UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර අටවක 2010.05.21

මිථ්‍යා සංකල්ප කුමට ද?

සු ගිය පත්‍රයේ කතු වැකිය ලිවීම සඳහා අප පොළඹවන ලද්දේ මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ බැසීම නිසා කඩදොර පන්සලේ බුදු පිළිම වහන්සේ යළි මතු වී පෙනීම පිළිබඳ සිද්ධිය යි. ‘වාපී ශිෂ්ටාචාරය නො හැඳිනීම ‘ නමැති ශීර්ෂ පාඨය යෙදූ එම කතු වැකියට පාදක වූ අතීත වාපී ශිෂ්ටාචාරය හා නූතන සංවර්ධන ක්‍රියාවලිය අතර ඇති පරස්පරය ගැන තවදුරටත් සාකච්ඡා කිරීම අවශ්‍යය ය.

නූතන පිළිගැනීම් අනුව, ආර්ථික සංවර්ධනය යනු කුමක් දැයි තේරුම් ගැනීම මෙහි දී ඉතා වැදගත් වනු ඇත.

කෘෂිකර්මයට ප්‍රමුඛත්වය දුන් රටක් කර්මාන්තකරණයට විශාල වශයෙන් නැඹුරුවීම, ශ්‍රමිකයන් ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට සංක්‍රමණය වීම, පාරිභෝගික හා නිෂ්පාදන භාණ්ඩ පිටරටින් ගෙන්වීම අඩු කිරීම, කෘෂිකාර්මික හා ඛනිජ ද්‍රව්‍ය ප්‍රධාන ආයාත වශයෙන් පැවැති තත්ත්වය වෙනස්වීම, ආයෝජනය සඳහා විදේශ ආධාර මත තවදුරටත් රැඳී නො සිටීම, ස්වශක්තියෙන් ආර්ථික තීරණ ගැනීමේ හැකියාව ලැබීම ආදිය රටක ආර්ථික සංවර්ධනය ලෙස විග්‍රහ කැරේ. රටක ආර්ථික ක්‍රියාවලිය හා ආගම අතර ඍජු සබඳතාවක් ඇතැයි එම විග්‍රහයෙන් පැහැදිලි නො වේ. එහෙත් අප ගේ අතීත වාපි ශිෂ්ටාචාරය යටතේ එය එ සේ නො වන බව කිව යුතු ය. උඩ රට රාජධානිය නමැති කෘතියෙහි ඇතුළත් සමයාරක්ෂක සහ ආර්ථික සංවර්ධන කටයුතු යනුවෙන් සඳහන් ඡේදයේ ටිකිරි අබේසිංහ දක්වා ඇති අදහස් මේ සඳහා උපුටා දක්වමු.

“සමය සංරක්ෂණය සහ වර්ධනය රජය සතු වැදගත් යුතුකමක් ලෙස සැලකීම ලංකාවේ සම්ප්‍රදාය විය. එ වැනි කාර්යයන්හි නියැලීම මහජනයා ගේ ත් විශේෂයෙන් ම භික්‍ෂූන් වහන්සේ ගේ ත් හිත දිනා ගැනීමේ ඒකායන මාර්ගය විය. උඩ රට නව රාජවංශය මේ ගැන උනන්දුව දැක්වීම ඒ නිසා පුදුමයට කරුණක් නො වේ.”

“ආර්ථික සංවර්ධනය කෙරෙහි අනුරපුර හා පොළොන්නරු යුගයන්හි රජය දැක් වූ තරම් උනන්දුවක් කන්ද උඩරට රාජධානියේ ආණ්ඩු දැක් වූ බවක් නො පෙනේ. ඊට හේතුව සොයා ගැනීමට එ තරම් දුරට යා යුතු නො වේ. වියළි කලාපය මෙන් නො ව කන්ද උඩ රටට අයත් ප්‍රදේශ බොහොමයක් ම අයත් වූයේ තෙත් කලාපයට ය. යල මහ දෙකේ දී ම සෑහෙන වර්ෂාපතනයක් ඒ පෙදෙස්වලට ලැබුණි. වර්ෂය මුළුල්ලේ ම ගලන ගංගා ඇළ දොළ ආදියෙන් ද අඩු පාඩුවක් නො වී ය. ගස් කොළන් ඝන සැරේට වැවුණු හෙයින් පොළොවේ දිය සීරාව ද නො අඩුව පැවතිණ. (ප්‍රමාණවත් වර්ෂාපතනයන් නොලැබූ ඌව , මඩකලපුව ආදී ප්‍රදේශවල එදා සෑහෙන ජනගහනයක් නො වී ය) ජලය හිඟ නො වූ හෙයින් රජයේ මැදිහත් වීමෙන් කෙරෙන වාරිකර්ම නූවූවාට කෘෂිකාර්මික කටයුතු සාර්ථක ව කෙරිණ. මෙ සේ දාහත් වන සියවසේ දී උඩ රට රජුන් ආර්ථික සංවර්ධනය ගැන ගත් කි‍්‍රයා මාර්ග ගැන වැඩිමනත් තොරතුරක් අපට නො ලැබෙන්නේ ඔවුන් ඒ ගැන වැඩිමනත් දෙයක් නො කළ හෙයිනි “

වැවයි - දාගැබයි සංකල්පය ලෙස විග්‍රහ කැරෙන අතීත වාපී ශිෂ්ටාචාරය හුදු ආර්ථික වුවමනාවන් ඉක්මවා ගිය මානව සංවර්ධන ක්‍රියාවලියකි. යුරෝපීය ජාතීන් ගේ යටත් විජිත පාලනය යටතේ එය සම්පූර්ණයෙන් ම වෙනස් විය. වෙළෙඳ ආර්ථික බෝග අපනයනය මත යැපෙමින් ප්‍රධාන ආහාරය ආනයනය කැරෙන ජාතියක් බවට ශ්‍රී ලාංකිකයන් පත් වුයේ යටත් විජිතවාදීන් ගේ ආර්ථික උපාය නිසාවෙනි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ රටේ සංවර්ධනය යනු හුදු ආර්ථික ක්‍රියාවලියක් පමණක් ලෙස සැලැකීම ය. අතීත වාපි ශිෂ්ටාචාරය තුළ දාගැබට පමණක් නොව වැවට ද පූජනීය ස්ථානයක් ලැබී තිබේ. ඒ බව බ්‍රිතාන්‍ය ජාතිත ජී.ඊ.මිටන් ලියූ ලංකාවේ අහිමි නගර (The Lost Cities of Ceylon ) නමැති කෘතියෙහි ඇතුළත් මේ කුඩා ඡේදයෙන් අපට අවබෝධ කැර ගැනීමට පුළුවන.

“මින්නේරිය වැව තැනවීම මහාසේන රජු විසින් කරන ලද බොහෝ සාපරාධී ක්‍රියා සමනය වීමට හේතු භූ®ත වී යැයි සිතිය හැකි ය. මේ වැව තැනු රජු එය පූජා කළේ අභයගිරි විහාරවාසී භික්ෂු සංඝයා උදෙසා ය. වසර එක් දහස් හයසීයකට පසුව ද, එදා මේ වැව කොතරම් දර්ශනීය මනස්කාන්ත විශිෂ්ට නිර්මාණයක් වී දැයි දැනුදු සිතා ගත හැකි ය “

අධ්‍යාත්මික සංවර්ධනය මත පදනම් වූ අතීත ආර්ථික ක්‍රියාවලිය අද වන විට කුමන තත්ත්වයකට පත් ව තිබේ දැයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ව්‍යවසාය සංසදයේ රැස්වීමක් අමතා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පසුගිය 11 වන දා කැර ඇති ප්‍රකාශයකින් පැහැදිලි වෙයි. පසුගිය 13 වන දා දිනමිණ පුවත්පත එය මෙ සේ වාර්තා කැර තිබිණ.

“හාරලක්ෂ පනස් දහසක් වන පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජනතාව ගොවි කර්මාන්තයෙන් තමන් ගේ ජීවිතය පවත්වා ගෙන යනවා. පසුගිය වසර තුළ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව රුපියල් කෝටි 211 ක රජයේ ලයිසන් මත්පැන් වර්ග 10 ක් පානය කොට තිබෙනවා. මෙම මත්පැන් පානය කිරීමට පැය එක්කෝටි විසිපන් ලක්ෂයක කාලයක් වැය කර තිබෙනවා. ඒ අනුව පොළොන්නරුවේ ජනතාව වසරකට රුපියල් කෝටි 311 ක මුදලක් මේ සඳහා වැය කර තමන් ගේ ජීවිත විනාශ කරගෙන තිබෙනවා “

අධ්‍යාත්මික සංවර්ධනයෙන් තොර මෙ බඳු ආර්ථික ක්‍රියාවලියක් කුමට ද?

ශුද්ධ වෙසක් පුර අටවක

ශුද්ධ වෙසක් පුර අටවක පෝය මැයි මස 20 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 06.18 ට ලබයි.
21 වන දා සිකුරාදා අපර භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 21 වන දා සිකුරාදාය.

 මීළඟ පෝය
මැයි මස 27 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]