ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමයේ දී
බොදු පිළිවෙත් ගැන සිතා බලමු
මහනුවර
ඒ.ආර්.ඇම්.ටී. බී.රත්නායක
බුදුරජාණන් වහන්සේ සම්බෝධියට පත්වී මෙම වෙසක් පොහොය දිනට වසර 2600 ක්
සපිරේ.
බුදුන් වහන්සේ සංඝ විනය නීතිය සකස් කොට ඇත්තේ, සංඝයා අතර සාකච්ඡාවෙන්
හා සම්මුතියෙන් කටයුතු සිදු කිරීම සඳහාය. වසර දෙදහසකට වැඩි කාලයකට පෙර
පැවැති සංඝ සභාවල අද අපේ පාර්ලිමේන්තු ක්‍රමයේ දකින්නට ලැබෙන ආකෘතිය
තිබී ඇති බව සඳහන් වේ. ඉන්දියාවේ ෂෙට්ලන්ඩ් හි ඈපානන් , සංඝ සභා
ඉතිහාසය හදාරා හෙළි කොට පෙන්වා දී ඇත්තේද ලෝකයේ සියලු පාර්ලිමේන්තුවල
මව වශයෙන් සැලකෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව බෞද්ධ සංඝ සභා අනුව
පිහිටුවන ලද්දක් බවය.
ලෝක ඉතිහාසයෙහි සඳහන් වන හොඳම ප්‍රජාතන්ත්‍රවාදි විහාරය වී ඇත්තේ
ලංකාවේ මහා විහාරයයි. ඉදින් ඒ ආදර්ශය අනුව අද මෙරට පවතින ව්‍යාකූ®ල
පිළිවෙත් ක්‍රම එක මගකට ගෙන ඒම සඳහා විනය සංගායනාවක් පැවැත්වීම අවශ්‍ය
වී ඇත.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහමට ප්‍රමුඛස්ථානය පිරිනමා ඇති අතර ඒ
අනුව කටයුතු කරන්නට බුද්ධ ශාසන අමාත්‍යංශයක්ද පිහිටුවා ඇත. ඒ අනුව
ශාසනයට වැඩ කොටසක් රාජ්‍ය අනුග්‍රහයෙන් ඉටු වන අතර “ මතට තිත “ වැඩසටහන
යටතේ මෙරට වැසියන් අතර මත්පැන් පානය බොහෝ දුරට සීමා කොට ඇත.
දුම් පානයද, පෙර දී මෙන් ප්‍රසිද්ධ ස්ථානවල, දුම්රිය, බස්රථ ආදිය තුළ
සිදුවීම සම්පූර්ණයෙන්ම නතර වී ඇති අතර දැනට එය නීතියකට යටත් වීමට වඩා,
ස්වයං සංයමයක් බවට පත්වී ඇත. දුම් වැටි අලෙවිය ද වැඩිහිටියන් ට පමණක්
සීමා කොට ඇති හෙයින් එම අංශයෙහි සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ද
කිව හැකිය. මේ අයුරින් ගොඩනැගෙන ආගමික පරිසරය තුළ බෞද්ධ පිළිවෙත් වලද
එකඟතාවයක් තිබිය යුතුය.
“බුද්ධ ධර්මය නො දැන මහා ධර්මධරයන් ලෙස ඇතමුන් අද පෙනී සිටීම නිසා දහමට
විශාල හානියක් සිදුවීමට ඉඩ පැවතුනි. හිතුමතේ ධර්මය විකෘති කරන මානසික
ධර්ම දේශනා ගිහි බෞද්ධ අපට හොඳ පුරුදු දෙයකි. අපගේ දිවිමග සඵල කරගන්නට
දහම පිටුවහලක් කරගෙන ඇත්තේ බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ සිටය.
එහෙත් ඇතැම් අය බණට සවන් දෙන්නේ එයින් පින් ලැබේ යැයි විශ්වාස කොට මිස,
එහි සාරය උරාගෙන තම දිවිමග ධාර්මික කරගන්නට නො වන්නේය. දේශකයාණන්
වහන්සේ නමකට ජාතියක් නැත. උන්වහන්සේ ධර්මය දේශනා කරන්නේ මිනිස්
සමාජයටමය. ඒ අනුව ධර්ම දේශනයකද ශීල ධර්මයක් තිබිය යුතුය.
ශ්‍රී ලංකාවේ බුදුදහම නැත්තේ නොවේ. එයින් පොහොසත් එකම රට මෙයයි. ලෝක
පූජිත පඬිවරයන් වෙන කිසිම රටකින් නො ලැබූ දහම් දැනීම අප සංඝරත්නය
ඇසුරෙන් ලබාගෙන ඇත. රීස් ඩෙවිඩ්ස් පඬිතුමා අපේ හාමුදුරුවන්
වහන්සේලාගෙන් ආර්යය අෂ්ටාංගික මාර්ගය ගැන ඉගෙන ගෙන බෞද්ධාගම පිළිබඳ මහා
විශාරදයෙක් වීය. මේ ආකාරයට බටහිරින් පැමිණ අපේ සංඝ රත්නයෙන් දහම් දැනුම
ලබා භික්ෂූන් මෙන් ම ගිහියන් වශයෙන් වැජඹෙන විදේශකයින් අප්‍රමාණව ඇත.
බුදුරජාණන් වහන්සේගේ ආගමික සන්නිවේදනය තුළින් උන්වහන්සේ උත්සුක වූයේ
පුද්ගලයා සංවර කිරීමටය.
අසන්සුන් පුද්ගලයා සන්සුන් කිරීමටය. දුශ්සීල පුද්ගලයා සිල්වත් කිරීමටය.
මධ්‍යස්ථ දෘෂ්ටි කෝණයකින් අප සමාජය දෙස බලන විට දැක ගත හැකි වන්නේ,
මෙරට භෞතික අංශයෙන් සෑහෙන ප්‍රගතියක් ලබා ඇතත්, අධ්‍යාත්මික අතින්
ඇත්තේ ඇතැම් විට තරමක පිරිහීමක් බවයි.
පොහෝ දිනක හෝ විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේට මලින් හා සුවඳින් පිදීම
වැදගත්ය. සෑම බෞද්ධයෙකුම එසේ කරන්නේ නම් එය ආගමටත් සමාජයටත් යහපත්ය.
නමුත් එයින් ම බෞද්ධයෙකු වූවා යැයි නො සිතිය යුතු ය. තමා ගේ් සිත
විහාරය කොට දිනපතා ගුණ දහම් නමැති මලින් බුදුන් පුදන තෙක් කෙනෙක් සැබෑ
බෞද්ධයෙකු වන්නේ නැත.
කෙනෙක් තමාටත් අනුන්ටත් යහපත් දේ පමණක් කරන්නේ නම්, අයහපත් දේ නොකරන්නේ
නම් එපමණින් ම ඔහු බෞද්ධයෙක් වන බව බුද්ධ දේශනයයි.
පස් පවින් වැළකීම බෞද්ධයෙක් වීමට ප්‍රමාණවත්ය. එවිට මෙලොව ජිවත් වීමට
යහපත් තැනක් වනු ඇත. සසර දුකින් මිදීම තවත් පියවරකි.
මේ කාරණා පැහැදිළි මඟකට ගෙන “ පිළිවෙතින් පෙළ ගැසෙමු “ යන තේමාව සාර්ථක
කරගැනීම සඳහා සංඝරත්නය එක් වී සංගායනාවක් පැවැත්වීම සම්බුද්ධත්ව
ජයන්තියේ ප්‍රමුඛ කාර්යය විය යුතු බව පෙනේ.
|