භික්ෂුණී ශාසනයේ
පුනරුදය
පහත පළවන්නේ 2011 අපේ‍්‍රල් 17සහ 25 යන දෙදින බුදුසරණ පත්‍රයේ පළකරන ලද
අමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ, සවුත් හාර්ඩ්ලිහි මවුන්ට් හෝලියෝක්
කෝලීජියේ, ආගම පිළිබඳ අනුගාමි මහාචාර්ය සුසන්න මිරෝසින්ගේ
Celebrating the revival of Bhikkhuni order නිබන්ධනයේ පරිවර්තනයයි.
ක්‍රි.පූ තුන්වැනි සියවසේ දී සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී ලංකාවේ
ථෙරවාදී භික්ෂුණී ශාසනය පිහිටුවන ලදී. භික්ෂු ශාසනය සමඟ භික්ෂුණී
ශාසනයත් දහවැනි සියවසේ අග හෝ එකොළොස්වැනි සියවසේ මුල සමය තෙක්
සමෘද්ධිමත්ව පැවැතිණ. එහෙත් ඒ වනවිට උදාවුන යුද කාල පරිච්ඡේදය විසින්
සසුන් දෙක ම අභාවයට යැවිණි. ඉක්බිති බුරුම සහ තායිලන්ත භික්ෂූන්ගේ මඟ
පෙන්වීම යටතේ භික්ෂු ශාසනය කිහිප වරක් පුනර්ජීවයක් ලබා ගත්තත්
භික්ෂුණී ශාසනයට ඒ වාසනාව උදාවූයේ නැත.
කාලයාගේ ඇවෑමෙන් ප්‍රගතිශීලි ශ්‍රී ලාංකික බෞද්ධයෝ දහනව වැනි සියවසේ අග
හරියේදී ථේරවාදී භික්ෂුණී ශාසනයේ පුනර්ජීවනය වෙනුවෙන් පෙනී සිටින්නට
මුල පිරූහ. එසේ වුවත් ඒ වනවිට ලෝකයේ කිසි ම තැනක උපසම්පදා කර්මය
සංවිධානය කරන්නට තරම් ප්‍රමාණවත් ථේරවාදී භික්ෂුණීහු නොසිටිය හ.
එහෙත් ඒ සඳහා සුදුසු මහායාන භික්ෂුණින්ගේ නම් හිඟයක් නොවිණ. ශ්‍රී
ලංකාවේ සියවස් දහයක් පමණ කල් පැවති භික්ෂූ, භික්ෂුණී, උපාසක, උපාසිකා
නමින් හැඳින්වුණු බුදුන් වහන්සේගේ සිවුවනක් පිරිස භික්ෂුණින්ගෙන් තොරව
තුන්වනක් බවට අඩුවූහ. වාසනාවකට මෙන් ප්‍රගතිශීලි ශ්‍රී ලාංකික භික්ෂුහු
1996 සහ 1998 දී ඉන්දියාවේ පැවැත්වුණු, භික්ෂුණීන් පැවිදි කිරීමේ
අන්තර්ජාතික උත්සව දෙකේදී දකුණු කොරියානු සහ තායිවාන් භික්ෂූන් හා
භික්ෂුණින් සමඟ සහයෝගයෙන් සහභාගී වූහ. මේ පැවිදි කිරීමේ උත්සව දෙකේ දී
භික්ෂුණීන් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවෝ තිහකට වැඩි ගණනක් පැවිදි කරනු
ලැබූහ. 1998 සිට භික්ෂූණි උපසම්පදාව ශ්‍රී ලංකාවේ නොකඩවා පැවැත්වෙයි.
1996 සිට වගකිව යුතු භික්ෂුන්ගේ දිරි ගැන්වීම ඔස්සේ භික්ෂුණී ශාසනය
මැනැවින් වර්ධනය වෙමින් ඉදිරියට යන බව පෙනේ. ( ඉංශ්‍රීසි ආකාරාදි
පිළිවෙළට දක්වතොත්) බෝදාගම චන්දිම, තලල්ලේ ධම්මාලෝක, කේ. ශ්‍රී
ධම්මානන්ද , හේනේපොළ ගුණරතන, බටගම මේධානන්ද, කඹුරුපිටියේ නන්දරතන,
වරාගොඩ පේමරතන, මහගල්කඩවල පුඤ්ඤසාර, කහවිට සිරිනිවාස, පොරොවගම
සෝමාලංකාර, ඉනාමලුවේ සුමංගල, කුඹුරුගමුවේ වජිර, මැදගොඩ වජිරඥාන, මාපලගම
විපුලසාර සහ කේ. විමලජෝති ආදී හිමිවරු ඒ අතර වෙති. එසේ ම ගණනින්
මෙතෙකැයි දැක්විය නොහැකි තරම් උපකාරක ගිහි උපාසක, උපාසිකාවෝ සිටිති.
දැනට ශ්‍රී ලංකාවේ ආසන්න වශයෙන් 1000 ක් පමණ ථේරවාදී භික්ෂුණිහු
සිටිති. ඊට අමතරව දෙතුන් දහසක පමණ දස සිල් මාතාවන් සිටින බව ද අප අමතක
නොකළ යුතුය. භික්ෂුණී ශාසනයේ පුනරුදයට ප්‍රමාණවත් දිරි ගැන්වීමක්
නොතිබුණු 1905 තරම් වූ වකවානුවක දසසිල් මාතාවන් වශයෙන් පැවිදි කිරීම
ඇරැඹි තිබිණ. ථේරවාදී භික්ෂුණී ශාසනයක් නොතිබුණු කලක රටපුරා සිටි
ථේරවාදී බෞද්ධ කාන්තාවන් බෙහෙවින් කනගාටුදායක වාතාවරණයක් යටතේ වුවද
දසසිල් මාතාවන් වශයෙන් පැවිදි පිරිසක් බිහිකිරීමට මූලිකවීම අගය කළ
යුත්තකි.
සමස්තයක් ලෙස ගත්කල අද ශ්‍රී ලංකාවේ භික්ෂුණිහු ද දසසිල් මෑණිවරු ද
බුදුදහමට සහ සමාජයට වැදගත්, අමිල දායකත්වයක් සපයති. 1998 සිට බොහෝ
දසසිල් මෑණිවරු භික්ෂුණි පැවිද්ද ලබා සිටිති. එහෙත් ඇතැම්හු නොයෙක්
හේතු නිසා ඒ තත්ත්වයේ ම රැඳී සිටින්නට තීරණය කර සිටිති. ඇතැමුන් එසේ
කරන්නේ දසසිල් මාතාවන් වශයෙන් ම සිටින පිරිසට ඇති ළෙන්ගතුබව නිසා ය.
ඒ අතර උතුම් ගුණාංගයක් වන්නේ, ඇතැමුන් සිය ගුරු මෑණිවරුනට භික්ෂුණී
තත්ත්වය ලබන්නට බැරි තරම් වයස්ගත හෝ බෙලහීන වීම නිසා ඔවුනට පුද සත්කාර
කරමින් රැකබලා ගන්නට නිගමනය කිරීම යි. ඇතැම් දසසිල් මාතාවෝ සිය ගුරු
මෑණිවරුනට භික්ෂුණි පැවිද්ද ලබන්නට නොහැකිව සිටියදී තමන් ඒ තත්ත්වයට
පත්වීම ඔවුනට කරන නිගරුවක් සේ සලකති.
භික්ෂුණීන්ට ඇතැම් රාජ්‍ය සේවකයන් ඇතුළු ගිහියන් සහ භික්ෂුන්ගෙන්
පෞද්ගලික ඇප උපකාර ලැබෙතත්, මෙතෙකුත් පොදුවේ රජය මඟින් ලැබෙන උපකාරයන්
ඉතා මඳය. ඔවුන් අනාගතය කෙරෙහි බලාපොරොත්තු තබා සිටිනවා විය හැකිය.
එහෙත් ඒ අතර භික්ෂුණිහු දැඩි දුෂ්කරතාවනට මුහුණ දී සිටිති. ඒ අතර බරපතළ
දුෂ්කරතාවක් වන්නේ භික්ෂුණින්ගේ සහ සාමණේර භික්ෂුණින්ගේ අධ්‍යාපනය සඳහා
දිරිදීමක් ලෙස ඇති මුල්‍ය සම්පත් හිඟය යි.
තමන්ගේ අධ්‍යාපනය කටයුතු සඳහා භික්ෂුනට මෙන් නොව, භික්ෂුණීනට තමන්
විසින් ම වියදම් සොයාගත යුතුව තිබේ. භික්ෂුණින්ට ඉගැන්වීම සඳහා ගාස්තු
අය කිරීමෙන් තොරව, සිය කැමැත්තෙන් ඉදිරිපත් වන ගුරුවරුනට පවා
භික්ෂුණින් විසින් ප්‍රවාහන පහසුකම් සඳහා කිසියම් මුදලක් ගෙවනු ලැබේ.
බොහෝ භික්ෂුණි ආරාම බෙහෙවින් දුප්පත් වන අතර ගුරුවරුන්ගේ ප්‍රවාහන
ගාස්තු ගෙවීම පවා දුෂ්කර ය. ඒ අනුව සිතන කල එම ආරාම වෙත පූජා භාණ්ඩ
සැපයීමේදී දායකයන් මේ ගැන සිතා බැලීම පලදායක විය හැකිය. උදාහරණයක් ලෙස
දායකයෝ බොහෝ පින්කම් අවස්ථාවලදී පුරුදු පරිදි ඉදල්, මුසුන්, පාපිසි,
සේදුම් කුඩු ආදිය පූජා කරති. ඇතැම්විට එක් දිනකදී මුසුන් සතරක් හෝ ඊට
වැඩියෙනුත් ලැබෙන්නට පුළුවන. සත්තකින් ම භික්ෂුණීන්ගේ ආරාමයකට නම්
එතරම් වුවමනා නොවන්නට පුළුවන. එබැවින් ඉදලක හෝ මුස්නක හෝ වටිනාකමට
සරිලන මුදලක් පිරිනැමීම වඩා හොඳවිය හැකිය. එසේ ලැබෙන මුදලින්
භික්ෂුණිනට තමන්ගේ අධ්‍යාපනය සඳහා වියදම් කරන්නට හැකිවනු ඇත.
සමස්තයක් ලෙස ගත්කල භික්ෂුණිහුද, ඔවුන්ගේ සහෝදරියෝ වන දස සිල්
උපාසිකාවෝ ද බුදුදහම සහ සමාජය විෂයෙහි බෙහෙවින් අගය කළයුතු දායකත්වයක්
සපයති.
දායකයෝ භික්ෂුණින් සිල්වත් සහ කරුණාවන්ත පිරිසක් ලෙස හඳුන්වති.
විශේෂයෙන් ම දායිකාවෝ තමන්ගේ පවුල් තුළ ප්‍රශ්න පැන නැඟුණු විට
භික්ෂුණින්ගේ උපදෙස් පතති.
කාන්තාවන් හැටියට මේ දායිකාවෝ භික්ෂුණින් සමඟ තමන්ගේ ප්‍රශ්න සාකච්ඡා
කිරීමේදී පහසුවක් අත්විඳිති. ශ්‍රී ලංකාවේ කාන්තාවනට ඔවුන්ගේ පවුල්වල
සමෘද්ධිය විෂයෙහි සුවිශාල වගකීමක් ඇති හෙයින් ඔවුහු තමන්ගේ පවුල්වල
ප්‍රශ්න හෝ අධ්‍යාත්මික ගුණවගාව ගැන සාකච්ඡා කිරීමට, උපදෙස් ලබා ගැනීමට
භික්ෂුණින් වෙතින් ලැබෙන සහයෝගය ඉතා අගය කොට සලකති.
උපදේශක සේවාවනට අමතරව භික්ෂුණිහු වෙනත් නොයෙක් සමාජ සේවාවන්හිද
යෙදෙති. ඒ අතර විවිධ ළමා අධ්‍යාපන වැඩසටහන් සහ සනීපාරක්ෂක අධ්‍යාපන
වැඩසටහන් මෙහෙයවීම ආදිය මෙන්ම අසරණ, රෝගී අය සමඟ ළඟින් ඇසුරු කරමින්
ඔවුන්ගේ දුක සැප විමසීම් ද වෙයි. තවදුරටත් වර්තමාන භික්ෂුණිහු ද
භික්ෂූන් සේම නොයෙක් ආගමික සේවා ඉටු කරති. උදාහරණයක් ලෙස භික්ෂුණිහු
නිතර දානමය පින්කම් සහ පිරිත් දෙසීමට ආරාධනා ලබති. එසේ ම භික්ෂුණිහු
කඨින පින්කම් ද පවත්වති. දෛනික ධර්ම දේශනා සහ භාවනා පුහුණු කිරීමටත්
ආරාධනා ලැබේ. විශේෂයෙන් ම දායිකාවන් තම ආරාමවල භික්ෂුණීන් විසින්
සංවිධානය කරනු ලබන භාවනා පුහුණුවීම්වලට වඩාත් කැමැත්තෙන් සහභාගි වන බව
සඳහන් කළ යුතු ය. නිතර ම වාගේ කාන්තාවෝ තමන්ගේ ගමේ පන්සල්හි භාවනා
වැඩසටහන් ක්‍රියාත්මක නොවන්නේ නම් ඉන් බැහැර භික්ෂුණි ආරාමවල පැවැත්වෙන
භාවනා පුහුණුවීම් සඳහා යති.
අද ලෝකයේ බොහෝ දෙනා විසින් භික්ෂුණීන් විශිෂ්ට සදාචාරාත්මක පරමාදර්ශි
කාන්තාවන් ලෙස හඳුන්වනු ලැබේ. බොහෝවිට භික්ෂුණින් හඳුන්වා දීමේදී
දායකයන් යොදන පළමුවැනි විශේෂණය ‘සිල්වත්’ යනු යි. අන් කවරදාටත් වඩා අද
අපට භික්ෂුණීහු වුවමනා වෙති. ගුණධර්ම පිරිහෙමින් පවතින සමාජයක,
කාන්තාවගේ ගරුත්වය හෑල්ලු වෙමින් යන කාලවකවානුවක සිල්වත් ජීවන පිළිවෙත
තුළින් භික්ෂුණීන් හට සමාජයට පරමාදර්ශයක් විය හැකිය. උදාහරණයක් ලෙස
භික්ෂුණිහු තමන්ගේ දානය සඳහා මස් මාංශ ඉල්ලා නොසිටිති. ඔවුහු
වායුසමීකරණය කරන ලද මොටෝරියක අවශ්‍යතාව නොදකිති. ඔවුනට තමන් සතු මොටෝ
රිය නැත. තෘෂ්ණාවෙහි වහලුන් වනවාට වඩා ලද පමණින් අඩු ද්‍රව්‍ය සහ
සම්පත්වලින් සතුටු වන්නට ඕනෑම කෙනෙකුට හැකිබව භික්ෂුණිහු අපට ආදර්ශයෙන්
පෙන්වා දෙති.
සදාචාරාත්මක පරමාදර්ශ ලෙස භික්ෂුණිහු ද ඔවුන්ගේ සහෝදරියෝ වන දසසිල්
උපාසිකාවෝ ද සමාජ හිතකාමී උපකාරකයෝ ය. තවදුරටත් ඔවුහු විශේෂයෙන් ම
කාන්තාවනට සහ තරුණියනට වැදගත් පරමාදර්ශි භූමිකාවක සිටිති. උදාහරණයක්
ලෙස, වර්තමාන ලෝකය පුරා සිටින වැඩිතරයක් තරුණියෝ කවරදාටත් වඩා
කාමාසක්තයෝ ය. අද ඇමරිකාවේ වයස හයේ සිට නවය තෙක් දැරියන් අතරින්
අර්ධයක්ම ලිප්ස්ටික් හෝ ලිප්ග්ලොස් දිනපතා පාවිච්චියට ඇබ්බැහි වී
සිටිති. නව යොවුන් වියටත් නොපත් දැරියන්ගේ මේ ස්වභාව ඔවුන් බොරුවලට
මුලා වන සහ පහත් ගණයේ කාමුක හැසිරීම්වලට පහසුවෙන් ගොදුරු වන තත්ත්වයක්
බිහිකර ඇති බවට ළමා සංවර්ධනය පිළිබඳ විශාරදයන් සංවේගය පළකර ඇත. මෙවන්
පසුබිමක වර්තමාන ළාබාල පිරිමි සහ ගැහැනු දරුවනට සැලසිය හැකි සෙත කුමක්
ද? ඒ අනුව සැලකීමේදී කාමාසක්ත බවෙන් මිදී සදාචාරසම්පන්න භික්ෂුණින්
විසින් නියෝජනය කෙරෙන කාන්තා භූමිකාව තුළ ගොඩනැඟෙන පරමාදර්ශය කෙතරම්
අගය කළ යුතු ද? එසේ ම තමන්ගේ ජීවිතයේදී එවන් කාන්තා භූමිකා ආකෘතියෙන්
සිය චරිත හැඩගසා ගැනීම වැඩිහිටි කාන්තාවනට කවර තරමේ යහපතක් විය හැකි ද?
සමස්තයක් ලෙස ගත්කල බුදුදහම සහ සමාජය වෙනුවෙන් භික්ෂුණින් ඉටු කරන
වැදගත් සේවා ගැන සිතන විට ශ්‍රී ලංකාවේ හෝ ථේරවාදී ලෝකයේ වෙනත් කොතැනක
හෝ ථේරවාදී භික්ෂුණි ශාසනයේ පුනරුදය විවාදයට ලක්විය යුත්තක් නොවන බව
මගේ හැඟීමයි. එහෙත් ඇතැම් ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ ඔවුන්ගේ
දායකයනට ශ්‍රී‍්‍ර ලංකාව තුළ ථේරවාදී භික්ෂුණින් නැතැයි කියන්නේ කවර
සාධාරණ තර්කයක් මත ද?
භික්ෂුණි පුනරුදය ප්‍රතික්ෂේප කරන පිරිස් කියා සිටින්නේ, පළමු පියවරේ
දී ම වර්තමාන ශ්‍රී ලාංකික භික්ෂූණින්, මහායාන බුදු දහම අනුගමනය කරන
දකුණු කොරියානු සහ තායිවාන් භික්ෂුණීන් විසින් පැවිදි කරනු ලැබූ අතර, ඒ
නිසා ශ්‍රී ලාංකික භික්ෂුණින් ද මහායාන විය යුතු ය යන්නයි.
බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද විනය උන්වහන්සේ ගේ අනුගාමිකයන් වූ
භික්ෂූන් විසින් මූලික වශයෙන් කටින් කට හෙවත් මුඛ පරම්පරාගතව පවත්වාගෙන
එන ලදී. බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් කිහිපයකට පසුව ශ්‍රාවකයන් වහන්සේ
විසින් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ලේඛනගත ආකෘතියෙන් සම්පාදනය කිරීමේ
අති දීර්ඝවූත්, සංකීර්ණවූත්, දැවැන්ත කාර්යාවලිය අරඹන ලදී. ඒ වනවිට
එකකට එකක් වෙනස් මූලික බෞද්ධ ගුරුකුලවාද ඉන්දියාවේ පැවතිණි. ඒ එක එකකට
තම තමන් විසින් සකසා සම්මත කර ගැනුණු විනය සම්ප්‍රදායයක් අන්තර්ගත
ග්‍රන්ථ කුලයක් බැගින් තිබිණ.
වර්තමානයේ විනය සම්ප්‍රදාය තුනක් භාවිතයෙහි යෙදේ. ථේරවාදී භික්ෂුහු
ථේරවාදී පාලි විනය අනුගමනය කරති. කෙසේ වෙතත් මහායාන හා තිබ්බත භික්ෂුහු
ථේරවාදීන් සේ නොව කවරදාකවත් තමන්ගේ විනය සම්ප්‍රදායයක් සංග්‍රහ නොකළහ.
ඒ වෙනුවට ඔවුන් ධර්මගුප්තක සහ මූලසර්වාස්තිවාදී නමින් හැඳින්වුණු ආදී
බෞද්ධ ගුරුකුල දෙකෙහි සංස්කෘත විනය සම්ප්‍රදාය පිළිගත්හ. එහෙත් මේ
ගුරුකුල බොහෝ කලකට පෙර ම අභාවයට ගියේ ය. එසේ වුවත් මහායාන හා තිබ්බත
බෞද්ධයෝ ඒවා චීන සහ තිබ්බත බසට පෙරළා තවමත් සිය විනය සම්ප්‍රදාය භාවිත
කරති. ඒ අතර 1996 සහ 1998 දී දකුණු කොරියානු සහ තායිවාන මහායානික
භික්ෂුණින් විසින් පැවිදි කරනු ලැබූ වර්තමාන යුගයේ ශ්‍රී ලාංකික
භික්ෂුණිහු ධර්මගුප්තක විනය සම්ප්‍රදාය අනුගමනය කරති.
ධර්මගුප්තක සහ ථේරවාදි විනය සම්ප්‍රදාය දෙක අතර සැලකිය යුතු වෙනසක්
නැති බව විනය පිළිබඳ විශාරදයන් පෙන්වා දී ඇත. මෙයට විශේෂ හේතුව වන්නේ
විනයෙහි පැරැණිතම සහ අත්‍යන්තයෙන් වැදගත් කොටස වන පාතිමොක්ඛය යි.
බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් යටතේ පැවිද්ද ලැබූ, මහනුවර බෞද්ධ
ප්‍රකාශන සමිතියේ සංස්කාරක ලෙස අවුරුදු බොහෝ ගණනක් සේවාව කළ අමෙරිකානු
ජාතික බෝධි හිමියෝ 1998 දී ඉන්දියාවේ පැවැති අන්තර්ජාතික පැවිදි කිරීමේ
උත්සවයේදී සිදුවූයේ කුමක්දැයි මෙසේ පැහැදිලි කරති.
‘’සිහි කටයුතු පැවිදි කිරීමේ උත්සවයේදී සම්ප්‍රදාය කිහිපයක භික්ෂුහු
එක්රැස් වූහ. ඒ අතර තායිවාන් සහ අපරදිග භික්ෂුණින් සමග චීන මහායාන,
ථේරවාදී සහ තිබ්බත භික්ෂුහු වූහ. ඒ තායිවාන සහ අපරදිග භික්ෂුණිනට චීන
සම්ප්‍රදායානුකූ®ල පැවිද්ද සහ උපසම්පදාව මෙහෙයවීමට ය.
මේ උත්සවය දසසිල් උපාසිකාවන් මහායාන භික්ෂුණින් බවට පත් කරන්නට යොදා
ගත්තක් බව කෙනකු සිතන්නට පුළුවන. එහෙත් එය සාවද්‍ය තේරුම් ගැනීමක් විය
හැකිය. චීන භික්ෂූන් සහ භික්ෂුණින් මහායාන බුදු දහම ප්‍රගුණ කළවුන් වන
අතර, ඔවුන් අනුගමනය කළ ආශ්‍රමික විනය සම්ප්‍රදාය මහායාන සම්ප්‍රදාය
නොවේ. එය දක්ෂිණ ථේරවාදී සම්ප්‍රදායට අයිති, එනම් වඩාත් විස්තෘත
විභූජ්ජවාදී සම්ප්‍රදායට අයිති ආදි බෞද්ධ ධර්මගුප්තක සම්ප්‍රදායෙන්
ප්‍රභවය ලද්දකි.
සත්තකින්ම එහි ථේරවාදි සූත්‍රයන්ගේ සමාන එකතුවත් ඇතිවා මෙන්ම අභිධර්මය
සහ පාලි විනයට බෙහෙවින් අනුරූපිත වයඹ දිග ඉන්දියානු අනුපිටපතකි.
මෙමඟින් ශ්‍රී ලාංකික භික්ෂුණීන් මහායානික වූයේ නැත. වැඩි ම වුණොත්
යමකුට කිය හැකි වන්නේ ඔවුහු ධර්මගුප්ත වූහ’ යි යන්න පමණි. එහෙත් එය පවා
එලෙසින් ම අනුමත කළ නොහැකි බව ඉන්පසු සිදුවූයේ කුමක් දැයි විස්තර කෙරෙන
පහත දැක්වෙන ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. ඒ අනුව බෝධි හිමියෝ තවදුරටත්
මෙසේ කියති.
‘’ශ්‍රී ලංකාවෙන් පැමිණි භික්ෂුණින්ට වුවමනා වූයේ ථේරවාදී විනය පෙළපතට
උරුමය ලබා ගන්නට යන අතර, ශ්‍රී ලංකාවේ ථේරවාදී භික්ෂුන්ගෙන්
පිළිගැනීමක් ද ලබා ගන්නටයි. චීන පැවිද්ද සමඟ පමණක් භික්ෂුණීහු ආපසු
ශ්‍රී ලංකාවට පැමිණියෝ නම් ඔවුන්ගේ පැවිද්ද ඉඳුරාම මහායානික වන්නට
ඇතැයි ශ්‍රී ලාංකික බෞද්ධයන් සිතනු ඇතැයි යන්න ද මෙහි දී ඉදිරිපත්ව
තිබිණි.
ඒ සැකය නැති කරනු පිණිස අලුතින් පැවිදි කරනු ලැබූ භික්ෂුණිහු ටික කලකට
පසු සාරානාත් වෙත පැමිණියා හු එහිදී ශ්‍රී‍්‍ර ලංකාවෙන් පැමිණි ථේරවාදි
භික්ෂූන් යටතේ පාලියෙන් මෙහෙයැවුණු තවත් උපසම්පදාවක පිහිටුවනු ලැබූහ. ඒ
අතර චීන සංඝයා මගින් ලැබුණු උපසම්පදාවේ වටිනාකම ද පිළිගන්නා ලදී. මෙසේ
ඔවුහු ථේරවාදි සංඝ ගණයට පිළිගනු ලැබූහ. ථේරවාද විනය පිළිපදින්නට සහ
විනය පිළිබඳ සංඝකර්මවලට දායක වන්නට ද අවසර ලබාදෙන ලදී. (
The Revival of Bhikkhuni Ordination in the
Theravada Tradition - pp. 121 - 122 )
1996 සහ 1998 දී දකුණු කොරියානු සහ තායිවානු භික්ෂුණීන් මඟින් පැවිදි
කරනු ලැබූ ශ්‍රී ලාංකික භික්ෂුණිහු ථේරවාදි ම වෙති. ඔවුන් තමන් ථේරවාදි
ලෙස හඳුන්වා දෙන අතර ඔවුන්ගේ පැවිද්ද සංවිධානය කළ ශ්‍රී ලාංකික
භික්ෂුහු ද එය එසේ ම අනුමත කරති. 1998 සිට ශ්‍රී ලාංකික කාන්තාවනට මෙරට
සිට ම භික්ෂුණින් ලෙස පැවිදි උපසම්පදාව ලද හැකිය. මේ සියලු භික්ෂුණිහු
ථේරවාදී පාලි විනය පිළිපදින්නෝ වෙති.
මෙසේ අපි යළිත් බුදුන් වහන්සේ විසින් මුල් පියවරේදී ම පිහිටුවන ලද
පරිදි සිවුවනක් පිරිස අප රට තුළ සපුරා තිබියදී 2600 සම්බුද්ධත්ව ජයන්ති
සැමරුම් අවස්ථාවේ ප්‍රමෝදයට පත්වෙමු. අප සියලු දෙනාට ම සුවසෙත සලසන
සිල්වත් ගුණවත් භික්ෂු භික්ෂුණී සහ උපාසක උපාසිකා සිවුවනක් පිරිසට අපේ
කෘතවේදිත්වය පළ කර සිටිමු.
පරිවර්තනය
නාරාවිල පැට්රික්
|