විසිතුරු ප්‍රතිභාන උපදවන අංගුත්තර නිකායෙන්
නො සිස් වූ පිණ්ඩපාතය වැළඳීමට නම්...
බෙලිඅත්තේ නිහිලුව
සිරි ධම්මානන්ද මූලික පිරිවෙන්පති
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
හත්තොටුවේ ඉන්දරතන හිමි
වරදට බිය වීම ඔත්තප්ප
නාමයෙන් ධර්මයේ දැක්වේ.
නව විධ බල අතුරින් ඔත්තප්ප බලය එකකි. (පාප ධර්ම කෙරෙහි බියවීම ස්වභාව
කොට ඇති බලය යි) පාප කර්ම
කිරීමට ඇති භීතිය, පවට බිය වීම ආදී අර්ථ විවරණ ඇති ඔත්තප්පය, ශෝභන
සාධාරණ චෛතසික 19 න් එකකි. සත් වැදෑරුම්
ධනයන්ගෙන් එක් ධනයකි.
පසුගිය පත්‍රය හා සම්බන්ධයි.
පව්කම් කළ සොරුන්ට රජවරුන් විසින් පමුණුවන ලද මෙම වධ වේදනා දුටු
ඇතැමෙක් ‘මේ දුක්කම්කටොලු විඳීමට සිදුවන ප්‍රාණඝාත, අදත්ථාදානාදී
පාපකර්ම මම නොකරමි’ යි මෙලොවදී දුටු දැයින් වරදට බියපත්ව පවින් වැළකේ.
එය දිට්ඨධම්ම වජ්ජ නම් වේ.
සම්පරායික වජ්ජ යනු දස අකුසල් සිදුකිරීමෙන් පරලොවදී විඳීමට සිදුවන
බරපතල දුක්ඛ වේදනා නුවණින් සිහිකර පාපයෙන් මිදීමයි. ‘මෙම කාය දුශ්චරිත,
වාග් දුශ්චරිත හා මනෝ දුශ්චරිත නිසා පාපී දුශ්චරිත බවින් පිරුණු මම
මැරී ගොස් සැපයෙන් තොර වූ නිසා අපාය නම් වූ නපුරු ගති ඇති බැවින් දුගති
නම් වූ විවසව පතිතවන හෙයින් විනිපාත නම් වූ නිරයෙහි උපදින්නෙමි. එනිසා
මම ඒ පාප ධර්මයන්ගෙන් බැහැරවෙමි’ යි නුවණින් සිතා කාය, වාග්, මනෝ
සුචරිතයෙහි යෙදේ. මහණෙනි! නුඹලා මෙලොවදී පාපධර්ම නිසා රාජාදීන්ගෙන්
පැමිණෙන දුක් ගැහැට සිහිකර අපරාධයට බියවිය යුතුයි. පරලොව දී විඳීමට
සිදුවන දුක් වේදනා සිහිකර අපරාධයට බිය විය යුතුයි. සර්වප්‍රකාරයෙන් ම
පාප ධර්මයන්ගෙන් මිදී වරදට බිය වෙමින්, ඉතා සුලු වරදෙහි ද බිය දකිමින්
හික්මිය යුතුයි. ‘වජ්ඡභීරුනො භික්ඛවෙ වජ්ජභය දස්සාවිනො එතං පාටිකංඛං,
යං පරිමුච්චිස්සති සබ්බ වජ්ජෙහී’.
මෙසේ වරදට බිය වීම ඔත්තප්ප නාමයෙන් ධර්මයේ දැක්වේ. නව විධ බල අතුරින්
ඔත්තප්ප බලය එකකි. (පාප ධර්ම කෙරෙහි බියවීම ස්වභාව කොට ඇති බලය යි) පාප
කර්ම කිරීමට ඇති භීතිය, පවට බිය වීම ආදී අර්ථ විවරණ ඇති ඔත්තප්පය, ශෝභන
සාධාරණ චෛතසික 19 න් එකකි. සත් වැදෑරුම් ධනයන්ගෙන් එක් ධනයකි. එනිසා මේ
උතුම් ගුණය දිට්ඨධම්මික හා සම්පරායික වජ්ජයන් නුවණින් සිහිකිරීම තුළින්
අප තුළ දියුණු කරගත යුතු වේ.
2. පධාන සූත්‍රය
මෙහිදී ලොව දුකසේ පුරාගත යුතු ප්‍රධාන විර්ය දෙකක් දැක්වේ. එම දෙක
නම්:- 1. ගිහි පින්වතුන්ගේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය,
බෙහෙත්, පිරිකර ආදිය දීමට ඇති උත්සාහය, විර්යය.
2. පැවිද්දන්ගේ ස්කන්ධ, ක්ලේශ, අභිසංස්කාර නම් වූ සියලු උපධි දුරලා
නිර්වාණාවබෝධය පිණිස පවතින වීර්යය.
මේ වීර්ය – උත්සාහ දෙක ලොව ගිහි-පැවිදි දෙපක්‍ෂය අතර ඇත. මේ වීර්ය
දෙකින් උදාර වනුයේ දෙවනුව දැක්වී සියලු උපධීන් දුරලීම පිණිස පවතින
ප්‍රධන් වීර්යයි. ‘සබ්ධූපධිපටිනිස්සග්ගත්‍ථං පධානං පදහිස්සාම” (සියලු
උපධි දුරලීමට වීර්ය වඩන්නෙමු) යි නිතර හික්මිය යුතුවේ.
තපනීය සූත්‍රය හා අතපනීය සූත්‍ර
(3- 4)
මෙලොව තැවීම් දෙකක් ඇති බව මෙම සූත්‍ර දෙකේ දී පැවසේ. සිත් තැවුලට
පත්වීම් දෙකකි. එය තපනීය සූත්‍රයේ දැක්වේ.
1. ඇතැමෙක් මා කාය දුශ්චරිත කළේයැයි තැවෙයි. කාය සුචරිත නොකළේ යැයි
තැවෙති.
2. ඇතැමෙක් මා වාග් දුශ්චරිත කළේයැයි තැවෙයි. වාග් සුචරිත නොකළේයැයි
තැවෙති.
3. ඇතැමෙක් මා මනෝ දුශ්චරිත කළේයැයි තැවෙයි. මනෝ සුචරිත නොකළේයැයි
තැවෙති.
අතපනීය සූත්‍රයේ දැක්වෙනුයේ නොතැවෙන කරුණු දෙක බැගිනි.
1. මම කාය දුශ්චරිත නොකළෙමි යි නොතැවෙයි. කාය සුචරිත කළෙමි යි
නොතැවෙයි.
2. මම වාග් දුශ්චරිත නොකළෙමියි නොතැවෙයි. වාග් සුචරිත කළෙමි යි
නොතැවෙයි.
3. මම මනෝ දුශ්චරිත නොකළෙමියි නොතැවෙයි. මනෝ සුචරිත කළෙමි යි නොතැවෙයි.
මෙලොව සිත්තැවුලට පත් වී තැවීමට සිදුවනුයේ තිදොරින් දස අකුසල්
සිදුකළහොත් පමණක් බව තපනීය සූත්‍රයෙන් දැක්වේ. තිදොරින් දස කුසල්
වඩන්නාට (කුසලස්ස උපසම්පදා) තැවීමට කිසිදු හේතුවක් නැති බැවින් ඔහු
නොතැවෙන බව අතපනීය සූත්‍රයේ දැක්වේ.
5. උපඤ්ඤාත සූත්‍රය
මෙහිදී තථාගතයන් වහන්සේ ප්‍රත්‍යක්‍ෂයෙන් ම ගුණ එළඹ (වාසය කරන) දැනගත්
ධර්ම දෙකක් දක්වති. (ද්වින්නාහං භික්ඛවෙ ධම්මානං උපඤ්ඤාසිං) ඒ ධර්ම දෙක
නම්:-
1. කුසල ධර්මයන්හි අසතුටු බව
(දැන් ඇතැයි සෑහීමකට පත් නොවීම)
අසන්තුට්ඨිතා කුසලෙසු ධම්මෙසු
2. ප්‍රධන් වීර්යයෙහි නොපසුබස්නා බව
අප්පටිවානිතා පධානස්මිං
අනතුරුව ප්‍රධන් වීර්යයෙහි අගය ප්‍රත්‍යක්‍ෂයෙන්ම දැනගත් ආකාරය
තථාගතයන් වහන්සේ දේශනා කරති. “මහණෙනි, මම නොපසුබස්නා වීර්යය ඇත්තෙම්
‘ඒකාන්තයෙන් සිරුරෙහි සම හා නහර හා ඇට ඉතිරිවේවා, මස් ලේ වියලේවා,
යමෙක් පුරුෂ ශක්තියෙන්, පුරුෂ වීර්යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් ලැබිය
යුතු නම් එය නොලැබ වීර්යයේ නැවතීමක් නම් නොවේමය’යි වීර්ය කළෙමි.
මහණෙනි, එසේ වීර්යය වැඩූ මම අප්‍රමාදීව සම්බෝධිය අවබෝධ කළෙමි.
(අප්පමාදාධිගතා බොධි) අර්හත්ඵල, නිර්වාණය නම් වූ යෝගක්‍ෂෙෂ්මය
අප්‍රමාදීව ලැබුවෙමි.
මහණෙනි නුඹලාත් එසේ හික්මිය යුතුයි. “ඒකාන්තයෙන් ශරීරයේ සම්, නහර, ඇට
ඉතිරිවේවා; මස් ලේ වියැලේවා; යමක් පුරුෂ ශක්තියෙන් පුරුෂ වීර්යයෙන්
පුරුෂ පරාක්‍රමයෙන් ලැබිය යුතු වේද එය නොලැබ මෙම වීර්යය මම අත්නොහරිමි”
යි මෙසේ හික්මෙන නුඹලා අප්‍රමාදීව අනගාරික ශාසනයේ ප්‍රධාන අපේක්‍ෂාව වූ
මාර්ග බ්‍රහ්මචරියෙහි කෙළවරවූ අනුත්තර අර්හත්ඵලය මෙලොවදීම ලබා -
විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කර වාසය කරන්නහුය.
අනගාරී ශාසනයෙහි පැවිදි වූ භික්‍ෂූන් වහන්සේලා නිරාහාරව, දැඩි අදිටනින්
උපවාස කළ යුත්තේ රජය වැරදිකරුවෙකියි අනුමාන කර අත් අඩංගුවට ගත්
පුද්ගලයන් බලෙන් නිදහස් කරවා ගැනීමට නොව, තම පැවිද්දේ මූලික අභිමතාර්ථය
වූ අධ්‍යාත්මික සංවර්ධනයේ උච්චතම අවස්ථාව වූ නිර්වාණාවබෝධය පිණිසම බව
මෙම උපඤ්ඤාත සූත්‍රය අපට පෙන්වා දෙයි. මෙවැනි සූත්‍ර ධර්මයන්ගේ අර්ථ
නිරන්තරයෙන් සිහි කළ යුතු වේ. “යස්සත්‍ථය කුලපුත්තා සම්මදෙව අගාරස්මා
අනගාරියං පබ්බජන්ති” යන පාඨයෙන් තථාගතයන් වහන්සේ පැවිද්දේ මූලික
අභිමතාර්ථය කුමක් දැයි පෙන්වා දෙති. යමක් සඳහා කුල පුත්‍රයෝ මැනවින්ම
ගිහිගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදිවෙත්ද ඒ අර්හත්ඵලයම අවබෝධ
කරගනියි.
6. සංයෝජනීය සූත්‍රය
(සඤ්ඤෝජනීය)
මෙහිදී ධර්ම කරුණු දෙකක් (අන්‍යොන්‍ය ප්‍රතිවිරුද්ධ වූ) දැක්වේ.
1. සංයෝජන ධර්ම පිළිබඳව ආශ්වාදනීය
වශයෙන් බැලීම.
2. සංයෝජන ධර්ම පිළිබඳව උකටලීව බැලීම.
දස සංයෝජන ධර්ම පිළිබඳව ආශ්වාද වශයෙන් (අස්සාදානු පස්සිකා) බලන්නාගේ
රාගය, ද්වේෂය හා මෝහය ප්‍රහීණ නොවේ. රාග, ද්වේෂ, මෝහ අත් නොහැර
ජාතියෙන් (ඉපදීමෙන්), ජරාවෙන්, මරණයෙන්, ශෝකයෙන්, වැලපීමෙන්, දුක්
දොම්නස් හා අධිකවූ ආයාසයෙන් (න පරිමුච්චති ජාතියා ජරාය මරණෙන සොකෙහි
පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි) නොමිදෙයි.එබදු තැනැත්තා
සංසාරික දුක්ඛයෙන් නොමිදේ.
දස සංයෝජන ධර්ම පිළිබඳව කලකිරී, නොඇලීම් (උකටලීවීම්) වශයෙන් බලන්නාගේ
(නිබ්බිදානුපස්සී විහරන්තො) රාග, ද්වේෂ හා මෝහ ප්‍රහීණ වේ. ජාති ජරා දී
සකලවිධ සංසාරික දුක්ඛයෙන් මිදෙන හෙතෙම මෙලොවදී උතුම් නිවන් සුවයට එළඹ
වසයි.
ලෝක පාලක ධර්ම
7,8,9 සූත්‍ර
අංගුත්තර නිකායේ දුක නිපාතයේ පළමු වග්ගයේ 7,8,9 සූත්‍ර තුනම වෙන්ව
ඇත්තේ ලෝක පාලක ධර්ම දෙක පිළිබඳව විවරණය කිරීම පිණිසයි. සත්වන කණ්හ
සූත්‍රයේ දැක්වෙන පරිදි මෙලොව කළු කෘෂ්ණ බව ඇති කරවන පාපී ධර්ම දෙකකි.
ඒවා නම්:-
1. අහිරිකඤ්ච- පවු කිරීමට ලැජ්ජා නැති බවද
2 අනොත්තප්පඤ්ඤ – පවු කිරීමට බිය නැති බවද යනු ඒ කෘෂ්ණ ධර්ම දෙකයි.
අටවන සුක්ක සූත්‍රයේ මෙලොව ශුක්ල (සුදු) බව ඇති කිරීමට උපකාරීවන කුසල්
දහම් දෙකක් දැක්වේ. එම දෙක නම්:-
1. හිරි ච – පවු කිරීමට විළි ඇති බව ද
2. ඔත්තප්පඤ්ච – පවු කිරීමට බිය ඇති බව ද
යනු ඒ ධර්ම දෙකයි.
අටවන චරියා සූත්‍රයේ දී මෙම ධර්ම දෙක පිළිබඳව දිගු විස්තරයක් ඉදිරිපත්
කර ඇත.
ඉහත දැක්වූ ශුක්ල (සුදු – කුශල) ධර්ම දෙක ලෝකය පාලනය කරයි. මේ හිරිය හා
ඔත්තප්පය යන ධර්ම දෙක ලොව පහළ නොවූයේ නම් “මේ මෙලොවට මා බිහිකළ මවය, මේ
සුළු මවය, මේ සුළු මවය, මේ නැන්දාය, මේ ගුරු භාර්යාවය, මේ ගුරුවරුන්ගේ
අඹුවය” යනාදී වශයෙන් පුරුෂයෝ ස්ත්‍රීන් කෙරෙහි වෙනසක් නොදකිති.
ස්ත්‍රීහු ද පුරුෂයන් පිළිබඳව වෙනසක් නොදකිති. ඒ ධර්ම දෙක ලොව නොතිබුණි
නම් එළු බැටළුවන් මෙන් ද කුකුළු ඌරන් මෙන් ද බලු සිවලුන් මෙන් ද
වනචාරීව මනුෂ්‍යයෝ හැසිරෙති. තිරිසන් සතුන් කෙරෙහි මේ මගේ මවය, නැගණිය
යනාදී හැඟීමක් නැතිව උනුන් සංවාස කරන මෙන් මානව සමාජය ද හැසිරීමට
අවස්ථාව තිබුණි. තිරිසන් සමාජයෙන් මානව සමාජය වෙන් කරනුයේ (ධර්මොහි
තෙෂාමධිකො විශේෂො ධර්මෙන හීනඞ පශුභිඞ සමානඞ) මෙම ලෝකපාලක ධර්ම දෙක
නිසයි. ලෝකයේ සදාචාරය, සංස්කෘතිය රඳා පවතිනුයේ මානව සමාජයේ ශිෂ්ටÀවය
පවතිනුයේ මෙම ධර්ම දෙක පදනම් කරගෙනයි. නවවන චරියා සූත්‍රයේ ලෝකධර්ම
දෙකෙහි සමාජමය අගය මෙසේ විවරණය කර ඇත.
10. වස්සුපනායික සූත්‍රය
විනය පිටකයේ කඨිනක්ඛන්‍ධකයේ එන ඉගැන්වීමක් මෙම සූත්‍රයේ සංක්‍ෂිප්තව
දක්වා ඇත. මේ සසුනෙහි වස් එළඹීම් දෙකකි. එම දෙක නම්:-
1. පුරිවිකා ච - පෙරවස් සමාදානය හා
2. පච්ඡිමිකා ච – පසුවස් සමාදානයයි.
ඇසළ පොහෝ දිනට පසු දින පෙර වස් සමාදන් වන අතර එසේ කිරීමට නොහැකිවූ
භික්‍ෂූන්ට නිකිණි අව පෑලවියදා පසු වස් සමාදන් විය හැකි ය. කඨින
චීවරයක් පිළිගත හැකිවනුයේ පෙර වස් සමාදන්ව මැනවින් ආරක්‍ෂා කරගත්
උපසපන් භික්‍ෂූන් වහන්සේට පමණි. |