වෙසක් අව අටවක 2011.05.24
මඟ නො මඟ
මාර්ග අනතුරු වැළැක්වීම පිළිබඳ ව කොළඹ දී පසුගිය දා පැවැති
සමුළුවක ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ
දේශනයේ දී මාර්ග අනතුරු හඳුන්වා තිබුණේ ‘මහ මඟ ත්‍රස්තවාදය’
ලෙසිනි. එය මේ රටේ සියලු දෙනා ගේ අවධානයට ලක්විය යුතු යැයි
සිතමු.
එම හැඳින්වීම ඉතා සාධාරණ බව මොරටුව විශ්ව විද්‍යාලයයේ සිවිල්
ඉංජිනේරු අංශය විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇති
කරුණු අනුව පෙනීයයි. මොරටුව විශ්ව විද්‍යාලයයේ සිවිල් ඉංජිනේරු
අංශයේ මහාචාර්ය සමන් බණ්ඩාර මහතා හා ආචාර්ය වසන්ත කුමාර
මාම්පෙආරච්චි මහතා එම සමීක්ෂණය සම්බන්ධයෙන් පළ කළ අදහස් මෙහි
පහත දක්වා තිබේ.
“සෑම පැය හතරකට ම වරක් සිදුවන මාර්ග අනතුරකින් අප රටේ එක්
පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වෙයි. වසරකට මාර්ග අනතුරුවලින්
සිදුවන මරණ සංඛ්‍යාව 2400 ක් පමණ වේ. මාර්ග අනතුරුවලට හේතුවන
ක්‍රියා හතරක් පිළිබඳ ව අනාවරණය වී ඇත. හිතාමතා වැරැදි කිරීම,
වැරැදි ප්‍රතිපත්ති,තොරතුරු නොමැති වීම හා නො දැනුවත්ව වන
වැරැදි වශයෙන් එම හේතු වර්ග කර තිබේ.
හිතාමතා ම සිදු කරන වැරැදි වශයෙන් අවිචාරවත් ලෙස වාහනයේ තිරිංග
තද කිරීම තවත් වාහනයකට ඉස්සර කිරීම යනා දි කරුණු සඳහන් කළ හැකි
ය.ඇතැම් අවස්ථා වල සුළු ඉඩ ප්‍රමාණයකින් තවත් වාහනයක් ඉස්සර
කිරීමට යෑම දක්නට ලැබේ. එ වැනි අවස්ථාවල දී සිදුවන වැරැදි
රියැදුරා ගේ ම වරදින් සිදුවන ඒවා ය.
වැරැදි ප්‍රතිපත්ති නිසා ද වැරැදි කිරිමට රියැදුරන් පොළඹවනු
ලැබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහන ධාවනයට
බලපත්‍රයක් නිකුත් කරනු ලැබූවත් රියැදුරා අත්දැකීම් ලබා ගන්නේ
මහාමාර්ගයෙන් ම ය. වයස මත වාහනයේ දුර පාලනය කර ගැනීම, කාලය
නිශ්චය කර ගැනීම, අසීරු වන අවස්ථා ඇත.බොහොමයක් තරුණ රියැදුරන්
තුළ අනෙකා කෙරෙහි ගරුත්වයක් නොමැති බව දක්නට ලැබෙන කරුණකි.
තවත් රියැදුරන් වාහනය ධාවනය කරන්නේ පීඩනයට ලක් වූ මනසකිනි.
ඇතැම්විට පෞද්ගලික ව හෝ පවුලේ කෙනකු සමඟ ඇති අමනාපයක්,
අසනීපයක් හෝ වෙනත් කරුණක් මත ඇති වූ පීඩනයක් විය හැකි ය.
රියැදුරන් ගේ බීමත්කම, නොසැලකිල්ල, නීතිගරුක නො වීම, මාර්ග
නීති අනුගමනය නො කිරීම යන හේතු මත ද අනතුරු සිදු වේ. ඇතැම්
පුද්ගලයන් ගේ ක්‍රියා කලාපය ද අනතුරුවලට හේතුවක් වී ඇත. කහ ඉර
මත පූර්ණ ආරක්‍ෂාව තිබෙන බව බොහොමයක් මඟීන් ගේ ආකල්පය වී තිබේ.
2006 වසරේ සිට කාපට් කරන ලද මාර්ග තිහකට අධික ප්‍රමාණයක් අසල
වෙසෙන ජනතාවගෙන් කරුණු විමසා බැලීමේ දී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ
එම මාර්ග සංවර්ධනය නිසා ප්‍රදේශයේ පැහැදිලි සංවර්ධනයක් ඇතත්,
අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ය.”
මොරටුව විශ්ව විද්‍යාලයයේ සමීක්ෂකයන් ගේ මේ විග්‍රහය සමඟ අපට
එකඟවීමට පුළුවන. එ සේ වුව ද මාර්ග අනතුරු කෙරෙහි බලපාන සාධක
වඩාත් පුළුල් අරුතකින් හඳුනා ගැනීම අවශ්‍ය කැරේ. ඒවා මෙ සේ
වර්ග කළ හැකි ය.
1.නුසුදුසු රියැදුරන් විසින් වාහන ධාවනය කිරීම (බීමත්
රියැදුරන් /නුපුහුණු රියැදුරන් / අධික නිදිමත වැනි ශාරීරික
අපහසුතා සහිතව වාහන ධාවනය කිරීම ආදිය මේ කොටසට අයත් ය )
2. අයහපත් පාරිසරික සාධක යටතේ වාහන ධාවනය කිරීම (මාර්ගයේ
ලිස්සන සුලු බව / මාර්ගය අබලන් වීම / අනාරක්ෂිත දුම්රිය හරස්
මාර්ග / අධික වංගු සහිත බව ආදිය මේ කොටසට අයත් ය )
3. යාන්ත්‍රික දෝෂ සහිත වාහන ධාවනය කිරීම
4. අධික වේගයෙන් වාහන ධාවනය කිරීම
5. අපරික්‍ෂාකාරී ලෙස වෙනත් වාහන අභිභවා යෑමට උත්සාහ කිරීම
6. පාගමනින් යන්නන් ගේ නො සැලැකිලිමත් බව
7. තම බලය ප්‍රදර්ශනය කිරීමේ අංගයක් ලෙස වාහන ධාවනය
8. වෘත්තීය තරගකාරිත්වය
9. උත්සව මානසිකත්වයෙන් යුතු ව වාහන ධාවනය කිරීම
මෙහි සඳහන් අයහපත් පාරිසරික සාධක හා යාන්ත්‍රික දෝෂ පිළිබඳ
කාරණය හැර අනෙකුත් සියලුම අවස්ථාවල සිදුවන අනතුරු සම්බන්ධයෙන්
රියැදුරා වගකිව යුතු ය. මඟියකු නො සැලැකිලිමත් ලෙස පාර මාරුවීම
වැනි අවස්ථාවල දී පවා අනතුරක් වළක්වා ගැනීමේ වගකීම රියැදුරා
සතු බවට සැකයක් නොමැත.
කෙ සේ වුව ද මෙහි දී අප අවධානය යොමු කැරෙනුයේ නීතිමය
අඩුලුහුඬුකම් හෝ භෞතික සංවර්ධනය යන කාරණා පිළිබඳ ව නො වේ.
යහපත් රියැදුරෙකු ගොඩනැඟීම සඳහා අවශ්‍ය ධාර්මික උපදෙස්
පිළිපැදීම හෙවත් යහපත් ලෙස මානව සම්පත් කළමනාකරණය අප ගේ අවධානය
යොමු වන කාරණය යි. රිය ධාවනය සදහා අවශ්‍ය පුහුණුව ලබාදුන්
පමණින් යහපත් රියැදුරෙකු බිහි නො වන බව අපි විශ්වාස කරන්නෙමු.
එ සේ කළ හැකිනම් ආගම නමැති අධ්‍යාත්මික සංස්ථාව අභාවයට ගොස්
බොහෝ කල් ය. |