බක් පුර පසළොස්වක 2010. 03. 29
සැබෑ බුදුරුව දැකීම
අප රටේ බහුතරය උපතින් බෞද්ධයන් වූව ද සැබෑ බෞද්ධ චින්තනය හඳුනා
ගත් පිරිස ඔවුන් අතර අල්ප බව පිළිගත යුතු ය. අප ගේ සමාජයීය
ක්‍රියාකාරකම් දෙස බැලූ විට එය හොඳින් පැහැදිලි වන කරුණකි. මේ
තත්ත්වය පණ්ඩිත ගණේගම සරණංකර නා හිමි, මහාචාර්ය වල්පොළ රාහුල
හිමි වැනි බහුශ්‍රැත භික්‍ෂූන් වහන්සේ ලා විසින් මැනවින්
පෙන්වා දී තිබේ. විශිෂ්ට කෘතියක් ලෙස 1973 දී රාජ්‍ය සම්මානයට
පාත්‍ර වූ ‘බුදුහාමුදුරුවෝ’ නමැති ග්‍රන්ථයට පණ්ඩිත ගණේගම
සරණංකර නා හිමියන් ලියූ හැඳින්වීම ඊට උදාහරණ වශයෙන් දැක්වීමට
පුළුවන. දැන් අපි එය කියවා බලමු.
‘අප අදහන, අපේ ශාස්තෘවරයා වූ ‘බුදුහාමුදුරුවෝ’ ඉතා ම හොඳ
කෙනෙකි ය. ඊට වඩා හොඳ කෙනෙක් ඇත්තේ ම නැතැයි බෞද්ධයන් වූ අප
හැම කෙනෙකුන් ම සිතා ගෙන ඉවර ය. උන්වහන්සේ ගැන අපට කිසිම
සැකයක් නැත. පරම්පරා ගත ව එන මේ අපේ තීරණය නිසාත්, අප උපතින්
බෞද්ධයන් වීම නිසාත් ඇත්ත වශයෙන් ම බෞද්ධයන් ගෙන් ඉතා ම වැඩි
පිරිසක් බුදුන් වහන්සේ ගැන හරිහැටි නො දනිති. අපි උදේ හවස
බුදුන් වඳිමු. නව අරහාදී බුදුගුණ සඳහන් ගාථා කියමු.
බුදුහාමුදුරුවන් වහන්සේ පිළිබඳ ව අපෙන් කෙරෙන සියල්ල මෙ පමණ ය.
බෞද්ධයන් වශයෙන් ම මෙ පමණකින් තෘප්තිමත් වී සිටිමු.’
එම තත්ත්වයෙන් මිදීම සඳහා උන්වහන්සේ දුන් උපදෙස් මෙ සේ ය.
‘මී පැණි මිහිරි රස ය. ඒ බව අපි හොඳින් දනිමු. ඒ රස විඳ ඇති
බැවිනි. එහෙත් ඒ මිහිරි රස දිව ගා බලන විටක මිස එ සේ නැති විට
දිවට දැනෙන්නේ නැත. එ සේ ම බුදු ගුණ ඉතා ම ශ්‍රේෂ්ඨ බව අපි
දනිමු. එහෙත් බුදුගුණවල රස විඳ ගැනීමක් නැත. රස විඳීමට නම්
ත්‍රිපිටකය විමසිල්ලෙන් කියවිය යුතු ය. ත්‍රිපිටකය තුළින්
පෙනෙන බුදුහාමුදුරුවෝ අපේ විහාරය තුළ වැඩ සිටින
බුදුහාමුදුරුවන්ට වඩා වෙනස් ය. අපේ විහාරය තුළ වැඩ සිටින්නේ
අචේතනික බුදු කෙනෙකි. බුදු රුවකි. ජීවමාන සචේතනික බුදුන්
වහන්සේ දැක ගත හැක්කේ ත්‍රිපිටකය තුළිනි. උන්වහන්සේ කථා කරන
හැටි, බණ කියන හැටි, ප්‍රශ්න විසඳන හැටි, පිළිපදින හැටි,
පිඬුසිඟා වඩින හැටි, සැතපෙන හැටි, එක මොහොතක් අපතේ නොයවා
සේවයෙහි යෙදෙන හැටි මහන්සියක් නො තකා පා ගමනින් සැතපුම් සිය
ගණන් ගම් නියම්ගම්වල චාරිකාවේ හැසිරෙන හැටි, ගස් යට, ගල් උඩ,
සුන්‍යාගාරවල තනිව ම වාඩි වී සිටින හැටි හා උන්වහන්සේ ගේ
සිතුම් පැතුම් ජීවමාන ස්වරූපයෙන් දැක ගැනීමට හා දැන ගැනීමට නම්
ත්‍රිපිටකය කියවිය යුතු යි. ”
පණ්ඩිත ගණේගම සරණංකර නා හිමියන් ගේ එම මඟ පෙන්වීම ඉතා වැදගත්
ය. එ සේ වූව ද අද තත්ත්වය එදාටත් වඩා නරක අතට හැරී තිබේ.
ආහාරපාන සපයන ආයතනයකට මුදල් ගෙවා දානයක් දීම හෝ පිරිත් නූලක්
බැඳ ගැනීම බෞද්ධයකු බව පෙන්වීමට මෙ කල ප්‍රමාණවත් ය. අවශ්‍ය
නම් පුර පසළොස්වක පොහොය දිනෙක ප්‍රදර්ශනය පිණිස පන්සල්
චාරිකාවක නිරත වීමට ද පුළුවන. මේ බෞද්ධකම මඟින් නෙළා ගත් සමාජ
අස්වැන්න කෙ බඳු දැයි පුවත්පතක් කියැ වූ විට හොඳින් වැටහෙනු
ඇත.
අද වන විට අප ගේ පරමාදර්ශය වී ඇත්තේ කුමක් ද? කෙ සේ හෝ විදේශ
ගතවීම ය. ශ්‍රී ලංකාව නමැති නො දියුණු රාජ්‍යයෙන් බැහැර වීම ය.
මෙය සැබවින් ම කදිම විසඳුමකි.
මේ විගාමික සංස්තෘතිය අරබයා කියූ අනඟි බණක් අද පත්‍රයේ 18 හා
19 යන පිටුවල පළ කැර තිබේ. ආචාර්ය හන්දුපැල්පොළ මහින්ද හිමියන්
විසින් ලියන ලද එම ලිපියෙහි කොටස් කිහිපයක් මෙහි ද උපුටා
දැක්වීම මැනවැයි සිතමු.
‘අපි අපේ විවේකය අහිමි කැර ගනිමින් උපාධියක් ලබා ගැනීමේ ලා
දැඩි සේ වෙහෙසට පත් වෙමු. විභාගයක් සමත් වූ විට, අප විඳි කරදර
වලින් අඩක් අවසන් යැයි ද, වැඩි වෙහෙසක් නොවිඳ සතුටින් ජීවත්
විය හැකි වෙතියි ද සිතමු. එ විට අපට විශාල වැටුපක් සමඟ හොඳ
රැකියාවක් ලබා ගත හැකි ය. එක්තරා පැරැණි කියුමක් මගේ මතකයට
එයි. එ නම්, ශාස්ත්‍ර ලෝභයෙන් ආතුර වූවනට සැපතක් නැත. නින්දක්
නැත.’
‘අහඹුවකින් හෝ එංගලන්තයේ පය ගසා ගන්නට ලැබුණොත්, ඔබේ ජීවිතය
බෙහෙවින් පහසු වෙතියි ද සමෘද්ධිමත් වනු ඇතැයි ද සිතා සිටින්නට
ඇත. අද පවා ශ්‍රී ලංකාවේ ඇතැම්හු සිරිත් පරිදි එංගලන්තය දිව්‍ය
ලෝකයකියි යන හැඟීමෙන් පෙළෙන්නෝ ය. එහෙත් මෙහි දී පුද්ගලයකු කවර
තරමේ දුෂ්කරතා සමඟ පොර බැදිය යුතු දැයි දැන් ඔබ හඳුනාගෙන
තිබෙනු ඇත.’
‘බුද්ධත්වය ලැබීමෙන් පසු බුදුන් වහන්සේ සුවපහසු ජීවිතයක් ගත
කරන්නට ඇතැයි යන හැඟීම ඔබ තුළ ඇතිවන්නට පුළුවන. එ සේ නො වේ
නම්, බෝධිසත්වයෝ දස පාරමිතා පිරුවෝ නො වෙත් ද සහ බුදුන්වන්නට
මහා ප්‍රයත්නයක් දැරුවෝ නො වෙත් දැයි ඔබ මගෙන් අසන්නට පුළුවන.’
බුදුරදුන් මුහුණ දුන් අභියෝග පිළිබඳ ව විස්තර කැරෙන ‘බුදු
සිරිතයි අටලෝ දහම යි’ නමැති එම ලිපිය වත්මත් සමාජයට බෙහෙවින්
ප්‍රයෝජනවත් වනු ඇත. සෑම බෞද්ධයකු විසින් ම නිරන්තරයෙන්
සිහිපත් කළ යුතු බුදු වදනක් එහි මෙ සේ සඳහන් කැර තිබේ.
‘ආනන්ද, දැන් මම වනාහී දිරාපත් වෙමි. වියපත් වෙමි. මහලු වෙමි.
ආයු ගෙවමින් සිටිමි. අසූ වන වියට එළඹියෙමි. ආනන්ද, යම් සේ දිරා
ගිය ගැලක් අමාරුවෙන් පවත්වා ගත යුත්තේ ය. මගේ ආයු පරිපාකයට
ගියේ ය. දැන් මගේ ජීවිතය කෙටි ය. ඔබ හැර යෙමි. දැන් ඔබට ඔබේ ම
සරණයි.’
මේ බුදු වදන අවබෝධ කැර ගන්නාතුරු කිසිවකුටත් බෞද්ධයකු විය නො
හැකි ය. |