UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගලන ගඟකි ජීවිතේ

ජීවිතය තුළ ඇත්තේ ගලාගෙන යන ක්‍රියාවලියක් පමණි. ‘ගලන ගඟකි ජීවිතේ’ තුළ ජීවත්වීම කාලයෙන් තොරව සිදුවෙයි. කිසිවෙකුගේ බලපෑමක් එතැන නැත. ඇත්තේ හේතුඵල දහමකි. හේතුඵල දහමක් තුළ ඉපදෙන ජීවත්වන මැරෙන සතෙක් පුද්ගලයෙක් මමෙක් කොයින්ද? එසේනම් ඒ ධර්මතාව තුළ ඔබ හෝ මම සිටී දැයි විචක්ෂණ නුවණින් විචාරශීලිව විමසා බලන්න දැන් කාලය පැමිණ ඇත.

බඹයක් පමණ වූ සිරුර තුළින් එළිකළ තථාගත දර්ශනය තුළ සත්‍ය වශයෙන් ම කෙනෙකු නැත. කෙනෙකු හැටියට පිළිගත් ඔබටමයි මේ සත්‍ය වූ දැකීම දැකිය හැක්කේ. ඔබ, මම අප කවුරුත්ම දන්නේ කෙනෙකුගේ ඉපදීම ජීවත්වීම, ලෙඩවීම හා මරණය ගැන පමණයි. ඊට එහා ඒ දැනුම හැර ඔබත් මමත් දන්නා දෙයක් නැත. දන්නවා නම් දන්නා ඒ සියල්ලම කාගෙන් හෝ දැන උගත් දේ බව අවිවාදයෙන් අප පිළිගත යුතු වෙනවා. නමුත් අපගේ උපත, මරණය ගැන කියාදුන් කෙනෙක් නැත. ඒ නිසා අපගේ උපත, මරණය ගැන අප දැනගත යුතුමයි. හැරී බලමු. මේ දෙක ගැන අප දන්නවාද කියා. ඇත්ත වශයෙන්ම නැත. නොදන්නා ඒ නොදැනීමම යි දුක. එසේ නම් ඔබ අප දැනගත යුත්තේ ඒ ගැනමයි. කෙනෙකු හැටියට ඉපදී ජීවත්ව මැරී යන මේ සසර ගමන නවත්වනතුරු දුක කියන ගේ හදන වඩුවා ගෙය හදනවාමයි. එසේනම් සසර ගමන නවතාලන්නට තමාගේ සිරුර තුළින්ම එය සොයාගත යුතුයි.

තමා තමාගේ සිරුර වශයෙන් පිළිගන්නේ මනස, හා බද්ධ වූ ඇස, කන, නාසය , දිව ශරීරය යන ඉන්ද්‍රිය පහයි. පූර්ව අංගය හා ශ්‍රේෂ්ඨ වන මනසමයි, ප්‍රසන්න හෝ අප්‍රසන්න වී කුසලයට හෝ අකුසලයට පදනම් වන්නේ. එමනිසා කුසලයත් කුසල මුලයත්, අකුසලයත් අකුසල මූලයත් පිළිබඳ මනා දැනීමක් බෞද්ධයන් වන අපට අත්‍යවශ්‍ය වන ධර්මයකි. කුසලය වන්නේ හැකියාවයි. මොනවා පිළිබඳව ද? සිරුර ගැන නිවැරැදිව යථාර්ථවාදීව දැනගැනීම පිළිබඳ හැකියාවයි. එසේනම් අකුසලය වියයුත්තේ සිරුර පිළිබඳව පැහැදිලිව නිරවුල්ව නිවැරැදිව නොදැනීම ගැන දැනගැනීමේ නොහැකියාවයි. ඒ නොහැකියාව හැකියාවක් බවට පත් නොවන්නේ අනුන්ගෙන් ලබාගත් දැනුම තුළ මමත්වය ගොඩනැගෙන නිසාය. අනේ! ඔබ අප අසරණයි නේද? අනාථයි නේද?

ළිං කටෙන් ළිඳට වැටුණානම් ළිං කටෙන්ම ගොඩ ආ යුතු බව අප දැනගත යුතුයි. දැන් අප සිරුර තුළින් වදාළ ධර්මය කුමක්දැයි සොයමු. ධර්මය විවිධ අරුත්වලින් පැහැදිලි කරතත් ඔබ අප කවුරුත් හැරිය යුත්තේ, තථාගත දර්ශනය තුළින් එළිදැක්වෙන සිරුරේ පවත්නා ධර්මය හා ධර්මතාව දෙසටයි. එය අප තිලෝගුරු තථාගත සම්මා සම්බුදුපියාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය තුළින් හේතුඵල දහමක් බව පැහැදිලිව නිරවුල්ව පෙන්වා දී තිබෙනවා. එපමණක්ද නොව ‘යෝ පටිච්ච සමුප්පාදානං ධම්ම පස්සති, සෝ මං පස්සති’ යනුවෙන් මා දේශනා කරන ධර්මය යමෙක් දකී ද, හේ මා දකී’ යනුවෙන් පැහැදිලිවම දේශනා කර ඇත්තේ උන්වහන්සේගේ සිරුර දකින්න නොවේ. එහි පවත්නා ධර්මය හා ධර්මතාව මා දැක්කා. ඔබත් ඔබ සිරුර තුළින් ඒ ධර්මය දකින්නැයි වදාරා තිබේ. උන්වහන්සේගේ ඒ ශ්‍රී මුඛ දේශනාව අනුව ඔබ අප ධර්මය දැක්කොත් ඒකාන්තයෙන්ම බුදුන් වහන්සේ දකී. බුදුන් දැක්කොත් නිවන් දකී. දුකින් මිදේ. එතකොට සදාතනික සැප ඇති අමාමහ නිවන ඇත්තේ අප ළඟ නේද?

ඔව්! භූත තථ තාත ‘’තතාගත’’ යනුවෙන් ගත කුමන ආකාරයෙන් ක්‍රියාත්මක වේද යන්න විමසා බැලිය යුතුයි. ගතයනු ක්‍රියාත්මක වන ක්‍රියා පද්ධතියක් වශයෙන් සකස් වී ඇත. ඇස, කන, නාසය, දිව, ශරීරය ආදි කොට ඇති සතරමහා භූතයන්ගෙන් සැදුම්ලත් ඉන්ද්‍රිය ධර්ම පහ හා අරූප ධර්මයක් වන මනස මුල්කොට මේ රූපකාය සෑදී ඇත.

මෙම රූප කාය මවුකුසකින් බිහි වූ බවක් අපි දනිමු. තවත් එහාට ගියොත් පියෙක් ඇති බවත් දනී. මවුපිය සබඳතාවකින් නිසා උපන් දරුවෙකු බවත් පිළිගනී. සම්මුති වශයෙන් එය සැබෑවකි. ඒ සම්මුති සැබෑව තුළ ඇත්තේ උපත මරණය, උපත මරණය ම නේද? මේකද ධර්මය. ඔව් මේක තමා ධර්මය. මෙහි කෙළවරක් තිබේද? නැත. එසේ නම් උපත මරණය නැති ධර්මය අප සෙවිය යුතුයි. උපත, මරණය තුළ ඇති දුක, කියන්නට බුදු කෙනෙක් පහළවිය යුතු නැහැ. බුදුන් ලොව පහළ වූයේ උපත, මරණය ජය ගන්නා මාවත පෙන්වා දීමටයි. එසේ නම් අප මවුකුසින් බිහිව කාලයට අසුවු බව දත යුතුයි. දින, සති, මාස ගණනින් ගෙවුණු ඒ තෙමස තුළ ශරීරය විවිධ වෙනස්කම් වලට භාජනය වුවද, ඉපදෙන කොට තිබුණ මනසේ ප්‍රභාස්වර ස්වභාවයේ කිසිදු වෙනසක් නොවීය. එහෙත් උඩුකුරුව සිටි ඔබ අප ඉන්ද්‍රියයන් (යටිකුරු වී) මුනින් පෙරළුනේ් ‘මනස ක්‍රියාත්මක වීමට පටන් ගත් නිසාය. දැන් කෙනෙක් ඉන්නවාය, දෙයක් තියෙනවාය යන හැඟීම මනස තුළින් ඇතිවෙයි. දැන් ප්‍රශ්න ගොඩක් මැද බහ නැතහොත් බහ තෝරන (ඇස කන, ආදී අවධිය එළඹෙයි. ඒ නිසාය ප්‍රශ්න.

දැන් ළමයකුව සිටි ඔබ, අප මවගෙන් පියාගෙන් කෙළවරක් නැති ප්‍රශ්න අසයි. ඒ මේ අර ආදි වචන යොදමින් ඇසෙන් දකින, කනෙන් ඇහෙන, නාසයට, දිවට, කයට දැනෙන දේ ගැන අසා දැන ගනී. නාමිකව රූපය හඳුන්වා දීමෙන් බාහිරෙන් එන වර්ණ ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, රූපයන් නිසා ඇතුළත (මනස තුළ) ඝනත්වයක් නැති, බරක්නැති, අල්ලන්නට බැරි, අඳුරු වූ සෙවණැල්ලක් රූපයක් හැටියට නැතහොත් කෙනෙක් දෙයක් වශයෙන් භාර ගැනීමට සිදුවීමයි. මෙන්න ඔබ අප රැවටීමට අසු වූ තැන. මහම මහ මුළාව මෙතැනයි.

මොකක්ද මේ මුළාව. ඔබ ඉදිරියේ කෙනෙක් ඉන්නවාය දෙයක් තියෙනවාය යන්නයි. එතැන සිදුවී ඇත්තේත්, සිදුවන්නේත් හේතුඵල දහමක ක්‍රියාවලියකි. ඒ නොමැනිය හැකි නොදැකිය හැකි අධික වේගයක් තුළ සිදුවන ප්‍රතිවිරුද්ධ ධර්මතාවකි. ඒ කුමක්ද? ඇතිවීම සහ නැතිවීම යන ධර්මතාව යි. දෙකම එකවර එකටම එකම තැන සිදුවන සිදුවීමකි. මෙම සිදුවීම අතරක් නැතිව නිරන්තර පැවතේ නම්, එතැන ඇත්තේ අනිත්‍ය වූ, අනාත්ම වූ, ලක්ෂණ ය යි. එතැන කාලයක් නැත. අකාලික වූ විෂම ධර්මතාවය එයයි. එසේනම් සතෙකුට මටම, කෙනෙකුට ජීවත්වීමට කාලයක් තිබේ ද? එවන් ධර්මතාවයක් තුළ ක්‍ෂණයක් පවතින ධර්මයක් තිබේද? නැත. නැති දෙයක් තියෙනවාය නොඉදින කෙනෙකු ඉන්නවාය යන පිළිගැනීම තුළ ඇත්තේ් මහා ඝනත්වයකි. ඒ තමා මම.

කොහේද මේ ඝනත්වය නොහොත් අඳුර ඇත්තේ? මම හැටියට භාරගෙන ඉන්නා ඔබෙන් ඔබ තුළ ඇති මගෙන් ය. එසේ නම් මේ ඝනත්වය බිඳවැටිය යුතුය. අඳුර දුරුවිය යුතුය. නිරන්තර සිදුවන කැඩෙන බිඳෙන ලෝකය පවතින දෙයක් හැටියට බාරගෙන වැටුන මුළාවෙන් වැටුණ අයම ගොඩආ යුතුය. ගොඩගැනීමට කෙනෙකු නැත. ගොඩ එන මාර්ගය පමණක් කිව හැකිය. ගොඩ ආවොත් වැටී සිටි ප්‍රපාතයේ ගැඹුර ඔබට දැකිය හැකිය. හැබැයි මස් ඇසින් නොවෙයි. ඉන්ද්‍රියයන් අභිබවා දකින ඒ දැකීම බුද්ධිමතාට ගෝචර වන ධර්මයකි. එය ‘ප්‍රඤ්ඤාවන්තයාට හැර අඥානයාට නොවේ’ යන බුදුවදන සනාථ වන්නේ මෙතැනදී ය.

සතරමහා භූතයන්ගෙන් ආපෝ (වතුර) තේජෝ (ගින්න) වායෝ (වාතය) පඨවි (තද ගතිය හෙවත් පස්) සැදුම්ලත් මේ කය බද්ධ වී ඇත්තේ සිතටයි. සිත තුළ ඇත්තේ චින්තනය යි. නැතහොත් සිතිවිලියි. සිතිවිලි ප්‍රකාශ වන්නේ වචන වලින් ය. ප්‍රකාශන මාධ්‍ය වන වචන දකින දැකීමට නැත. ඇත්තේ දැකීමක් පමණයි. ඒ තුළ ඇත්තේ අචින්ත්‍ය වූ වේගයක් පමණයි. එසේනම් බුදුන්වහන්සේ පෙන්වා දුන්නේ් පහළ වූ ඥාන දර්ශනය තුළින් මනත් නැති, නමක් නැති, මමත්නැති, ධර්මයකි. එයයි සත්‍ය. සත්‍ය එය හැර වෙනත් දෙයක් විය නොහැක. බුදුන් වහන්සේ ‘අනුත්තරං ධම්ම චක්ඛං’ වශයෙන් පෙන්වූයේ මේ බුද්ධ ගුණය යි. තවදුරටත් ඔබ තුළ මමෙක් සිටීදැයි බුදුදහම තුළට එබී බලමු.

තමන් ඉදිරියේ සිටින්නා වූ කෙනෙකුට කථා කරන්නට අවශ්‍ය වූ විට සිංහල භාෂාවේ ඇති ඔබ යන වදන පාවිච්චි වේ. ඉදිරියේ ඉන්නේ ඔබ නම් ඒ ඔබ ඉදිරියේ ඉන්න කෙනා තමා මම බලන්න මේ මම සහ ඔබ ගෙදරකට ගමකට රටකට භාෂාවකට ආගමකට සීමා වූ වචනයක් නොවේ. පොදු වචනයකි. එය භාෂාව අනුව වෙනස් විය හැකියි. භාෂාවේ යෙදෙන වචනය උච්චාරණය වනවිට පිටවන්නේ් ශබ්දයකි. සිංහලට ‘මම’ ඉංශ්‍රීසියට ‘අයි’ , දෙමළට ‘නාම්’ මගධයට ‘අහං’ ආදී වශයෙන් සකස් වී ඇති වචන වලින් විවිධ ශබ්ද ගොඩනැගී මම පෙනී සිටියි. එසේ නම් වචනයෙන් පිටවන ශබ්දය තුළද මම ඉන්නේ. ඒ දෙකේම මම වශයෙන් භාරගෙන ඉන්නා ඝන රූපයක් නැත්තේ ය. ඇත්තේ කනට එන ශබ්ද රූපය පමණි. එහි කෙනෙක්, මමෙක්, සතෙක් පුද්ගලයෙක් ද නැත. උදා - ‘කාක්කා’ යන ශබ්ද රූපය තුළ කාක්කෙක් හෝ කපුටෙකු නැත. එහි ඇත්තේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ යන ස්කන්ධ පංචකයයි. එහෙත් කලින් හඳුනා ගෙන තිබු ඝන රූපයෙන් දැනගත් නාමය හා රූපය ඉස්මතු වෙයි. මෙහිදී සිදුවන්නේ ආයතනවල ක්‍රියාවලියෙන් නැති සතෙක්, කෙනෙක්, මමෙක්, පුද්ගලයෙක් මවාපෑමයි. ඒ අනුව වේදනා (වින්දනයෙන්) කැමැත්ත හෝ අකැමැත්ත උපදී. (ඇලීම හෝ ගැටීම) ඒ අනුව හොඳ, නරක, උස් මිටි, සුදු, කළු, ගුණ අගුණ, පින් පව් ආදී වශයෙන් චින්තන ධාරාවක් ගලාගෙන එන්නේ වචන ඔස්සේ ය.

මෙයින් සිදුවී ඇත්තේ කාලයෙන් ඔබ ගිල ගැනීම පමණි. මේ ආකාරයට බලන විට මුළු ජීවිතයම කාලයෙන් ගිල ගෙන සිදුවන ක්‍රියාවලිය තුළ වන්නේ කැඩෙන බිඳෙන ස්වභාවයක් බව නොදැකීමයි. භවය බදාගෙන ජාතිය නැමැති උපත අනුව ජරා, ව්‍යාධි, මරණ යන අපාදුක සැපක් කොට ගෙන සසර පුරා ඇවිදියි.

ජීවිතය තුළ ඇත්තේ ගලාගෙන යන ක්‍රියාවලියක් පමණි. ‘ගලන ගඟකි ජීවිතේ’ තුළ ජීවත්වීම කාලයෙන් තොරව සිදුවෙයි. කිසිවෙකුගේ බලපෑමක් එතැන නැත. ඇත්තේ් හේතුඵල දහමකි. හේතුඵල දහමක් තුළ ඉපදෙන ජීවත්වන මැරෙන සතෙක් පුද්ගලයෙක් මමෙක් කොයින්ද? එසේනම් ඒ ධර්මතාව තුළ ඔබ හෝ මම සිටී දැයි විචක්ෂණ නුවණින් විචාරශීලිව විමසා බලන්න දැන් කාලය පැමිණ ඇත.

භූත කොටස් වලින් සකස් වී ඇති ශරීරය තුළ පවතින හේතුඵල දහම හෙවත් ‘පටිච්ඡ සමුප්පාද ධර්මය යමෙක් දකීද හේ මා දකී’ යනුවෙන් බුදුන් වහන්සේ පෙන්වන්නේ ඒ තථාගත දර්ශනයයි.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා අපර භාග 12.31 ට ලබයි.
23 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 02.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා බදාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 1 වන දා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]