සඳමෙන්
බැබළීමට නම්
දිවුලපිටිය, බලගල්ල
සරස්වතී මහ පිරිවෙනෙහි ආචාර්ය
පහලගම ධම්මික හිමි
ඡන්දය, ද්වේශය, භය හා මෝහය යන මානසික මට්ටම්වලින් කටයුතු සිදු කිරීම
තුළින් පුද්ගලයාගේ කීර්තිය කළුවරපස
චන්ද්‍රයා මෙන් පිරිහීමට පත්වන අතර එම ධර්මතා නො ඉක්මවා කටයුතු කරන්නා
පුර පස චන්ද්‍රයා මෙන් කීර්තියෙන්
බැබළීමට පත්වන බව තදීය සූත්‍රය විවණරණය කරනු ලබයි.
මිනිසා
යනු සමාජීය සවිඤ්ඤාණික සත්ත්වයෙකි. නිරන්තරයෙන් ම සමාජය සමගින් කටයුතු
කරනු ලබයි. සමාජය තුළ දී සංකීර්ණ චරිත හමුවෙයි. සමාජමය චරිත සංකීර්ණ
වීමට ප්‍රධාන වශයෙන් පින් හා පව් ප්‍රබල සාධකයක් වෙයි. සමහර පුද්ගලයන්
නිතර පාරිශුද්ධ සිතිිවිල්ලෙන් සුහඳශීලී ලෙස අප ආමන්ත්‍රණය කරනු ලබයි.
එබඳු පුද්ගලයන් තුළින් නිතර අයහපතක් නොව යහපතක් ම සිදු වෙයි. ඒ අය
මිත්‍රශීලී ය.
අප බෙහෙවින් ප්‍රිය කරනු ලබයි. නමුත් තවත් සමහර පිරිස් ඊට හාත්පසින් ම
වෙනස් වූ ක්‍රියාකලාපයන්ගෙන් කටයුතු කරනු ලබයි. නිතර ද්වේශ සහගතව
කටයුතු කරයි. අන්‍යයන් අපහසුතාවට පත් කිරීමේ දුෂ්ට වූ සිතිවිල්ලෙන් තම
වචන පාවිච්චි කරනු ලබයි. මිත්‍රයන්සේ පෙනී සිට මිත්‍ර ප්‍රතිරූපයන් සේ
කටයුතු කරනු ලබන්නේ තම පවිටු චේතනාවන් මස්තක ප්‍රාප්ත කර ගැනීම උදෙසාය.
මෙම තත්ත්වයට පූර්වකෘත කර්ම වුවත් නිතර තමාගේ ප්‍රඥා සහගත වීර්යෙන්
යුත්තවීම තුළින් සුහඳශීලී සමාජමය සත්පුරවැසියෙක් වීමට පුළුවනි.
සතර අගතියට පත්වීමෙන් වැරැදි සහගත තීරණ ගැනීමට පුද්ගලයා පෙළඹෙයි. සමාජය
පිළිබඳ සුපැහැදිලි විවරණයක් සිදු කරන දීඝ නිකායේ එන සිගාලක සූත්‍රයේ දී
සතර අගතිය ඉදිරිපත් කරන්නේ මෙසේය.
“ඡන්දා දොසා භයා මෝහා
යො ධම්මං අතිවත්තති
නිහීයති තස්ස යසො
කාළපක්ඛේව චන්දිමා,
ඡන්දා දොසා භයා මෝහා
යො ධම්මං නාතිවත්තති
ආපූරති තස්ස යසො
සුක්කපක්ඛේව චන්දිමා “
ඡන්දය, ද්වේශය, භය හා මෝහය යන මානසික මට්ටම්වලින් කටයුතු සිදු කිරීම
තුළින් පුද්ගලයාගේ කීර්තිය කළුවරපස චන්ද්‍රයා මෙන් පිරිහීමට පත්වන අතර
එම ධර්මතා නො ඉක්මවා කටයුතු කරන්නා පුර පස චන්ද්‍රයා මෙන් කීර්තියෙන්
බැබළීමට පත්වන බව තදීය සූත්‍රය විවණරණය කරනු ලබයි. ඡන්දාගතිය යනු
කැමැත්තයි. ස්වකීය ආශාවෙන් කැමැත්තෙන් අන්තගාමීව යමක හිමිකරුවාට හිමිකම
අහිමිකරනු ලබයි. දීඝනිකාය අට්ඨකථාවේ දී ඡන්දාගතියෙහි ස්වරූපය විස්තර
කරන්නේ මෙසේය. බලවත් කැමැත්ත නිසා වියවුල් වූ මනෝභාවයන් මෙසේ ඉස්මතු
වෙයි. මේ පුද්ගලයා මගේ හිතවතාය, ඤාතියාය, චිරප්‍රසිද්ධ පුද්ගලයා ය,
අල්ලස් දෙන්නාය යනුවෙන් සිතේ ඇතිවෙන්නා වූ පාපී උපක්ලේශ ධර්මයන්
හේතුවෙන් ඡන්දාගතියෙන් ක්‍රියා කරනු ලබයි. දෝසාගතිය යනු තරහව වෛරය
ක්‍රෝධය වැනි සෘණාත්මක මානසික තත්ත්වයන් ය.
ඉන් අගතියට පත්වීමේ ස්වභාවය අට්ඨකථාව මෙසේ විස්තර කරයි. මෙම පුද්ගලයා
මගේ වෛර කරුවෙකි කියා හෝ දුටු පමණින් එකෙනෙහි ම උපන් ක්‍රෝධයෙන් යුත්තව
හෝ හිමිකරුවා අහිමියා කිරීම ද්වේශයෙන් අගතියට පත්වීමයි. භයාගතිය යනු
සිතේ ඇතිවෙන්නා වූ අස්ථාන බියයි. එයින් අගතියට පත්වීමේ ස්වභාව නම්
අන්‍යයන්ගේ බලයට හේතු විරහිතව භය වන්නා අසවලා රාජපුරුෂයෙකි, විෂම ගති
ඇත්තෙකි, යන බිය හේතුවෙන් හිමියන් අහිමියන් බවට පත් කරයි. මෝහා ගතිය
යනු මුළාවට පත්වීමයි.
එම පුද්ගලයාගේ ස්වරූපය මෙසේය. මුළා වූ පුද්ගලයා ස්වකීය මුළාව හේතු
කොටගෙන අනවබෝධයෙන් නොවැටහීමෙන් යුත්තව හරි වැරදි තේරුම් ගැනීමට
අපහසුකමින් අහිමියන් හිමියන් බවට පත් කරයි. මෙකී සතර අගතිය ම තුළින්
සිදුවන්නේ පාප කර්මයන් සිදුකර ගැනීමය. ඒ නිසා ගතියක් හෝ අගති සතරට ම හෝ
පත්වීම තුළින් දෙනු ලබන තීරණ නිගමන පාපයට පත්වීමක් සේ දැක අගතියෙන්
වියුත්තව කටයුතු කිරීමෙන් කීර්තියෙන් යසසින් බබලන චරිතයක් ගොඩ නගා
ගැනීමට හේතු වෙයි.
යමක් බෙදා දීමේ දී ඡන්දා ගතිය මුල් වුවහොත් මිත්‍රයාට වැඩි ප්‍රමාණයක්
දෙනු ලබයි. දෝසා ගතිය මුල් වුවහොත් අහිතවතාට අඩු කරනු ලබයි. භයා ගතිය
මුල් වුවහොත් බිය නිසා වැඩි කිරීම හෝ අඩු කිරීම කරයි. මෝහා ගතිය මුල්
වුවහොත් මුළාවෙන් අඩු වැඩි කරයි. නමුත් අගතිගාමී නොවන පුද්ගලයා
හිතවත්කම් අහිතවත්කම් නොසිතා පාරිශුද්ධ වූ චේතනාවෙන් කටයුතු කරයි.
එයින් දසත ගලන්නේ ඔහුගේ කීර්තිය යි. පූර්ව ආත්මගතව ප්‍රගුණ කළ හොඳ නරක
ගති පැවතුම් වත්මන් ආත්මයේ දී බෙහෙවින් ඉස්මතු වෙයි. අගතිගාමී චේතනාවක්
සිතට පත්වූ විට එයින් මිදීමට පුළුවන් නම් කුසල ධර්මයන් සමුත්පාදනය කොට
නිවන කරා ගමන් කළ හැකිය. ඒ සඳහා ඉතා වැදගත් උපයෝගිතා සතරක් බුදුදහම
පෙන්වා දෙයි. ඒවා සතර සංග්‍රහ වස්තු ලෙස හඳුන්වයි. කෙනෙකුට සංග්‍රහ කළ
යුතු පිරිසුදු වූ මානසික මට්ටම් සතරකි.
01. දානය
02. ප්‍රිය වචනය
03. අර්ථචර්යාව
04. සමානාත්මතාව
දානය නම් දීමයි. සිතින් යමක් පිළිබඳ පවත්නා ආශාව අතහැර දීම දානය යි.
බෝසත් අවධියේ දී බුදුරදුන් ඇස් හිස් මස් අඹු දරුවන් පවා දන් දුන් ආකාරය
වෙස්සන්තර වැනි ජාතක කතාවලින් පෙනෙයි. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී පරලොව
සැපයට පත්වීමට චාග යනුවෙන් දක්වා ඇත්තේ ද දානය යි. දීමෙ දී වස්තුවේ
ප්‍රමාණාත්මක බව ප්‍රධාන නොවේ සිතිවිල්ල පිරිසුදුවීම අත්‍යවශ්‍ය වෙයි.
පිරිසුදු සිතින් තණ කොළ පතක් දන් දීමත් ප්‍රගුණ කිරීමෙන් ස්වකීය ඇග
මස් දන් දීමට තරම් සිත වර්ධනය වන බව සංස්කෘත කියමනකින් පැහැදිලි වෙයි.
ප්‍රිය වචන නම් සිතට ඇලුම් කරන වාග් මාලාවන්ය. සියලු දෙනා ම නරක පවිටු
වචන වලට අකැමැතිය. මිනිසුන් පමණක් නොව සතුන් ද එසේය. නන්දිවිසාල ජාතකයේ
දී නන්දිවිසාල ගවයාට නරක වචන කථා කිරීමෙන් අනිටු විපාක පැහැදිලි කරනු
ලබයි.
දීඝ නිකායෙහි එන සෝණදණ්ඩ සූත්‍රයේ දී බුදුරදුන්ගේ ප්‍රිය වචනයෙහි
ස්වභාවය සෝණදණ්ඩ බමුණා වර්ණනාවට ලක් කරන්නේ මෙසේය. ”සමනො ඛලු භො ගොතමො
එහිසාගතවාදි සඛිලො සම්මොදකො අබ්භාකුටිකො උත්තානුමුඛො පුබ්බභාසී “
යනුවෙන් බුදුරදුන් තමන් වෙත පැමිණෙන කවුරුන්ට වුවත් ආමන්ත්‍රණය කරන්නේ
එන්න කියමින්ය.
කනට සුවය දෙන පිරිසුදු වචන කථා කරයි. ( සඛිලො ) පිළිසඳරෙහි යෙදෙයි.
(සම්මොදකො ) ඇහි බැම නො හකුළුවන්නෝය. ( අබ්භාකුටිකො ) සුලභව කථා කරන්නේ
මුහුණ දෙස බලාගෙනය. ( උත්තානුමුඛො ) තමන් වහන්සේ පළමුවෙන් කථා කරයි. (
පුබ්බහාසී ) අර්ථචර්යාව යනු යහපත් දෑහි හැසිරීමයි. අභිවෘද්ධි දායක වන
ක්‍රියාවෙහි යෙදවීම හා යෙදීම මෙයින් අර්ථවත් වෙයි. ජීවිතය පුරාවට ම
අනර්ථකර ක්‍රියාවන් ප්‍රගුණ කළත් එම දිවිය හිස්ය. ඒ නිසයි ධම්මපදයේ දී,
“ සහස්සම්පි චේ වාචා
අනත්ථපද සංහිතා,
එකං අත්තපදං සෙය්‍යො
යං සුත්වා උපසම්මති ”
අවැඩ ප්‍රදානය කරන අහිතකර තත්ත්වයන් ඇති කරන පදයන්ගේ යුත්ත වදන් දාහකට
වඩා උතුම් අභිවෘද්ධිදායි එක පදයක් වුවත් ඇසීම උතුම් වෙයි. සමානාත්මතාව
යනු යම් යම් විෂමතා හැර දමා සමසේ ජීවත් වීමයි. සීලයෙන් ගුණයෙන් සමාන
වීමයි. අගතිගාමී නොවීම පාපයෙන් වැළකීමයි. එමෙන් ම කුසලයෙහි ස්ථාපනය
වීමයි. ජනප්‍රිය පුද්ගලයෙකු සේ ජීවත්වීමේ මාර්ගය යි. කීර්තියෙහි ගුණ
සුවඳ පැතිරීමයි. එබඳු දිවියට සතර සංග්‍රහ වස්තුවෙන් පෝෂණය වීම මෙලොව
යහපත් වන්නා සේ ම පරලොව සත්පුරුෂ ගුණාංග ඇතිවීම පිණිසත් නිවනට පත්වීම
සඳහාත් ප්‍රබල සාධක වනු ඇත. |