බිනර පුර පසළොස්වක 2010. 09. 22
තාක්‍ෂණික පරිභෝජනවාදය
කාලීන වශයෙන් ඉතා වැදගත් ලිපියක් අද දින පත්‍රයේ 18 හා 19 යන
පිටුවල පළකොට තිබේ. ‘තාක්‍ෂණික ලෝකයේ භික්‍ෂු ප්‍රතිපදාව ‘
නමැති එම ලිපිය ලියන ලද්දේ ශාස්ත්‍රපති සුරක්කුලමේ පේමරතන
හිමියන් විසිනි. එය කුමක් අරබයා ලියූ ලිපියක් දැයි අවබෝධ කැර
ගැනීම සඳහා එයින් වාක්‍ය කිහිපයක් උපුටා දැක්වීමට කැමැත්තෙමු.
“තාක්‍ෂණික මෙවලම් උපකරණ භාවිතයේ දී ඒවායෙන් වසගයට පත්ව
ක්‍රියාකරන ගිහි සමාජයට වඩා වැඩි වෙනසක් භික්‍ෂු සමාජය තුළ
දක්නට නැත. නූතන තාක්‍ෂණික මෙවලම් පිළිබඳ තිබිය යුතු නිවැරැදි
ආකල්ප පමණක් නො ව ඒවා ශ්‍රමණ ස්වරූපයට අනුගත ව භාවිත කළ යුතු
නිවැරැදි පිළිවෙත පිළිබඳ අවබෝධය ද නූතන භික්‍ෂූ සමාජයෙන්
ගිලිහී යන අයුරු අද දැක ගත හැක. ජංගම දුරකතන භාවිතය පණිවිඩ
හුවමාරුවට ඉතා පහසුකර වුවත් එයින් භික්‍ෂූන් වහන්සේ ගේ චර්යාව
තුළ නො ගැළපීම් රැසක් නිර්මාණය වී ඇත.”
මේ කාරණය අරබයා මෙයට තෙ වසරකට පමණ පෙර - එ නම් 2007.10.03 වන
දා - අප ලියූ කතු වැකියක් මෙහි උපුටා දැක්වීම මැනවැයි සිතමු.
එහි මෙ සේ සඳහන් විය.
“ගල් යුගය, එඬේර යුගය ආදිය පසු කළ මිනිසා අද එළඹ සිටින්නේ
තාක්ෂණික යුගයකට ය. නූතන තාක්‍ෂණික යුගයේ මිනිසා ගේ ජීවිතයට
දිනෙන් දින එකතු වන උපකරණ දෙස බැලූ විට ඔහු ඉතා වාසනාවන්තයෙකි.
ජංගම දුරකථනය නමැති බහුකාර්ය උපකරණය පමණක් වුව ද අප ගේ මේ
කියමන සනාථ කිරීමට ප්‍රමාණවත් වනු ඇත. අද දවසේ ජංගම දුරකථනය
පරිගණකයකි. කැමරාවකි. ගුවන්විදුලි යන්ත්‍රයකි. විදුලි පන්දමකි.
මේ සියලු පහසුකම් කුඩා අත් දුරකථනයකින් ලබන්නා වාසනාවන්තයකු නො
වේ ද?”
“මේ තත්ත්වය තාක්‍ෂණිකාධිපත්‍ය යැයි හඳුන්වනු ලැබේ. ඇමරිකා
එක්සත් ජනපදයේ කැලිෆෝනියා, ප්‍රාන්තයේ විසූූ ඉංජිනේරුවකු
විසින් 1919 දී හඳුන්වා දෙන ලද තාක්ෂණිකාධිපත්‍යය (Technocracy
) නමැති වචනයෙන් තාක්ෂණඥයන් ගේ පාලනයක් අදහස් කැරේ. “
“අපගේ ගොවිතැන ,කලාව හා ආචාර ධර්ම අදි සියලු අංගයන් පෝෂණය
පිණිස උපයෝගී කැර ගත් බුදුදහම, තාක්‍ෂණික ශිෂ්ටාචාරයේ ප්‍රගතිය
උදෙසා ද යොදාගත යුතු ය. එහෙත් පන්සල නමැති සංස්කෘතික
මධ්‍යස්ථානය ද තාක්‍ෂණිකාධිපත්‍යයට ගොදුරු වන අයුරු නිහඬ ව බලා
සිටීමට අපි පුරුදු වී සිටිමු. “
සුරක්කුලමේ පේමරතන හිමියන්ගේ ලිපිය අප අගය කිරීමට හේතුව, පන්සල
නමැති ජාතියේ සංස්කෘතික මධ්‍යස්ථානය තාක්‍ෂණිකාධිපත්‍යයට
ගොදුරු වන අයුරු දැක නිහඬ ව නොසිටි නිසා නො වේ. රෝගය හඳුනා
ගැනීමට පමණක් නො ව නිවැරැදි ප්‍රතිකාරයක් නිර්දේශ කිරීමට ද
උන්වහන්සේ සමත්වීම ඊට හේතුවයි. මේ තාක්ෂණික මෙවලම් භාවිතයෙන්
සම්පූර්ණයෙන් බැහැර වීම විසැඳුම නො වන බව පෙන්වා දෙන
උන්වහන්සේ, ඒවා භාවිත කරන පරිමාව හා භාවිත කරන ස්වරූපය භික්‍ෂූ
ජීවිතයට ගැළපෙන පරිදි සකස් කැර ගත යුතු යැයි උපදෙස් දෙති.
භික්‍ෂු විනය ශික්ෂාවන්ට අනුකූ®ල වන නො වන දේ නිශ්චය කැර
ගැනීමට බුදුන් වහන්සේ වදාළ මහාපදේස යොදාගත යුතු බව සුරක්කුලමේ
පේමරතන හිමියන්ගේ අදහස ය. එම මහාපදේස සතර මෙ සේ ය.
01. බුදුරජාණන් වහන්සේ විසින් අකැප යැයි ප්‍රතික්ෂේප නො කළ
දෙයක් කැප යැයි වදාළ දෙයකට සමාන වේ නම් කැප යැයි වදාළ දෙයකට
අසමාන වේ නම් එය අකැප ලෙස සැලැකිය යුතු ය.
02. බුදුරජාණන් වහන්සේ විසින් අකැප යැයි ප්‍රතික්ෂේප නො කළ
දෙයක් කැප යැයි වදාළ දෙයකට සමාන වේ නම් අකැප යැයි වදාළ දෙයකට
අසමාන වේ නම් එය කැප ලෙස සැලැකිය යුතු ය.
03. බුදුරජාණන් වහන්සේ විසින් කැප යැයි නො අනුදක්නා ලද දෙයක්
අකැප යැයි අනුදක්නා ලද දෙයකට සමාන නම් කැප යැයි අනුදක්නා ලද
දෙයකට අසමාන වේ නම් එය අකැප ලෙස සැලැකිය යුතුය “
04. බුදුරජාණන් වහන්සේ විසින් කැප යැයි නොඅනුදක්නා ලද දෙයක්
කැප යැයි අනුදක්නා ලද දෙයකට සමාන වේ නම් අකැප යැයි අනුදක්නා ලද
දෙයකට අසමාන වේ නම් එය කැප යැයි සැලැකිය යුතුයි “
බුද්ධ ශාසනයෙහි සිදු වූ මතවාදී පරිවර්තනයක් පිළිබඳ ව මෙහි දී
අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත. බුද්ධ දේශනාව අනුව
ප්‍රතිපත්තියත්(සීලාදී ගුණධර්ම පුරුදු කිරීම) ප්‍රතිවේධයත්
(නිර්වාණය අවබෝධ කිරීම ) පර්යාප්තියට (ත්‍රිපිටකධර්ම ඉගෙනීම )
වඩා උතුම් යැයි තිබූ පිළිගැනීම වළගම්බා රජ දවස ඇති වූ
බැමිණිටියාසාය නිසා වෙනස් විය. පංසුකූලික භික්‍ෂූන් හා
ධර්මකථික භික්‍ෂූන් අතර එ කල පැවැති විවාදය අවසානයේ දී
පර්යාප්තිය ප්‍රතිපත්තියට වඩා ශාසනයේ පැවැත්මට වැදගත් යැයි
තීරණය වී තිබේ. මේ මතවාදි පරිවර්තනය ද තාක්‍ෂණික යුගයේ භික්‍ෂු
ප්‍රතිපදාව කෙරෙහි තීරණාත්මක ලෙස බලපා ඇත.
ලාංකික භික්‍ෂු ශාසනය මේ තාක්‍ෂණික පරිභෝජනවාදයෙන් මුදවා ගැනීම
අප සියලු දෙනාගේ වගකීමකි. |