහල භාෂාවෙහි න,ණ,ල,ළ අක්ෂර ව්‍යවහාරය පිළිබඳ විශේෂ සිංහල රීති පැහැදිලි කළ පඬිරුවනකි. එයට අමතරව උන්වහන්සේ පොත්පත් රැසක්ද රචනා කළහ. විද්‍යාලංකාර පිරිවෙනින් ජාතික ආගමික ශාසනික හා සංස්කෘතික වශයෙන් ඉටු කළ සේවාවන් බොහෝය. උන්වහන්සේගේ යුගය විද්‍යාලංකාර පිරිවෙන්හි ස්වර්ණමය යුගයකි. රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියෝ 1918 මැයි 3 වනදා අපවත් වී වදාළහ.

ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නා හිමි

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ තෙවැනි පරිවේණාධිපතිව වැඩ විසු ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමියෝ 1918 සිට 1945 දක්වා පරිවේණාධිපති ධූරය දැරූහ. පාලිභාෂාව පිළිබඳව විශාරද බුද්ධිමතෙක් වූ උන්වහන්සේ ග්‍රන්ථ සංස්කරණයෙහි ද නියැලුණහ. දේශීය පමණක් නොව විදේශීය ශිෂ්‍යයෝද උන්වහන්සේගෙන් අධ්‍යාපනය ලැබූහ. බුදුදහම නැවත ඉන්දියානු සමාජයට හඳුන්වාදීමට ඉමහත් වෙහෙසක් දැරූහ. උන්වහන්සේ ශාස්ත්‍රීය සඟරා තුළින් පාඨකයන්ගේ මෙන්ම ලේඛකයන්ගේද ශාස්ත්‍ර පිපාසය නිවාලීමට මහත් සේවයක් සැළසූහ.

එමෙන්ම ගිහි ශිෂ්‍යයන් සඳහා පාසල් ආරම්භ කර අධ්‍යාපන කටයුතු පුළුල් කළහ. ඒ හේතුවෙන් ධර්මාලෝක විද්‍යාලය ආරම්භ විය. ජාතික ආගමික ශාස්ත්‍රීය සේවා රැසක් සිදු කළ ලුණුපොකුණේ ශි‍්‍ර ධර්මානන්ද නාහිමි යුගයේදි භාරතයේ හිල්සා ස්ථූපයෙන් ලැබුණූ නිර්මල සර්වඥ ධාතුන් වහන්සේලා විද්‍යාලංකාර පිරිවෙනට වැඩම කරවන ලදී. එම සර්වඥ ධාතුන් වහන්සේ විද්‍යාලංකාර පිරිවෙන සතු ඓතිහාසික පූජනීය වස්තුවකි උන්වහන්සේ 1945 ජුනි 18 වැනිදා අපවත් වී වදාළහ.

කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නා හිමි

කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නාහිමියන් ව්‍යක්ත විශාරද දේශකයන් වහන්සේ නමක් වූහ. ඒ තුළින් විද්‍යාලංකාර පිරිවෙන සාමාන්‍ය ජනතාව අතරට ගමන් කළේය. පිරිවෙන උසස් මට්ටමකට ගෙන ඒමට උන්වහන්සේ ක්‍රියා කළහ. රටේ දේශපාලන ප්‍රශ්නවලදී විද්‍යාලංකාර පිරිවෙන ඉදිරිපත්වීමට නිර්භීත වූයේ උන්වහන්සේගේ නායකත්වය තුළිනි. පිරිවෙන විශ්ව විද්‍යාලයක් බවට පත්වීමද ඓතිහාසික සිදුවීමකි. එහි ප්‍රථම උප කුලපතින් වහන්සේ වූයේද කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය.

1950 දී විද්‍යාලංකාර පිරිවෙනේදී පැවැති ත්‍රිපිටක ධර්ම සංඝායනාවද විද්‍යාලංකාර පිරිවෙනේ ඓතිහාසික සිද්ධියකි. 1945 සිට 1959 දක්වා උන්වහන්සේ විද්‍යාලංකාර පරිවේණාධිපතින් වහන්සේ ලෙස අපමණ මෙහෙවරක් ඉටු කළහ.

යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නා හිමි

ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමි යුගයේ සිට විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යක්ෂ පදවිය හොබවන ලද්දේ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නා හිමිපාණන් වහන්සේය. විද්‍යාලංකාර පිරිවෙනේ දියුණුවටත් ,ආරක්ෂාවටත් දිවා රෑ වෙහෙසි ක්‍රියා කළ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1959 සිට 1986 දක්වා විද්‍යාලංකාර පරිවේණාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කළහ.

එදා විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාල තත්වයට පත්වීමෙන් පසු ඊට නොතේරුණූ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු කර ගෙන යාමට යක්කඩුවේ නාහිමියන් විසින් දෙමටගොඩ ධර්ම ප්‍රසාද විහාරයෙහි ගොඩනැගිලි ඉදිකරවා 1959 අප්‍රේල් 29 වනදා පිරිවෙන් පන්ති ඇරැඹූහ. 1963 දි පන්නිපිටියේ විද්‍යාලංකාර පිරිවෙනද ඇරැඹූහ. භාෂා පිළිබඳ හසල දැනුමක් ලද උන්වහන්සේ සාහිත්‍යයට සිදු කර ඇත්තේ මහඟු මෙහෙවරකි. උන්වහන්සගේ බණ කතා පොත් පෙළට විශේෂ ස්ථානයක් හිමිවේ.

මෑත යුගයේ දී ලක්දිව සසුනඹරේ පහළ වූ ශ්‍රේෂ්ඨ පඬිරුවනක් මෙන්ම සීලයෙන්, ගුණයෙන් හෙබි උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්ද වූ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් සහ විද්‍යාලංකාර පිරිවෙන දෙකක් නොව එකක් ලෙස සැලකිය හැකිය.

1960 දි විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ කුලපති පදවියට පත්ව උන්වහන්සේ සාහිත්‍ය චක්‍රවර්ති ගෞරව උපාධියෙන්ද පිදුම් ලැබූහ. 1986 මාර්තු 01 වනදා යක්කඩුවේ නාහිමියෝ අපවත් වී වදාළහ.

නාත්තන්ඩි ප්‍රඥාකර නා හිමි

නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නාහිමියන් ස්වකීය ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලා වෙත අතිශයින්ම භක්තිමත්ව කටයුතු කළ සංඝ පීතෘන් වහන්සේ නමකි. උන්වහන්සේ අචල ශ්‍රද්ධාවෙන් යුක්ත වුහ. ගුණ සම්පන්න වූහ. අපූර්ව සංවිධාන ශක්තියකින් යුක්ත වූ උන්වහන්සේ 1959 දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ පුස්තකාලායාධිපති තනතුරට ද පත්වූහ .1990 මැයි 26 දා අපවත් වී වදාළ උන්වහන්සේ විද්‍යාලංකාර පිරිවෙනෙහි සය වැනි පරිවේණාධිපතීන් වහන්සේය.

ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමි

කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වත්මන් විද්‍යාලංකාර පරිවේණාධිපතීන් වහන්සේය.

ගිහි පැවිදි උභය සමාජයේම මහත් ගෞරවයට පාත්‍රව වැඩ වෙසෙන උන්වහන්සේ විචිත්‍ර දේශකයන් වහන්සේ නමකි විද්‍යාලංකාර පිරිවෙන්හි අභිවෘද්ධියටත් ආරක්ෂාවටත්, පෝෂණයටත් දිවා රෑ වෙහෙසී සිය දිවි දෙවැනි කොට සලකා විදුලකර නාමයට උපහාර දැක්වීමට ක්‍රියාකරන ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකි. උන්වහන්සේ නිහතමානීයහ. පරිත්‍යාගශීලි යහ. සැමට ආදර්ශවත්ය. අපේකම, දේශීයත්වය හැම විට අගයන උන්වහන්සේ ඉතා කාරුණික යහ. විදුලංකාර පිරිවෙන්හි නව යුගයක් උදාකර ඇති වැලමිටියාවේ කුසල ධම්ම නායක හාමුදුරුවන්ගේ අදහසකට අනුව වාර්ෂිකව විද්‍යාලංකාර දින සැමරුම් උත්සව හා පින්කම මාලාව පැවැත්වේ.

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 02 වන දා සිකුරාදා පූර්ව භාග 02.43 ට ලබයි.
03 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වන දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 10 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]