බ්‍රහ්ම විහාර භාවනාව
ආචාර්ය
පී. වජිරඥාන නාහිමි
පරිවර්තනය
නාරාවිල පැට්රික්
බෞද්ධ සම්ප්‍රදාය තුළ සතර බ්‍රහ්ම විහාර, විදර්ශනා භාවනාව සමඟ පරම
අභිමතාර්ථය ලෙස
නිර්වාණය
වෙත යොමුව පවතී.
එහෙත්
ඒවා අදාළ පමණට ප්‍රගුණ
නොකළහොත් ආසන්නතම ප්‍රතිඵලය වන්නේ
බ්‍රහ්මානන්දය හෙවත්
බ්‍රහ්ම ලෝක
සම්ප්‍රාප්තියෙන්
විරාමයට
පත්වීමයි
මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්‍ඛා නම් වූ සතරාකාර පරම ආස්වාදය ප්‍රගුණ
කිරීම හෙවත් බ්‍රහ්ම විහාර භාවනාව, බෞද්ධ ජීවන රටාවේ කේන්ද්‍රීය
ලක්‍ෂයක් බවට පත්ව ඇත. එය බුදුදහම තුළ මානසික පුහුණුව පිළිබඳ
ක්‍ෂේත්‍රයේදී අත්‍යවශ්‍ය මූලික පදනමක් ලෙස ක්‍රියාත්මක වෙයි.
ආචාර විද්‍යාත්මක දෘෂ්ටියෙන් ගත් කල්හි මෙකී මූලධර්ම පුද්ගලයාගේ
අධ්‍යාත්මික පදනම නියෝජනය කරන අතර ඔහුගේ සන්තුෂ්ටිය හා සාමය පිණිස ද
අනිවාර්යයෙන් අදාළ වන්නේ ය.
බ්‍රහ්ම – විහාර නම් වූ භාෂිතය “බ්‍රහ්මාවාස”, “උත්තරාත්ම”,
“පරමානන්ද”, “ජීවනයේ පරම ආකෘතිය” ආදී නන්විධ ස්වරූපයෙන් අර්ථ ගන්වනු
ලැබේ. මේ අනුව බ්‍රහ්ම යන භාෂිතය, පරම, අත්‍යන්ත යහදායක, උපරිතම ආදි
නිරවද්‍ය, පැහැදිලි හා පවිත්‍ර යන අර්ථයෙන් තේරුම් ගත හැකි ය. එසේම එය
බ්‍රහ්ම ලෝකයේ සුපිරි ජීවියා යන අර්ථයෙන් ද “බ්‍රහ්ම” නම් වෙයි. ඒ අනුව
“බ්‍රහ්මත්වය” මෙවන් පවිත්‍ර චින්තනය තුළ රඳා පවතී. එනම්, සතර බඹ
විහරණයෙහි හැසිරෙන්නා ඒවා ඇසුරු කොට බ්‍රහ්මයකු සේ ජීවත් වෙයි. එබැවින්
එසේ ජීවත් වන්නාහු බ්‍රහ්ම විහාරිකයන් හෝ ජීවනයේ පරම ආකෘතිකයන් ලෙස
හැඳින්වෙත්.
බෞද්ධ සම්ප්‍රදාය තුළ සතර බ්‍රහ්ම විහාර, විදර්ශනා භාවනාව සමඟ පරම
අභිමතාර්ථය ලෙස නිර්වාණය වෙත යොමුව පවතී. එහෙත් ඒවා අදාළ පමණට ප්‍රගුණ
නොකළහොත් ආසන්නතම ප්‍රතිඵලය වන්නේ බ්‍රහ්මානන්දය හෙවත් බ්‍රහ්ම ලෝක
සම්ප්‍රාප්තියෙන් විරාමයට පත්වීමයි. එයට අදාළව අපි මෙසේ කියමු. එනම්,
“ඉදින් යමෙක් ඉන් අපර වූ වැඩිමනක් ප්‍රතිලාභයක් (අර්හත්වය) නොලබන්නේ
නම්, බ්‍රහ්මත්වය තුළ ම පුනර්භවයක් ලබයි,” යනු යි. එබැවින් එය බ්‍රහ්ම
විහාර නම් වෙයි. බ්‍රහ්ම විහාරයේ සතරාකාර ගුණ සියල්ල සමස්ත ලෝකය ආවරණය
කර ගන්නා චිත්ත වේගයන්ගේ ප්‍රමාණ නොකළ හැකි ක්ෂේත්‍රයක් ජනිත කරයි.
එබැවින් ඒවා “අප්පමඤ්ඤ” චෛතසික නමින් හඳුන්වනු ලැබේ. එනම්, “ප්‍රමාණ
නොකළ හැකි” යනු යි. භාවනාව තනි පුද්ගලයකු අරමුණු කොට යොමු කිරීමේ දී
පවා භාවනානුයෝගියා එය ප්‍රමාණාත්මක හා ගුණාත්මක විසින් සීමාවකින් තොරව
ව්‍යාප්ත කළ යුතු ය. මේ අපරිමිතතාව මානසික ස්ථාවරයේ මූලික නිමිත්ත
හැටියට ගෙන අභිධර්මය විසින් ඒවා (සතර බ්‍රහ්ම විහාර) “අප්පමඤ්ඤ” ලෙස
සලකනු ලැබේ.
මෙත්තා විහරණය
චාව්‍යාර්ථයෙන් ගත් කළ “මෙත්තා” යන්නෙන් “මිත්‍රත්වය” අදහස් කරනු ලැබේ.
එනම් එයින් මිත්‍රයකුගේ තත්ත්වය ඇඟවෙයි. එයින්, රාගික හැඟීමෙන් නිදහස්
සහෝදරාත්මක දයාව, සීමා රහිත ආදරය හෝ මිත්‍රශීලී හැඟීම අදහස් කැරෙයි.
එහි පරෝපකාරය පිළිබඳ ගති ලක්‍ෂණය හෝ යහසිත ප්‍රගුණයේ ස්වභාවය ඇත.
පරෝපකාරය පිණිස ක්‍රියාත්මකවීම මෙත්තා විහරණයේ ජීවගුණය හෝ සමෘද්ධියයි.
එහි ප්‍රත්‍යක්‍ෂය හෝ ප්‍රතිඵලය වන්නේ හදවත ආදරයෙන් පිරීයෑමත්, හදවතින්
වෛරය පහව යෑමත් ය. එහි ආසන්න අරමුණ වනාහි තමා විසින් ම ස්වායක්තව මෙරමා
සමඟ සෙනෙහසින් බැඳීමයි. වෛරසිත මැඩ පැවැත්වීම මෙත්තා විහරණයේ
පරමාන්තයයි. ආත්මාර්ථකාමී ආදරය හෝ රාගය මෙත්තා යන්නට ඇතුළත් නොවේ.
මෙත්තා යන්න “ආදරය” යනුයෙන් තේරුම් ගතහොත් එය නියතයෙන් “මිත්‍රත්වය” යන
අර්ථයෙන් ගත යුතු ය. ඇයි ද යත්, ආදරය යන්න පොදු, සාමාන්‍ය ව්‍යවහාරය
අනුව ගත් විට පාලි භාෂාවෙන් දැක්වෙන “පේම” (ප්‍රේම) හෝ “රාග“ (ඇලීම හෝ
ආලය) යන්නට සමාන වන නිසා ය. එයින් අදහස් කැරෙන්නේ කාමුකත්වය හෝ අනුරාගී
ඇලීම යි. එය මෙත්තා විරෝධී ය. මනෝවිද්‍යාත්මකව ගත් කළ මෙත්තා යනු
වෛරයෙන් තොරවීමයි. එය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවැනි මූලධර්මය වන සම්මා
සංකප්ප අංගයට අනුරූපව පවතී. මෙත්තා හෙවත් මෛත්‍රීය, වෛරයේ හෝ යටි සිතේ
නොසන්සුන් නැඹුරුවේ පූර්ණ විරතිය (වැළැක්ම) මෙහෙයවන්නේ මේ සම්බන්ධතාව
මඟිනි. ඇයි ද යත්, කෝපය, ද්වේෂය හෝ වෛරයට විෂ නාශකයක් ලෙස මෛත්‍රීය
ක්‍රියාත්මක වීමෙන් තොරව අන් පිළියමක් නැති හෙයිනි. බුද්ධත්වය
සාක්‍ෂාත්කරණය සඳහා වූ පරමාදර්ශී බෝධිසත්ත්ව ධර්ම හෙවත් පාරමිතා දහය
අතර මෛත්‍රිය ද එකක් වන්නේ මේ නිසයි.
කරුණා විහරණය
අනුකම්පාව හෝ දයාව විසින් පිරිනමන ලද කරුණා යන්නෙන් අදහස් කැරෙන්නේ
අනුන්ගේ සිත තුළ ජනිත වන වේදනාව හෝ සන්තාපය දුරලන්නට හේතුවන
හෘදයානන්දකර සිතුවිල්ලයි. මේ සිතුවිල්ල අනුන් කෙරෙහි පතුරුවා හරින්නකි.
අනුන්ගේ සන්තුෂ්ටිය දියුණු තියුණු කරන්නකි, අනුන් වෙත එළඹෙන දුර්විපාකය
පලවා හරින්නකි. එහි ගුණාත්මක ලක්‍ෂණය වන්නේ සහෘද ජනයාගේ වේදනාව සහ දුක
සැහැල්ලු කිරීම හෝ ඔවුන්ගේ සන්තුෂ්ටිය පිණිස එම වේදනාව තමන්ම දරා ගැනීම
යි. අනුන්ගේ වේදනාව හමුවේ තමාගේ සන්තාපය කරුණාවේ සජීවි ගුණය යි. එහි
ප්‍රත්‍යක්‍ෂ අත්දැකීම වන්නේ සාමය සහ අහිංසාවාදී චින්තනය යි. හිංසනයෙන්
වැළකීම එහි ස්වභාව ලක්‍ෂණයයි. පීඩා විඳින්නන්ගේ අනාථභාවය දැකීමට ඇති
නම්‍යතාව කරුණාවේ ආසන්න හේතුවයි. ක්‍රෑරත්වය ඉවත්වීම එහි
පරිපූර්ණත්වයයි. කරුණාවේ අක්‍රියත්වය විකල්ප සිතුවිල්ලක ආරම්භයයි.
කරුණාව සම්මා සංකප්පයේ අංගයක් ලෙස අහිංසාවාදී හැඟීමට අනුරූපව පවතින
අතර, බුදුන් වහන්සේගේ් අධිගමයන් සහ ශ්‍රේෂ්ඨ ගුණාත්මක ලක්‍ෂණයන්ගෙන්
එකක් ද වෙයි.
මුදිතා විහරණය
අනුකම්පාව, අනුකම්පා සහගත පී‍්‍රතිය හෝ සන්තුෂ්ටිය යනුවෙන් අර්ථකථනය කළ
විට මුදිතා යන්නෙන් ඇඟවෙන්නේ අනුන්ගේ සොම්නස හෝ සමෘද්ධිය දැක ඇතිවන
ප්‍රමෝදය යි. එහි ලක්‍ෂණය වන්නේ සතුට යි. ඊර්ෂ්‍යාවෙන් තොරවීම එහි
හරාත්මක ගුණයයි. එහි ප්‍රත්‍යක්‍ෂය හෙවත් අත්දැකීම වන්නේ නුරුස්නාව විඳ
දරා ගැනීමේ හැකියාව යි. එයට ආසන්න හේතුව වන්නේ අනුන්ගේ සෞභාග්‍යය
දකින්නට ලැබීම යි. වෛරයේ නිවාරණය මුදිතාවේ පරිපූර්ණත්වයයි. ද්වේෂය
මුදිතාවේ අක්‍රියත්වයයි.
උපේක්‍ඛා විහරණය
සමචිත්තතාව හෝ සමතුලිත මනෝභාවය විසින් පිරිනමන ලද පරිත්‍යාගයක් වැනි
උපේක්‍ෂා යන්නෙන් ගම්‍ය වන්නේ මනසේ මැදහත් බවයි. කෙනකුට එය සිහිපත් කළ
හැකි වන්නේ, ආකර්ෂණය හා මධ්‍යස්ථතාවේ අන්ත දෙක අතර සිත කේන්ද්‍රගත
කිරීම මඟින් මැදහත් ස්ථාවරයක සිට අපක්‍ෂපාතීත්වය සේවනය කිරීමෙනි.
පක්‍ෂග්‍රාහීත්වයෙන් තොරවීම එහි ගති ලක්‍ෂණයයි. ජීවීන්ගේ ගුණාත්මක භාවය
හඳුනා ගැනීම එහි සාරාර්ථය හෝ කාර්ය සාධනය යි.
පිළිකුල් කිරීම හා ඇලීම යන දෙකෙහි ම නිවාරණය හෙවත් වැළැක්වීම එහි
ප්‍රකාශයට පත්වීම හෝ ප්‍රත්‍යක්‍ෂයයි. එහි ආසන්න හේතුව නම්, පුද්ගලයා
කර්මය දායාද කොට සිටින බව පිළිබඳ අවබෝධයයි. එනම්, “ජීවීහු කර්මය නිසා
උපන්නෝය. කර්මය දායාද කොට ඇත්තෝ ය. කර්මය සම්භව කොට ඇත්තෝ ය. කර්මය
බන්ධු කොට ඇත්තෝ ය. කර්මය පිළිසරණ කොට ඇත්තෝ ය. කල්‍යාණ හෝ පාපී හෝ
කර්මයක් කරත් ද, එය ම දායාද කොට ඇත්තෝ ය,” වන හෙයිනි. පිළිකුල සහ අගතිය
හෙවත් පක්‍ෂපාතිත්වය ඉවත්කිරීම් උපේක්‍ෂාවේ පරිසමාප්තියයි. එහි
අක්‍රියත්වයේ ප්‍රතිඵලය වන්නේ මිථ්‍යා දෘෂ්ටිය හා අර්ථශූන්‍ය
මධ්‍යස්ථතාවයි. උපේක්‍ෂාව දස පාරමිතා අතර දස වැන්න ද, සප්ත බෝධි අංග
අතර හත්වැන්න ද වෙයි. එහෙත් මෙහිදී උපේක්‍ෂාව හඳුනා ගනු ලබන්නේ බ්‍රහ්ම
විහාර උපේක්‍ෂාව ලෙස යි. තවදුරටත් එය හතර වැනි හා පස් වැනි ධ්‍යාන
සුවයන් අතර ද හඳුනා ගනු ලැබේ.
මේ සතරාකාර බ්‍රහ්ම විහාරයන්ගෙන් කවරක් නමුත් ප්‍රගුණ කරන්නා
අධ්‍යාත්මික සතුට අත්දකින අතර යහ පැවැත්ම ද සාක්‍ෂාත් කර ගනු ඇත.
සතරාකාර බ්‍රහ්ම විහාර භාවනාවේ අරමුණ වන්නේ වෙන වෙන ම ක්‍රෝධය,
ක්‍රෑරත්වය සහ රාගය ඉවත්කර දැමීම යි.
සතරාකාර බ්‍රහ්ම විහාර ප්‍රගුණ කිරීමට පියවර තුනකට බෙදා දැක්විය හැකි
ය. එහි ආරම්භය වන්නේ මිත්‍ර ජනයා වෙත සදාචාරාත්මක වගකීම පිළිබඳ කාර්ය
සාධනයයි. මධ්‍යම පියවර නම් කෙලෙසුන් කෙරෙන් දුරු චිත්ත පාරිශුද්ධියයි.
තෙවැනි හෙවත් අවසාන පියවර වනාහී සිතිවිලි, වචන හා ක්‍රියා විෂයයෙහි ඉහත
දැක්වුණු ගති ලක්‍ෂණයන්ගේ ප්‍රත්‍යක්‍ෂය යි.
භාවනාව පිළිබඳ අනෙක් අවස්ථාවලදී මෙන් නොව මේ සතරාකාර අභ්‍යාසයේ එක් එක්
පියවරේදී, ඒ සමඟ සම්බන්ධ සුවිශේෂ මනෝභාවයන්ගේ අඛණ්ඩ ව්‍යාප්තියක් සේවනය
කරනු ලැබේ. කෙසේ ද යත්, පුද්ගලයාගෙන් සමාජයට හෙවත් වෙන වෙන ම ගත් කළ
එක් එක් පුද්ගලයාගෙන් බොහෝ දෙනාට සහ එයින් ලෝකයේ එක් දිසාවකින් වෙනත්
දිසාවකටත්, ඉක්බිති, කෙමෙන් සමස්ත භූතලයට සහ එහි පවත්නා සියලු දේටත්
ලෙසිනි. ඒ අනුව මේ ස්වරූපයේ භාවනාවේ දී භාවනානුයෝගියා සමස්ත විශ්වයේමි
අංශුවක් බවට පත්ව සියලු පුද්ගලබද්ධ සීමා ඉක්මවා පරමාන්තය සාක්‍ෂාත් කර
ගනී.
නියත අභ්‍යාසයට අනුව භාවනානුයෝගියා පළමුවෙන් මෙත්තා හෙවත්
මිත්‍රත්වයෙන් පටන්ගෙන අනුන්ගේ යහපත පිණිස කුසල්සිත පිළිබඳ සිතිවිල්ල
විෂයයෙහි වග බලා ගත යුතු අතර සුවසෙත සැලසීම මඟින් යහගුණය ප්‍රකට කළ
යුතු ය. ඉක්බිති භාවනානුයෝගියා අනුන්ගේ දුක විෂයෙහි තමා ඇසූ සහ දුටු දේ
කෙරෙහි අවධානය යොමු කරමින් ඔහුගේ සන්තාපය සැහැල්ලු කිරීම මඟින් කරුණාව
ප්‍රගුණ කළ යුතු ය. එහි සැබෑ ගුණාංගය හුදු කරුණාව පිළිබඳ සිතිවිල්ල
පමණක් නොවන අතර වැඩිමනත් වැදගත් වන්නේ අනුන්ගේ කනස්සල්ල හෙවත් දොම්නස
දුරු කිරීමයි.
මෙසේ අනුන්ගේ සොම්නස පිණිස කටයුතු කරම්යි සිතා ඔවුන්ගේ දෝමනස්සය දුරු
කිරීමෙන් ඉක්බිති ඔවුන්ගේ සෞභාග්‍යය විෂයයෙහි සතුටට පත්ව අනුකම්පාව
ප්‍රගුණ කළ යුතු ය. එසේ කරන්නා අවසන් විසින් අගතිගාමිත්වයෙන් තොරව
සමතුලිත භාවය ප්‍රගුණ කරන ගුණාංග වන උපේක්‍ෂාව හෙවත් සාවධානය තුළ කුසල
පාක්‍ෂික සිතිවිලි ප්‍රගුණ කළ යුතු ය. භාවනාව පිළිබඳ බෞද්ධ සම්ප්‍රදාය
ඉඳුරාම බුද්ධත්වය සාක්ෂාත්කරණය පිණිස අනුගමනය කරන ලද අවබෝධ මාර්ගයයි.
බ්‍රහ්ම විහාරයේ මූලධර්ම හතර ප්‍රගුණ කිරීම සිය මිතුරු ජනයා කෙරෙහි
පුද්ගල මනෝභාවයන්ගේ ප්‍රකාශනයක් වෙයි.
මේවායින් මෙත්තා හෙවත් සීමාරහිත (අප්පමඤ්ඤ) ආදරය හෝ මිත්‍රත්වය
භාවනානුයෝගියාගේ ආත්ම පරිත්‍යාගයේ ධනාත්මක ස්වභාවය සහ පරිත්‍යාගශීලී
සේවාව අවධාරණය කරයි. එය සත්තාවේ හෙවත් පැවැත්මේ කිසිදු එක් කොටසකට හෝ
අංශයකට සීමා නොවේ.
ඒ අතර විශ්වයේ සමස්ත ජීව පද්ධතිය අන්තර්ගත වන පරිදි ව්‍යාප්තව ඇත. එය
උපරිමාන්තයේ සිට අවමාන්තයටත්, ජීවීන් අතර ශ්‍රේෂ්ඨයාගේ සිට චූළතමයාටත්
එක සේ පොදු ය. බුදුන් වහන්සේ වෙත ආදර්ශිත සහ උන්වහන්සේ විසින් විවරණය
කරන ලද පරිදි, මෙත්තා විහරණය හුදෙක් චෛතසික උද්වේගයක ස්වයං සිද්ධ සේ
පෙනෙන මවා පෑමක් නොවන අතර හෘදයංගමව විඳින සහ සේවාව, හොඳහිත හා
මිත්‍රත්වය පිළිබඳ ධනාත්මක මානසික ආකල්පයකි. එය ක්‍රියාව, වචනය සහ
චේතනාව තුළ ප්‍රත්‍යක්‍ෂකයක් විය යුතු ය.
මෛත්‍රියේ භාවිතය භාවනාවටත් වඩා හොඳහිත පිළිබඳ මනෝභාවයන්ගේ ප්‍රගුණයට
නැඹුරුව සිටී. භාවනාව පිළිබඳ කේෂ්ත්‍රය තුළ මෛත්‍රිය, කෝපය සහ
ද්වේෂයෙන් තොරව චිත්ත පාරිශුද්ධියට අත්‍යවශ්‍ය ලෙස හඳුන්වනු ලැබ ඇත.
මෛත්‍රිය යහපත් පුද්ගලයකුගේ මානසික ආකල්පය, ඔහු අයිති සමාජයට සේම,
බාහිර සමාජය තුළ ඔහුගේ සහෘද ජනයාට අදාළ පරිදි අර්ථකථනය කරයි. තව දුරටත්
තම තමාට හෝ අනුන් කෙරෙහි පීඩා නොකරන පුද්ගලයාගේ ස්වරූපය එයයි. හෙතෙම
තමා “බ්‍රහ්මත්වය” ලබා ගත්තකු සේ තෘප්තිමත්ව,පහන් සිතැතිව සහ තැන්පත්ව
නිවීම් සුවය නිසා ලද සොම්නස විඳිමින් දිවි ගෙවයි.
බුදුදහමෙහි දැක්වෙන පරිදි මෛත්‍රිය වැඩීමෙන් පහත දැක්වෙන සුවසෙත අත්පත්
කර ගත හැකි ය. “මෙත් වඩන්නා සුව සේ නිදයි, සුව සේ පිබිදෙයි. හෙතෙම අසුබ
සිහින නොදකී. දුටුවෝ ඔහු කෙරෙහි පහදිත්. නොමිනිස් ජීවීහු ද ඔහුට පිය
වඩත්. දෙවියෝ ඔහු රකිත්. ගින්නෙන්, වස විසෙන් හෝ කඩු දුනු ආදියෙන් ඔහුට
කරදරයක් නොවේ. ඔහුගේ සිත පහසුවෙන් තැන්පත් බවට යෙයි. ඔහුගේ ශරීර වර්ණය
ප්‍රසන්නය. ඔහු ලෞකික වශයෙන් වැඩිමනත් කිසිවක් නොපතන්නේ නම්,
කනස්සල්ලෙන් ද, වික්ෂිප්තයෙන් ද තොර සිතිවිල්ලෙන් අවසන් හුස්ම හෙළයි.
ඉක්බිති සතරාකාර බ්‍රහ්ම විහරණයෙන් ලද ප්‍රතිඵලය ලෙස “බඹලොව“ උපදී.
එනම් “බ්‍රහ්මත්වය” ලබයි.
බුදුදහමෙහි දැක්වෙන මෛත්‍රී භාවනාවේ ඇතුළත් සමස්ත ක්‍රමවේදය මෙසේ හර
කොට දැක්විය හැකි ය. ඒ අනුව තමන් සේ ම සියලු සත්ත්වයන් ද සතුටින්
සිටිනු දකින්නට පතමින් මෙසේ මෙත් වඩමු.
මම හැම කල්හි සොම්නස් සිත් ඇත්තෙක් වෙම් වා. දුකින් මිදෙම් වා. මගේ
මිතුරෝ ද, මැදහත් සිත් ඇත්තෝ ද, සතුරෝ ද සොම්නස් සිත් ඇත්තෝ වෙත්වා.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා. බිය නැත්තෝ වෙත්වා. සියලු සත්ත්වයෝ සුවපත්
සිත් ඇත්තෝ වෙත්වා.
බිය වන හෝ නොවන, දික්, මහත්, මැදි, කෙටි, කුඩා, තර, පෙනෙන, නොපෙනෙන,
දුර, ළඟ සහ නූපන් සියලු සත්ත්වයෝ ද සුවපත් සිත් ඇත්තෝ වෙත්වා.
මවක් තම එකම දරුවා දිවි පුදා නමුත් යම් සේ රකින්නී ද, එසේ සැම සතුන්
කෙරෙහි අප්පමඤ්ඤ මෙත් සිත වඩත්වා.
සතර දිසා, සතර අනුදිසා, උඩ යට ආදි දස දිසාවෙහි කරදරයක්, වෛරයක් හෝ
සතුරකුගෙන් තොරව මෙත් සිත වඩත්වා.
සිටිමින්, හිඳිමින්, ඇවිදිමින්, සයනය කරමින් නොනිදන තෙක් මෙත් සිත
වඩත්වා!
(Mahobodhi Centenary Commemorative Volume –
SAMBASHA සඟරාවේ පළ
කරන ලද පූජ්‍ය ආචාර්ය පී. වජිරඥාන මාහිමියන්ගේ
Brahma Vihara Bhavna or The Cultivation of Divine Sentiments නිබන්ධනයේ පරිවර්තනයකි.) |