UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සංවර සිත

විවේකශීලිව සමාජයෙන් දුරස්ථව සන්සුන් පරිසරයක හිඳ භාවනා කිරීම චිත්ත සංයමය සඳහා ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ගයක්. බොහෝ සූත්‍ර දේශනාවන්හි චිත්තභාවනාවක් වශයෙන් සමථ භාවනාව ද ප්‍රඥා භාවනාවක් වශයෙන් විදර්ශනා භාවනාව ද විස්තර කොට තිබෙනවා. සමථ හා විදර්ශනා භාවනා මඟින් වඩන ලද සිත හා ප්‍රඥා යන දෙකම මෙම ගාථාවේ සඳහන් ‘සඤ්ඤ මෙස්සන්ති ‘ යන්නෙන් අදහස්කොට තිබෙනවා

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
දුරඞගමං ඒක චරං
අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා

පින්වත්නි,

ශාන්තිනායක බුදුපියාණන් වහන්සේගේ ධර්මයෙහි පුද්ගලයාගේ මනසට හෙවත් සිතට හිමිකර දී තිබෙන්නේ ඉතා වැදගත් තැනක්. ධම්ම පද පාලිය පටන් ගැනෙන්නේම මනස සියලු කාරණාවන්ට පෙරටුවනවාය. හැම සංසිද්ධියක්ම මනස මුල්කොට සිදුවෙනවාය. මනසින් ඇතිවුණු දේය, යනුවෙන් සඳහන් කිරීමෙන් පරමාර්ථ ධර්මය වශයෙන් සලකනු ලබන අභිධර්මයේ කොටස් හතරෙන් චිත්ත, චෛතසික යන කාණ්ඩ දෙකේම සාකච්ඡා වන්නේ මනස හා එහි ක්‍රියාකාරිත්වයයි. එනිසා මනස කෙරෙහි දක්වන මේ ප්‍රමුඛ සැලකිල්ල පිළිබඳව සියලුම බෞද්ධ පින්වතුන් මනා අවබෝධයකින් සිටිය යුතු වනවා.

ඉහත සඳහන් ගාථාව ධම්ම පදයේ චිත්ත වර්ගයට ඇතුලත් වන්නක්. බුදුරජාණන් වහන්සේ එය දේශනා කළේ භාගිණෙය්‍ය සංඝරක්ඛිත නම් තරුණ භික්‍ෂූන් වහන්සේ නමක් අරභයායි. තම මයිලණුවන් හා ගුරුවරයා වූ සංඝරක්ඛිත හිමියන් පිළිබඳව වැරැදි අනුමිතියකට පැමිණි බෑණනුවන් වූ තරුණ භික්‍ෂුව උපැවිදි වී ගිහි ජීවිතය පිළිබඳව සිහින මවන ආකාරය එම ධම්මපද ගාථාවට තේමාව වී තිබෙනවා.

සිතේ ස්වභාවය ගැන සඳහන් කරන බුදුරජාණන් වහන්සේ සිත සංවරකර ගැනීමේ මහඟු ඵලයන් විදිහට මාරයාගේ බැම්මෙන් සපුරා මිදීමෙන් ලබන අජරාමර නිර්වාණසම්පත්තිය ලබා ගත හැකිබව එම ගාථාවෙන් දේශනාකොට වදාරණවා.

සිත දමනය කිරීමට නැතහොත් තමන්ගේ පාලනයට යටත් කර ගැනීමට ප්‍රයත්න දරන තැනැත්තා එහි ස්වභාවයන් හඳුනා ගැනීම අවශ්‍යයි. සිත සංවර කර ගැන්ම තරමක් දුෂ්කර කාරණයක් බවයි මේ ගාථා ධර්මයෙන් පෙන්වා දෙන්නේ. ත්‍රස්තවාදියෙකු ගෙන් පැමිණෙන උවදුරු වලක්වාගන්නට නම් ඔහු කවුද? ඔහුගේ හැසිරීමේ රටාව කෙසේද? ස්වරූපය කවරාකාරද? යනාදි තොරතුරු දැනගත යුතුයි. වෙස්වලාගෙන සිටින ත්‍රස්තවාදියා හිත මිතුරකු අවිහිංසකයකු, මගියකු, යාචකයකු , ගැබිනියක ආදි විවිධ විලාසයන්ගෙන් සිටිය හැකි බව අප අත් දැකීමෙන් දන්නා කාරණයක්.

සිතත් එවැනි ස්වභාවයක් ඇත්තක්. සිත දුරගමන් කරන සුළුයි (දුරඞගමං ) සීමා සහිත පරිශ්‍රයක හැසිරෙන ප්‍රපඤචයක් නම් අපට කොටු කර ගැනීම පහසුයි. ඒත් විවිධ අරමුණු කරා ක්‍ෂණයෙන් ගමන් කරමින් විශ්මිත චය්‍යාමය ලක්‍ෂණ පෙන්නුම් කරන සිත එක් අරමුණක් මත රඳවා ගැනීම බෙහෙවින් අසීරුයි.

නිමේෂයකදී සැතපුම් ලක්‍ෂ ගණනාවක් ඈත තිබෙන අරමුණක් කරා සිතට ගමන් කළ හැකි බව පහසුවෙන් වටහාගන්නට පුළුවනි. ඊළඟ නිමේෂයේ දී තවත් ඉතාදුර පවතින ඔබ හෝ මොබ අරමුණක් කරා පැමිණිය හැකි තෘෂ්ණාව ඇසුරු කරගත් සිත ගසින් ගසට පනින වානරයකු හා සමාන යයි (සො ප්ලවති හුරා හුරං ඵලමච්ඡංච වනස්මිං වානරො) බුදුරජාණන් වහන්සේ දේශනා කළේත් ඒ නිසයි.

එකලාව හැසිරීම (ඒකචරං) සිතේ ඇති තවත් ලක්‍ෂණයක්. අහසේ පාවෙන සරුංගලය අල්වා ගැනීමට අපහසු නමුත් එයට බද්ධ වී ඇති නූල අල්වා ගතහොත් සරුංගලය ද අපගේ ග්‍රහණයට හසු වූවා වෙනවා. සරුංගලය හුදකලා වස්තුවක් නොව නූල සමග එකට යාවී ඇති නිසයි. මී මැසි ජනපදයක රැජිනිය අල්වා ගත්විට මී මැසි පොදියම අල්වාගත්තා හා සමාන වනවා. රැජිණ වටා ඒකරාශිවීම මීමැස්සන්ගේ ස්වභාවයක් නිසා. එහෙත් සිත තනිව හැසිරෙන්නක් සිත ග්‍රහණය කර ගනිමියි සිතා සිත හා බැඳී ඇති වෙනත් යමක් ග්‍රහණය කර ගැනීමේ උපාය මාර්ගයක් භාවිතා කළ නොහැකි . මින් හැඟවෙන්නේද සිත පාලනය කරගැනීමේ දුෂ්කරතාවයයි.

සිතට සිරුරක් නැහැ (අසරීරං ) සිත අල්වා බැඳ තබා ගැනීමට අපහසුවන තවත් හේතුවක් එයයි. ශරීරයක් ඇත්නම් එය අල්වා ගන්නා හැටි සිතාගත හැකි. ද්‍රව්‍යමය වූ වස්තුවක් අල්වාගෙන පාලනය කිරීම පහසුවෙන් කළ හැකි. ඒත් ශරීරයක් නැත්නම් අල්වාගන්නේ කෙසේද? කොතනින්ද?

දුර ගමන් කරන සුළු, එකලාව හැසිරෙන සිරුරක් නැති සිත, වාසභූ®මිය කරගෙන සිටින්නේ අන්ධකාරය රජයන ගුහාවක් නම් එය ග්‍රහණය කරගැනීම කෙතෙක් දුෂ්කර කාර්යයක්දැයි සිතිය යුතුවනවා. සිත ක්‍රියාකරන ඉහත කී ස්වරූපයන් ගැන චිත්තරූපයක් මවා ගැනීමෙන් කෙනෙකුට සිත පාලනය කිරීමේ දුෂ්කරභාවය මැනවින් වටහා ගන්නට පුළුවනි.

හෙත් ඒ දුෂ්කරතා කෙතෙක් තිබුණත් නැණවත් පුද්ගලයාගේ වගකීම වන්නේ සිත සංවර කර ගැනීමයි. එය කළහැක්කේ කෙසේද?

චිත්ත සංයමය ඇතිකර ගැනීමේ පළමු පියවර වන්නේ සම්‍යග්ඥානය මත පදනම්ව සම්‍යක් සංකල්ප ඇතිකර ගැනීමයි. පංචකාම වස්තූන් කෙරෙහි ගිජුව ලෝභාදී සිතිවිලි වැඩීමට ඉඩනොදි පරිත්‍යාගශීලිත්වය, දානය, පරෝපකාරය වැනි යහපත් ක්‍රියා තුලින් නෛෂ්ක්‍රම්‍ය සංකල්පය දියුණු පමුණු කිරීම චිත්ත සංයමයට මඟක් වෙනවා. ක්‍රෝධය , වෛරය වැනි දුෂ්ට සිතුවිලිවලින් සිත මුදාගැනීමට මෛත්‍රී සහගත සිතුවිලි ඇතිකරගත යුතුයි.ආත්ම හිංසාව හා පරහිංසාවට පටහැනි අනුකම්පාව, දයාව, කරුණාව වැනි සිතිවිලි ගොඩනගා ගැනීමත් සිත සංවර කර ගැනීමේ උපාය මාර්ගයක් .මේ ආකාරයට අකුසල සිතිවිලි වෙනුවට කුසල සිතිවිලි සිතේ රෝපණය කොට වඩා වර්ධනය කරගැනීම චිත්ත සංයමයේ මූලික පියවරයි. ඔබගේ සාමාන්‍ය ජීවිතයේ දෛනික කටයුතු කරන අතරමයි ඉහත කී සිත් සංයමය ඇතිකර ගත යුතු වන්නේ.

විවේකශීලිව සමාජයෙන් දුරස්ථව සන්සුන් පරිසරයක හිඳ භාවනා කිරීම චිත්ත සංයමය සඳහා ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ගයක්. බොහෝ සූත්‍ර දේශනාවන්හි චිත්තභාවනාවක් වශයෙන් සමථ භාවනාව ද ප්‍රඥා භාවනාවක් වශයෙන් විදර්ශනා භාවනාව ද විස්තර කොට තිබෙනවා. සමථ හා විදර්ශනා භාවනා මඟින් වඩන ලද සිත හා ප්‍රඥා යන දෙකම මෙම ගාථාවේ සඳහන් ‘සඤ්ඤ මෙස්සන්ති ‘ යන්නෙන් අදහස්කොට තිබෙනවා.

භාවනාවෙන් නොවැඩු සිතක ඇති දුර්වලතා පහක් පංච නීවරණ නමින් දක්වා තිබෙනවා. ඒවා නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා යන පහයි. සිත කිලුටට පත්කරන්නේය. යන තේරුමින් මේවාට චිත්ත උප ක්ලේශ ධර්ම ‘ යන නම භාවිතා කරනු ලබනවා. භාවනා කරන තැනැත්තා තම චරිතාධිමුක්තීන්ට ගැලපෙන කර්මස්ථානයක් තෝරා ගෙන භාවනා කිරීමෙන් පංච නීවරණ ධර්මයන් යටපත් වී ගොස් සිතේ කර්මණ්‍යතාව දියුණු කරගන්නවා. කෙලෙස් කසට වලින් බැහැර වූ පිරිසුදු සුදු වස්ත්‍රයක් වැනිව ක්‍රියාශීලිභාවයෙන් ප්‍රබල වු සිත විදර්ශනා වැඩීමට යෝග්‍යයි. සිතට එළැඹෙන සෑම අරමුණකම අනිත්‍ය දුක්ඛ අනාත්මභාවය ආවර්ජනා කිරීම විදර්ශනා භාවනාවේ ලක්‍ෂණයයි.

විෂම වූ අරමුණු ඔස්සේ සිත ගමන් කරන්නට නොදී ධර්මාරම්මණයක රඳවා තබා ගැනීම සඳහා කාය,වේදනා, චිත්ත, ධම්ම යන අරමුණු වල සිහිය පිහිටුවීම භාවනානුයෝගින් සඳහා නිර්දේශ කරනු ලබන ප්‍රකට බෞද්ධ උපාය මාර්ගයක් ලෝභය හා ද්වේෂය යන විෂම සිතිවිලි සිතෙහි ඇතිවීම ඉන් වලකිනවා. එම භාවනාව ප්‍රගුණ කිරීමෙන් රාගාදී කෙලෙස් මුළුමනින්ම පහව ගොස් ආසවක්ඛය ඥානය ලබා අර්හත් භාවයට පත්විය හැකි. සෝපාදිශේෂ පරිනිර්වාණයෙන් සකලක්ලේශයන් අපවත් කළ ආය¸ උත්තමයා නිරුපදිශේෂ පරිනිර්වාණයක් සමග සසර ඉපදීම නවතන බැවින් මාරබන්ධනයෙන් මිදෙනවා (මොක්ඛන්ති මාරබන්ධනා)

සත්ව සන්තානය තුල කාමරාගාදී කෙලෙස් වඩවා සසරට බැඳ තැබීම මාරයාගේ කාය¸යක් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කිරීමට මාලිගාවෙන් පිටවෙන අවස්ථාවේ මාරයා එම ගමන වලක්වා එතුමන් පංචකාම සම්පත් කෙරෙහි ඇල්ම කරවීමට උත්සාහ කළ බව ප්‍රසිද්ධ කාරණයක්. ඒවාගේ සෑම පුද්ගලයෙක්ම මාරයාගේ බැම්මට හසු වී සිටින බව සිතිය යුතුයි. සසරට ආවේනික සියලු දුක්වලට භාජනය වන්නේ ඒ මාර බන්ධනය නිසයි. එසේ නම් ඒ බන්ධනයෙන් මිදීම සඳහා සිත සංවර කර ගැනීමට උත්සාහකිරීම ප්‍රඥාවන්තයන්ගේ වගකීමයි.

තෙරුවන් සරණයි

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජූලි මස 4 වනදා ඉරිදා පූර්ව භාග 07.13 ට ලබයි. 05 වනදා සඳුදා පූර්ව භාග 8.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 04 වන දා ඉරිදාය.

මීළඟ පෝය
ජූලි 11 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]