UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කළ ගුණ සැලකීම

මනුෂ්‍යයෙක් තුළ තිබිය යුතු ගුණධර්ම මෙච්චරයි, මෙපමණයි කියා ප්‍රමාණ කළ නොහැකි ය. අනෙක් සත්ත්වයන්ගෙන් මිනිසා සුවිශේෂ වන්නේ, කාය බලයෙන් හෝ ශරීර ප්‍රමාණයෙන් නොවේ. මෙහිදී වැදගත් වන්නේ මනසයි. මිනිසාගේ මනස යහපත් දෙයක යෙදවීමට හැකි ය. ඒ යහපත් සිතින් මුළු විශ්වයම සුවපත් කළ හැකි ය. බුදුරජාණන් වහන්සේ මානසික ශක්තිය උපරිමයෙන් යොදාගත් උත්තමයෙකි. මිනිසාට සෑම දෙයක් පිළිබඳ සිතීමේ, විමසීමේ බලය ඇති නිසා, සෑම ගුණධර්මයක්ම ප්‍රගුණ කිරීමට ඔහුට ඉඩ සළසාගත හැකි ය. එය මිනිසාටම උරුම වූ පින් මහිමයෙකි.

මනුෂ්‍යයකු වශයෙන් තිබිය යුතු යුතු ඉතා වටිනා ගුණ ධර්මයක් පිළිබඳ දැන් අප දැන හඳුනා ගනිමු. කෘත ගුණ කෙළෙහි ගුණ, කළ ගුණ යන වචන, ඔබ නිරන්තරයෙන් අසා ඇතැයි සිතමි. මේ වචන තුනෙන්ම දක්වන්නේ එකම අර්ථයකි. කෙනක් තව කෙනෙකුට සිදු කළ යම් උපකාරයක් ඉන් පැහැදිලි වෙනවා.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ පසු පළමුවෙන්ම ලෝකයට පෙන් වූ ආදර්ශය, කළ ගුණ සැලකීමයි. උන්වහන්සේ එහිදී කළ ගුණ දැක් වූයේ, පණ නැති, අජීවී වෘක්‍ෂයකට ය. බුදුරජාණන් වහන්සේ තමන්ට බුදු බව ලබන්නට සුළු වේලාවක් සෙවණ දුන් ඇසතු රුක දෙස සතියක් ඇසිපිය නොහෙළා බලා සිටිමින් අනිමිස ලෝචන පූජාව සිදු කරමින්, කෘත ගුණ සැළකීම ඉතා වටිනා දෙයක් බව ලොවට පෙන්වූහ.

“කතඤ්ඤූ කතවේදි පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං” යනුවෙන් දක්වා ඇත්තේ, ලෝකයේ මිනිසුන් තුළ කළ ගුණ සැලකීම කියන උතුම් ගුණය ඉතා දුර්ලභ බවයි. ඇසතු වෘක්‍ෂය බුදුරජාණන් වහන්සේට උපකාර වූයේ, ඉතා සුළු කාලයකි. සාමාන්‍ය කෙනකු සිතන්නට පුළුවන් ඒ ගස කරපු උපකාරය මොකක්ද කියලා ඇයි? මිනිසුන් ගමන් බිමන් යන විට අතරමග නතර වන්නේ හොඳට සෙවණ තිබෙන ගසක් මුල නේ? සමහර දෙනා ඒ රුක් සෙවණේ විවේකයෙන් හිඳ එතනින් යන විට මේ ගස අපට කොච්චර පිහිටක් වුණා ද කියලා හිතන්නෙවත් නැහැනේ. ගස තමාට උපකාරයක් කළා කියා සිතන්න තරම් සත්පුරුෂ ගුණයක් සමහර අයට නැහැ. සමහරු එතනින් යන්නේ ගසේ කොළ අතුත් කඩා දමා අපිරිසුදු බවට ද පත් කරමින්. එවැනි ආත්මාර්ථකාමී සමාජයක බුදුරජාණන් වහන්සේ අජීවී වෘක්‍ෂයකට කළගුණ දැක්වීමක් වශයෙන්, සතියක් පුරා ඒ ගස දෙස බලා සිට උපහාර දැක්වීම කොතරම් උත්කෘෂ්ට ක්‍රියාවක් ද?

බුදුරජාණන් වහන්සේ ඒ උතුම් ආදර්ශයෙන් ලොවට දැනගන්නට සැලසුවේ අජීවී වෘක්‍ෂයකට මම මේ ආකාරයෙන් උපහාර දක්වනවා නම්, මනුෂ්‍යයෙක් තමාට යම් උපකාරයක් කළොත් කෙසේ නම් කළගුණ දැක්විය යුතු ද කියා ය. බුද්ධ චරිය පුරා මේ උතුම් ගුණය මනාව දකින්නට ලැබෙනවා.

තම මෑණියන් වහන්සේ ජීවත්ව නොසිටියත් තුසිත දිව්‍ය ලෝකයට වැඩම කර මාතෘ දිව්‍යරාජයාට ධර්මය දේශනා කළහ. බුදු බව ලැබීමෙන් අනතුරුව පළමුව ධර්මය දේශනා කිරීම සඳහා තම ගුරුවරු සෙවූහ. ඔවුන් නැති බව දැනගත් පසු තමාට උපකාර කළ පස්වග මහණුන් සොයා බරණැස ඉසිපතනයට වැඩමකර ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූහ.

යශෝධරා දේවිය සිදුහත් කුමාරයාට ගිහිගෙය හැරගිය දින සිට සිල්වත්ව ප්‍රතිපත්ති ගරුකව සිටියා ය. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර වැඩම කර සුදොවුන් රජතුමා ඇතුළු පිරිසට දහම් දෙසුවත් එම ස්ථානයට යශෝධරා දේවිය පැමිණියේ නැත. එහෙත්, ඇයගේ සිත හඳුනාගත් බුදුරජාණන් වහන්සේ ඇය සිටින ස්ථානයට වැඩම කළහ. මේ ආදී වශයෙන් උන්වහන්සේ අපට කළ ගුණ සැලකීම පිළිබඳ ආදර්ශවත් වූහ.

සැරියුත් මහරහතන් වහන්සේ ද කළ ගුණ දන්නා උතුම් සත්පුරුෂයෙකි. උන්වහන්සේට ධර්මය පහදා දුන් අස්සජි මහ රහතන් වහන්සේට දිනපතා කොතනක වැඩසිටියත් එදෙසට හැරී වැඳ නමස්කාර කිරීම උතුම් චාරිත්‍රයක්ව තිබුණා. මිථ්‍යා දෘෂ්ටිකව සිටි තම මෑණියන් සම්‍යක්දෘෂ්ටියට පත් කළහ. එසේම උන්වහන්සේට පිණ්ඩපාතය සඳහා බත් හැන්දක් පූජා කළ රාධ බමුණාට කළ හැකි සෑම උපකාරයක්ම සිදු කළහ. එවැනි කළ ගුණ සැලකූ චරිත, බුද්ධ ශාසනය තුළ බහුල ලෙස දැක ගැනීමට හැකි ය.

‘මහා අස්සාරෝහ’ ජාතක කථාවේ එම රජතුමාට එක් පුද්ගලයකු කළ උපකාරයට දෙගුණ තෙගුණ වන්නට බෝධි සත්වයන් වහන්සේ ප්‍රතිඋපකාර කළ බව සඳහන් වෙයි. මේ, එහි එන ගාථාවකි.

“යස්ස රුක්ඛස්ස ඡායාය
නිසීදෙය්‍ය සයෙය්‍යවා
න තස්ස පත්තං භින්දෙය්‍ය
මිත්ත දුබ්භෝහි පාපකෝ”

යම් ගසෙක සෙවණ යට යමෙක් හිඳගත්තේ හෝ සයනය කළේ හෝ වේද? ඔහු විසින් එම ගසේ කොළයක්වත් නොකැඩිය යුතු ය. කොළ කැඩුවොත් ඔහු මිත්‍රද්‍රෝහියෙකි, යනුවෙන් දක්වා ඇත. එසේ නම් කෙනෙකු තමන්ට කළ උපකාරයට කෙසේ ප්‍රත්‍යුපකාර කළ යුතු ද?

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙස බලන විට බොහෝ දුරට කළගුණ සැළකීම අර්ථවත් කරනවා. මවුපියන්, ඤාතීන්, හිතමිත්‍රාදීන්, පන්සලේ ස්වාමීන් වහන්සේ, ගමේ වෙදමහත්මයා ආදී තමන්ට දුකේ දී සැපේ දී පිහිටවන පුද්ගලයන් වෙත ගොස් ආචාර සමාචාර කිරීම, කළගුණ දැක්වීමකි. එසේම තමන් පරිහරණය කරන ළිඳ පිරිසුදු කර එයට කාසි සහ මල් දමා සිදු කරන්නේ ද කළගුණ දැක්වීමකි.

බලන්න, තමන්ගේ අම්මා, තාත්තා වෙනුවෙන් කෙතරම් වැඩකොටසක් කළ යුතු වෙනව ද? කුඩා කාලයේ සිට දරුවකු ඇතිදැඩි කරන්නේ මොනතරම් දුෂ්කරතාවයකින් ද? පොඩ්ඩක් හෝ සෙව්වේ බැලුවේ නැත්නම් දරුවා අනතුරක් කර ගන්නවා. ඔවුන් එවැනි අනතුරකට පත්වන්නට ඉඩ නොදී රෑ දාවල් නොනිදා, නොකා නොබී නිම් නොවන කැපකිරීමක් කළේ, අපගේ ආරක්‍ෂාව වෙනුවෙනි. එවැනි ආකාරයෙන් දුක් මහන්සි වී හැදූ වැඩූ මවුපියන් අමතක කළ හැකි ද? එසේ අමතක කරන අයට දියුණුවක් ඇතිවේවි ද? නැත.

වසල සූත්‍රයේ සඳහන් ආකාරයට කිසි වැඩක් පලක් කරගත නොහැකි වයසක මවුපියන්ට සළකන්නට හැකියාව තිබියදීත් නොසලකා හරී නම් ඔහු වසලයෙක් බව දක්වා ඇත. ඒ පුද්ගලයාට කිසිදාක සැපක් සතුටක් හිමිනොවනු ඇත.

සාම ජාතකයේ එන ආකාරයට සාම කුමාරයාගේ දිවි බේරා ගැනීමට හැකිවූයේ මවුපියන්ට සැලකූ නිසාය. එසේම තමාගේ ජීවිතය සාර්ථක කරගන්නට විවිධාකාර වශයෙන් අවවාද අනුශාසනා දුන් ගුරුභවතුන් කිසි දිනක අමතක නොකළ යුතු ය. තමන්ට හැකි ආකාරයෙන් ඔවුන්ට ගරුසත්කාර කළ යුතු ය. ඒ තුළින් තමාට විශේෂ ආශිර්වාදයක්, පිනක් ලැබෙනු ඇත.

මහා අස්සාරෝහ ජාතක කථාවේ එන ආකාරයට යමෙක් මීට පෙර තමන්ට කිසි උපකාරයක් නොකළ කෙනකුට ස්වල්ප වූ හෝ උපකාරයක් කරයි ද? ඔහු ලෝකයේ දුෂ්කර වූවක්ම කරන්නේ ය. අනෙක් පුද්ගලයා තමාට පසුව උපකාර කළත්, නොකළත්, තමන් පළමුවෙන් ඔහුට උපකාරයක් කළ නිසා පිදිය යුත්තකු වන බව දැක්වේ.

බොහෝ විට කෙනෙක් තමන්ට උදව්වක් කළොත් පමණයි, යළි ඒ පුද්ගලයාට උපකාරයක් කරන්නේ. තමන්ට පිහිටක් නොවුනු කෙනෙකුට යම් උපකාරයක් කිරීමට බොහෝ දෙනෙක් පෙළඹෙන්නේ නැත. එහෙත් කෙනෙකු උපකාරයක් කළත් නැතත් යම් කෙනෙකුට පිළිසරණක් වීම, මහත්මා ගතියකි.

සමහර අයට කළ ගුණ යන වචනවත් තේරුම් ගැනීමට නොහැකි ය. උදාහරණයක් ලෙස දේවදත්ත හිමිගේ චරිතය දෙස බලන්න. බුදුරජාණන් වහන්සේගේ සෙවණේ හිඳිමින් උන්වහන්සේට ලැබෙන ප්‍රත්‍ය පරිභෝග කරමින් බුදුරජාණන් වහන්සේගේ ඇසුරේ සිටියත් දේවදත්, හිමියන්ට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය තේරුම් ගැනීමට නොහැකි විය. එම ස්ථානයේ හිඳිමින්ම උන්වහන්සේට විරුද්ධව කුමන්ත්‍රණය කළේ ය. එපමණක් නොව උන්වහන්සේ ඝාතනය කිරීමට පවා ක්‍රියා කළේ ය. කළ ගුණය යම්තරමකින් වත් දැන සිටියේ නම්, එවැනි පහත් ක්‍රියාදාමයක යෙදෙන්නේ නැත.

කෙළෙහි ගුණ නොදන්නා මිනිසකු ගැන මහා කපි ජාතකයේ සඳහන් වේ. ඒ ඳඬසා කැළෑවක මහා වළකට ඇද වැටී අන්ත අසරණව සිටි අවස්ථාවේ වඳුරු කණ්ඩායමක සිටි නායක වඳුරෙක් මොහු දැක කෙසේ හෝ ඒ පුද්ගලයා ගොඩට ගත්තා. එහෙත් අනෙක් වඳුරෝ සියල්ල ඒ මේ අත දුව ගියා. නායක වඳුරා මහත් අසීරුවෙන් අර පුද්ගලයා ගොඩට ගත්තා. එහෙත් ප්‍රත්‍යුපකාර වශයෙන් ඔහු මොකද කළේ? ලොකු ගල්ගෙඩියක් අරගෙන අර වඳුරාගේ ඔළුවට ගැහුවා. මේ මිනිහා තැත් කළේ අර වඳුරා මරා උගේ මස් කෑමටයි. ඒ වඳුරාගේ ඔළුව පැලී ලේ වැගිරෙන්න පටන් ගත්තා. එසේ වැගිරෙන ලේ අතට අරගෙන අර මිනිහට පෙන්වනවා. “උඹට කළ උදව්වට මට ලැබුණු තෑග්ග ද මේ”? කියලා.

ඒ වගේම එක්තරා දුෂ්ට කුමාරයෙක් හිටියා. ඔහු කෙසේ හෝ ගඟකට වැටී පා වී යන විට එක්තරා තාපසයෙක් ඔහුව බේරාගෙන දින ගණනාවක් ඇප, උපකාර කළා. එහිදී තමාට කෑම බීම දීම ප්‍රමාද කළා කියා පළිගැනීමේ චේතනාවෙන් අර තාපසතුමාගෙන් පළිගැනීමට කටයුතු කළා.

එසේම ගුත්තිල ජාතකය කළ ගුණ නොදන්නා මූසිලට සිදු වුණු දේ විස්තර කරයි. එහිදී මූසිල සිතුවේ ගුරුන්නාන්සේට හා සමාන වැටුපක් තමාටත් ලැබිය යුතු බවයි.

කළ ගුණ නොදන්නා පුද්ගලයන්ට කොතරම් උපකාර කළත් ඔවුන්ට ඒවා මතක නැත. ඒ බව මේ කවියෙන් පැහැදිලි වේ.

“කොපමණ ගුණ කළත්
දුදනෝ නොවෙති යහපත්
කිරිදියෙනි දෙවියත්
අඟුරු සුදු වන කලෙක් නම් නැත්”

කෙළෙහි ගුණ නොදන්නා පුද්ගලයකුට යම් උපකාරයක් කළත්, එය යළි තමාට හානියක්ම වන බව මේ කවියෙන් දැක්වේ.

“දියෙහි යන දණ්ඩට
පිහිටක් වෙතත් පෙර සිට
දුදනන් හට පිහිට
නොවව් යන බැස සැබෑ කළෙ මට “

කෙසේ නමුත් උපකාර කළ අයට යම් කෙනෙක් හානියක් කරයි ද? ඒ කරන දුෂ්ට ක්‍රියාව නිසා තමාටම දිනක මහා දුකකට පත්වීමට සිදුවනු ඇත.

මේ නිසා තමාට උදව් උපකාර කළ කිසිවකු අමතක කරන්න එපා. ඔබට කළ හැකි සත්කාරය කරන්න. තමාට අත හිත දුන් සැමට කළ ගුණ දක්වන්න. මෛත්‍රියෙන් කටයුතු කරන්න. ඒ තුළින් ඔබට වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙනු ඇත.

බක් පුර පසළොස්වක

බක් පුර පසළොස්වක පෝය මාර්තු 29 වන දා සඳුදා පූර්ව භාග 11.04 ට ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්ව භාග 07.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 29 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 06 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]