ගිහි චර්යාව සමාජ වගකීමක් බවට පත්කළ
සිඟාලෝවාද සූත්‍රය
පයාගල ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන පරිවේනාධිපති ශාස්ත්‍රපති
කඹුරුපිටියේ මුනින්දවංශ හිමි
අභ්‍යන්තරික වශයෙන්
බලවත්වන පුද්ගලයා
වරදට පොලඹවන
කරුණු සතරක්
සතර අගති යටතේ පැහැදිලි කරයි.
මනුෂ්‍යයා සම්බන්ධයෙන් සාමාජීක සම්බන්ධතා ප්‍රතික්‍ෂේප කළ නොහැක.
මිනිසා හුදෙකලා සත්ත්වයෙක් නොවේ. එබැවින් මනුෂ්‍යයා සංකීර්ණ සමාජ
ක්‍රියාවලියක් ගොඩනගාගෙන ඇත. එය විධිමත්ව පවත්වා ගැනීම පිණිස අවශ්‍ය
ධර්මානුකූල පදනම කවරේදැයි සොයා බැලීමෙන් පුද්ගලයා හා සමාජය අතර
සම්බන්ධතාවය පිළිබඳ බෞද්ධ චින්තනය වටහා ගැනීමත් දී. නි සිඟාලෝවාද
සූත්‍ර විවරණයෙන් ලැබෙන ප්‍රතිඵලයකි. කිසියම් පුද්ගලයින් පිරිසක් අතර
ගොඩනැගෙන අන්තර් සබඳතාව සමාජයක පදනම වේ.
මෙසේ ගොඩනැගෙන අන්තර් සබඳතාව පුද්ගලයාගේ ආරක්ෂාව අවශ්‍යතා සංතෘප්තිය හා
නිරුපද්‍රිත පැවැත්ම සඳහා උපස්ථම්භක විය යුතුය. ආර්ථික සාමාජික පසුබිම
යහපත් ලෙස වර්ධනය වීමට ඉවහල් විය යුතුය. ආර්ථික මෙන්ම අධ්‍යාත්මික යන
අංශ දෙකේම සංවර්ධනය මත ගොඩනැගෙන ස්වයං පෝෂිත සමාජයක මූලික පදනම පිළිබඳව
විග්‍රහයක් වශයෙන් සිඟාලෝවාද සූත්‍රයේ කරුණු පැහැදිලි කරගත හැකිය.
සදිසා නමස්කාරය මගින් විවරණය වන්නේ පුද්ගලයා කේන්ද්‍රකරගෙන
ක්‍රමානුකූලව සාමාජික සම්බන්ධතා ගොඩනැගෙන ආකාරයයි. පුද්ගලයා විවිධ
අවස්ථාවල විවිධ චරිතවලට පත්වන අයුරු ඔහු වටා ගොඩනැගෙන විවිධ ස්ථරවල
සාමාජිකයන් දෙස බැලීමෙන් වටහාගත හැකිය. සමාජය කොටස් හයකට මෙහිදී වර්ග
කර ඇත. මොලොවට බිහිවන ළදරුවා පළමුව දෙමාපියන් යටතේ ද ඉන් අනතුරුව
ගුරුවරුන් යටතේද ශික්ෂණය ලබයි.
තරුණ වියේදී බිරිඳක් සමගින්ද පළල් සාමාජික සම්බන්ධතා පවත්වන විට යහලු
මිත්‍රයන් සමඟද ආර්ථිකය ගොඩනැගීමේදී ස්වාමි සේවකයන් සමගද ආගමික
කටයුතුවලදී මහණ බමුණන් සමගද ඇසුරු කිරීමටද අවස්ථාව උදාවේ. මෙයින්
පැහැදිලි කරන්නේ එක් සාමාජිකයෙකු ඔහු වටා සිටින සියලුම මට්ටමේ
සාමාජිකයන් සමඟ යම් පමණ සබඳතාවක් පවත්වන ආකාරයයි. සමාජය මේ අනුව
පුද්ගලයා කේන්ද්‍ර කරගෙන ගොඩනැගෙන ආයතනයකි.
ඒ සමාජ ආයතනය තුළ පුද්ගල ජීවිතය සුරක්ෂිත වීමට අවශ්‍ය දර්ශනයත්
සදාචාරයත් බුදුදහමින් නිර්දේශ වී ඇත. සමාජය අන්තර් පුද්ගල සබඳතා
ක්‍රමයක් වුවද එය පුද්ගලයන් සමූහයා පමණක්ම නොවේ. ඒ සබඳතා ක්‍රමය පුද්ගල
සුරක්ෂිතබව ආරක්ෂා කරන්නක් විය යුතුය. එක් එක් පුද්ගලයා සුරක්ෂිතවීම
යනු සමස්ත සමාජයේම සුරක්ෂිතබව ඇති වීමයි. තමා වටා ගොඩනැගෙන සමාජ ස්ථරය
තම පැවැත්ම සඳහා උපකාරකවන තත්ත්වයක් වශයෙන් සලකා සමාජ සුරක්ෂිත බවත්
ධාර්මිකත්වය හා සදාචාරවත් බවත් රැකගත යුතුය. කිසියම් සමාජයකින් එහි
සාමාජිකයෙකු ප්‍රතික්ක්‍ෂේප වන්නේ සමස්තයට එරෙහිවන සමාජ විරෝධී
ක්‍රියාවන් ඔහු විසින් ඉටු කරන විට පමණි.
මේ නිසා පුද්ගලයා ස්වකීය ක්‍රියා කලාපය සමාජ විශ්වසනීයත්වය ගොඩනැගීම
සඳහා උපයෝගි කරගත යුතුය. සාමාජිකයන් තම අන්‍යෝන්‍ය විශ්වාසය ඇතිවන
ගුණධර්ම වශයෙන් සතර අගතියෙන් තොරවීමත් සතර කර්මක්ලේශ ප්‍රහාණය කිරීමත්
මෙම සූත්‍රයෙන් විස්තර වන්නේ එබැවිනි.
පානාතිපාතං අදින්නාදානං
මුසාවාදොච උච්චති
පරදාර ගමනං ඤෙව
නපපසංසන්ති පණ්ඩිතා
පුද්ගලයා බාහිර වශයෙන් වරදට පොලඹවන සාමාජික වශයෙන් විශ්වාසය කඩවන
දුෂ්චරිත ලෙස පරපණ නැසීම, නොදුන් දේ ගැනීම, වැරදි අයුරින් කම්සැප
සෙවීම, සත්‍ය වසන් කිරීම යන කරුණු සතර දක්වා ඇත. ඕනෑම සමාජයක
සිටින්නෙකු තුල පවතින ඇතැම් දුර්වලතා සමාජ විරෝධී ප්‍රතිචාර වශයෙන්
මෙවැනි අකුසල් තුළින් මතු වී එයි. මෙම සතර කර්ම ක්ලේශවලින් වැළකීම
සමාජයේ උපකාරය සහ රැකවරණය සලසා ගැනීමෙ මාර්ගයක් වශයෙන් පැහැදිලි කර ඇත.
අභ්‍යන්තරික වශයෙන් බලවත්වන පුද්ගලයා වරදට පොලඹවන කරුණු සතරක් සතර අගති
යටතේ පැහැදිලි කරයි.
යම් දෙයක් කෙරෙහි දක්වන කැමැත්ත ඡන්දයයි. මෙම රුචිකත්වය නිසා විවිධ
සමාජ විරෝධි ක්‍රියා සිදුවීමට ඉඩ ඇත. ද්වේශය, බිය හා මෝහයද සමාජ
අසාධාරණතා සිදුවීමෙහිලා බලපෑ හැකි සාධක වශයෙන් මෙහි විස්තර වෙයි.
කිසියම් පුද්ගලයෙකු මෙම ධර්මතා ඉක්මවන්නේ නම් ගිහියෙකු වශයෙන් ඔහුගේ
සාමාජික ජීවිතය අඩාලවන අයුරු කලුවර පක්ෂයේ චන්ද්‍රයාට උපමා කර
දැක්වීමෙන් පැහැදිලි කරයි. ඉහත දැක්වූ සියලු කරුණු පුද්ගල මනස තුළ
ඇතිවන බාහිර වශයෙන් ක්‍රියාත්මක වන අවස්ථා හතරක් වශයෙන් දැක්විය හැක.
සමාජ සුබසිද්ධියක් කැමතිවන්නෙකු මානසික වශයෙන් වැරදි දෘෂ්ඨිවලට හේතුවන
සතර අගතියෙන් වැලකිය යුතු බව අවධාරණය කර ඇත.
කිසිවෙකු කර්මක්ලේශවලින් අගතිවලින් වෙන් වී සිටින්නේ නම් ඔහු තුළ
අභ්‍යන්තරික මෙන්ම බාහිර වශයෙන් ද ශික්ෂණයක් ඇතිවේ. මෙසේ ගොඩනැගුන
ශික්ෂණයෙන් යුතු පුද්ගලයා ස්වයං පෝෂිතවීමට නම් ඔහුට අදාළ කරගත හැකි
කිසියම් ආර්ථික රටාවක්ද එම ආර්ථික ශක්තිය වැඩි දියුණු කර ගැනීමට රැක
ගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවරක්ද අනුගමනය කළයුතු බව අපාය මුඛ හය ඉන්
අනතුරුව පැහැදිලි කිරීමෙන් වටහාගත හැකිය.
අධ්‍යාත්මික වශයෙන් හා බාහිර වශයෙන් පුද්ගලයා පරිහානියට පත්කරන අවස්ථා
හයක් වශයෙන් අපාය මුඛ හය ඉදිරිපත් කරයි.
‘සංදිට්ඨිකා දනංඤජානි’ ආදී වශයෙන් දක්වා ඇති පරිදි මෙම අවස්ථා හයේ
නියැලීම තුළින් මෙලොව ධන හානිය පමණක් නොව සාමාජික වශයෙන් අඳුරු හා
පිරිහුනු ජීවිත තත්ත්වයක් හිමිවේ. රහමෙර පානය නිසා ධන විනාශය, කලහ
වැඩිවීම, රෝග ඇතිවීම, අපකීර්තිය, ලජ්ජාව හා මන්දබුද්ධික වීම වැනි
තත්ත්වයන් පුද්ගලයන් තුල පහළ වේ. නුසුදුසු අවස්ථාවන්හි දී වීදි සංචාරය
කිරීමේ දෝෂ හයක්ද, නිතර සැණකෙළි ආදියට සම්බන්ධවීමේ දෝෂ හයක්ද, දූ
කෙලියේ දෝෂ හයක්ද, පාප මිත්‍ර සේවනයේ හා අලසකමේ දුර්වලතා හයක් ද දක්වා
ඇත. එසේම එබඳු පිරිහෙන විෂමාචාරවලින් වෙන් වූ තැනැත්තා සමාජයේදී මවුපිය
ගුරුවර ආදී සෙසු සාමාජිකයන් සමග යුතුකම් හා අයිතිවාසිකම් මඟින් ගොඩනගන
සමාජශීලි අභ්‍යන්තර සබඳතාවක් පිළිබඳවද මෙහි සාකච්ඡා වෙයි.
පිටතින් මෙන්ම ඇතුලතින් ද සිය ක්‍රියාවන් සමාජ විරෝධී නොවන අයුරින්
ගොඩනගා ගන්නා පුද්ගලයා ආර්ථික සාමාජික දේශපාලන වශයෙන්ද නිවැරදි චර්යාවක
යෙදෙයි. ගිහි සමාජයක ආර්ථික සුරක්ෂිතතාවය ඉතා අත්‍යවශ්‍ය සාධකයක්
වශයෙන් අපාය මුඛ පිළිබඳ විමසා බැලීමේදී වටහා ගත හැක.
සමාජයේ විවිධ අවස්ථාවලදී මුණ ගැසෙන පුද්ගලයන් සමග ගොඩනගාගන්නා සබඳතාවේ
ස්වභාවය සාමාජික වශයෙන් දියුණු හෝ පරිහානිය සඳහා සෘජුවම බලපෑම් කරන බව
මිත්‍ර ආශ්‍රය යටතේ විග්‍රහ වේ. නියම මිතුරන් කවුරුන් ද? මිතුරන්
වෙසින් සිටින සතුරන්ගේ ස්වභාවය කෙබඳුද යන කරුණු සංකීර්ණ සමාජයක් තුළ
ගිහියෙකු විසින් වටහාගත යුතුය.
මිත්‍ර වෙසින් සිටින එහෙත් මිතුරන් සේ ක්‍රියා නොකරන පුද්ගලයන් සිවු
දෙනෙකි. ඔවුහු මනාව හඳුනාගෙන ඔවුන්ගේ ඇසුරෙන් මිදීම යහපත උදා කරන්නක්
බව දක්වා ඇත.
මතු සම්බන්ධයි |