UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සියල්ල සිදුවන්නේ කර්මය‍ට අනුවම ද?

පළමුවරට මනෝ විද්‍යාත්මක, දාර්ශනික මෙන්ම ආචාර විද්‍යාත්මක පදනමක් මත කර්ම සංකල්පය ඉදිරිපත් කර ඇත්තේ බුදුදහම ය. කර්මය පිළිබඳව ඉදිරිපත් කර ඇති අර්ථ දැක්වීම් විවිධ ස්වරූප ගෙන තිබේ. කර්මය පිළිබඳ වඩාත් ජනකාන්ත විවරණය මෙන්ම දාර්ශනික විවරණ ද දක්නට ලැබේ. බෞද්ධ කර්ම සංකල්පය අතිශය ස්වාධීන මාර්ගයකි. එය වෙනත් කිසිම කර්මවාදයක අනුකරණයක් හෝ අනුයෝජනයක් නොවේ. බුදුදහම කර්මය යැයි කියන්නේ චේතනාවටයි.

“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරොති, කායෙන වාචාය මනසා” (චේතනාව මම කර්මය යැයි කියමි. සිතින් සිතා කයින් වචනයෙන් හා මනසින් කර්ම රැස් කරයි.)

හොඳ - නරක, හරි – වැරැදි වශයෙන් තමන්ට ඇතිවන ක්‍රියාමාර්ගයක් තෝරා ගැනීමේ හැකියාව පුද්ගලයා සතුව පවතී. පුද්ගලයා නිරවුල් බුද්ධියෙන් ලබන අවබෝධයෙන් තම ක්‍රියාවන් තෝරාගත යුතු ය.

බුදු දහමෙහි කර්ම සංකල්පය එක් අතකින් මිනිස් සන්තානගත අධිපති චෛතසිකයක් වශයෙන් මෙන්ම ලොව හැමතැන පැතිර පවත්නා නියාමයක් හැටියට ද විවරණය වෙයි. මිනිසත් බවේ වටිනාකම කෙරෙහි මෙන්ම මිනිස් ඉරණම විනිශ්චය කිරීම කෙරෙහි ද කර්මය බලපාන බව බුදු දහම පිළිගනී. මුළු ලෝකයම කර්මය අනුව රඳා පවතී. සියලු මිනිස් සමාජය ද එසේම ය. ගමන් ගන්නා රථයේ කඩ ඇණය මෙන් සියලු සත්ත්වයෝ කර්මය සමඟ බැඳී ඇත.

“කම්මනා වත්තතී ලෝකො - කම්මනා වත්තතී පජා
කම්ම නිබන්ධනා සත්තා - රථස්සාණීව යායතේ”

කර්මය හා විපාකය අතර පවත්නා සම්බන්ධය කිසියම් පුද්ගලයකුගේ මෙහෙයවීමෙන් සිදුවන්නක් නොව, වැපිරීම අනුව අස්වැන්න ලැබීම සිදුවන අයුරින් ස්වයං ක්‍රියාකාරීත්වයෙන් සිදුවන්නක් හැටියට බුදු දහම විස්තර කරයි.

යාදිසං වපතේ බීජං - තාදිසං හරතෙ ඵලං
කල්‍යාණ කාරි කල්‍යාණං - පාපකාරිච පාපකං
පවුත්තං තාත තේ බීජං - ඵලං පච්චහුගොස්සති”

චුල්ලකම්ම විභංග සූත්‍රයේ දී සුභ මානවකයාට කරුණු දක්වන බුදුරජාණන් වහන්සේ “මානවකය සියලු සත්ත්වයෝ කර්මය ස්වීය කොට, දායාද කොට ප්‍රභවකොට පිළිසඳර කොට ඇත්තාහ. සතුන් හීණ ප්‍රණීත වශයෙන් බෙදන්නේ කර්මය යි” යනුවෙන් දක්වා ඇත.

“කම්මස්සකා මානව සත්තා දායාදං කම්මයොනි කම්මබන්ධු කම්මපටිරතා, කම්මං සත්තෙ විභජති හිනප්පණිතායාති”

කර්මය නිවහල් පුද්ගලයා සසර බැඳ තබයි. කර්මයේ නිරෝධය සසර බන්ධනයෙන් පුද්ගලයා නිදහස් කරයි. මේ අනුව විමුක්තිය යනු බන්ධනයෙන් මිදීමයි. ප්‍රාණඝාතාදී කර්ම කරන්නා කය බිඳීමෙන් මරණින් මතු අපායෙහි උපදී. යම් හෙයකින් ඔහු අපායගාමී නොවන්නේ නම් මිනිසත් බවක් ලබයි නම් අල්පායුෂ්ක වෙයි. යමෙක් ප්‍රාණඝාතයෙන් වෙන්ව දයාබර පැවතුම් ඇතිව වෙසෙයි නම් මරණින් මතු සුගතිගාමි වෙයි. මිනිසත් බව ලබයි නම් දීර්ඝායුෂ්ක ද වෙයි. සමාජය වෙහෙසන පුද්ගලයා ආබාධ බහුලව උපදියි. කෝපාවිෂ්ඨ වන්නා හා ඊර්ෂ්‍යා සහගත පුද්ගලයා අල්පේශාක්‍ය වේ. මානාධික තැනැත්තා පහත් කුලවල උපදී. දානාදී දස පුණ්‍ය ක්‍රියා නොකරන්නා අල්පභෝගී වේ. මහණ බමුණන් ආදී ගරු කටයුත්තන්ට නිගරු කරන්නා මන්දබුද්ධිකව උපදී. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳ ජනරංජනීය විවරණයක් සපයා තිබේ.

මජ්ඣිම නිකාය සාලෙය්‍යක සූත්‍රයේ දී අධර්ම චර්යා විෂම චර්යා හේතුවෙන් ඇතැම් සත්වයන් දුගතියෙහි උපදින බවත්, ධර්මචර්යා සම චර්යා හේතුවෙන් සුගතිගාමි වන බවත් දක්වා ඇත. මජ්ඣිම නිකායේ කුක්කුරවතී සූත්‍රයට අනුව මිනිස් කය දරමින් සුනඛ ව්‍රත පුහුණු කරන්නේ නම් මරණින් මතු සුනඛයන් අතර ඉපදීමට බොහෝ ඉඩ ඇත. තේවිජ්ජ සූත්‍රයට අනුව බ්‍රහ්ම විහරණ පුහුණු කිරීම බ්‍රහ්මයන් අතර ඉපදීමට හේතුවකි. කර්මයට අනුරූපව විපාක ලැබෙන අන්දම පේතවත්ථු, විමානවත්ථු දෙකේ ද දක්වා තිබේ.

පුද්ගලයකු විසින් තම ජීවිතය තුළ කරගත් කර්ම සියල්ලම එම ජීවිතය තුළ ම ඵල දැරිය නොහැකි ය. ඒ නිසා කර්ම ඵලදැරීම ඊළඟ ජීවිතයට හෝ ජීවිත ගණනාවක් තුළ දී හෝ සිදුවිය යුතු ය. මේ අනුව බලන විට කර්මවාදය අර්ථවත් කිරීම සඳහා පුනර්භවය ද අත්‍යවශ්‍ය සාධකයක් බව පෙනේ. තමන් විඳින දුකට හේතුව වෙනත් අයෙක් කළ කර්මයක් නොව තමන් විසින් ම සිදුකළ කර්මයක් බව තේරුම් ගැනීමට ද මෙය සාධකයකි.

මුගලන් තෙරුන් වහන්සේට මහත් සෘද්ධිබල තිබුණත් සොරුන්ගෙන් පහර කා අපවත් වන්නට සිදුවූයේ පෙර කරන ලද අකුසල කර්මයක් නිසා ය. බුදුරජාණන් වහන්සේට වරින් වර හිසරදයක් හටගත්තේ ද පෙර කරන ලද අකුසල කර්මයක් නිසා ය. දෙව්දත් බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙකු වුවත් අඩුම තරමින් සෝවාන් ඵලයවත් නොලැබුයේ කරන ලද ආනන්තරිය පාපකර්ම නිසා ය. කෝසල මල්ලිකා රජ සැප වින්දත් මරණින් පසු ටික කාලයක් පේත භවයක උපත ලබා සිටියේ පෙර ඇය විසින් කරන ලද අකුසල් ක්‍රියාවක් නිසා ය. කර්මය පුද්ගලයාට බලපාන බවට මේ උදාහරණ කිහිපයක් පමණි.

මිනිසාගේ දුක සැප විනිශ්චය කරන ප්‍රබල සාධකය කර්මය වූවද සියලු වේදනීය ධර්මයන් පූර්වකෘත කර්මය නිසාම සිදු නොවන බවද බුදුරජාණන් වහන්සේ ම දක්වා තිබේ. අංගුත්තර නිකායේ සීවක සූත්‍රයේ ඉදිරිපත් කෙරෙන කරුණු මෙහිදී වැදගත් වේ.

“ඇතැම් ආගමික කොටස් දුක සැප සියල්ලම කර්මය නිසා සිදුවන බව කියයි” යැයි මොලීය සීවක බුදුරජාණන් වහන්සේට කියයි. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ කර්මය යනු පුද්ගල ජීවිතයේ දී බලපාන එකම එක සාධකයක් පමණක් වන බවයි. ඊට අමතරව පුද්ගල ජීවිතය කෙරෙහි පිත, සෙම, වාතය, තුන්දොස කිපීම, සෘතු විපර්යාසය, අන්‍යයන්ගේ උපක්‍රම යන කරුණු හතම බලපායි.

“පිත්තං සෙම්හං ච වාතෝච - සන්නිපාතා උතුනීච
විසමං ඕපක්කම්කො ච – කම්ම විපාකේන අට්ඨම”

යම්කිසි පුද්ගලයකුගේ කකුලක කටුවක් ඇනුණේ යැයි සිතමු. මෙය ඔහුගේ කරුමය යැයි කර්මයට භාරකළ හැකි ද? යම්කිසි ශිෂ්‍යයකු හෝ ශිෂ්‍යාවක කිසියම් විභාගයකින් අසමත් වුවහොත් එය ඔහුගේ හෝ ඇයගේ කරුමය වන්නේ ද? ධනසම්පත් යහමින් තිබූ පුද්ගලයකු නැවැත ආයෝජනය සඳහා ධනය නොයොදා ඒවා පමණට වඩා භුක්තිවිඳීම නිසා කෙටිකාලයක් තුළ දිළිඳු වූයේ යැයි සිතමු. (බෞද්ධ සාහිත්‍යයයේ එවන් කතාපුවත් ඕනෑ තරම් තිබේ.) එය ඔහුගේ කරුමෙද? නැත, උදාසීන, කම්මැලි පුද්ගලයා තමන්ට පැවරෙන කාර්යය නිසිසේ ඉටුකිරීමට උත්සාහ නොදරයි. තමන් විසින් කළ යුතු කටයුතු පවා වෙනත් කෙනකු කරන තුරු බලා සිටීම ඔහුගේ සිරිතය. නිසිමාර්ගය උත්සාහය, කල්පනා කොට වැඩකිරීමේ හැකියාව තිබේනම් ඉගැනීමට කුලයෙන් ඇති ප්‍රයෝජනය කිම්ද? පරම්පරාවෙන් උරුම වූ හෝ වෙනත් අයකු විසින් පවරාදුන් හෝ විශාල ධනයකට උරුමකම් ලැබූවකු ඒ ධනය නැවැත ආයෝජනයෙහි නොයොදා අරපිරිමැස්මෙන් තොරව පමණට වඩා භුක්තිවිඳින්නේ නම් කල්නොයවාම ඔහු දිළිඳුවෙනවා ඒකාන්තය. දිනකට රුපියල් සියයක් උපයා දෙසීයක් වියදම් කරන්නාද මේ ගණයටම අයත් වේ. මේ සියල්ල පුද්ගලයා පෙර කළ කර්මවලට භාරදිය හැකි ද? පරාභව සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අවශ්‍ය පමණට වඩා නිඳ ගැනීම, අනවශ්‍ය සේ කල්ලිගැසී කයිවාරු ගැසීම පුද්ගලයෙක් පරිහාණියට හේතුවන සාධක බවයි. පුද්ගල ජීවිතයට බලපාන කරුණු අටකින් කර්මය යනු එකක් පමණි.

“උතුබීජ නියාමෝච – කම්ම ධම්ම නියාමතා
චිත්තස්සව නියාමෝති - ඤෙය්‍යා පඤ්ච නියාමතා”

ලොව පැවැත්ම සඳහා උතු නියාමය, බීජ නියාමය, ධම්ම නියාමය, චිත්ත නියාමය හා කම්ම නියාමය යන නියාම ධර්ම පහම බලපායි. අඹ ඇටයක් සිටුවා කොස් ගෙඩියක් බලාපොරොත්තු විය නොහැකි ය. බීජයට අනුව පැළැය ඇතිවීම වැළැක්විය නොහැක්කකි. ගංගාවක් හැමවිටම ගලන්නේ පහළට ය. සූරියකාන්ත මල ඉර දෙසට හැරීම ස්වාභාවිකවම සිදුවන්නකි. තද වැහිකාලයට සීතල දැනීම සෘතු විපර්යාසය නිසා සිදුවන්නකි. රශ්නය අධිකව දැනෙනවිට දහදිය දැමීම ඉබේම සිදුවන්නකි. මෙවැනි සංසිද්ධීන් කිසිවකුට වෙනස්කළ නොහැකි ය. ස්වාභාව ධර්මානුකූලවම සිදුවෙයි. පංච ආනන්තරිය කර්ම හැරුණු කොට ඇති අනෙකුත් සියලුම කර්ම පුද්ගල ශක්තිය හා උත්සාහය මඟින් වෙනස්කළ හැකි ය. අංගුලිමාල මිනිසුන් 999 ක් මරා ප්‍රාණඝාත පාප කර්මය සිදු කළ අයෙකි. එහෙත් එම අකුසල් ඵලදීමට පෙර පුද්ගල උත්සාහය මත යථාර්ථය පසක්කර ගැනීමට හැකි විය. සුනීත හා සෝපාක එදා පහත්ම කුලය ලෙස හංවඩුගසා සිටි සැඩොල් කුලයේ උපන් අයයි.

එහෙත් සිත මනාව දමනය කළ ඔවුන්ට මගඵල ලැබීමට හැකි විය. ජීවක, ගණිකාවකට දාව උපන් කසළ ගොඩේ විසිකර දමන ලද දරුවෙකි. දක්‍ෂතාවය නිසා රටේ රජතුමාටත් බුදුරජාණන් වහන්සේටත් ප්‍රතිකාර කිරීමේ හැකියාව ඔහුට ලැබිණි. චුන්දසූකරික දෙව්රම් වෙහෙර ළඟ වාසය කළත් එක බණ පදයක්වත් ඇසීමට නොගියේ ඒ සඳහා ඕනෑමකමක් නොතිබූ නිසා ය.

පුද්ගල ශක්තිය, පෞරුෂය, ස්වච්ඡන්දතාවය බුදුරජාණන් වහන්සේගේ ඇගැයුමට ලක් වූ ඒවා ය. ඕනෑම පුද්ගලයකු සතුව කුමන හෝ දක්‍ෂතාවයක් සැඟ වී පවතී. එය ඉස්මතු කරගෙන ඔපදමා ගැනීමට සමාජය ඔහුට හෝ ඇයට ඉඩ ලබාදිය යුතු ය. හිඟන්නා හැමදාම හිඟන්නෙකුම විය යුතු නැත. ඇතැම් විට සමාජයේ වැරැදි නිසා ඔහු ඒ තත්ත්වයට පත්වුණා වෙන්නට ද බැරි නැත. අප පෙර කරපු කරුමෙ කියා හැමදාම විලාප ගහමින් කවුරු හෝ දෙනකම් බලාසිටින්නට ද අවශ්‍ය නැත. සුදුසුකම් නැතිව අනුන්ගේ ශක්තියෙන් ලොකු ලොකු තානාන්තරවලට රිංගීමට උත්සාහ කළ යුතු ද නැත. කළ යුත්තේ අප අපගේ ශක්ති ප්‍රමාණයෙන්ම නැඟී සිටීම ය. මිනිසා කර්මයේ වහලෙක් වියයුතු නැත.

වේදනීය කර්මයක් සිදුකර ඇත්නම් ඊට අනුරූපව විපාක විඳීම අනිවාර්ය වේ. (යථායථා වේදනීයං අයං පුරිසො කම්මං කරොති. තථා තථාස්ස විපාකං පටිසංවේදියතීති) වේදනීය යනු විඳිය යුතුය යන්නයි. සිතෙහි ඉතා ගැඹුරු ලෙස සටහන් වේනම් එම සිද්ධිය නැවැත නැවැත මතක් වේනම් හෝ එය වේදනීය කර්මයකි. එවන් වේදනීය කර්මවල විපාක පුද්ගලයාට අනිවාර්යයෙන්ම විඳීමට සිදුවේ. පංච ආනන්තරීය පාප කර්ම එවැනි වේදනීය කර්මය. එවැනි වේදනීය නොවන බලවත් නොව කර්මවල විපාක කුසල් කිරීමෙන් හා භාවනානුයෝගී වීමෙන් බොහෝදුරට වළකාගත හැකි ය. “යමෙකු කරන ලද පාප කර්ම (පසුව කරන ලද) කුසල කර්මයන්ගෙන් වැසේද ඔහු වළාකුලෙන් මිඳුණු සඳ මෙන් මෙලොව ආලෝකවත් කරයි.” (ධම්මපදය), විපාක විඳීමට සිදුවන්නේ විපාක විඳීමට ඉඩ සලසාදෙන කර්ම පමණි. එබැවින් පුද්ගලයාට නැවැත නිසිමඟට පැමිණීමේ හැකියාව බුදුදහම සනාථ කර ඇත.

සියල්ල කර්මයෙන් සිදුවන්නේ නම් පුද්ගල ශක්තියේ කිසිදු වටිනාකමක් නැත. වීර්යය, ප්‍රඥාව, අධිෂ්ඨානය, උත්සාහය යන වචන අර්ථ ශූන්‍ය විය යුතු ය. එහෙත් දෛනික ජීවිතයේ දී මෙම වචනවලට ලැබෙන්නේ වඩා වැදගත් තැනකි. තමා කරන දේ වගකීම ගත යුත්තේ තමාම ය. කෙනකු පිරිසුදු කරන්නේ ද අපිරිසුදු කරන්නේ ද වෙනත් කවරකු හෝ නොව තමාමය. (ධම්මපදය – අත්තවග්ග) තීරණ ගැනීමේ අයිතිය හා වගකීම පුද්ගලයා වෙතම පැවරේ. ඒ සඳහා වෙනත් අයගෙන් උපදෙස් ගැනීමට හැකිය (අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය) ඒ අනුව කර්මය යනු පුද්ගල ජීවිතයට බලපාන කරුණු අටක් අතරින් එකක් පමණි.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා අපර භාග 12.31 ට ලබයි.
23 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 02.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා බදාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 1 වන දා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]