UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දේවතානුස්සති භාවනාව

ඕනෑම සමාජයක පෞද්ගලික, සාමාජයීය හෝ දේශපාලනමය ලෝභ සහගත, ද්වේෂ සහගත, හිංසා සහගත සිතිවිලි ඇතිවීම ප්‍රඥාව නැතිකමේ ප්‍රතිඵලයක් බව පැහැදිලිය. ප්‍රඥාව ආලෝකයට සමාන කර ඇත. මේ ගුණධර්ම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත් යෝගාවචරයා තුළ මේ පිවිතුරු ගුණදම් තිබිය යුතුය

දේවතානුස්සති භාවනාව පිළිබඳව බෞද්ධයෝ එතරම් නොදනිති. එය පුහුණු කරනු ලබන්නේද කලාතුරකිනි. ගිහියනට මේ භාවනාව අතිශය වැදගත් වනුයේ එමගින් කෙනකුගේ චරිතය හා පෞරුෂත්වය වර්ධනයට මඟ පෑදෙන බැවිනි.

මේ භාවනාව පුහුණු කිරීමට කෙනකු සූදානම්වීමට පෙර, මේ භාවනාවේ ඇති වැදගත්කම හා අගය පිළිබඳව දැන ගතයුතුය. දේවතානුස්සති භාවනාව වඩන තැනැත්තා විසින් භාවනාව පුහුණු කළ යුත්තේ දෙව් බඹුන්ගේ රූපශ්‍රීය හා ප්‍රභාශ්වර ශරීර ගැන නොව දෙවියනට හා බ්‍රහ්මයනට එම සුගතිවල උත්පත්තිය ලැබීමට ආධාරවූ ශ්‍රේෂ්ඨ, ගුණධර්‍ම ගැනය. භාවනානුයෝගී පුද්ගලයා විසින් මේ ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම තම ජීවිතයට කාවද්දාගෙන ඒ මගින් තම ජීවිතය හැඩගස්වා ගන්නා ආකාරය හැඳින ගතයුතුය.

දෙවියන් හා බ්‍රහ්මයින් කෙරෙහි ඇතැයි සඳහන් වන ගුණධර්ම කුමක් ද? ඒ වනාහි ශ්‍රද්ධා සීල, සුත, චාග හා පඤ්ඤා ආදියයි. බෞද්ධ ආචාර ධර්ම සියල්ලක්ම මේවාට ඇතුළත් වන බවද මේවා කෙනකුගේ සුචරිතමය, බුද්ධිමය හා ආධ්‍යාත්මික සංවර්ධනයට ඉවහල් වන බවද යෝගාවචරයාට අවබෝධ වේ. තවද මෙමගින් කෙනකුගේ ලෞකික හා ලෝකෝත්තර දියුණුවටද මග පෑදේ. යෝගාවචරයා භාවනාවේ යෙදීමට පෙර මේ ගුණ ධර්ම යනු කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගතයුතුය. ශ්‍රද්ධාව, බීජය වන අතර මේ ශ්‍රද්ධා බීජය නොමැතිව ආධ්‍යාත්මික ජීිවිතය නම්වූ පැළය කිසිම අන්දමකින් ලියලන්නේ නැත.

කෙටියෙන් පවසන්නේ නම් මේ ශ්‍රද්ධාව නැතිව කෙනකුට වටිනා කිසිවක් කළ නොහැකිය. දුකින් මිදීමේ ඒකායන මාර්ගය පෙන්වා දුන් උත්තමයාණන් වහන්සේ ලෙස බුදුරජාණන් වහන්සේ කෙරෙහි බෞද්ධයා විශ්වාසය තබයි. මුල, මැද, අග යහපත්වූ ධර්මය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන ඔහු තුළ විශ්වාසයක් ඇත. තවද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන්කොට ඒ අති උතුම් නිවන් සුවයෙන් සැනසුණු, අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය පිළිබඳව හෙතෙම විශ්වාසය තබයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි විශ්වාසය තැබීම මගින්ම කෙනකු, දුක, දුකට හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව අවබෝධ කරගත්තේය.

මෙසේ දුකින් මිදීම සඳහා කෙනකු ස්වෝත්සාහයෙන්ම ක්‍රියා කරනුයේද මේ ශ්‍රද්ධාව නිසාය. සම්මා සම්බුදුබුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේ විසින් දේශිත ධර්‍මය එකක්ම ලෙස හඳුනා ගැන්මේ සමත් පුද්ගලයා ආර්ය සංඝ රත්නයද හඳුනාගැන්මේ සමත්වෙයි. ඊට හේතුව මෙසේ ත්‍රිවිධ රත්නය හඳුනා ගැන්මෙන්ම කෙනෙක් විමුක්තිය ලබාගැන්මට සමත්වන්නේය. සුප්‍රසිද්ධ බෞද්ධ ලේඛකයකු දක්වා ඇති පරිදි ශ්‍රද්ධාව වනාහි බුද්ධ ධර්මය නමැති මහා සාගරයට ඇතුල්වන දොරටුවයි. ප්‍රඥාව වනාහි මේ සාගරය තරණය කරන නෞකාවය.

අනෙක් ගුණ ධර්මය වන සීලය මගින් දුක නැති කිරීමේ මාර්ගය අවබෝධකර ගැනීමට කෙනකුට ශක්තිය ලැබේ. වැරදි ක්‍රියා වනාහි මඩ වගුරකි. මේ මඩ වගුරෙහි සිටින තැනැත්තා මඩෙහි එරෙයි. පොළව මත ජීවත්වන තැනැත්තාට පොළව ආධාරකය වන්නාක් මෙන් යෝගාවචරයාට සීලයම ආධාරකය වේ. සිල්වත් දිවිය යහපත් දෙයින් පිරී යයි.

සිල්වත් තැනැත්තේ ආවේගශීලීව ක්‍රියා නොකරයි. සෑම අවස්ථාවේදීම ඔහු ඉවසිලිවන්ත වේ. හොඳින් සිතා බැලීමෙන් පසුවම ඔහු ක්‍රියා කරයි. සෑම කල්හිම, සෑම තැනකදීම ඔහු ක්‍රියා කරන්නේ වහලෙකු ලෙස නොව නිදහස් පුද්ගලයකු ලෙසය. ශ්‍රේෂ්ඨ ගුණදම් නමැති මන්දිරය තමා තුළ ශකිත්මත් ලෙස ගොඩනගා ගෙන, ඒ තුළ ජීවත්වන මොහු කවර කලෙක හෝ මාර වසඟයට නොයයි. ඉඳුරන් පාලනය කරගැනීම මගින් සිල්වතා විසින් බාගන්නාවූ ශක්තිය සිත එකඟකර ගැනීමට හා සිත දියුණුකර ගැනීමට ඔහු යොදවයි.

සුත ගුණය හෙවත් බහුශ්‍රැත භාවය ගැන පෙළෙහි මෙසේ දැක්වේ. උතුම් ශ්‍රාවක තෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේය. අසා දැනගත් දේ හොඳින් සිහියේ තබා ගනියි. මෙසේ උගත් දේ ධාරණය කර ගනිමින්ද, නැවත නැවත සජ්ජායනා කරමින්ද, මෙනෙහි කරමින්ද යහපත් අවබෝධයෙන් යුතුව, මේ මුල, මැද, අග යහපත් වූ ශ්‍රී සද්ධර්මය තුළට ඔහු කිදා බසින්නේය. මනුෂ්‍යත්වය සොයාගත් ඉහළම දැනුම මෙසේ දැක්වේ.

මේ වනාහි සියලු ඉගැන්වීම් අවසන් කරන ඉගැන්වීමයි. අනෙක් ඉගැන්වීම් මගින් මිනිසා දුකින් මිදීම කෙරෙහි යොමු නොකරන්නේය. එමගින් මිනිසා යොමු කරනුයේ ජාති, ජරා, ව්‍යාධි, අප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම හා දුක් දොම්නස් කෙරෙහිය. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දුටු කෙනකුගේ අදහසට අනුව මෙවන් දැනුම ලෞකිකය. පක්‍ෂපාතීය, වරද සහිතය, අසතුටුදායකය. සියලු දුකින් මිදීම පිළිබඳ වූ බුදුරජාණන්වහන්සේගේ ඉගැන්වීම, ඒ ආර්ය පුද්ගලයා හදාරන්නේය.

අනෙක් ගුණ ධර්මය වනුයේ චාගය හෙවත් ත්‍යාගශිලී ගුණයයි. උතුම් බුද්ධ ශ්‍රාවකයා ලෝභයෙන් තොරව දීමෙහි දිග හැරුණු අතැතිව සියල්ල අත් හැරීමෙන් ප්‍රීතියක් ලබමින්, ඒ ඒ දේ බෙදා දෙමින් සතුටුවෙමින් ජීවත්වන්නේය. දන් දෙන තැනැත්තා ත්‍යාගශීලීබව හේතුවෙන් ජනප්‍රිය වන අතරම සාමකාමී උතුම් පුද්ගලයින් ඇසුරට පත්වන්නේය. බෞද්ධ ජීවන ක්‍රමයේ සාරය වන නෛෂ්ක්‍රම්‍යය ආරම්භ වනුයේ දානය පුහුණු කිරීමෙන් බව සළකා බලත්ම චාග ගුණයේ වටිනාකම අවබෝධ කරගත හැකිය. පුහුදුන් පුද්ගලයකුගේ චින්තන විධිය වන ‘මමය’ ‘මාගේය’ යන හැඟීම, චාගය පුහුණු කිරීමේදි ක්‍රම ක්‍රමයෙන් හීනවී යන අතර අනෙක් පාරමිතා පූරණයෙහිලා මේ චාග ගුණය බොහෝදුරට උපකාරී වේ.

අවසාන කරුණ වනුයේ ප්‍රඥාවයි. මෙය අන් සියල්ලටම වඩා ප්‍රධානය. බොහෝ බෞද්ධයින්ට ප්‍රඥාව ගැන වැරදි අවබෝධයක් ඇත. ප්‍රඥාවේ කෘත්‍යය කුමක්දැයි මජ්ඣිම නිකායේ එන චූල වේදල්ල සූත්‍රයේ දැක්වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයන් දෙකක් වන සම්මා දිට්ඨි හා සම්මා සංකප්ප, ප්‍රඥා කොටසට අයත්ය. නියම ප්‍රඥාව, නෛෂ්ක්‍රම්‍ය අදහස්, හා මෙත්තා කරුණා යන ලක්‍ෂණයන්ගෙන් යුක්තය.

ඕනෑම සමාජයක පෞද්ගලික, සාමාජයීය හෝ දේශපාලනමය ලෝභ සහගත, ද්වේෂ සහගත, හිංසා සහගත සිතුවිලි ඇතිවීම ප්‍රඥාව නැතිකමේ ප්‍රතිඵලයක් බව පැහැදිලිය. ප්‍රඥාව ආලෝකයට සමාන කර ඇත. මේ ගුණධර්ම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත් යෝගාවචරයා තුළ මේ පිවිතුරු ගුණදම් තිබිය යුතුය. ඉන්පසු හෙතෙම නිශ්චල සන්සුන් ස්ථානයකට, ස්වකීය ගෘහයේ බුදු කාමරය වැනි ස්ථානයකට ගොස් දෙවියන් සාක්‍ෂිකරුවන් සේ තබාගෙන තමා තුළ ඇති ශ්‍රද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන විශේෂ ගුණදම් ගැන මෙසේ මෙනෙහි කළයුතු වේ. “මේ වනාහි චාතුර්මහාරාජික, තාවතිංස, තුසිත, නිම්මානරති, පරනිම්මිත වසවත්ති, දෙවිවරුන් ය. මේ වනාහි බ්‍රහ්ම දිව්‍ය පුත්‍රයන් ය. මේ වනාහි අනෙක් අයට වඩා උසස් දෙවිවරුන් ය. මේ දේව පුත්‍රයින් ශ්‍රද්ධාවෙන් යුක්තව සිටි බැවින් ඔවුන් මෙලොවින් තුරන් වූවිට දිව්‍ය ලෝකයෙහි නැවත උපත ලබා ඇත.එවැනි ශ්‍රද්ධාවක් මා තුළද ඇත්තේය. මේ දෙවිවරුන් සීලයෙන්, ශ්‍රැතයෙන්, චාගයෙන් හා ප්‍රඥාවෙන් යුක්තව සිටි බැවින් ඔවුන් මෙලොවින් තුරන් වූවිට නැවත දිව්‍ය භවනයන්හි උපත ලබා ඇත. මෙවැනි සීල, සුත, චාග, ප්‍රඥා ගැන මෙනෙහි කරත්ම ඔහුගේ සිත ලෝභ, දෝස, මෝහයෙන් නිදහස්ව පවතී. (අංගුත්තර නිකාය). මෙය මුවින් පවසන්නාක් මෙන්ම මෙය මෙසේ අවබෝධ කළයුතුය. දෙවියන් තුළ ඇති ශ්‍රද්ධා, සීල, සුත, චාග, ප්‍රඥා යන ගුණ මා තුළද ඇත්තේය. මේ දේව පුත්‍රයින් මට සාක්ෂිකරුවන් ය.

අටුවාවේ මේ කරුණ මෙසේ දැක්වේ. “යෝගාවචරයා දෙවිවරුන් සාක්‍ෂියට තබාගෙන තමා තුළවූ ගුණ ධර්ම ගැන මෙනෙහි කරයි. මුල් අවධියේදී මෙතෙම දේව පුත්‍රයින් පිළිබඳවූ ශ්‍රද්ධාව, ශීල, සුත, චාග, ප්‍රඥා යන ගුණධර්ම ගැන මෙනෙහි කිරීමෙන් පසුව තමා තුළ පවත්නා මේ ගුණධර්ම ගැන මෙනෙහි කළයුතු වේ.

මේ අවස්ථාවේදී ඔහුගේ සිත ලෝභ, දෝස, මෝහයෙන් කැළඹී නැත. දේව පුත්‍රයින්ගෙන් ආභාෂය ලද්දේ මේ අවස්ථාවේදී ඔහුගේ සිතේ සෘජුභාවය පවතී.” (අංගුත්තර නිකාය)

මෙසේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා යන පංච නීවරණයන් යටපත් කිරීමට යෝගාවචරයා සමත්වීමෙන් ඔහුගේ සිත උපචාර සමාධියට පත්වේ. මෙමඟින් ඔහුගේ සිත සංසුන්වේ. නිශ්චල වේ. ශාන්ත වේ. මේ භාවනාව කෙරෙහි කෙනකුගේ සිත ඇලුණු කල්හි මෙතෙම දෙවියනට ප්‍රියවේ.

එකල ඔහුගේ ශ්‍රද්ධාව තව තවත් වධ¢නය වේ. ඔහු ප්‍රීතියෙන් ඉපිලෙයි. තමා ලබාගත් උපචාර සමාධිය පාදක කොටගෙන මෙතෙම විපස්සනා භාවනා නොවඩනුයේ නම් මොහු අඩු ගණනේ සුගතිගාමී වනු ඇත.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා අපර භාග 12.31 ට ලබයි.
23 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 02.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා බදාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 1 වන දා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]