බිනර පුරපසළොස්වක 2011.09.11
සම්භාව්‍ය කෘතියක් තෝරා ගන්න
අද පත්‍රයේ මැද පිටුවෙහි (පිටු අංක 18 හා 19) පළකොට ඇත්තේ
“සතිමත්බව වැඩීම” යනුවෙන් වර්ජිනියා මුදිතා ෆොන්සේකා විසින්
සිංහලට පර්වතනය කරන ලද හේනේපොල ගුණරතන නා හිමියන් ගේ
Mindfulness in Plain English නමැති කෘතියෙන් උපුටා ගත්
පරිච්ඡේදයකි. එය මෙ සේ උපුටා පළ කිරීමට හේතු කිහිපයක් තිබේ.
මේ සාහිත්‍ය මාසයේ දී සිංහල පාඨකයන් රවටන හරසුන් ඊනියා දහම්
පොත් වෙනුවට නිපුණත්වයෙන් පිරිපුන් සම්භාව්‍ය කෘතියක් අප
පාඨකයන්ට හඳුනා ගැනීමට අවස්ථාව සැලැසීම ප්‍රධාන අරමුණ ය.
ඇමරිකාවේ බටහිර වර්ජිනියාවේ වැඩ සිටින හේනේපොල ගුණරතන නා
හිමියන්ගේ් විශිෂ්ට ධර්ම ශාස්ත්‍රීය සේවාව මෙන් ම වාණිජ
පරමාර්ථකයෙන් තොරව අනඟි දහම් පොත් පාඨකයන්ට දායාද කිරීමෙහි ලා
වෙහෙසෙන මහනුවර ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ සේවය අගය කිරීම තවත්
අරමුණකි.
තායිවානයේ බෞද්ධ ප්‍රකාශන ආයතනයක් වන The
Corporate Body of the Buddha Educational Foundation සමාගම විසින් 1991 දී මේ
කෘතිය ප්‍රථම වරට පළකැර තිබේ. අනතුරුව ඇමෙරිකාවේ විස්ඩම්
ප්‍රකාශන සමාගම යළි මුද්‍රණය කළ මෙහි මේ වනවිට පිටපත් දශ
ලක්ෂයක් නිකුත් කැර ඇතැයි කතු හිමියෝ පවසති. එ බඳු කෘතියක්
සිංහල පාඨකයන්ට කියැවීමට අවස්ථාව ලැබෙනුයේ එය පළ කොට වසර
විස්සකට පසුව වීම කෙතරම් අභාග්‍යයක් ද?
මේ කෘතිය මඟින් අපේක්ෂිත අරමුණ හා එහි විෂය පථය අවබෝධ කැර
ගැනීම පිණිස හේනේපොල ගුණරතන නා හිමියන් ගේ හැඳින්වීම උපුටා
දැක්වීමට කැමැත්තෙමු.
‘’සමථ සහ විපස්සනා භාවනා ක්‍රම දෙවර්ගයම පැරැණි ථෙරවාද පොත
පතෙහි විස්තර කර ඇත. පාලි ග්‍රන්ථයන්හි විස්තර වන විවිධ භාවනා
විෂයයන් හතළිහක් වෙයි. සිත එකඟකර ගැනීමට හා තැන්පත් කර ගැනීමට
ඉවහල් වන අරමුණු ලෙසත් පිරිසිදු සිහිනුවණින් යුත් අවබෝධයට මඟ
හෙළිපෙහෙළි කර ගැනීම සඳහා ගවේෂණය කළ යුතු විෂයයන් ලෙසත් ඒවා
නිර්දේශ කර ඇත. නමුත් මූලික අත්පොතක් වන මෙහි කතිකාව වඩාත්
ප්‍රකට භාවනා කමහටහන් වන ආශ්වාස - ප්‍රශ්වාසයට පමණක් සීමා කර
ඇත. එ බැවින් මෙය හුස්ම ගැනීමේ ක්‍රියාවලිය කෙරෙහි පූර්ණ
අවධානය යොමු කිරීම මඟින් සහ එම ක්‍රියාවලිය පැහැදිලි ව වටහා
ගැනීම තුළින් සිහිනුවණ පවත්වා ගැනීම පිළිබඳ හැඳින්වීමක් ලෙස
සැලකීම යෝග්‍ය වෙයි. හුස්ම ගැනීම අවධානයේ කේන්ද්‍රය කර ගන්නා
භාවනානුයෝගියා, තමාගේ මානසික දැකීමට හසුවන විශ්වය ක්‍රියාකාරී
නිරීක්ෂණයකට ලක් කරයි. එම මොහොතේදී තමාගේ් හැඟීම, සිතිවිලි සහ
සිරුරේ අත්දකින සියලුම වෙනස්කම් පිළිබඳ ව අධ්‍යයනයක් කිරීමට ද
භාවනානුයෝගියා පුරුදුවෙයි. අප ජීවත්වන සෑම මොහොතකම මේ සියලුම
සිද්ධීන් නිරන්තරයෙන් ම සිදුවෙමින් පවතියි”.
භාවනා පුහුණුවට වෙහෙසවන්නේ ඇයි යනුවෙන් අප මෙහි උපුටා දක්වා
ඇති පළමු පරිච්ඡේදය කිසිසේත්ම භාවනා අභ්‍යාසයක් නො වේ. භාවනාව
ජීවිතයට අවශ්‍ය ඇයි? එයින් ලැබිය හැකි ප්‍රතිඵල කුමක් ද? යන
ප්‍රශ්න සඳහා දෙන පිළිතුරකි. උන්වහන්සේ පවසන පරිදි භාවනාවේ
පරමාර්ථය පෞද්ගලික වෙනස් වීමයි. භාවනා කාලයක් අවසානයේ දී නැගිට
යන ඔබ භාවනා සඳහා වාඩි වූ ඔබ ම නොවෙයි.
එම කෘතියේ දෙවන පරිච්ඡේදයෙන් උන්වහන්සේ පෙන්වා දෙන්නේ භාවනාව
සම්බන්ධයෙන් පවතින වැරැදි හැඟීම් එකොළහක් පිළිබඳ ව ය. එම
වැරැදි හැඟීම් මෙ සේ ය.
1. භාවනාව යනු හුදෙක්ම මානසික විවේකයක් අත්කර ගැනීමේ ක්‍රම
ශිල්පයකි.
2. භාවනාව යනු නිද්‍රාවකට පත්වීමයි.
3. භාවනාව යනු තේරුම් ගැනීමට අපහසු ගුප්ත අභ්‍යාසයකි.
4. භාවනා පුහුණුවේ යොදන්නේ අධිමානසික හැකියාවන් සහිත සුපිරි
ජීවියකු වීම සඳහා යි.
5. භාවනා පුහුණුව අනතුරුදායක යි. නුවණැත්තන් භාවනා මඟහැරිය
යුතු යි.
6. භාවනා පුහුණුව ඇත්තේ ශාන්තුවරයන් සහ මුනිවරයන් සඳහා යි.
සාමාන්‍ය ජනයා සඳහා නො වෙයි.
7. භාවනාව යථාර්ථයෙන් පලා යෑමකි.
8. මහත් පී‍්‍රති ප්‍රමෝදයක් අත්කර ගනු සඳහා භාවනාව කදිම
මාර්ගයකි.
9. භාවනාව ආත්මාර්ථකාමී ක්‍රියාවකි.
10. භාවනාවේ දී අපි වාඩි වී උදාර සිතිවිලි කල්පනා කරමු.
11. සති කිහිපයක් භාවනා පුහුණුවෙන් මගේ් සියලුම ගැටලු නිරාකරණය
වෙයි.
අප මෙහි උපුටා දක්වා ඇති කරුණු වලින් එම පොත ගැන යම් අවබෝධයක්
ලබා ගත හැකි යැයි සිතමු. එම අවබෝධය ධර්ම ග්‍රන්ථයක් තෝරා ගැනීම
පිණිස උපයෝගී කැර ගන්නේ නම් මැනවි.
මේ සාහිත්‍ය මාසයේ දී ඔබට දියහැකි එක ම දහම් පණිවිඩය එයයි. |