UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

රස තෘෂ්ණාවෙන් මිදීම

ඇස, කන, නාසය, දිව, කය, සිත යන ආයතන සය උපයෝගි කොට ගෙන ගන්නා අරමුණු විෂයෙහි විඳීම ට ඇති කැමැත්ත රස තෘෂ්ණාවයි.

බුදුහිමියන් දේශනා කළේ මේ රස තෘෂ්ණාවෙන් මිදිමටයි. ඒ තෘෂ්ණාව දිවෙන් ගන්නා මස් මාංශ හෝ විශේෂිත ආහාරයක් නිසා පමණක් ඇතිවෙන දෙයක් නොවේ. ඇසත් රූපයත් නිසා, කනත්

ශබ්දයත් නිසා, නාසයත් ගඳ සුවඳත් නිසා, දිවත් ආහාරයත් නිසා, කයත් ස්පර්ශයත් නිසා, සිතත් සිතිවිලිත් නිසා මේ රස තෘෂ්ණාව ඇති වේ.

මානව ඉතිහාසයෙහි මෙන්ම අද දිනයේදීත් හෙට දිනයේදීත් විවාදයට බඳුන් වුණ බඳුන් වන ප්‍රශ්න අතරින් ‘ නිර්මාංශ ආහාර ප්‍රශ්නය’ වැදගත් තැනක් ගනී. කිසි දිනෙක නිශ්චිත, ප්‍රමාණවත් පිළිතුරක් නොලැබෙන තර්ක විතර්කයන්ට ම භාජනය වෙමින් අතීතයෙන් අනාගතයට දිවෙන ප්‍රශ්නයකි මෙය. කොටසක් බෞද්ධයෝ නිර්මාංශ විය යුතු බව ප්‍රකාශ කරන අතර තවත් පිලක් එසේ නොවිය යුතු බව කියා තර්ක කරති. කෙස් පැළෙන තරමේ තර්ක ඉදිරිපත් කරති. බුදුහාමුදුරුවෝ ඒ සම්බන්ධ ව මේ මේ දේ ප්‍රකාශ කර ඇතැයි දෙපිරිසම පෙළ අටුවා ආදී ග්‍රන්ථ ඇසුරින් කරුණු දක්වති.

මේ ‘මාංශ’ යන වචනයෙන් මඳක් ඉවත් වී බුදු හිමියන් දේශනා කළ ‘රස තෘෂ්ණාව‘ ගැන විමසා බලන්නේ නම්, ඉගෙන ගන්නේ්නම් බෞද්ධයා සිටිය යුතු ස්ථානය සහ රැකිය යුතු පිළිවෙත මනාව පැහැදිලි වනු ඇත. එමගින් ඉහත ප්‍රශ්නයද නොවැදගත්ව ඉවතට ඇදී යනු නො අනුමානය.

අපි (පුහුදුන් සත්වයෝ) ඇස, කන, නාසය ආදී ආයතන හයෙන් ගන්නා අරමුණු විෂයෙහි නිබඳ ව ඇලී ගැටී මුලා වී සිටින්නෝ වෙමු. හේතුවෙන් හටගත් සංඛත ධර්මයන්ගේ ස්වභාව වූ, ඇති වූ තැන ම බිඳී යන ස්වභාව දැකීමට ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ප්‍රඥාව භාවිත කරගන්නට අපොහොසත් වෙමු. පෘථග්ජන සත්වයා ඒ අරමුණු මගේ ඇස, මගේ ඇසට පෙනෙන රූපය, ඒ නිසා ඇතිවෙන විඳීම යනුවෙන් කෙරෙන අල්ලා ගැනීම නිසා අරමුණෙ හි ඇලී ගැටී මුලාවේ. ‘’වේදනා පච්චයා තණ්හා’’ මුළාවෙන් ලබන විඳීම නිසා තෘෂ්ණාව හට ගනී. තණ්හාව පිළිබඳ බුද්ධ දේශනයෙහි සඳහන් වන්නේ “පොනොභවිකා, නන්දිරාගසහභගතා, තත්‍ර තත්‍රාභි නන්දනි” වශයෙනි. සතුටින් බැස ගැනීම, ඒ ඒ තැන ඇලීම, ඒ නිසාම ඇතිවන පුනර්භවය ලබා දෙන්නේ මේ තෘෂ්ණාවයි.

ඇස, කන, නාසය, දිව, කය, සිත යන ආයතන සය උපයෝගි කොට ගෙන ගන්නා අරමුණු විෂයෙහි විඳීම ට ඇති කැමැත්ත රස තෘෂ්ණාවයි. බුදුහිමියන් දේශනා කළේ මේ රස තෘෂ්ණාවෙන් මිදිමටයි. ඒ තෘෂ්ණාව දිවෙන් ගන්නා මස් මාංශ හෝ විශේෂිත ආහාරයක් නිසා පමණක් ඇතිවෙන දෙයක් නොවේ. ඇසත් රූපයත් නිසා, කනත් ශබ්දයත් නිසා, නාසයත් ගඳ සුවඳත් නිසා, දිවත් ආහාරයත් නිසා, කයත් ස්පර්ශයත් නිසා, සිතත් සිතිවිලිත් නිසා මේ රස තෘෂ්ණාව ඇති වේ.

ඒ විඳීමේ කැමැත්ත යි. පෘථග්ජන සත්වයා සංසාරයෙහි ගමන් කරමින් මේ විඳීම තුළ ම ඇලී ගැලී සිර වී හිඳ ඔහු ගේ එකම අභිලාෂය විඳීම පමණකි. “රූපා රාමා, රූප රතා රූප සම්මුදිතා’’ යනුවෙන් රූපය ආරාමයක් කොට, රූපයෙහි ඇලී, රූපය නිවාසය ක් කොට හිඳින බව ‘මාගන්දිය’ සූත්‍රයෙහි බුදු හිමියන් දේශනා කළේ එහෙයිනි.

සාමණේර ප්‍රශ්නයෙහි දී ‘ඒක නාම කිං’ යනුවෙන් සඳහන් වන තැන පිළිතුර වූයේ සියලු සත්වයන් ආහාර මත ම යැපෙන බවකි. අප විසින් දරා සිටින ඕලාරික ශරීරයේ පැවැත්ම සඳහා මුවින් ගන්නා කබලිංකාර ආහාරය ප්‍රත්‍යය වන්නා සේ ම මේ ජීවිතය සංසාරයේ ප්‍රවෘත්තවීම සඳහා ඵස්ස, මනෝසංචේතනා සහ විඤ්ඤාණ ආහාරය ද ප්‍රත්‍ය වේ.

අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් ඒ නිසා ම ඇතිවෙන විඤ්ඤාණයත් ඒ තුනෙහි ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇතිවෙන විඳීම ත් නිසා සිතේ ඇතිවෙන වෙනස්වීම, සංස්කරණය නිසා ඇතිවන සිතිවිලි (පින් පව් වශයෙන්) මගින් සංසාරය ඉදිරියට ප්‍රවෘත්ත වේ. ඒ හෙයින් බලන කල සංසාර පැවැත්ම වූ කලී ‘විඳීම’ ම ප්‍රත්‍යය කොට ඇති බව පැහැදිලි ය.

තෘෂ්ණාවෙන් මඩින ලද සිත් ඇති පෘථග්ජන සත්වයා ඇසෙන් කනෙන් ආදී වශයෙන් ආයතන සයෙන්ම යම් යම් අරමුණු සංඥා වශයෙන් ගනී. මම, මගේ, මගේ ආත්මය වශයෙන් ගනී. සම්මත ජීවිතයෙහි එදිනෙදා පැවැත්ම සඳහා ඒ අයුරින් හඳුනාගනී. එහෙත් පෘථග්ජන සත්වයා ඒ හඳුනාගන්නා අරමුණින් නතර නොවී එය රස සංඥාවක් බව ට පත්කර ගනී. රස සංඥාවක් බවට පත්කර ගත්තා යනු එය විඳීමක් කර ගැනීමයි. මෙය රසයි හෝ නීරසයි මෙය ගුණයි හෝ අගුණයි මෙය සුබයි හෝ අසුබයි වශයෙන් ගැනීමෙන් රස සංඥාව ඇතිකර ගනී.

එතෙකිනුදු නොනැවතී එය රස තෘෂ්ණාවක් බවට පත් කරගෙන උපාදාන වශයෙන් සගවා ගනී. ආසය අනුසය බවට පත්කර ගනී. කලකට ඉහත සිදුවුණු සිද්ධියක් පවා සතුරු මිතුරු වෙසින් හදිසියේ ම සිත ආක්‍රමණය කරන්නේ එහෙයිනි.

රහත් උතුමෝ ඇසින් ගන්නා අරමුණු සංඥාවක් ලෙස හඳුනා ගත්ත ද ‘මේ ජේතවනාරාමය යි. මේ මව සාරි බැමිණිය’ යි වශයෙන් හඳුනා ගත්තද ඒ අරමුණ රස සංඥාව ක් බවට පත්කර නොගනිති. එසේ හෙයින් ම එය රස තෘෂ්ණාව ක් බවටද පත් නොවේ. එනිසාම උපාදාන පංචකයක් ද ඇති නොවේ. බුදුරජාණෝ අපට උපදෙස් දුන්නේ ‘දිට්ඨෙ දිටඨ මත්තං භවිස්සති’ දුටුව දුටුවක්ම දැකීම් මාත්‍රයක්ම පමණක් කරගන්නා ලෙසයි. අල්ලා නොගන්නා ලෙසයි. දෙයක් තැනක් කෙනෙක් ලෙස සමූහ ගණ, සන්තති ගණ, ආරම්මණ ගණ, ක්‍රියා ගණ වශයෙන් ගෙන සංඥාවන් නොගෙන සංඥා මාත්‍රයෙන් ම නවතින ලෙසයි. දුටුව දුටුවක් මිස දුටු දෙයක් කරගෙන රස සංඥාවක් ඇතිකරගෙන එම ම රස තෘෂ්ණාව ක් බවට පත්කර ගෙන පුර්භවයක් ඇතිකර ගැනීම නොකරන ලෙසයි.

ඥානවන්ත බෞද්ධයා බුදුන් සරණ ගිය බෞද්ධයා දිවෙන් ගන්නා ආහාරය කුමක් වුව තම ශරීර සෞඛ්‍යයට තම වයසට පමණක් නොව තමා ගේ ඒකායන බලාපොරොත්තුව වන සසර ගමන නැතිකර ගැනීමට සුදුසු ආහාර මත ම යැපීමට වගබලා ගනී. ලද දෙයින් සතුටු වේ. සරල දිවි පැවැත්ම ඇතිකර ගනී.

මස්, මාළු වැනි ආහාර කෙරෙහි පමණක් නොව කිසිදු ආහාරයක් කෙරෙහි ගිජු නොවී, දිව පමණක් නොව ඇස, කන, නාසය ආදි සියලු ම ආයතනද සංවර කර ගනී. සංවර ශීලයෙහි පිහිටා බාහිර අරමුණු කෙරෙහි හැකි පමණ මධ්‍යස්ථවීමට උපේක්ෂා සහගතවීමට උත්සාහ ගනී. ඔහුට ඒ නිසා ම නිර්මාංශ ප්‍රශ්නය තවදුරටත් ප්‍රශ්නයක් ද නොවේ.

එසේ හෙයින් ‘ඉපිද මැරේ යළි ඉපදේ’ යන සසර බැඳීමෙන් ඉවත් වී බෞද්ධයා ගේ ඒකායන පරමාර්ථය වන, මේ බඹයක් පමණ වූ ගිනිගෙන දැවෙන ලෝකයෙහි එකොළොස් ගිනි නිවා සැනසීමට නිවනෙන් නිවීම ට නම් සංඥා , රස සංඥා, රස තෘෂ්ණා අවබෝධ කරගෙන ‘විඳීමෙන් මිදීම’ ට කවුරුත් උනන්දු විය යුතුය. දෙදහස් හයසියයේ සම්බුද්ධත්ව ජයන්තිය සඳහා කෙරෙන හොඳම සුදුසුම පිළිවෙතෙන් පෙළ ගැසීමද එය වනු ඇත.

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය අප්‍රේල් 02 වන දා සෙනසුරාදා අපර භාග 05.36 ට ලබයි.
03 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 02 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 11 වනදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]