බුදු දහමෙහි සමාජවාදී ආර්ථික ලක්ෂණ
දෙවලපොල, ගල්ලේගෙදර,
ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරවාසී
මොනරාගල නන්දසිරි හිමි
ආර්ථිකය පිළිබඳ පෙර අපර දෙදිග උගතුන් විවිධ අර්ථ කථන ඉදිරිපත් කොට ඇත.
මෙම මතවාද අනුව එළඹිය හැකි නිගමනය වන්නේ සමාජයේ මානව අවශ්‍යතා හා
සේවා සැපයෙන්නේ ආර්ථිකය මඟින් බවය. මෙම සේවා සැපයෙන සංවිධානයන්හි
ස්වභාවය අනුව ආර්ථික ක්‍රමය කොටස් තුනකට වර්ග කළ හැකි ය.
1. ධනවාදී ආර්ථික ක්‍රමය
2. සමාජවාදී ආර්ථික ක්‍රමය
3. මිශ්‍ර ආර්ථික ක්‍රමය
යනුවෙනි. මෙයින් පළමු වැන්නෙන් අර්ථවත් කරණු ලබන්නේ පොදු මානව
අවශ්‍යතා පෞද්ගලික සංවිධාන මගින් සපයනු ලබන්නේනම් එය ධනවාදී ආර්ථික
ක්‍රමයකි. සමාජවාදී ආර්ථික ක්‍රමය යනු මිනිස් අවශ්‍යතා සහ සේවාවන්
රාජ්‍ය මූලික පොදු ආයතන මඟින් සැපයේ නම් එය සමාජවාදී ආර්ථික ක්‍රමය නම්
වේ. රජය සහ පුද්ගලික යන අංශ දෙකම සම්බන්ධ වී මිනිස් අවශ්‍යතා සපුරණු
ලැබේ නම් එය මිශ්‍ර ආර්ථික ක්‍රමය යැයි සඳහන් වේ. මෙම ක්‍රම තුනෙන්ම
සිදුවන්නේ මිනිස් අවශ්‍යතාවයන් ඉටු කිරීමයි. මෙහිදී මෙම ආර්ථික ක්‍රම
තුන පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අපේක්ෂා නොකරමි. සමාජවාදී ආර්ථික
ක්‍රමය සම්බන්ධයෙන් ඉතා කෙටියෙන් කාරණා කිහිපයක් විග්‍රහ කොට
බුදුදහමෙහි දක්නට ලැබෙන සමාජවාදී ආර්ථික ලක්ෂණ සාකච්ඡා කිරීම ප්‍රධාන
අරමුණයි. සමාජවාදී ආර්ථික ක්‍රමයේ ප්‍රකට වන ප්‍රධාන කාරණය වන්නේ
නිෂ්පාදනය, සංරක්ෂණය, බෙදාහැරීම හා පරිභෝජනය ආදී කටයුතු සම්බන්ධයෙන්
සම්පූර්ණ බලය රජය සතුව පැවතීමයි. මෙම ක්‍රියාවලියේ දී අවශ්‍යවන ශ්‍රමය,
ධනය හා ඉඩම් ආදිය රාජ්‍ය සතු වන අතර ඒවා කිසිවෙකුට පුද්ගලිකව පරිහරණය
කිරීමේ අයිතියක් නොමැත. එමෙන්ම ශ්‍රමික ජනතාවට සේවයෙහි ක්‍රියාත්මක වන
ප්‍රමාණයට වැටුප් ලබාදීමසේම සුදුසු කල්හි නිවාඩු ලබාදීම ද සමාජවාදී
ආර්ථික ක්‍රමයේ ලක්ෂණයකි.
මෙම ආර්ථික ක්‍රමයේ දී කිසිදු පන්ති භේදයක් දක්නට ලැබෙන්නේ නැත. මෙහි
ප්‍රධානම අරමුණ ලාභ උපයා ගැනීම නොව ජනතාවගේ අවශ්‍යතා සැපරීමයි.
තරගකාරිත්වය ද මෙහිදී බලපාන්නේ නැත. එසේම රජය සතු දේපල අරපිරිමැස්මෙන්
පාවිච්චි කිරීම ද විශේෂ ලක්ෂණයකි. මෙම ආර්ථික ක්‍රමය වඩාත්ම වැදගත්
කාරණය වන්නේ නිෂ්පාදනයෙන් ලැබෙන ආදායම සමසේ බෙදීයන අතර එක් අයෙකු වටා
එක්රොක් නොවීමයි.
ඉහතින් මේ දක්වා සාකච්ඡා කළ මෙම සමාජවාදී ආර්ථික ක්‍රමය කියුබාව,
රුසියාව හා සෝවියට් දේශය වැනි රටවල යම් තරමකින් හෝ ක්‍රියාත්මක වන
ආකාරය දක්නට පුළුවනි. එනමුත් කිසිදු රටක සමාජවාදී ආර්ථික ක්‍රමය
සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ් නොමැත. සමාජවාදී ආර්ථික ක්‍රමයේ
සඳහන් කරණු සමඟ බෞද්ධ ආර්ථික දර්ශනයේ එන කරුණු සමාන කළ නොහැකිය. නමුත්
බෞද්ධ ආර්ථික දර්ශනයේ ලක්ෂණ සමහර අවස්ථාවලදී සමාජවාදී ආර්ථික ක්‍රමය
තුළ ද විද්‍යාමාන වේ. එහෙත් සමාජවාදී ආර්ථික දර්ශනයේ සඳහන් සංකල්පනා
බෞද්ධ ආර්ථික දර්ශනයේ සඳහන් සංකල්පනා තරම් උසස් හෝ දියුණු මට්ටමක
නොපවතින බව මෙහිලා වගකීමෙන් ප්‍රකාශ කළ යුතුය.
බුදුරජාණන් වහන්සේ පුද්ගල සන්තානයේ පවතින ආත්මාර්ථකාමි හැඟීම් ඉවත්කර
දැමීමට අවශ්‍ය කරන දේශනා නිරතුරුවම පැවැත්වූහ. මෙම අරමුණ සඵල කර
ගැනීමෙහිලා උන්වහන්සේ සිය ශ්‍රාවක පිරිසට සාංඝික ක්‍රමයක් අනුදැන
වදාළහ. මෙම ක්‍රමය නිසා එක් පුද්ගලයෙකු හෝ එක් කණ්ඩායමක් වටා විවිධ
වස්තු එක්රැස්වීමට තිබූ අවස්ථාව මඟහරවා ලැබෙන සියලුම ප්‍රත්‍ය පහසුකම්
පොදුවේ සෑම දෙනාටම බෙදීයන අන්දමේ වැඩපිළිවෙලක් යෙදුහ. මෙය සමාජවාදී
ආර්ථික ක්‍රමය තුළ ද විද්‍යාමාන වේ.
දිනක් මහාප්‍රජාපතී ගෝතමිය සිය බුදුපුතුණුවන්ගේ ශ්‍රී දේහය වසා ගැනීම
සඳහා සිය අතින්ම චීවරයක් පිළියෙළ කරගෙන බුදුරජාණන්වහන්සේට පූජා කිරීමට
පැමිණ පූජා කිරීමට සූදානම් වූ අවස්ථාවේදී උන්වහන්සේ එය ප්‍රතික්ෂේප
කරමින් ප්‍රකාශ කරනු ලැබුවේ සංඝයාට පූජා කරන ලෙසයි. ‘සංඝ ගොතමි දෙහි.
සංඝෙ දිනෙන අහකූච පූජිතො හොමි’ මෙහි අදහස ගොතමිය සංඝයාට පූජා කරන්න
සංඝයාට පූජාකළ විට එය මට ද අයිති වේ යනුවෙනි. මෙම සිද්ධියෙන් ප්‍රකට
වන්නේ උන්වහන්සේ සිය ශ්‍රාවකයන්ට යමක් පිළිගැනීමේදී පොදුවේ හැම දෙනාටම
අයිතිවන ලෙස පිළිගන්නට අනුදැන වදාළා පමණක් නොව තමන් වහන්සේ ද එය
ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූ බවයි.
බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවක පිරිස ගල්ගුහා, රුක්මුල් හා කැලෑ ආදී
විවිධ ස්ථානවල වාසය කරනවා දුටු රජගහනුවර සිටුතුමා බුදු සසුන වෙනුවෙන්
ආරාම 60 (හැටක්) ඉදිකොට ඒවා පූජා කළයුත්තේ කෙසේදැයි බුදු හිමියන්ගෙන්
විමසූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ ‘තෙනහි ගහපති තෙ සටඨි භික්ඛු සංඝස්ස
පතිටප්ත පෙහීති’ යනුවෙනි. මෙයින් උන්වහන්සේ සතර දිසාවෙන් ම පැමිණි
නොපැමිණි සියලුම භික්ෂූ සංඝයාට අයත්වන අන්දමෙන් මෙම පූජාව සිදු කිරීමට
අවවාද ලබා දුන්හ. මෙය සමාජවාදී ආර්ථික ක්‍රමයේ උසස් ලක්ෂණයකි.
එමෙන්ම බුදුසසුන වෙනුවෙන් ලැබෙන ප්‍රත්‍ය පහසුකම් පොදුවේ සෑම දෙනාටම
බෙදී යන වැඩපිළිවෙළක් ඇතිකළා පමණක් නොව එය සාර්ථක කර ගැනීමෙහිලා තනතුරු
කිහිපයක් ඇති කිරීම තුළින් සිය අභිමතය සඵල කර ගැනීමට කටයුතු යෙදුහ.
චුල්ලවග්ග පාළියේ චීචරඛන්ධකයේ සඳහන් අන්දමට සිවුරු පිළිගැනීම සඳහා’
චීවර පටිගගාහපක’ නමින්ද සිවුරු අවශ්‍ය අයට බෙදාදීම සඳහා ‘චීවර භොජක’
වශයෙන් තනතුරු ඇතිකළහ. එපමණක්නොව යාගුහාජක, ඛජ්ජ භාජක, භෙසජ්ජභාජක ආදි
විවිධ තනතුරු ඇති කොට සිය වැඩපිළිවෙළ උන්වහන්සේ සඵලකර ගත්හ.
සමාජවාදී ආර්ථික ක්‍රමය තුළ විද්‍යාමාන වන තවත් ලක්ෂණයක් නම් සම්පත්
අරපිරිමැස්මෙන් යුතුව නාස්තිය දූෂණය වංචාව ආදිය මඟින් වස්තුව විනාශවීම
වලක්වා ගැනීමයි. එමෙන්ම සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ද
මෙහි අරමුණයි. මෙම ලක්ෂණ බුදුදහමේ අන්තර්ගත වී ඇත්තේ් කෙසේද? යන කාරණය
මීළඟට සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමි.
දිනක් ආනන්ද ස්වාමීන්වහන්සේ කොසොල් රජතුමාගේ් අන්තඞපුර ස්ත්‍රීන්ට
ධර්මය දේශනා කිරීම සඳහා වැඩම කළහ. ධර්ම දේශනාව කෙළවර ආනන්ද හිමියන්ට
පිරිකර වශයෙන් සළු 500 ක් ලැබුණේ ය. උන්වහන්සේ ඒ සියලුම සළු පිළිගත්හ.
මෙය දුටු කොසොල් රජතුමා ආනන්ද හිමි සමඟ සංවාදයක් ඇතිකර ගත්හ. එහිදී
රජතුමා විමසුවේ මෙම සළු 500 ට ම කුමක් කරන්නේ ද? යනුවෙනි. එයට ආනන්ද
හිමිගේ පිළිතුර වූයේ දුර්වල සිවුරු තිබෙන භික්ෂූන්ට දෙන බවයි. නැවත
රජතුමා විමසුවේ දුර්වල සිවුරුවලට කුමක් කරන්නේද? යනුවෙනි. එයට ආනන්ද
හිමිගේ පිළිතුර වූයේ දුර්වල සිවුරු අඳනයන් බවට පත්කර පාවිච්චි කරන
බවයි. නැවත නැවත රජතුමා ප්‍රශ්න කිරීම් කළ නිසා ආනන්ද හිමි ප්‍රකාශ කළේ
පරණ අඳන ඇඳන් ඇතිරිලි බවට පත්කරණ බවත් පරණ ඇඳඇතිරිලි දූවිලි පිසින
බුමුතුරුණු බවට පත්කරන බවත් පරණ බුමුතුරුණු පාපිස්නා බවට ගන්නා බවත්
පරණ පාපිසි මැටි සමඟ මිශ්‍ර කොට බිත්ති සෑදීමට ගන්නා බවයි. මෙම සංවාදය
තුළින් ප්‍රකට වන්නේ බුදුදහම නාස්තිය වලක්වා අරපිරිමැස්මෙන් ලැබෙන
සිව්පසය පාවිච්චි කරන බවයි. මෙය සමාජවාදී ආර්ථිකයේ ස්වභාවය යි.
ඉහතින් සාකච්ඡා කළ මෙම සියලු කරුණු කාරණා අනුව පෙනී යන්නේ සමාජවාදී
ආර්ථිකය ජනතා හිතවාදී ස්වරූපයක් දරන බවයි. මෙම ජනතා හිතවාදී ස්වරූපයෙන්
යුත් සමාජවාදී ආර්ථික ක්‍රමයේ ලක්ෂණ බුදුදහම තුළ ද විද්‍යාමාන වන බව
අවිවාදයෙන් යුතුව පිළිගත යුතුය. |