UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නීවරණ යටපත් වූ සිත අයාලේ නොයයි. විසිරී නොයයි. තැන්පත් වෙයි. එනිසා සංසුන් වෙයි. සංසුන් සිත දැවෙන්නක් නොවේ. සිත දැවෙන්නේ කෙලෙස් වලිනි. කෙලෙස් යටපත් වූ විට දැවීම නවතියි. එනිසා නිවෙයි. සිසිල් වෙයි. මෙය අත්දැකිය හැකියි. කෝපයෙන් දැවෙන වෙලාවත්, කෝපය පහ වූ විට සිත නිවී සැනසීමත් පිළිබඳ අත්දැකීම් හැමදෙනාටම මෙන් ඇති බව සත්‍යයකි.

(සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා සතු ඤාණ හතක් )

ආගමික කටයුතු සම්බන්ධ විශාල උද්‍යෝගයක් අද අප රටේ බෞද්ධයන් අතර දක්නට ලැබේ. මෙරට බෞද්ධයෝ විවිධ ආගමික කාර්යයන්හි නිරත වෙති. දන්දීම, සීල සමාදානය, භාවනා පුහුණුව, වන්දනා ගමන් යෑම, පුද පූජාවල නිරතවීම, උත්සව පැවැත්වීම, ධර්ම ශ්‍රවණය, බුදුපිළිම තැනීම, ආගමික ගොඩනැගිලි ඉදිකිරීම එසේ යෙදෙන ආගමික කටයුතු අතර කිහිපයකි. මේ අය අතර ටික දෙනෙක් මේ ජීවිත කාලය තුළම මාර්ගඵල ලබා ගැනීමේ ඉමහත් ආශාවෙන් පසුවෙති. ඔව්හු විශේෂයෙන් සීලයෙක පිහිටා, එය රැක ගැනීමෙහි ද භාවනාවක් පුහුණු කිරීමෙන් සිත සමාහිත කර ගැනීමෙහි ද අවංක උත්සාහයක් දරති. මෙසේ යම් කාලපරිච්ඡේදයක් කැප කිරීමෙන් පසු ඇතැම් අයට තමන් මාර්ග ඵලයක් ලබා ඇතැයි සිතෙන්නට වෙයි. ඒ පිළිබඳව සැක ඇති නිසා වෙනත් අයගෙන් ඒ ගැන විමසා දැන ගැනීමට ද මේ අය පෙළඹෙති. ඇතමුන් මගඵල ලබා ඇති බවට සහතික නිකුත් කරන අවස්ථා ද ඇතැයි දැන ගන්නට ලැබී තිබේ. එසේ සහතික නිකුත් නොකළ ද අන් අය පිළිබඳව ප්‍රකාශ නිකුත් කරන අයද සිටිති. ආර්ය මාර්ගයට අවතීර්ණ වීම සඳහා සැබෑ උනන්දුවක් ඇති අයට තමන්ගේ තත්ත්වය තමන් විසින්ම දැන ගැනීමට හැකි ක්‍රම පිළිබඳව බුදුරජාණන්වහන්සේ නොයෙකුත් අවස්ථාවලදී දේශනා කළහ.

සූත්‍ර දේශනාවන්ගෙන් හෙළිවන පරිදි ආර්ය මාර්ගයට පිවිසිය හැක්කේ පෘථග්ජන බව ඉක්මවා යෑමෙනි. පෘථග්ජන භාවයෙන් මිදුණු තැනැත්තා ආර්ය ශ්‍රාවකයකු බවට පත්වේ. ආර්ය ශ්‍රාවකයා පළමුවරට පත්වන්නේ සෝතාපන්න (සෝවාන්) බවටයි. එය යම්කිසිවකු ආර්ය මාර්ගයේ ස්ථාවර වන පළමු පියවරයි.

තමන් ආර්ය මාර්ගයට පිවිස සිටීදැයි කිසිවකුට දැන ගැනීමට අවශ්‍ය නම් ඔහු තමා පෘථග්ජනයකු ලෙස සිතන ක්‍රමය අතහැර දමා ඇත්දැයි විමසා බැලිය යුතුය. පෘථග්ජනයා සිතන ක්‍රමයේත් ආර්ය ශ්‍රාවකයා සිතන ක්‍රමයේත් පැහැදිලි වෙනස්කම් ඇත. මේ විමසීම කිසිවකු සම්බන්ධයෙන් වෙන අයකුට කළ නොහැකිය. එසේ කළ හැක්කේ තවත් මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයකුට ම පමණි. එහෙත් තමන් ගැන තමාට විමසා බැලීමට පුළුවන. ඒ විමසීමේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති පරිදි තමන්ගේ සිතිවිලි ක්‍රමය පෘථග්ජන බව ඉක්මවා ඇත්තක්ද එසේ නොවේදැයි වටහා ගැනීමට අපහසු නැත. මෙය තමන්ට අවංකව කළ යුත්තකි. එසේ වුවත්, මාර්ගඵලලාභියකු නම් මෙහිදී නිවැරදි තීරණයකට බැස ගත්ත ද පෘථග්ජන පුද්ගලයකු නම් වැරදි තීරණයකට එළඹීමට ඉඩ තිබේ. මෙසේ ප්‍රවේසමෙන් ප්‍රයෝජන ගත හැකි මිනුම් දඬුවක් ‘කෝසම්බිය’ සූත්‍රයෙහි දැක්වේ. එහි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයකු තුළ දැකිය හැකි ‘ඤාණ හතක්’ ඉදිරිපත් කර තිබේ. මේ ඤාණ හත තමන් තුළ තිබේද? නැතිදැයි විමසා බලන්න. අවංක බෞද්ධයකුට තමන් තුළ යම් යම් අඩුපාඩු ඇත්නම් ඒවා සම්පූර්ණ කර ගැනීම සඳහා උත්සාහවත් වීමට මේ ක්‍රමයෙන් මග හෙළි වේ.

පෘථග්ජනයා තුළ නැති සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා තුළ ඇති සත් වැදෑරුම් නුවණ (ඤාණ සත)

01. නීවරණ ධර්මයන්ගෙන් තම සිත යටපත් නොවන බවත්, සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා සිත පිහිටුවා ගෙන ඇති බවත් දකින නුවණ.

02. තම සිත එකඟ බවත් (සමාහිත) කෙලෙස් සංසි‍ෙඳමින් නිවෙන බවත් දකින නුවණ.

03. මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් යුතු අය මේ ශාසනයෙන් බැහැර නැති බව දකින නුවණ.

04 තමන්ගෙන් සිදුවන වරද නොසඟවා ආයති සංවරයට පැමිණෙන බව දකින නුවණ.

05. එදිනෙදා කටයුතුවලද යෙදෙන අතර අධිසීල අධිචිත්ත, අධි පඤ්ඤා සම්පූර්ණ කර ගැනීමෙහි ද දැඩි අපේක්ෂාව තමන් තුළ ඇති බව දකින නුවණ

06. සද්ධර්මය දේශනා කරන විට ඉතා හොඳින් එයට සවන් යොමු කොට මුළු හිතින් එය ඇසීමෙහි යෙදෙන බව දකින නුවණ.

07. බුද්ධ වචනය ද ධර්මයෙහි අර්ථයද සළකමින් පී‍්‍රති ප්‍රමෝධයට තමන් පත් වන බව දකින නුවණ.

කෙටියෙන් දක්වන ලද මේ නුවණ හත පිළිබඳ තරමක් විස්තර සහිතව තේරුම් ගැනීම අවශ්‍යය.

මෙහි සඳහන් ඤාණ හතෙන් ‘පළමු වැන්නෙන්’ කරුණු දෙකක් අවධාරණය වෙයි.

1. තමා නීවරණ ධර්මවලින් යටපත් වී නැති බව දැකීම හා

2. තමා සත්‍යාවබෝධය සඳහා මැනැවින් සිත පිහිටුවා ගෙන සිටින බව දැකීමය.

අනේපිඬු මහ සිටුවරයා අමතා වරක් බුදුරජාණන් වහන්සේ නීවරණ ධර්මයන්ගෙන් සිදුවන හානිය දක්වා ඒවායින් සිත මුදාගත යුතුබව වදාළ අයුරු ‘පත්තකම්ම’ සූත්‍රයෙහි දැක්වේ.

නීවරණ ධර්ම පහකි. කාමච්ඡන්ද (අභිජ්ක්‍ධා) ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච - කුක්කුච්ච, විචිකිච්ඡා යනුවෙනි. කාමච්ඡන්ද යනු කාම වස්තූ®න්ට ඇති දැඩි ඇල්මයි. අභිජ්ඣා යනුවෙන් ද සමහර විට එයම හැඳින්වේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු පහ කාම වස්තූ®න්ය. ඒවාට සිතේ ඇතිවන දැඩි ආශාව කාමච්ඡන්දය. කාම වස්තුවකට තදබල ආශාවක් ඇති වූ තැනැත්තා එය ලබා ගැනීම සඳහා ම උත්සාහ කරයි. හොඳින් බැරි වුණොත් නරකින් හෝ එය ලබා ගැනීමට පෙළඹෙයි. මේ නිසා තමන්ටත් අනුන්ටත් මහ විපත්වලට මුහුණ පෑමට සිදුවේ. කාමච්ඡන්දයෙන් මැඩ පැවැත්වුණු සිතැති පුද්ගලයකුගෙන් හිංසන පීඩන පමණක් නොව ඝාතනද සිදුවිය හැකියි. සොරකම් කිරීමට දුරාචාරයට, බොරුකීමට හෝ මත්පැනට, මත්ද්‍රව්‍යයනට ඔහු පෙළඹේ. වෙනත් නොයෙකුත් අපරාධ හෝ අකටයුතු දෑ කිරීමට ඔහු පසුබට නොවෙයි. කාමච්ඡන්දය නමැති නීවරණයෙන් යටපත් වූ සිතක් තිබීමේ භයංකර තත්ත්වය මෙයයි. සාමාන්‍ය පෘථග්ජනයා මේ දුර්වලතාවෙන් යුතුව සිටින්නෙකි. ආර්ය මාර්ගයට පැමිණි තැනැත්තා ඒ දුර්වලතාව ඉක්මවා සිටින්නෙකි.

කාමච්ඡන්දය පමණක් නොව, ව්‍යාපාදය, ක්‍රෝධය හෙවත් තරහව, ථීනමිද්ධය හෙවත් කම්මැලිකම, උද්ධච්ච කුක්කුච්චය හෙවත් සිතේ විසිරුණු ගතිය හා පසුතැවීම හා විචිකිච්ඡාව හෙවත් සැකය යන සෙසු නීවරණ ධර්ම ද පුද්ගලයා යට කී සියලු අකුසල් කිරීම සඳහා මෙහෙයවයි. මෙසේ නීවරණවලට යට වී ක්‍රියා කරන තාක් මිනිසා පෘථග්ජන බවෙහිම ගැලී සිටින්නෙකි. ආර්යභාවයට පත්වන්නේ නීවරණවලින් සිත මැඩ පැවැත්වීමක් නොවන අවස්ථාවේ සිටය. ආර්ය ශ්‍රාවකයා තමා නීවරණවලින් යටපත් වී නැති බව දැනගැනීමේ නුවණින් යුක්ත බව සඳහන් වන්නේ මේ නිසාය. තම සිත නීවරණයන්ගෙන් යටපත් වී නැත්නම් තමා සත්‍යාවබෝධය සඳහා සකස් වෙමින් සිටින බව වටහා ගැනීමට පුළුවන.

මේ ආකාරයට සෝතාපත්ති ආර්ය ශ්‍රාවකයාට තමා පිළිබඳව පළමුවන ඤාණය පහළ වේ.

දෙවනුව සඳහන් ඤාණය නම් මෙවැනි දෘෂ්ටියක් ඇතිව සිටින තමාගේ සිත සමාහිත (සමථය = එකඟබව) බවත් ඒ නිසාම තමා අධ්‍යාත්මික වශයෙන් නිවීමට පත්වන බවත් දැකීමයි.

නීවරණ යටපත් වූ සිත අයාලේ නොයයි. විසිරී නොයයි. තැන්පත් වෙයි. එනිසා සංසුන් වෙයි. සංසුන් සිත දැවෙන්නක් නොවේ. සිත දැවෙන්නේ කෙලෙස් වලිනි. කෙලෙස් යටපත් වූ විට දැවීම නවතියි. එනිසා නිවෙයි. සිසිල් වෙයි. මෙය අත්දැකිය හැකියි. කෝපයෙන් දැවෙන වෙලාවත්, කෝපය පහ වූ විට සිත නිවී සැනසීමත් පිළිබඳ අත්දැකීම් හැමදෙනාටම මෙන් ඇති බව සත්‍යයකි.

කාමකෝපාදිය සම්පූර්ණයෙන් නැති වන්නේ අනාගාමී අවස්ථාවේදී ය. සෝතාපන්න, සකදාගාමී ආර්යයන්ගේ සිත් තුළ ද කාමකෝපාදිය ඇතිවිය හැකියි. එහෙත් ඒවායින් සිත මැඩ පැවැත්වීමක් සිදු නොවෙයි. ඇතැම් අවස්ථාවක කෙලෙස් සිතිවිල්ලක් ඇතිවීමත්, කෙලෙසින් මැඩ පැවැත්වුණ සිතක් සහිතව ක්‍රියා කිරීමත් අතර ඇත්තේ විශාල වෙනසකි. මේ බව පැහැදිලිව වටහා ගත යුත්තකි.

සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා තුළද කාමකෝපාදිය ඇතිවිය හැක්කේ ඒ කෙලෙස් ඔහු තුළ සම්පුර්ණයෙන් ප්‍රහීණ වී නැති නිසාය. එසේ කෙලෙස් හටගත් අවස්ථාවේදී ඔහු හැසිරෙන ආකාරය පිළිබඳව දැකීම සතර වැනිව සඳහන් කළ ඤාණයයි. සෝවන් ආර්ය ශ්‍රාවකයා කයින් වචනයෙන් හෝ සිතින් තමන්ගෙන් වරදක් සිදු වුවහොත් එය නොසඟවයි. ඔහු වහා යළි සංවරයට පත්වෙයි. ආයති සංවරයෙහි පිහිටා සිටියි. එවැන්නකුගෙන් සිදුවන්නේ අපායගාමී නොවන සුළු වරදකි. බරපතල වරද නොවේ.

මේ ආකාරයෙන් දෘෂ්ටි සම්පන්න ශ්‍රාවකයන් වෙනත් ශාසනයන්හි නොමැතිබව දැකීම තුන්වැනි ව සඳහන් වූ ඤාණයයි.

වෙනත් සසුන් දේව නිර්මාණය පිළිගන්නා වූ හෝ ආත්මයක් පිළිගන්නා වූ ඒ නිසාම යාඥා ප්‍රාර්ථනා යාග හෝමාදියෙන් පිරිසුදු වීම පිළිගන්නා වූ හෝ ආගම් ය. එසේ නැතහොත් නියතියක්, දෛවයක්, ඉරණමක් පිළිගන්නා ආගම් ය. එසේත් නොවේ නම් හේතුවක්, ප්‍රත්‍යයක් පිළි නොගන්නා ආගම්ය. බුදුදහම ඒ සියලු දෘෂ්ටි ප්‍රතික්ෂේප කරමින් හේතුඵල දහම පිළිගන්නා නිසා හා එවැනි පිළිගැනීමක් වෙන සසුනක නැති නිසා මේ සසුනෙහි හැර අන් සසුනක මෙවැනි ශ්‍රාවකයන් නොමැති බව තේරුම් ගැනීමට බුද්ධ ශ්‍රාවකයාට පුළුවන. ශාස්වත, උච්ඡේද සියලු දෘෂ්ටි බැහැර කොට, සක්කාය දිට්ඨියෙන් මිදී ආර්ය භාවය ලබා ඇති බව දැන ගැනීම එවැනි උතුමකු තුළ උද්ගත වන ඤාණයක් වන්නේ එනිසාය.

පස්වැනිව සඳහන් වන්නේ දිනපතා වැඩකටයුතු වල යෙදෙන අතර ආධ්‍යාත්මික දියුණුව ලබා ගැනීම සඳහා සීල සමාධි ප්‍රඥාවන් ද දියුණු කර ගන්නා බව තමන් තුළින් දකින ඤාණයයි.

සාමාන්‍ය පෘථග්ජනයාගේ ස්වභාවය දිනපතා වැඩ කටයතු වල ‍ෙයදෙමින් ලෞකික වූ දියුණුව කෙරෙහි ම අවධානය යොමු කිරීමයි. ධනෝපායන කටයුතු, අඹුදරුවන්ගේ කටයුතු, ධනධාන්‍ය පරිහරණය, අනෙකුත් අය හා සම්බන්ධතා පවත්වා ගැනීම, ජීවිතයෙන් ආස්වාදයක් ලබමින් සුවපහසු ජීවිතයක් ගත කිරීම හා මේ දේවල් යෙදීමෙන්ම සෑහීමකට හා වෙහෙසට පත්ව සිටීම මගින් මෙලොව සාර්ථකත්වය ලබා ගැනීමට හෝ වැඩිම වුවහොත් පරලොව සුගතියක් පතා පින් දහම් කිරීමට ඔහුගේ ක්‍රියාකාරීත්වය සීමා වෙයි. ඔහුට ආධ්‍යාත්මික විමුක්තිය සඳහා සිතා බැලීමට අවකාශයක් හෝ දැනීමක් නොමැත. දිනපතා කාර්යයන්හි ආර්ය ශ්‍රාවකයා ද යෙදෙන නමුත් හෙතෙම ඒ සමගම අධිසීල, අධිචිත්ත, අධි පඤ්ඤා ශික්ෂාවන්හි ද යෙදෙමින් ආධ්‍යාත්මික දියුණුව සලසා ගැනීමට ද උත්සුක වෙයි. මෙය පෘථග්ජන සිතිවිලි ක්‍රමය සම්පූර්ණයෙන් බැහැර කිරීමකි. තමන් තුළ මේ තත්ත්වය උදාවී ඇති බව දකින නුවණ ආර්ය ශ්‍රාවකයාට ඇත.

සයවැනි ඤාණය- බුද්ධ ධර්මය අසා සිටීම හා අවබෝධ කර ගැනීම සම්බන්ධයෙනි. සදහම් දෙසන විට සම්පූර්ණ අවධානය ඒ කෙරෙහි යොදවා අර්ථ විමසමින් එයින් ප්‍රයෝජනයක් ගැනීමේ අදහසින් එය අසා සිටීම එතරම් පහසු කාර්යයක් නොවේ. පුහුදුන් මිනිසාට දහම කෙරෙහි දිගටම අවධානය යොමු කර තබා ගැනීමේදී නොයෙකුත් බාධා පැමිණේ. ලෞකික කටයුතු පිළිබඳ නොයෙකුත් සිතිවිලි පහළ වෙයි. පුහුදුන් මිනිසා ඒවාට යටවන අතර ආර්ය මාර්ගයට පැමිණි තැනැත්තා එවැනි සිතිවිලි හට ගැනුණත් ඒවාට යට නොවී දහම ඇසීමට හා එහි අරුත් විමසමින් එයින් ප්‍රයෝජනයක් ගැනීමට තරම් තමන් සමත් බව වටහා ගෙන සිටියි.

සත්වැනි ඤාණය ද ධර්ම ශ්‍රවණය සම්බන්ධයෙනි. ධර්මය ශ්‍රවණය කිරීමේදී අර්ථවේදය ද ධර්මවේදයද ලබමින් ඒ මගින් පී‍්‍රති ප්‍රාමෝද්‍යයට පැමිණෙන බලය තමන් සතු බව දැකීම මෙහි කියැවෙන ඤාණයයි.

දහම් ඇසීම මංගල කරුණක් බව දන්නා පුහුදුන් මිනිසා, යහපත් කාර්යයක් නිසා දහම් අසයි. එහෙත් ඔහු එමගින් මෙලොව දියුණුව හා පරලොව දියුණුව ම පතයි. තමන් වෙත පමුණුවා දහම වටහා ගන්නා ශක්තිය හෝ තමන් තුළින් දහම දැකීමේ පච්චත්තං වේදිතබ්බ යන විඤ්ඤුන් සතු දක්ෂතාව හෝ ඔහුට නැත.

මේ නිසා අර්ථවේදය හෝ ධර්මවේදය ඔහු නොලබයි. අනුන්ගෙන් දහම අසා ගැනීම හෙවත් පරතෝඝෝෂ ය ද ඒ අසා ගත් දෑ මැනැවින් මෙනෙහි කිරීම නිසා යෝනිසෝමනසිකාරයද අත්පත් කර ගන්නා ආර්ය ශ්‍රාවකයා දහම ටිකෙන් ටික වැටහෙන අයුරු තම සිත තුළින්ම වටහා ගන්නේ පී‍්‍රතියට ප්‍රමෝදයට පැමිණෙයි. ඒ බලය තමන් තුළ දකින හෙතෙම මේ සත්වන ඤාණයෙන් ද සමන්විත වෙයි.

තමන් මගඵල ලැබූවකු බව අහේතුකව විශ්වාස කිරීමට ඉක්මන් නොවී, තමන් තුළ මේ ඤාණ වර්ධනය වන ආධ්‍යාත්මික දියුණුව තිබේදැයි අවංක බෞද්ධයා විමසා බැලිය යුතුය. එසේ බැලීමේදී අඩුපාඩු ඇත්නම් වහා ඒවා සපුරා ගෙන ආර්ය මාර්ගයට අවතිර්ණ වීමට තමන්ට ඇති ශක්තියෙන් උපරිම ඵල ලබා ගැනීමට උත්සුක විය යුතුය.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 11 වන දා ඉරිදා අපරභාග 01.13 ට ලබයි. 12 වන දා සඳුදා අපර භාග 03.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 11 වන ඉරිදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]