UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රීමත් ලලාට ධාතූන්වහන්සේ වෙනුවෙන් 87 වන වරට පවත්වන

සේරුවිල නිකිණි මහා පෙරහර මංගල්‍යය

ත්‍රස්ත ක්‍රියාවලියේ අඳුරින් ආවරණය වී තිබූ මෙම ප්‍රදේශ වර්තමානයෙහි සාමයේ අරුණැල්ලෙන් ලෝකයට අනාවරණය වී ඇති බැවින් මෙම ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ගහණව පවතී. එ වැනි කාල පරිච්ඡේදයක දී පවත්වන ඓතිහාසික නිකිණි පෙරහර මංගල්‍ය අප රටේ ජාතීන් අතර පවතින සංහිදියාව ලෝකයාට දැන්වීමට කදිම සංනිවේදන මූලාශ්‍රයක් වනු නො අනුමානය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සොබාසම්පන්න සේරුවිල බල ප්‍රදේශයේ සේරුවිල රමණීය භූ®මිභාගයක පිහිටා ඇති ලෝක උරුම සේරුවිල මංගල රජමහා විහාරස්ථ ශ්‍රී ලලාට ධාතු පෙරහර මංගල්‍යය මෙවරද 87 වන වරට පැවැත්වේ.

මෙම සම්ප්‍රදායික පෙරහර මංගල්‍යයට සමගාමීව ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ ‘අනුනායක ධුර’ ප්‍රාප්ත සේරුවිල සරණකිත්ති නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට එම ධූරයට අදාළ අක්තප්‍රය ප්‍රදානය කිරීම ද සිදුකෙරේ. එ මෙන් ම මහජන සුබසිද්ධිය උදෙසා විවිධ සමාජ කාර්යයන් ඉටුකළ ප්‍රභූන්ගේ මානවිය ගුණයන්ට කෘතවේදී භාවය පළකරනු වස් ඔවුන් වෙත කිර්ති ගෞරවනාම ප්‍රදානය කිරීම ද මෙම පින්කම් මාලාවට සමගාමීව සිදු කෙරෙන තවත් සුවිශේෂි කටයුත්තකි.

වර්ෂ 87 ක් මුළුල්ලේ ඉතා අලංකාරවත් ලෙස හා දර්ශනීය අන්දමින් මෙම පින්කම් මාලාව පැවැත්වීමට රාජ්‍ය අනුග්‍රහය මෙන්ම පෞද්ගලික අංශයෙන් ලද දායකත්වය හා සමාදර මාධ්‍ය දායකත්වය පුන්‍යානුමෝදනාවෙන් කෘතවේදීව සිහිපත් කරමි.

ත්‍රස්ත ක්‍රියාවලියේ අඳුරින් ආවරණය වී තිබූ මෙම ප්‍රදේශ වර්තමානයෙහි සාමයේ අරුණැල්ලෙන් ලෝකයට අනාවරණය වී ඇති බැවින් මෙම ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ගහණව පවතී. එ වැනි කාල පරිච්ඡේදයක දී පවත්වන ඓතිහාසික නිකිණි පෙරහර මංගල්‍ය අප රටේ ජාතීන් අතර පවතින සංහිදියාව ලෝකයාට දැන්වීමට කදිම සංනිවේදන මූලාශ්‍රයක් වනු නො අනුමානය.

ශිෂ්ට සම්පන්න ජන සමාජයක් තැනීමෙහිලා සමාරම්භක සංධිස්ථානය වශයෙන් අපට විජයාවතරණය බලපෑ බව ඉතිහාසයේ කියැවේ. එමෙන් ම විජයාවතරණයෙන් මතු ගොඩනැගුණු අනුරාධපුර යුගයේදී ශ්‍රී ලාංකීය ජන සමාජයේ ආගමික, දේශපාලන සංස්කෘතික කර්මාන්ත සමාජීය ආදී ක්ෂේත්‍ර රැසක අභිවෘද්ධියට මංපෙත් සැළසිණි. එහෙත් විජය කුමරුගේ ලංකා ගමනයට පෙර පසු කළ විවිධ යුගයන්හි මෙරට විසු ප්‍රාග් ඓතිහාසික ජනතාව ශිෂ්ට සම්පන්න ජනතාවක් ලෙස ජීවත් වූ බවටද විවිධ මූලාශ්‍රයන්ගෙන් තොරතුරු හමුවේ. ඕනෑම රටක ජන සමාජයේ කැඩපත සංස්කෘතිය වන අතර එය අංග රැසකින් සමන්විත වේ. සංස්කෘතියේ කොටසක් වන කලාවට අයත් ඇදහිලි හා විශ්වාස මත පදනම්ව ගොඩ නැඟුන අපේ රටේ පෙරහරටද ඇත්තේ දිගුකාලීන ඉතිහාසයකි. ඓතිහාසික වශයෙන් ගත්කල ශ්‍රී ලංකාවේ ප්‍රකට පෙරහර රාශියක් සම්ප්‍රදායානුකූ®ලව අදටත් පැවැත්වේ. ඒ අතර නුවර ඇසළ මහා පෙරහර (දළදා) සබරගමු මහා සමන් දේවාල පෙරහර, සීනිගම දේවාල පෙරහර, කතරගම දේවාල පෙරහර, ආදියට ඇත්තේ දිගු ඉතිහාසයකි.

මෙම පෙරහර මංගල්‍යයන්ගෙන් සමහරක් බුදුරජාණන් වහන්සේට ආමිස පූජා වශයෙන් පවත්වන අතර විවිධ දෙවිවරු මුල්කර ගනිමින් ඔවුන් උදෙසා ද අනෙකුත් පෙරහර පවත්වනු ලැබීම සිරිතයි. ඉහත සඳහන් කළ පෙරහර සියල්ල, අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවාවිල ආසනයේ කොට්ටියාර් පත්තුවේ තෝප්පුර්හි සේරු නම් විල සමිපයෙහි පිහිටි ගෞතම බුදුරජාණන්වහසේගේ ශ්‍රී ලලාට (නලල් තලය) ධාතු තැන්පත් චෛත්‍යරාජයාණන් උදෙසා දීර්ඝ කාලයක් මුළුල්ලේ වාර්ෂිකව පෙරහර මංගල්‍යය පවත්වනු ලැබේ.

පුරාවෘතාන්තයන්ට අනුව සේරු නුවර පින්බිමට වසර 2500 කට අධික ඉතිහාසයක් තිබේ. මේ පිළිබඳ තවදුරටත් විමසා බැලීමේදී මේ මහා භද්‍ර කල්පයෙහි ලොව පහළ වූ කකුසඳ, කෝණාගම, සහ කාශ්‍යප බුදුවරුන්ගේ කාලය දක්වා වූ ඓතිහාසික හා ශාසනික වශයෙන් වැදගත්කමක් සේරුවාවිලට ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 08 වන වර්ෂයේදී උන්වහන්සේ ප්‍රමුඛව තවත් මහරහතන් වහන්සේ පන්සිය නමක් ලංකාවට වැඩම කළ බවත් එම ගමනේ දී සේරුවාවිල පුන්‍යභූමියෙහි නිරෝධ සමාපත්තියට සමවැදීම හේතුවෙන් මෙබිම පරම පූජනීය තත්ත්වයට පත් වූ බව ඉතිහාසයේ සඳහන් වේ.

එපමණක් නොව බුදුරජාණන් වහන්සේ යළිත් ජේතවනාරාමයට වැඩම කිරීමට මත්තෙන් මෙහි ආරක්ෂාව සුමන නම් නා රජුට පවරා දාගැබ් තැනවිය යුතු තැන මහ රහතන් වහන්සේ පිරිවරා ගනිමින් ප්‍රදක්ෂිණා කළ බව ධාතු වංශයේ සඳහන් වේ. එමෙන් ම අනුරාධපුර රජකළ දේවානම් පියතිස්ස රජුගේ පෙළපතෙහි සුවිශේෂ රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ දුටුගැමුණු මහ රජතුමාගේ පියාණන් වන කාවන්තිස්ස රජු සමයෙහි මෙම ස්ථානයේ (ඔහු විසින්) ලලාට ධාතු තැන්පත් කොට දාගැබක් කරවන බවද වදාළ බැව් එම වංශ කතාවෙහිම සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධාතුන් වහන්සේ අතුරින් මල්ල රජ දරුවන්ට අයත් වූ ලලාට ධාතු මහ රහත් තෙරුන් විෂයෙහි පරපුරෙන් ආරක්ෂා කර ගනිමින් වන්දනා මාන කළ බවත් පසුව මහදේව නම් මහ රහතන් වහනසේ එම ලලාට ධාතු රැගෙන ලංකාද්වීපයට වැඩම කළ බවත්, එය ප්‍රථම වරට රුහුණේ රජකම් කළ මහානාග නම් රජු විසින් මහත් හරසරින් පිළිගෙන ඊට පුද පූජා පැවැත්වීමට සුදුසු පසුබිමක් ඇතිකළ බවත් වංශ කතාවල සඳහන්ය. ප්‍රථමවරට ලලාට ධාතුන් වහන්සේ කෙරෙහි උපන් ගෞරවයෙන් යුතුව වතාවත් කළ මහානාග රජු දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයා ද වේ. මහානාග රජුගෙන් ඇරැඹි මෙම ලලාට ධාතු මංගල්‍යය පෙළපතින් මෙරට පාලනය කළ පිය පුතණුවන් වන යඨාලතිස්ස, අභය, ගෝඨාභය සහ කාවන්තිස්ස රාජ සමය දක්වා අඛණ්ඩව පවත්වාගෙන ආ බව ඉතිහාසයට සාක්ෂි සපයන විවිධ වංශ කථාවල කියැවේ.

එමෙන්ම රුහුණු, මාගම්පුර රාජධානිය කර ගනිමින් වසර 45 ක් රජ කළ කාවන්තිස්ස (කාවණ්ණතිස්ස) රජු, චුල්ලපිණ්ඩ නම් තෙරුන්ගෙන් මෙම ධාතු පිළිබඳ ශාසනික තොරතුරු අසා දැන සම්බුද්ධ ශාසනයේ උන්නතිය චිරස්තිථිය උදෙසා බුදුන් තෙවන වර (බුද්ධත්වයෙන් 08 වන වසර) ලංකාවට වැඩම කළ අවස්ථාවේ නිරෝධ සමාපත්තියට සමවැදුන තැන (සේරුවිල) ධාතුන් වහන්සේ වඩා හිඳුවා සැදැහැවතුන්ගේ දෙලොව වැඩ පිණිස මංගල මහා චෛත්‍යරාජයාණන් ඉදිකර පුද පූජා පවත්වා උපහාර දැක්වූ බවද ඉතිහාසයේ සඳහන් වේ.

කෙසේ වෙතත් අපේ රටේ අභිවෘද්ධියට වරින්වර බාධා පැමිණ වූ දෙස් විදෙස් ආක්‍රමණ සහ අභ්‍යන්තර අරගල හේතුවෙන් සේරුවාවිල ඓතිහාසික පුදබිම මහා ගන අඳුරු වනයක් බවට පත්විය. මේ හේතුව නිසා සේරුවාවිල පුදබිමෙන් සාමාජීය ඈත්වීම කොතෙක්ද යත් වසර 800 ක් තිස්සේ එය කැලෑවටම ඇදී පැවතුණි.

මෑත අතීතයෙහි වර්ෂ 800 ක් වනගතව පැවති සේරුවිල වෙහෙර වහන්සේ පිළිබඳ ඉතිහාසය නැවත විමර්ශනය කොට, වර්තමාන සැදෑහවතුන්ට වන්දනාමාන කිරීම සඳහා සුදුසු තත්ත්වයට සංවර්ධනය කරන ලද්දේ අපවත් වී වදාළ මංගල ධර්මකීර්ති නැගෙනහිර - තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරන්ධර හා ගාල්ල, දොඩන්දූව ශෛල බිම්බාරාමාධිපති ලෙස වැඩවිසූ අමරපුර ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ මහා නායක දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර ස්වාමින්ද්‍රයන් වහන්සේය.

වර්ෂ 800 ට පෙර අංග සම්පූර්ණ විහාරාරාමයන්ගෙන් පරිපූර්ණ වූ මෙම ස්ථානය පරිහානියෙන් පසු යළිත් ප්‍රතිසංස්කරණය කර සැදැහැවතුන්ගේ වන්දනාමානාදියට අවස්ථාව සලසා දුන් දඹගස්ආරේ සුමේධංකර මහනාහිමිපාණන්ගේ ශාසනික මෙහෙවර පිළිබඳ මෙහි දී කෘතවේදීව සිහිපත් කළ යුතුමය. දඹගස්ආරේ සුමේධංකර නාහිමියන්ගේ අදහසකට අනුව හා නායකත්වයෙන් යුතුව සසුන් වැඩ කැමති ගාල්ලේ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙකුගේ මැදිහත් වීමෙන් දායකයෝ සහභාගි කරවා ගෙන 1922 අවුරුද්දේ දී වට වන්දනාවේ නිරත වී ඇත. මෙම වන්දනා ගමන නෞකාවකින් සිදුකළ බැවින් එය අපූර්ව සංචාරයක් ද විය. ති‍්‍රකුණාමලය ඉලක්ක කර ගනිමින් ගිය වන්දනා ගමනේ කේන්ද්‍රීය ස්ථානය බවට පත් වූයේ ඓතිහාසික සේරුවිල පුදබිමයි. පුරාවෘත්තයන්ගෙන් හා ජනවහරින් සේරුවාවිල පිළිබඳ උන්වහන්සේ දැන උගත් තොරතුරු හා පසුබිම වෙනුවට සුමේධංකර හිමියන්ට දැක ගන්නට ලැබී ඇත්තේ මහත් ගන කැලෑවක් පමණි. මෑත අතීතයේ විෂඝොර සර්පයින්ගේ හා වන සතුන්ගේ රජ දහනක් ලෙස පැවතිය ද බුදුරදුන් ජීවමානව වැඩ සිටි මෙම ඓතිහාසික ප්‍රදේශය කෙසේ හෝ පිළිසකර කර එය මහජනතාවගේ ගෞරවාදරයටත් ශාසනික උන්නතියටත් ජාතික ප්‍රබෝධයටත් හේතුවනු පිණිස දියුණු කළ යුතු බවට උන්වහන්සේ තිර අධිෂ්ඨානයකට පැමිණියහ.

උන්වහන්සේ තුළ පැවති එම අපේක්ෂාව යථාර්ථයක් බවට පත්කිරීමේ අභිලාශය සිත්හි තබාගෙන ‘නඩය’ සමග යළි ගාල්ලට වැඩම කර සුමේධංකර නා හිමියෝ එවකට මෙහි ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ විලියම් හෙන්රි මැනිං මහතා හමුවී සේරුවාවිල සංවර්ධනය සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා ගත්තේ ය.

1922 වර්ෂයේ සිට 1924 දක්වා වූ කෙටි කාලය අතරතුර විහාර සංවර්ධනයට අවශ්‍ය පසුබිම ගොඩනගාගත් උන්වහන්සේ ‘සේරුවාවිල විහාර චෛත්‍ය සංවර්ධන’ නමින් සමිතියක් ආරම්භකර සියලු දෙනාගේ දායකත්වයෙන් නැවත වෙහෙර වහන්සේ බඳවා 1931 වසරේදී අති උත්කර්ෂවත් ලෙස සේරුවිල මංගල මහා සෑයේ කොත් පැළඳවීමේ පුන්‍යීත්සවයක් පැවැත්වූහ. ශාසනයේ අභිවෘද්ධිය හා ජාතික සමගිය වෙනුවෙන් ඇපකැපව කටයුතු කළ සුමේධංකර නාහිමිපාණන් වහන්සේ 1984 වර්ෂයේ අපවත් වූහ. එතැන් පටන් නොයෙකුත් කරදර බාධක මධ්‍යයේ නොසැලී අකම්පිතව මෙම විහාරස්ථානයේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරනුයේ වත්මන් විහාරාධිපතිව වැඩ වසන සේරුවිල සරණකිත්ති නාහිමිපාණන් වහන්සේය. 1952 වර්ෂයේදී පැවිදි දිවියට පත්වී 1984 වර්ෂයේදී නැගෙනහිර පළාතේ් සිද්ධස්ථාන 14 කට අධික සංඛ්‍යාවක විහාරාධිපතිව කටයුතු කරන සේරුවිල සරණකිත්ති හිමියෝ දඹගස්ආරේ සුමේධංකර නාහිමිපාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය ද වේ. රුදුරු ත්‍රස්තවාදය ඇරඹි 80 දශකයේ ආරම්භයේ සිට විහාරස්ථානයේ ආරක්ෂාව මෙන්ම සේරුවිල ප්‍රදේශවාසීන්ගේ දුක් ගැනවිලි, අපහසුතා හා අගහිගතා සියල්ලට සවන්දී ඔවුන්ට පිහිට වූයේද උන්වහන්සේය.

එය කොතෙක්ද යත් ත්‍රස්තවාදීහු මාවිල්ආරු සොරොව්ව වසා දැමූ අවස්ථාවේදී අසරණ වූ ගොවි ජනතාව වෙනුවෙන් එය නිදහස් කර ගැනීමට දිවි පරදුවට තබා ඊට විරුද්ධව මාරාන්තික උපවාසයක යෙදෙන්නට තරම් උන්වහන්සේ නිර්භීතව කටයුතු කළේය.

ත්‍රස්තවාදී ක්‍රියා ඉතා දරුණු තත්ත්වයට පත් වූ අවස්ථාවලදී ඒ ඒ කාල වකවානුවල රාජත්‍රන්ත්‍රය මෙහෙය වූ නායක නායිකාවන් උන්වහන්සේට කොළඹට වැඩම කරන ලෙසට ඉල්ලා සිටියා පමණක් නොව ඊට අවශ්‍ය පහසුකම් සැලැස් වූ අවස්ථා වලදී. ඒ සියලු ප්‍රතිලාභ සහ අවස්ථා ප්‍රතික්ෂේපකර තම ප්‍රදේශයත් එම ජනතාවත් නොහැර එහිම වැඩසිටීමට තරම් උන්වහන්සේ කරුණාව පෙරදැරි කර ගත්තේ සියලු දෙනා මවිතයට පත් කරවමිනි.

වත්මන් විහාරාධිපති හිමිපාණන්ගේ නායකත්වය අනුශාසකත්වය පරිදි මෙවර ද 87 වන වරට අති උත්කර්ෂවත් අන්දමින් නිකිණි මහා පෙරහර පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති අතර මෙම පින්බිම ත්‍රස්ත ග්‍රහණයෙන් ගලවා සැදැහැවතුන්ගේ වන්දනාමානාදියට ජීවිත පරිත්‍යාගයෙන් යුතුවම ඉඩ ප්‍රස්ථා සලසාදුන් රණවිරුවෝද මේ අවස්ථාවේදී පුන්‍යානුමෝනාවෙන් යුතුව සිහිපත් කළ යුතුමය.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 11 වන දා ඉරිදා අපරභාග 01.13 ට ලබයි. 12 වන දා සඳුදා අපර භාග 03.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 11 වන ඉරිදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]