පොසොන් අව අටවක 2010.07.04
සිද්ධස්ථාන ඉදි කිරීම
බුදු රදුන් මෙන් , තම ශ්‍රාවකයන් ගේ පැවැත්ම කෙරෙහි බලපාන
සමාජයීය සාධක දෙස ඉතා ගැඹුරින් සිතා බැලූ වෙනත් ශාස්තෘවරයකු
නොමැත. භික්‍ෂූන් වහන්සේ හට වැඩ සිටීම සඳහා සුදුසු ආරාම වන්නේ,
නගරයට ළඟ නො වූ, දුර නො වූ, ගමන සම්පන්න, දහවල් මිනිසුන් නො
ගැවසෙන, රාත්‍රියෙහි නිශ්චල වූ, පිරිසුදු වූ, විවේකයට සුදුසු
වූ ස්ථාන යැයි අනුදැන වදාළ කරුණින් ම එය මැනවින් පැහැදිලි ය.
එම මහඟු උපදේශය මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ද අනුගමනය කළ
අවස්ථාවක් මෙ සේ ය.
සවස් වූ වේලාවක මිහිඳු හිමියන් සෑගිරියට වඩින්නට සූදානම් වනු
දුටු දේවානම්පියතිස්ස රජතුමා, උන්වහන්සේට නන්දන වනයෙහි විසිය
හැකි බව දැන්වීය. එහෙත්, එය නගරයට ඉතා ආසන්න හෙයින් තමන්
වහන්සේට නුසුදුසු යැයි මිහිඳු හිමියන් වදාළ කල් හි මහාමේඝ
වනයෙහි වැඩ වසන මෙන් රජු ඉල්ලා සිටියේ ය. මිහිඳු මහ රහතන්
වහන්සේ එම ඉල්ලීම පිළිගත් සේක.
මෙහි අප සඳහන් කළ බුදු රදුන් වදාළ උපදේශය හා මිහිඳු හිමියන් ගේ
මහඟු ආදර්ශය අද වන විට අමතක වූ සෙයකි. එහි ප්‍රතිඵලය වී ඇත්තේ
ඇතැම් විට නුසුදුසු ස්ථාන වල පවා ආරාම ඉදිකිරීම ය.
මෙහි දී අන්‍යාගමිකයන් ගේ හැසිරීම පිළිබඳ ව අවධානය යොමු නො
කිරීම විශාල වරදක් වනු ඇත. ඒ සඳහා අතීත උදාහරණයක් උපුටා
දැක්වීමට කැමැත්තෙමු. බ්‍රිතාන්‍ය යටත් විජිත භාර ලේකම්වරයා වූ
ග්ලැනල්ග් සාමි වෙත ශ්‍රීමත් රොබට් විල්මට් හෝටන් ආණ්ඩුකාරවරයා
විසින් 1836.02.26 දාතමින් යවන ලද ලිපියෙහි මෙ සේ සඳහන් විය.
“මේ තාක් මහනුවර දේව මෙහෙය පවත්වනු ලබන්නේ අන්තිම සිංහල රජුගේ
මඟුල් මඩුවේ බැවින් ද, එය උසාවියක් වශයෙන් පාවිච්චි කරනු ලබන
බැවින් ද, මහනුවර පල්ලියක් තැනවීමේ අවශ්‍යතාව ගැන කල්කටාවේ
බිෂොප්තුමා ලක්දිවට පැමිණි අවස්ථාවේ ඉතා බලවත් ලෙස මට කියා
සිටියේ ය. මේ ගැන සිවිල් ඉංජිනේරු තැනට දැන් වූ විට ඔහු කීයේ
මහනුවර පෙදෙසේ ගොඩනැඟිලි තැනීමට අවශ්‍ය බඩුමුට්ටුවල මිල ඉතා
අධික බැවින් අඩු ම ප්‍රමාණයේ පල්ලියක් තැනවීමට වුවත් සැලකිය
යුතු මුදලක් වියදම් වන හෙයින් ඉතා අඩු මුදලක් වියදම් කිරීමෙන්
මඟුල් මඩුව උසස් ම පල්ලියක ට පරිවර්තනය කළ හැකි බවත්, මේ තාක්
දිස්ත්‍රික් නඩුකාර තැන ගේ වාසස්ථාන ලෙස පාවිච්චි කරනු ලබන
ගොඩනැඟිල්ල පහසුවෙන් ම උසාවියකට හැරවිය හැකි බවත් ය. කරුණු මෙ
සේ හෙයින්, ඒ ඥානවන්ත යෝජනාව පිළිගත් මම (මඟුල් මඩුවේ)
20ය14ඇතුළු කාමරයක් හා අඩි 18 ක පෝටිකෝවක් ද ඇති ව ඒ
ගොඩනැඟිල්ල (පල්ලියක් වශයෙන්) සකස් කිරීමට වියදම් වෙතැයි සලකා
බලන ලද මුදල පිළිබඳ ඇස්තමේන්තුව ඔබ වෙත ගෞරවයෙන් ඉදිරිපත්
කරමි. මෙය අනුමත කරනු ඇතැයි ද විශ්වාස කරමි.”
මහනුවර මඟුල් මඩුව පල්ලියකට පරිවර්තනය කිරීම බ්‍රිතාන්‍ය
ආණ්ඩුවට විරුද්ධ ව ස්වදේශිකයන් ගේ සිත්වල සදහට ම පවතින්නක් විය
හැකි යැයි කියූ යටත් විජිත භාර ලේකම්වරයා එම ඉල්ලීම
ප්‍රතික්‍ෂේප කළේ ය. එහෙත් ඒ වෙනුවට මහනුවර නගරයේ පල්ලියක්
අලුතෙන් තැනීම සඳහා විශාල මුදලක් අනුමත කිරීමට ඔහු කටයුතු කැර
ඇත.
මෙ රට ආගමික සිද්ධස්ථාන බිහිවීම පිළිබඳ ඉතිහාසය ගැන අවබෝධයක්
ලබා ගැනීමට මේ කරුණු ප්‍රමාණවත් මඟ පෙන්වීමක් යැයි සිතමු. කෙ
සේ වූව ද අද වන විට තත්ත්වය අයහපත් බව අගමැති දි.මු. ජයරත්න
මහතා කැර ඇති මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන කරුණකි.
‘මින් ඉදිරියට දිවයිනේ කිසිම ප්‍රදේශයක අනවසරයෙන් ආගමික
සිද්ධස්ථාන ඉදිකිරීමට රජය ඉඩ දෙන්නේ නැත. රට තුළ පැන නැඟිය
හැකි අවුල් සහගත තත්ත්වයන් වළක්වාලීම එහි අරමුණ යි. අගමැතිවරයා
එ සේ පවසා ඇත්තේ, දොම්පේ ගණේගොඩ ශ්‍රී සාරානන්ද මහ පිරිවෙනේ
කෘත්‍යාධිකාරී දන්දෙණියේ ජිනවංශ හිමියන් වෙත බුද්ධ ශාසන කීර්ති
ශ්‍රී ත්‍රිපිටක ධර්මවේදී සිරි සුගතවංසාලංකාර යන ගෞරව නාම
සහිතව සීනා දී සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම
නිමිත්තෙන් ගණේගොඩ ශ්‍රී පුණ්‍යවර්ධනාරාමයේ පැවැති උත්සවයක දී
ය.
ඊට පසු දිනෙක අගමැති දි.මු. ජයරත්න මහතා කළ ප්‍රකාශයක්
2010.06.24 වන දා දිනමිණ මෙ සේ වාර්තා කැර තිබිණ.
‘නව ආගමික ස්ථානයක් ඉදිකරන්නේ නම් ප්‍රථමයෙන් බුද්ධ ශාසන හා
ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ගේ අනුමැතිය සහිත
ව අයදුම් පතක් අදාළ මහ නගරසභාව, නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව
වෙත ඉදිරිපත් කළ යුතු ය. නැවතත් එම අයදුම් පත්‍රය ප්‍රාදේශීය
ලේකම්වරයා ගේ අනුමැතිය සහිත ව විෂය භාර අමාත්‍යාංශ ලේකම්වරයා
වෙත ඉදිරිපත් කළ යුතු අතර එම අයදුම්පත කරුණු අධ්‍යයනය පිණිස
අදාළ කමිටුව වෙත ලේකම්වරයා විසින් යොමු කිරීමට නියමිත ය.’
ආගමික ස්ථාන ඉදිකිරීම සම්බන්ධයෙන් මේ ආකාරයේ විධිමත්
ක්‍රියාමාර්ගයක් අවශ්‍ය කැරේ. එ පමණක් ද නො ව ඇතැම් ගොඩනැගිලි
කුලියට ගෙන රහසිගත ව පවත්වා ගෙන යන විවිධාකාරයේ ආගමික
ක්‍රියාකාරකම් කෙරෙහි ද රජයේ අවධානය යොමු වනු ඇතැයි සිතමු. මේ
සඳහා රජයේ මැදිහත් වීමක් අවශ්‍ය යැයි අප පවසන්නේ ආගමික නිදහස
සීමා කිරීමට නො ව ආගම්වල නාමයෙන් කැරෙන ජාවාරම් නතර කිරීම
පිණිස ය. |