UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වයස අවුරු දු 103 ට පා තබන වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමි

ශාන්ත සුන්දර නිසල පරිසරයක පිහිටි ඒ පුදබිමට වාහල්කඩින් ඇතුළු වන විට නෙත ගැටෙන සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත දොහොත් මුදුන් තබා වන්දනා කළෙමි.

පසෙකින් සුදෝ සුදුවන්ව බැබළෙන සෑ රදුන් වහන්සේ ය. නෙත් සිත් පහන් කරවන බෝධීන් වහන්සේ ය.

අනාගත ශාසනභාරධාරී මහ තෙරුන් වහන්සේලා බිහිකරන පිරිවෙන් ශාලාවේ කුඩා සාමණේරයන් වහන්සේලා අකුරු කරති.

සංඝාවාසයේ ඉදිරි පස ඇතිරිලි එලා පනවා තිබූ ආසන කීපයක් විය. එහි එක් අසුනක ගුණ වෘද්ධ සීල වෘද්ධ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩ සිටියහ. උන්වහන්සේ හමුවට එන ගිහි පැවිදි කා සමගත් පිළිසඳරේ යෙදෙති.

ඒ මොහොතේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විවේක සුවයෙන් පසුවූහ. ඒ මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ශාසනසෝභන ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය සිරි සරණංකරෝපසේන වංශාවනංස අග්ග මහා සද්ධම්ම ජෝතිකාධජ සාහිත්‍ය චක්‍රවර්ති අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. මම මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දෙපා වැඳ උන්වහන්සේ හා කතාබහට එක්වීමි.

අවසරයි! මහානායක හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පවුලේ තොරතුරු ටිකක් පැවසුවොත්,

අපේ පවුලේ නව දෙනයි. දැන් ඉන්නෙ නංගියි, මමයි. නංගි දැනටත් මා බලන්න එනව. අපේ අම්ම අවුරුදු 110 තරම් කල් ජීවත් වුණා.

මහානායක හාමුදුරුවනේ පැවිදිවීමට හිතුනෙ ඇයි?, අපේ නිවස පිහිටියේ පාර අද්දර. පුංචි කාලයේ දී ඉස්කෝලේ ගිහින් ඇවිත් අපි කට්ටිය වටේට බංකු තියාගෙන පාඩම් කරනව. එහෙම පාඩම් කරන දවසක කහපාට සරමක් බැනියමක් ඇඳල ඔළුවෙත් කහපාට රෙදි කඩක් ගැට ගහගෙන වයසක පාහේ මනුස්සයෙක් එතෙනට ආවා.

ගෙදරකට කෙනෙක් ගොඩ වැදුනම ආගන්තුක සත්කාර කරන එක අපෙ සිරිතක් නේ. අපේ අම්මා තැඹිලි ගෙඩියක් කපල ඒ මනුස්සයට දුන්න. ඒත් ඒක බිව්වේ නෑ. ආවෙත් ටිකක් මහන්සි පාටෙන්. දීපු තැඹිලි ගෙඩිය පැත්තකින් තිබ්බම අම්ම තේවතුර කෝප්පයකුත් හදල ගෙනත් දුන්නා. ඉතින්... ඔය අතරෙ ඒ මනුස්සයා අපේ අම්මාගෙන් ඇහුවා අර කවුද? කියලා අම්මා කිව්ව ඒ මගේ වැඩිමල් පුතා කියල. මේ කවුද කියල ඇහුවම ඒ දෙවැනි පුතා කියලා කිව්වා. මට ඇඟිල්ල දික්කරල ඒ කවුද කියලා ඇහුවා. මේ පුතා තමයි කවදහරි ශාසනය බබළවන්නෙ කියල කිව්වා. ඒවා ගැන ඒ කාලයේ අපට තේරුමක් නෑ.

කොහොම වුණත් අර එහෙම කියපු මනුස්සය ගියාම කවුද කියල බලන්න හොයාගෙන හන්දිය දක්වාම ගියා. ඒ වෙලාවේ ඒ මනුස්සය දැකපු කෙනෙක් හිටියෙ නෑ.

ගම්පහ දිසාවේ වේවැල්දෙණිය මිල්ලවල සිංගම්කුට්ටි ආරච්චිගේ ඉසන් අප්පුහාමි සහ රාජපක්‍ෂ විතාරණලාගේ ලියඟුහාමි දම්පතීන්ගේ පින්බර පුත් රුවනක් ලෙස 1909 දෙසැම්බර් 07 වන දා උන්වහන්සේ මෙලොව එළිය දුටුවේ ය.

ඉතින් මහ නායක හාමුදුරුවනේ.... අපේ ගම් පළාතේ පිහිටි නාගස් ඇල්ලේ විවේකාරාමයේ වැඩ විසූ වාද්දුවේ ධම්මදින්න හාමුදුරුවො ළග හවසට ගිහින් පොත් පත් කියෙව්වා. ගමේ තවත් ළමයි හිටියා. ඉතින් කලෙකදී උන්වහන්සේ හදිසියේ අපවත් වුණා. ඒ වෙන කොට මීරිගම ශාසනවර්ධන පිරිවෙනේ වැඩහිටි කදිරාගම සුමනසාර නායක හාමුදුරුවෝ මුල්වෙලා ධම්මදින්න හාමුදුරුවන්ගේ ආදාහන කටයුතු සිදු කළා.

පස්සේ විවේකාරාමයේ භාරකාරත්වය නොච්චියාගම ජිනරතන හාමුදුරුවන්ට පැවරුවා. ඒ හාමුදුරුවන්ගේ තනියට පන්සලේ මමත් තවත් ළමයකුත් දෙමව්පියන්ගේ කැමැත්ත ඇතිව පන්සලේ නතර කරවන්න කදිරාගම සුමනසාර හාමුදුරුවො තීරණය කළා.

අපි වැඩි දවසක් එහේ හිටියේ නෑ. කදිර ගම නායක හාමුදුරුවො අපි මීරිගම පිරිවෙනට ගෙන්වා ගත්තා. ඒ වන විට අප මහණ වීමටයි තීරණය කරල තිබුණෙ. ඒ අනුව මහණ කමට ඕන කරන පොත් පත් ගොඩක් කියෙව්වා.

අනුරාධපුර අභයගිරි කියන විහාරයේ වැඩ විසූ කතලුවේ සීලවංශ නායක හාමුදුරුවො කදිරාගම සුමනසාර නායක හාමුදුරුවන්ගෙ කල්‍යාණ මිත්‍රයෙක්. උන්වහන්සේලා දෙනමගේ මිත්‍ර භාවය දිගටම ගෙනියන්න කතලුවේ හාමුදුරුවො දිනක කදිරාගම හාමුදුරුවන්ට යෝජනාවක් කළා.

උන්වහන්සේලා දෙනම නමින් ගෝලයෙක් මහණ කරමු කියල ඉතින් කදිරාගම නායක හාමුදුරුවො මාව පෙන්නල කිව්ව. මේ ළමයා ගොඩක් පොත්පත් පාඩම් කරල තියෙනවා.එහෙනම් මේ ළමය අනුරාධපුරේ එක්ක ගිහින් මහණ කරමු කියල.

පසුව මගේ දෙමව්පියන්ට, නෑදෑයින්ට කියල අනුරාධපුර අභයගිරි විහාරයේ දී 1922 දී මාව මහණ කළා. එහේ දී අවුරුදු හතරක් විතර පොත්පත් ගොඩක් කියෙව්වා. පසුව ශාසන වර්ධන පිරිවෙනට ඇවිත් ඉගෙන ගත්තා. ඊට පස්සේ නිට්ටඹුවේ විද්‍යානන්ද පිරිවෙනේ සෑහෙන කාලයක් ඉගෙන ගත්තා. ඒ මාතලේ ධම්මසිද්ධි මහානායක හාමුදුරුවන් යටතේ.

1930 දී තමයි උපසම්පදා වුණේ. අභිධර්මය ඉගෙන ගන්න, බුරුම රටට යන්න තියෙද්දී මගේ ගුරුදේව නායක හාමුදුරුවෝ අසනීප වුණා. ගුරු දේව නායක හාමුදුරුවො අසනීප වුණාම මා නැවත ශාසනවර්ධන පිරිවෙනට ආවා. නායක හාමුදුරුවන්ගේ සාත්තුවට මම ආවාම නායක හාමුදුරුවො මා ගැන හරියට සතුටු වුණා. ඉතින් ගුරු හාමුදුරුවන්ට අකීකරු නොවී හැම වෙලාවේම බැලුවෙ උන්වහන්සේ සතුටින් තියන්නයි. උන්වහන්සේට මම සෑහෙන කාලයක් උපස්ථාන කළා. ඒ ඇප උපස්ථාන කරද්දී හරියට මට පින් දුන්න.

කදිරාගම සුමනසාර නායක හාමුදුරුවො අපවත් වීමෙන් පසුව වේවැල්දෙණියේ මේධාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ශාසනවර්ධන පිරිවෙන් විහාරාධිපති ධුරය පිරිණැමුහ.

මහානායක හාමුදුරුවනේ පිටරටවල කීපවිටක්ම වැඩම කළා නේද?.. .

රටවල් හුගකට ගියා. ජපානය, කොරියාව, තායිලන්තය, බුරුමය, ඉන්දියාව, කාම්බෝජය වැනි නොයෙක් රටවල කීපවර ගිහින් තිබෙනවා. ආරාධනාවක් ලැබුණාම ගිහින් එනවා.

මහානායක හාමුදුරුවනේ! වඩාත්ම සතුටු වන කරුණු -

මම මගේ මහණකම දිහා බලා සතුටු වෙනව. රට පුරා ඉන්න මගේ ගෝලයො දිහා බලා සතුට වෙනව. මම දේපළ හම්බ කළේ නෑ. යමක් ලැබුණා නම් ඒ ශාසනය වෙනුවෙන්,

නිරෝගිකම ගැන යමක් පැවසුවොත් -

මගේ නිරෝගීකමත් මට සතුටක්. හිතට කරදර අඩුයි. බරක් නෑ. හුඟ දෙනෙක් අහන්නෙත් මගේ නිරෝගිකම ගැන.

ජීවිතයේ අමතක නොවන සිදුවීම් -

දවසක් මම අපේ නිකායේ කාරක සංඝ සභාවේදී පොඩි අනුශාසනාවක් කරන්න තියෙනව කියල. කතාව පටන් ගත්තා. කවදත් කවුරුවත් ඉතින් ඇහුම්කන් නොදී ඉන්නෙ නෑ.

මම කිව්ව මේ නිකායෙ තියෙන විවිධ උසස් තනතුරු දරල තියෙනව. උසස් ම තනතුර වන මහානායක පදවියෙත් අවුරුදු ගණනත් ඉඳල තියෙනව.

මම දැන් වයසයි. මම කැමතියි දැන් ඒ පදවියෙන් අයින් වෙන්න. මට කැමැත්තක් තියෙනව බුද්ධංගල යන්න කියල. ඒත් ඒ පදවියෙන් අයින් වෙනවට කාගෙවත් කැමැත්තක් තිබුණෙ නෑ.

ඹබ වහන්සේ සංඝ සමාජයට දෙන පණිවුඩය

මේ සිවුරු පටිය කරේදානකොට කියපු වාක්‍ය හැම විට සිහි කරන්න. මහණකම හොඳින් රැක ගන්න.

ගිහි සමාජයට දෙන අවවාදය -

අපේ බුදු හාමුදුරුවො දේශනා කළේ “කත්තබිබං කුසලං බහුං” ඒ සිවුවනක් පිරිසට දීපු අවවාදය, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල යෙදෙන කොට ඒ බුදු බණ අහල පිළිපැදි අයෙක් වෙනව.

මහානායක හාමුදුරුවනේ දිනපතා කරන කටයුතු ගැන. මම අදටත් උදේ 4 ට නැගිටනවා. දිනපතා බුදුන් නොවැන්දොත් එදාට හරි අඩුවක් වගේ දැනෙනවා.

පුරුද්දක් හැටියට දායකයො මල් ගෙනැවිත් සූදානම් කරල, පහන් වැටි පත්තු කරල සවස 6 ට ගෙඩිය හැගුවාම ගිහි පැවිදි අපි කවුරුත් බුදුන් වැඳල වන පිරිත කීම මගේ සිරිතක්. දානය වළඳන වෙලාවටත් අපි සියලු දෙනාම දාන ශාලාවට එකවර වඩිනවා.

බුදුන් වඳින වෙලාවට තනියම යන්න අමාරුයි. ගෝලයො මාව එක්කරගෙන යනවා. ඇප උපස්ථාන සියල්ල කරනවා.

ඔබ වහන්සේ සැතපෙන්නේ....

රෑට තමයි මම පත්තර බලන්නේ. එතකොට අනිත් අය බලා ඉවරයි. රෑ 11 වනතුරු මම පත්තර බලනවා. ඒ අතරෙ ‘බුදුසරණ’ පත්තරේ මම හතර පෝයටම බලනවා. ‘බුදුසරණ’ පත්තරේ තියෙන දහම් කරුණු අපේ සමාජයට හරිම වැදගත්. හතර පෝයටම තියෙන බෞද්ධ පත්තරේ.

ආශිර්වාද පින්කම්...

මගේ ගෝලයෝ, දායකයො, නෑදෑයො ඒ පින්කම් කරනව. ඒත් එහෙම කරදර වෙනවට මම කැමැති නෑ.

විහාරස්ථාන රැසක සහ අරණ්‍යසේනාසන කීපයක නිර්මාතෘන් වහන්සේ වන වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැයේ දූ පුතුන්ගේ නැණ පහන් දැල්වීමට පාසල් කීපයක් බිහිකර ඇත.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දොළොස් වන මහානායක පදවිය හොබවන අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත විවිධ ගෞරව සම්මාන පිරිනමා ඇත.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් “ශාසන ශෝභන ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය සිරි සරණංකරෝපසේන වංශාවතංස” සම්මාන උපාධියත් කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන මගින් ධර්ම ශාස්ත්‍ර ශිරෝමනී සම්මාන උපාධියත් බුරුම රාජ්‍යයෙන් අග්ගමහා සද්ධම්ම ජෝතිකාධජ යන ගෞරව උපාධියත්, අමරපුර මූලවංශික නිකායෙන් ‘ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය’ ගෞරව සම්මානයත්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්ති උපාධියත් පිරිනමා ඇත. හෝරා එක හමාරක පමණ කාලයක් උන්වහන්සේ සමඟ එදා යෙදුණු කතාබහට විරාමයක් තබන්නට මම අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක හාමුදුරුවන්ගේ පා යුග වැන්දෙමි. ‘රත්නත්‍රයේ පිහිටයි’ ඒ උන් වහන්සේගේ ආශිර්වාදයයි.

103 වන වියට පා තබන අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව සමග චිර ජීවනය තෙරුවන් බලයෙන් ලැබේවා.

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 02 වන දා සිකුරාදා පූර්ව භාග 02.43 ට ලබයි.
03 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වන දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 10 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]