පුරාණ භාරතයේ පුද බිම්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂක
සිරිසමන් විජේතුංග
සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ එකල දඹදිව උරුවෙල් දනව්වේ ගයා
පෙදෙසේ පිහිටි ඇසතු රුක සෙවණේ දස මරුන් ඔද බිඳ දමා පරම පූජනීය වූ සම්මා
සම්බුද්ධත්වයට පත්වූ සේක. ඒ ගයා ප්‍රදේශය සිදුහත් කුමරු බුද්ධත්වයට
පත්වීම මෙයට වසර 2599 ඉහත දී සිදු වූ නිසා එදා ගයාව බුද්ධගයාව බවට ලෝකය
පුරා ප්‍රසිද්ධියට පත් වූයේ ය. භාරත දේශය ඉතා පුරාණ ශිෂ්ටාචාරයක් සහිත
වූ රටකි. ක්‍රි.ව. 1922 වනතුරු ඒ රටේ ඉතිහාසය සෘග් වෛදික යුගය එනම්
ක්‍රි.පූ. 1500 කාලයේ සිට පැවත එන ශිෂ්ටචාරයක් ලෙසින් සලකනු ලැබීය.
එහෙත් 1922 දී මොහෙන්ජෝදාරෝ හරප්පා නම් වූ පුරාණ නාගරික ශිෂ්ටාචාරයක
නටබුන් ඉන්දු ගංගා නිම්නය ආශි‍්‍රතව පුරාවිද්‍යාඥයින් විසින් සොයා
ගන්නා ලදී. එම ශිෂ්ටාචාරය ක්‍රිස්තු පූර්ව 3500 පමණ පුරාණ බව
පුරාවිද්‍යාඥයින් විසින් අනාවරණය කර ගෙන ඇත.
ඒ අනුව බුද්ධකාලයේ දී එනම් ක්‍රි.පූ. 6 වන සියවසේ දී ජම්බුද්වීපය යන
නාමයෙන් හඳුන්වන ලද රට ඒකාලයේ දී සොළොස් මහා ජනපද සහිතව රාජ්‍ය කීපයක්ම
පැවතුණි. ක්‍රි.පූ. 3 වන සියවස වන විට අසෝක රජුගේ කාලයේ දී
ජම්බුද්වීපයට අයත් වන රටවල් එතුමා විසින් පිහිටුවන ලද ශිලා ලේඛන වලින්ම
පැහැදිලි වේ. මේවා ටැම්වල මෙන්ම විශාල ගල්පර්වත වලද කොටා ඇති අන්දම
අදත් දැකිය හැකිය.
ඉතා වැඩි සංඛ්‍යාවක් එම ශිලාලේඛන ලියන ලද අක්‍ෂර බ්‍රාහ්මී අක්‍ෂර
ලෙසින් හැඳින්වේ. මේ අනුව ජම්බුද්වීපය යන පුරාණ භාරත දේශයට මේ කාලයේ දී
ව්‍යවහාර කරන ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථානයේ
ද කොටසක් අයත්ව පැවතුණි. මේ බව අසෝක රජතුමා විසින් පිහිටවන ලද ශිලා
ලේඛන ව්‍යාප්තිය අනුව පැහැදිලිවේ. මේ නිසා දඹදිව හෙවත් ජම්බුද්වීපය යන
රටට ඉහත සඳහන් මෙකල ව්‍යවහාර වන රටවල් සියල්ලම අයත් වන්නේ ය.
උදාහරණයක් ලෙසින් මේ කරුණ දැක්විය හැකි ය. මහාපරිනිබ්බාන සූත්‍රයෙහි
සඳහන් වන අන්දමට සැදැහැවත් බෞද්ධ ජනතාව විසින් වැඳ පුදාගෙන සිත් පහදා
ගත යුතු පුදබිම් සතරක් වේ. ඒ සතර නම් 1. සිද්ධාර්ථ කුමාරයා උපත ලද
ලුම්බිණි (රුම්මින්දෙයි) සල් උයන, 2. සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත්
වූ බුද්ධගයාව, 3. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ
සාරානාතය සහ 4. සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරාවයි. මෙම පුදබිම්
අතරින් ලුම්බිණිය හැර අනෙක් පුදබිම් තුනම අයත් වන්නේ මෙකල ඉන්දියාවටය.
ලුම්බිණි සල් උයන අයත් වන්නේ මෙකල නේපාල දේශයට ය.
සැබවින්ම සිදුහත් කුමාරයා උපත ලැබුවේත් වසර 29 ක් ගිහිගෙහි සැප සම්පත්
ලබාගෙන ජීවත් වූයේත් කපිලවස්තු රාජධානියෙහිය. ඒ කපිල වාස්තු රාජධානිය ද
අයත් වන්නේ මෙකල නේපාල දේශයටයි.මේ නිසා දඹදිව හෝ භාරත දේශය යන නාමයෙන්
හඳුන්වන විට අපට ඉන්දියාවේ නේපාලයේ, පකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ
පුදබිම් ගැන ද සඳහන් කළ යුතු වෙයි. ඉහතින් සඳහන් කරන ලද පුද බිම් හතරටම
අමතරව තවත් පුදබිම් හතරක් ද සහිතව ජම්බුද්වීපයේ අටමස්ථාන ලෙසින් සැළකේ.
එම ඉතිරි පුදබිම් හතර මෙසේ ය. ශ්‍රාවස්ති, සංකස්සපුර, රජගහ නුවර සහ
වෛශාලිය, මෙම පුද බිම් වලට ගොස් සියැසින්ම දැක වැඳ පුදා ගැනීමට මීට වසර
13 පෙර (1997 දී) අපට අවස්ථාව ලැබුණු බවද මෙහිදී සඳහන් කළයුතුව ඇත.
අසෝක රජතුමා (ක්‍රි.පූ. 273 – ක්‍රි.පූ. 232 ) විසින් ඉහතින් සඳහන් කළ
පුදබිම් අටේ පමණක් නොව තවත් පුදබිම්වල ශිලා ටැඹ හෝ වෙහෙර විහාර ඉදිකළ
බව බෞද්ධ සාහිත්‍යයෙහි මෙන්ම චීන දේශයෙන් භාරත දේශයට වන්දනාවේ පැමිණි
චීන ජාතික භික්‍ෂූන් වහන්සේලාගේ වාර්තාවලද සඳහන් වේ.
අසෝක රජතුමාට පසුව ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ දී භාරත දේශයට පැමිණි
ෆාහියන් චීන ජාතික භික්‍ෂූන් වහන්සේ සහ ඉන්පසුව එනම් ක්‍රි.ව (7) හත්වන
සියවසේ දී භාරත දේශයේ සංචාරය කළ හියුංෂොං නම් චීන භික්‍ෂූන් වහන්සේගේ
වාර්තාවල ද පුදබිම් ගැන තොරතුරු රැසක් සඳහන් වේ.
ඉහත සඳහන් භික්‍ෂූන් වහන්සේලා, දෙනම සංචාරයේ යෙදුනා පමණක් නොවේ තමන් ආ
ගිය ස්ථාන ගැන බොහෝ තොරතුරු වාර්තා ගත කර ඇත. මේ නිසා ක්‍රි.ව. 19 වන
සියවසේ දී බ්‍රිතාන්‍යයන් යටතේ භාරත දේශය පාලනය වන කාලයේ දී
බ්‍රිතාන්‍ය ජාතික ඇලෙක්සැන්ඩර් කනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින් එම
පුදබිම් සොයා ගැනීමට එම චීන දේශාටක භික්‍ෂුන් වහන්සේලාගේ වාර්තාවන් ද
ප්‍රයෝජනවත් වූයේ ය.
අප මේ කරුණු මෙසේ සඳහන් කළේ දඹදිව බෞද්ධ පූජාභූමි ගැන සඳහන් කරන විට
ඉහත සඳහන් චීන භික්‍ෂූන් වහන්සේලාගේ වාර්තාවල තොරතුරු ගැන ද මතක් කළ
යුතු හෙයිනි.
දඹදිව පුදබිම් හඳුනාගැනීමට පමණක් නොව එම පුදබිම් බෞද්ධ ජනතාවගේ අයිතියට
ලබාදීම වෙනුවෙන් දිවි පරදුවට තබා ක්‍රියා කළ බෝධිසත්ව ගුණෝපේත
සත්පුපැෂයාණන් කෙනෙක් ගැන ද මෙහිදී අප විසින් සඳහන් නොකළහොත් උන්වහන්සේ
විසින් දඹදිව බුද්ධාගම නඟා සිටුවීමට කළ ඒ මහඟු සේවාවට කළ මදි පුංචිකමක්
වනු ඇත. ඒ මහා ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා නම් අන් කිසිවෙකුත් නොවේ.
1891 සිට දඹදිව බුද්ධගයාව මුල් කොට ගෙන දඹදිව තුළ ධර්මාශෝක රජතුමාට
පසුව යළිත් බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමෙහි පුරෝගාමියා වූ ශ්‍රීමත්
අනගාරික ධර්මපාල තුමා ය. එතුමා නොසිටින්නට අද සිදුහත් කුමාරයා
බුද්ධත්වය ලැබූ බුද්ධගයාව අන්‍යාගමිකයින් සතුවනවාට සැකයක් නැත.
|