මැදින් අමාවක 2011.04.02
ප්‍රබුද්ධ පුරවැසියන් ගේ
පරිණාමය
පරිභෝජනවාදී බටහිර චින්තනයේ ආධිපත්‍ය යටතේ නිර්මාණය වූ සෑම
විසැඳුමක් ම තවත් අර්බුදයකට මඟ පාදන ලෝක රටාවක ජීවත්වීමට අපට
සිදු වී තිබේ. කොසොවෝ අර්බුදය, ඉරාක යුද්ධය, ඇෆ්ගනිස්ථානයේ
පාලනය, ලිබියාවේ ගඩාෆිට එරෙහි ජගත් යුද මෙහෙයුම ආදී කවර
අන්තර්ජාතික සිදුවීමක් වුව ද පවසන සත්‍ය එය යි. ඇමෙරිකාව
ප්‍රමුඛ බටහිර රටවල් මුහුණ දුන් ආර්ථික අර්බුදය සමඟ ද
පරිභෝජනවාදී බටහිර චින්තනයේ දුගී බව බැඳී පවතී. එහෙත් මෙයට
සැබෑ විකල්පයක් විය හැකි බෞද්ධ බුද්ධි සම්ප්‍රදාය ආසියානුවන්
විසින් ද නො සලකා හැර තිබේ. එ පමණක් ද නො ව බටහිර ජාතීන්ට වඩා
බටහිර චින්තනය අගයන පිරිසක් බවට ආසියානුවෝ අද පත් ව සිටිති.
මෙය තමන් සතු රන් ආකරය හාරා ගැනීම වෙනුවට ජේත්තුකාර දිළින්දකු
ගෙන් හිඟමන් යැදීමක් වැනි ය. එ සේ වුව ද මේ හිඟමන් යැදීම වඩාත්
අර්ථාන්විත නම්බුකාරකමකැයි සිතන ලෝකයක අපි ජීවත්වෙමු.
බෞද්ධ බුද්ධි සම්ප්‍රදාය ලොවට දායාද කළ භාරතීයයන් මෙන් ම එය
ලොවෙන් තුරන්වීමට නො දී රැකගත් ශ්‍රී ලාංකිකයන් ද බටහිර
චින්තනයට ගැතිවීම කනගාටුවට කරුණකි. මේ රටවල මධ්‍යම පාන්තිකයන්
ගේ බටහිර විශ්ව විද්‍යාල වන්දනාව දෙස බැලූවිට මෙය වටහා ගැනීමට
පුළුවන. ඇමෙරිකාවේ, එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, නැත්නම්
සිංගප්පූරුවේ හෝ විශ්ව විද්‍යාලයක උපාධියක් ලබා ගැනීම ස්වර්ණමය
අවස්ථාවක් ලෙස ඔවුහු සලකති. දහවන සියවසේ දී ශිෂ්‍යයන් දස දහසකට
නේවාසික අධ්‍යාපනය සැපැයූ නාලන්දා විශ්ව විද්‍යාලයය පැවැති
ඉන්දියාවේ පවා අද තත්ත්වය මෙ බඳු ය.
ගුප්ත යුගයේ දී ආරම්භ කළ පැරැණි දඹදිව බෞද්ධ අධ්‍යාපනයේ
කේන්ද්‍රස්ථානය ලෙස පැවැති නාලන්දා විශ්ව විද්‍යාලයය යළි
ගොඩනැඟීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන්නේ මෙ බඳු පසුබිමක ය.
පැරැණි රජගහ නුවරට නුදුරින් (වත්මන් බිහාර් ප්‍රාන්තයේ පැට්නා
දිස්ත්‍රික්කයේ) පිහිටා තිබූ නාලන්දා විශ්ව විද්‍යාලයය 13 වන
සියවසේ දී මුස්ලිම් ආක්‍රමණිකයන් අතින් විනාශයට පත්විය. එය යළි
ගොඩනැඟීමේ යෝජනාව ඉදිරිපත් වූයේ 2006 වසරේ නොවැම්බර් මස
සිංගප්පූරුවේ පැවැති සම්මන්ත්‍රණයක දී ය. එහි දී එම යෝජනාව
ඉදිරිපත් කරන ලද්දේ සිංගප්පූරුවේ විදේශ ඇමැති ජෝර්ජ් යෙඕ
විසිනි. නාලන්දා ව්‍යාපෘතිය නැඟෙනහිර ආසියානු ශිෂ්ටාචාරයේ
ප්‍රධාන කොටසක් වන බෞද්ධ සාරධර්ම හා දර්ශනය පිළිබඳ
ව්‍යාපෘතියක් විය යුතු බව ද ඔහු එම යෝජනාව ඉදිරිපත් කරමින්
කියා තිබේ. අතීතයේ දී මේ විශ්ව විද්‍යාලයය මඟින් සිදු වූ
ආකාරයට ම පුළුල් ක්‍ෂේත්‍රයක විද්වතුන් හා සිසුන් ආකර්ෂණය
කැරෙන ආසියානු පුනර්ජීවනයේ සංකේතයක් ලෙසින් නව නාලන්දාව
ගොඩනැඟිය යුතු බව ඔහු ගේ අදහස යි.
එවකට ඉන්දීය ජනාධිපතිවරයා වූ ආචාර්ය අබ්දුල් කලාම් විසින්,
ප්‍රබුද්ධ පුරවැසියන් ගේ පරිණාමය යැයි හඳුන්වන ලද මේ
ව්‍යාපෘතිය කොටස් තුනකින් සමන්විත විය යුතු බව කියා තිබේ. එම
කොටස් තුන මෙ සේ ය.
(1) සාරධර්ම පද්ධතියකින් යුත් අධ්‍යාපනයක් ලබාදීම.
(2) ආගම මිනිස් ජීවිතයේ අධ්‍යාත්මය බවට පත් කිරීම.
(3) සමාජයීය පරිණාමය සඳහා ආර්ථික සංවර්ධනය ඇති කිරීම.
මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නාලන්දා විශ්ව විද්‍යාල
පනත ඉන්දීය රජය විසින් පසුගිය වසරේ අගෝස්තු මස 21 වන දා සම්මත
කරන ලදී. ඒ සඳහා අක්කර 500 ක ඉඩමක් පැරැණි නාලන්දා විශ්ව
විද්‍යාලයය පිහිටි ප්‍රදේශයට ආසන්නයෙන් වෙන් කැරැ තිබේ. ආර්ථික
විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගලාභී බෙංගාල ජාතික මහාචාර්ය
අමාර්ට්‍ය සෙන් නාලන්දා උපදේශක මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු
කැරේ.
පශ්චාත් උපාධි ආයතනයක් ලෙස ගොඩනඟන නාලන්දා විශ්ව විද්‍යාලයට
ජාත්‍යන්තර සබඳතා සහ සාම අධ්‍යයන පීඨය, ව්‍යාපාර කළමනාකරණය සහ
සංවර්ධන අධ්‍යයන පීඨය, තොරතුරු විද්‍යා සහ තාක්ෂණ පීඨය,
ඓතිහාසික අධ්‍යයන පීඨය, බෞද්ධ අධ්‍යයන, දර්ශනය සහ තුලනාත්මක
ආගම් පිළිබඳ පීඨය, භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ පීඨය සහ පරිසර
විද්‍යාව සහ සාහිත්‍ය පිළිබඳ පීඨය ආදිය ඇතුළත් වනු ඇත. මෙහි උප
කුලපති ලෙස සමාජවිද්‍යා මහාචාර්යවරියක වන ගෝපා සභාර්වල්
මහත්මිය පත් කොට අවසන් ය.
කෙ සේ වුව ද නාලන්දා ව්‍යාපෘතියට දැනටමත් විවේචන එල්ල වී තිබේ.
බෞද්ධ රටක් නො වන සිංගප්පූරු රජයේ මැදිහත් භූමිකාව, බෞද්ධ
බුද්ධි සම්ප්‍රදායට උරුමකම් කියන ශ්‍රී ලංකාව, බුරුමය
(මියන්මාරය), තායිලන්තය හෝ තිබ්බතය මෙයට සම්බන්ධ කැර නො ගැනීම
හා මේ සඳහා තෝරාගෙන ඇති විද්වතුන් බටහිර ගැති පුද්ගලයන් වීම මේ
විවේචනවලට අයත් ය.
මේ සියලු කරුණුවලින් පැහැදිලි වන්නේ බෞද්ධ බුද්ධි සම්ප්‍රදාය
යළි ගොඩනැඟීමේ දුෂ්කරතාව නො වේ ද? |