අනාගත
භය
රාජකීය පණ්ඩිත
ශාස්ත්‍රපති
බැලුම්මහර ඉන්දානන්ද හිමි
පාලි භාෂාව ඉගෙන ගැනීමේ පරමාර්ථය ත්‍රිපිටක
ධර්මය නිවැරැදිව තේරුම් ගැනීමය. පාලි භාෂාව
පිළිබඳ වූ ව්‍යාකරණ ආදි දැනුමක් නොමැතිව ධර්මය තේරුම් ගැනීමට නොහැකිය.
එසේ වූ විට අනාගතයේ ජනතාවට ධර්මය ප්‍රචාරය කිරීමේ ගැටලුවක් පවතී. මෙයට
ස්ථිර විසැඳුමක් සොයා ගත යුතුවේ.
සන්නිවේදනයේ
ප්‍රධාන මෙවලම වන්නේ භාෂාවයි. පුද්ගලයා ඔවුනොවුන්ගේ අදහස් වාචිකව පිට
කිරීම සඳහා භාෂාව යොදා ගත්තේය. වර්තමාන ලෝකයේ භාෂාවන් පරික්ෂා කර
බැලීමේදී එහි මූල බීජය ඉන්දියාව තුළ පවතී. භාෂා ඉතිහාසය අධ්‍යයනයේදී
වැඩිමනක් භාෂා උපත ලබා ඇත්තේ ඉන්දියාව හරහා බව පෙනේ. එම නිසා භාෂා ගණ
හැඳින්වීමේදී ඉන්දු ආර්ය, ඉන්දු, යුරෝපීය , ඉන්දු ඉරානීය වශයෙන් වර්ග
කොට දක්වා ඇත. ඒ අනුව භාරතය නොහොත් ඉන්දියාව සුවිශේෂී වැදගත්කම්
රාශියකින් හෙබි රාජ්‍යයක් ලෙස දැක්විය හැකිය.
ක්‍රි.පූ. 6 වන සියවසේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ඉන්දියාවෙනි.
උන්වහන්සේ ලෝකයට ස්වකීය දර්ශනය ලබා දුන්නේ අනුසාසනී පාටිහාරිය හෙවත්
කිසියම් භාෂා මාධ්‍යයකින් අනුශාසනා කිරීම හරහාය. තමන් වහන්සේගේ ශ්‍රාවක
පිරිස මෙහෙය වූයේ “ චරථ භික්ඛවෙ චාරිකං ....” යනුවෙන් ධර්මය ජනතාවට
සන්නිවේදනය කිරීමටය. උන්වහන්සේ මේ සඳහා භාවිතා කළ භාෂාව පිළිබඳ
විද්වතුන් අතර විවිධ මතවාද පවතී. කෙසේ වෙතත් ඒ මතවාදයන් පිළිබඳ
විමර්ශනය කිරීමට මෙයින් බලාපොරොත්තු නොවේ. වැඩිදෙනාගේ මතය මාගධිය
උන්වහන්සේගේ භාෂා මාධ්‍ය වූ බවයි. බුදුරජාණන් වහන්සේ මෙම භාෂා මාධ්‍ය
තුළින්ම ධර්ම දේශනා කළ අතර තම ධර්මය වෙනත් භාෂා මාධ්‍යයකට පෙරළීමට අවසර
නුදුන් අතර තම තමන්ගේ භාෂාවන්ගෙන් හැදෑරීමට අවසර දුන්හ. මේ අයුරින්
වටිනා වූ ධර්මයක් අඩංගු මෙම භාෂාව ක්‍රි.පූ. 3 වන සියවසේදී මිහිඳු
හිමියන්ගේ ආගමනයත් සමඟ ලංකාවාසී අපට දායාද වූ අතර එතැන් පටන් එය පාලි
භාෂාව ලෙස ප්‍රකට වූ බව විද්වතුන්ගේ මතයයි.
මහින්දාගමනයත් සමඟ ලංකාද්වීපයට නව පරිච්ඡේදයක් උදා විය. ශ්‍රී‍්‍ර
ලාංකේය භික්ෂු පරම්පරාව අරිට්ඨ කුමාරයාගේ පැවිදි උපසම්පදාව සමඟ ආරම්භ
වූ අතර පාලි භාෂාවෙන් තිබෙන ධර්මය ඉගෙනීමට භාෂා දැනුම අවශ්‍ය විය. ඒ
සඳහා අවශ්‍ය මූලික අධ්‍යාපනය ගුරු ඇසුරේද ඉන් පසුව පිරිවෙන් අධ්‍යාපනය
හා වර්තමානය වන විට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වාම විකාශනය වී ඇත.
සිංහලයන් වූ අපට මවු බස වූ සිංහල භාෂාවට වඩා පාලි භාෂාව කෙරෙහි පූජනීය
බවක් විය. භික්‍ෂූන් වහන්සේ නියත වශයෙන් පාලි භාෂාව ඉගෙන ගත යුතු
විය.ආරම්භක යුගයේ මෙම පාලි භාෂාව පිළිබඳ ප්‍රාමාණික උගත්හු රාශියක්
බිහි වූහ. කුල දරුවෙකු සසුන් ගත වීමට පෙර හා පසුත් ගුරුවරයාගේ ඇසුරෙහි
සිට පාලි භාෂාව ප්‍රගුණ කළ බව පැහැදිලි කරුණකි. එයින් ලබන පන්නරය ශාසනය
තුළ වඩා ප්‍රශස්ත සේවාවක් කිරීමට සමත් භික්ෂුවක් නිර්මාණය කිරීමට සමත්
විය. මූලික අත්පොත් තැබීමෙන් පසුව පිරිවෙන් අධ්‍යාපනයට යොමු වීමෙන් එම
භාෂා දැනුම වඩාත් තීව්‍ර කිරීමට සමත් විය. බුදුරදුන් දෙසූ ධර්මය
නිරවුල්ව අවබෝධ කර ගැනීමට නම් පාලි භාෂා දැනුම අවශ්‍ය වේ. ඒ අනුව පෙර
යුගය තුළ භාෂා ශාස්ත්‍රය ප්‍රවර්ධනය කරනු වස් විශ්වවිද්‍යාල ගොඩනැංවීම
දක්වාම අධ්‍යාපනය පුළුල් විය.
වර්තමාන භික්ෂු අධ්‍යාපනය තුළ පාලි භාෂාවට උදා වෙමින් පවතින ඉරණම
ශෝචනීයය. මේ සඳහා බලපාන ලද කරුණු අතරින් එක් කරුණක් නම් අතීතය හා සසඳා
බලන විට ප්‍රාමාණික උගතුන් බිහි නොවීමයි. වර්තමානයේද බිහි වී ඇත්තේ
අතළොස්සක් පමණි. එයට හේතුව වර්තමාන පිරිවෙන් අධ්‍යාපනය තුළ පවතින පොදු
දුර්වලතායි. එනම් පාලි භාෂාව පිළිබඳව වූ ආකල්පය හීන වී පවතී. පාලි
භාෂාව ඉගෙන ගැනීමේ වටිනාකම වර්තමානයේ කුඩා ස්වාමීන් වහන්සේ නොදනිති. එම
නිසා එයට තබන බර ඉතා අඩු අතර භාෂා දැනුම ද ඉතා පහළ මට්ටමක පවතී. ජාතික
ප්‍රශ්නයක් බවට පත් වෙමින් පවතින මෙම ගැටලුව හමුවේ භාෂා දැනුම ලබා දෙන
ගුරුරුවරුන්ට ද මග හැර යා නොහැකිය. කෙසේ වුවද ගුරුවරයා කොතරම් කැප වී
ක්‍රියා කළ ද ඒ සඳහා ශිෂ්‍යයා සූදානම් නොවන විටදී එය අසාර්ථක
ක්‍රියාවලියක් බවට පත්වේ.
අද වන විට පිරිවෙන් අධ්‍යාපනය සඳහා බලපා ඇති ප්‍රධානතම ගැටලුවක් නම්
පිරිවෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය ශිෂ්‍ය භික්‍ෂූන් නොමැති වීමයි. වැඩ
සිටින්නා වූ ඉතා සුළු පිරිස ද රඳවා ගෙන සිටින්නේ මහත් වීර්යයක් යොදාය.
එවැනි පිරිසකගෙන් භාෂාවක් රැකගෙන ඉදිරියට පවත්වාගෙන යෑමට හැකියාවක්
තිබේද? එම නිසා වත්මන් භික්ෂුව තුළ පාලි භාෂා දැනුම අවම මට්ටමක පවතී.
එයින් කියාපානුයේ අනාගතය පිළිබඳ යම් යම් ඉඟිය. අහස කළු කරගෙන එන විට අප
සූදානම් විය යුතුය. වැස්ස අත ළඟ බව අපට දැනේ. එබැවින් භාෂා බිය දුරුකර
ගැනීමට පාලි භාෂාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු අතර එසේ වුවත්
වත්මන කිසිඳු යහපත් ක්‍රියාදාමයක් ක්‍රියාත්මක නොවේ. පාලි භාෂාව පිළිබඳ
විශාරදයන් නැති වී යන කල අනාගතය ගැන කවර බලාපොරොත්තු තැබිය හැකි ද?
පාලි භාෂාව ඉගෙන ගැනීමේ පරමාර්ථය ත්‍රිපිටක ධර්මය නිවැරැදිව තේරුම්
ගැනීමය. පාලි භාෂාව පිළිබඳ වූ ව්‍යාකරණ ආදි දැනුමක් නොමැතිව ධර්මය
තේරුම් ගැනීමට නොහැකිය. එසේ වූ විට අනාගතයේ ජනතාවට ධර්මය ප්‍රචාරය
කිරීමේ ගැටලුවක් පවතී. මෙයට ස්ථිර විසැඳුමක් සොයා ගත යුතුවේ.
අධ්‍යාපනය එකම තැන පල් වන විට ඉන් ඉදිරියක් ගැන කථා කිරිමට නොහැකිය.
පිරිවෙනෙන් ලබන මූලික අධ්‍යාපනය ශක්තිමත් වූ විට ඉදිරිය ශක්තිමත් කර ගත
හැකිය. මුල් අඩිතාලම ශක්තිමත් නොවූ විට ඉහළ අධ්‍යාපන ස්ථර වලදී අඩිතාලම
සකස් කිරීමට සිදුවේ. එවිට ඉහළ අධ්‍යාපන අපේක්‍ෂා මුදුන් පමුණුවා ගැනීමට
නොහැකිය. වර්තමානයේ පාලි භාෂා පාරුවෙන් විශ්වවිද්‍යාලයට යන භික්ෂුව
ඉන් අනතුරුව එය අතහරින අතර පාලි භාෂාව තෝරා ගන්නා පිරිසගෙන් වැඩි
කොටසකට අධ්‍යාපනය ලබන වසර තුන හතර තුළ අඩිතාලම දැමීමට සිදුවේ. එම නිසා
වර්තමානයේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළින් නව දැනුමක් සංපේ‍්‍රෂණය නොවේ.
තිබෙන දැනුම බෙදා හැරීමම සිදුවේ. මෙයින් මා ඉස්මතු කිරීමට උත්සාහ
කරන්නේ පාලි භාෂාව ප්‍රවර්ධනය විෂයෙහි සතුටුදායක සේවාවක් සිදු නොවන
බවයි. එසේ නැතිව කිසිවක් සිදු නොවන බව ප්‍රකාශ කිරීමට නොවේ.
පාලි භාෂාව භික්ෂූන් අතරින් ගිලිහී ගිය හොත් එය රැක ගැනීමට පිරිසක්
නොමැත. පාලි භාෂාව සමාජගත කිරීම විෂයෙහි නව ඉගැන්වීම් ක්‍රම යොදා ගත
යුතු අතර යහපත් සමාජ ආකල්ප ඇති කිරීම අවශ්‍ය වේ. අධ්‍යාපනය ලබා දෙන
ආයතන තුළින්ම පාලි භාෂාව පිළිබඳ හීන මානසිකත්වයක් ලබා දේ නම් ඉදිරියක්
ගැන කියනුම කවරේද? මෙය ඉහළ බලධාරින් සිතා බැලිය යුතු කාලය පැමිණ ඇත.
පාලි භාෂාව හැදෑරීමේ අපේක්ෂාවෙන් විශ්ව විද්‍යාලයට ගිය විද්‍යාර්ථ
භික්ෂුවට වෙනත් භාෂාවක් තෝරා ගන්න යැයි උපදෙස් අභ්‍යන්තරයෙන්ම ලැබුණු
විට ඉරණම ශෝචනීය වේ.
භික්ෂුව සඳහා මූලික අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනය සඳහා ප්‍රාචීන
අධ්‍යාපනය නිර්දේශිතය. එය නිවැරැදිව ලබාගත් විට සිංහල පාලි සංස්කෘත
භාෂාත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබේ.මෙයද වර්තමානයේ යම් මට්ටමින්
කඩා වැටීමට පත් වී ඇත.එයට හේතුව විෂය ආවරණය කිරීමට කාලය ප්‍රමාණවත්
නොවීම, විභාගයම පමණක් ඉලක්කගත වීම, දැනුමට පවතින අගය අඩු වීම යනාදිය
දැක්විය හැකිය. මෙම අංශය තුළින්ද පිරිසක් ජීවත් වන මට්ටමට සැකසී ඇති
නිසා පසුබෑමට පත් වී ඇත.
අවසානයේ එය විෂය මාලාවක් බවට පමණක් පත් වේ. දහම් පාසලේ පාලි භාෂාව
ඉගැන්වීමේ පරමාර්ථය දරුවාට පාලි භාෂාවෙන් ධර්මය හැදෑරීමට මඟ පෙන්වීමය.
ප්‍රාථමිකව පරමාර්ථය නිවැරැදිව ගාථා කියා බුදුන් වැඳීමය. මෙයවත් ඉටු
නොවන තත්ත්වයට අද පත් වෙමින් ඇත.
එම නිසා මෙම තත්වය තේරුම් ගෙන එකිනෙකාට ඇඟිල්ල දිගු නොකොට අපි සියලු
දෙනා එකතු වී භික්ෂූ අධ්‍යාපනය නංවා යහපත් ආකල්ප ඇති කොට පාලි භාෂාව
ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතුවෙමු. එවිට. අනාගත භය “ තුරන් වනු ඇත. |