බුද්ධඝෝෂ ඝෝෂය
ශාස්ත්‍රපති
ආර්.ඩී. ශි්රයානි හේමලතා
ලංකාවේ සකස් වූ අටුවා සාහිත්‍ය සම්බන්ධයෙන් සැලකීමේදි අශ්වඝෝෂ හිමියන්ට
සංස්කෘත සාහිත්‍යයෙහි යම්තැනක් හිමිවන්නේද ඒ හා සමාන තත්ත්වයක්
බුද්ධඝෝෂ හිමියන්ට පාලි සාහිත්‍යයේදී හිමිවේ. එහෙත් බුද්ධඝෝෂ , ඝෝෂය,
පිළිබඳ ලක්දිව තබා දඹදිවත් මේතාක් ලියවුණ නිරවුල් සම්පූර්ණ විස්තරයක්
දැකගැනීම උගහටය. ඒ පිළිබඳ මහාවංසයේ 37 වන පරිච්ඡේදයේ එන මද විස්තරය හා
මෑතකදී ලියැවුණ බුද්ධඝෝසුප්පත්තිකථාදී තවත් ලේඛන කිහිපයකත් එන තොරතුරුද
ජනශ්‍රැතීන්ගෙන් අනූන වී ඇති බව පෙනේ.
උතුරු දඹදිව මගධ ජනපදයට අයත් බෝමැඩට නුදුරෙහි වූ ඝෝෂ නම් ගම උන්
වහන්සේගේ නිජබිම විය. පස්වන ශතවර්ෂයේ එහි රාජ්‍ය කළ සංග්‍රාම නම් රජුගේ
අග්‍ර පුරෝහිතයා කේසි නම් බ්‍රාහ්මණ වංශිකයෙකි. ඔහු බුද්ධඝෝෂ හිමියන්ගේ
පියා වූ අතර මව කේසිනී නම් බැමිණිය වූවාය. ඒ බව මහාවංසයේ සඳහන් වේ.
“බෝධි මණ්ඩප සමීපම්හි - ජාතෝ බ්‍රාහ්මණ මානවෝ
විජ්ජා සිප්ප කලාවේදී - තීසු වේදේසු පාරකෝ “
ඒ කාලයෙහි සිටි රේවත නම් හිමි නමක් “අටුවා හෙළුබසින් පවත්නා හෙයින්
අනාගතයෙහි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අවබෝධකර ගැනීමට අපහසු
වන්නේය. ඒ හෙයින් ලක්දිව පවත්නා හෙළටුවා පෙළබසට නගන්නට සමර්ථ
කවරෙක්දැයි “ දිවැසින් බලා තව්තිසා දෙව්ලොව වසන ඝෝෂ නම් දිව්‍යපුත්‍රයා
ඒ කාර්යයට සමර්ථයැයි දැන එකෙනෙහිම එහි වැඩි බව සඳහන් වේ. තමා පැමිණ
කාරණය එම දිව්‍යපුත්‍රයාට දැන්වීමෙන් හා එය පිළිගැනීමෙන් දින හතක් ගතවූ
කල ඝෝෂ නම් දිව්‍යපුත්‍රයා එයින් චුතව කේසිනි බැමිණියගේ කුස පිළිසිඳගත්
බවද කියැවේ. එහි ගෙවසියෝ කව බොව ආදි මිහිරි වදන්ම කී හෙයින් උපන් කුඩා
දරුවා ද ඝෝෂ නමින්ම හඳුන්වා ඇත.
සත් වසකින් වේදය ඉගනගත් ඝෝෂයෝ උත්පත්තියෙන් සත්වන වර්ෂයේදී
ත්‍රිවේදයෙහි ස්වාමිත්වයට පැමිණ තිබේ. දිනක් ඔහු විෂ්ණු දෙවියන්ගේ අංශය
මතුපිට වාඩිවී මාංශ කෑ බවත් ඒ දුටු බමුණෝ කෝපවී “අපගේ ස්වාමි වූ විෂ්ණු
දෙවියන්ගේ අංශය මත්තෙහි වාඩිවි මුං ඇට අනුභව කරන්නේ ඇයිදැයි ඇසු බවත්
සඳහන් වේ. එයට උත්තර දෙන ඝෝෂයෝ මාංශ යන්නෙන් විෂ්ණු ද කියති. එයට කුමක්
හෙයින් එසේ කියන්නේද? මාංශත් විෂ්ණුත් යන දෙකෙන් කවරක් විෂ්ණු යැයි මම
දැනගන්නෙම්ද? “ ඇසීය.
තවත් දිනක කේසි බමුණා තම පුත්‍රයා ද සමග රජ ගෙදරට ගොස් රාජ ශිෂ්‍යයාට
වේදය ඉගැන්වීය. ඒ අතර එක් ග්‍රන්ථිස්ථානයකට පැමිණ එහි අදහස ඉදිරිපත්
කරණු නොහැකිව පෙරළා ඉවත්ව ගියේය. ඒ බව දත් ඝෝෂයෝ රහසිගතව පියාගේ
අත්පොතෙහි එහි අදහස ලියා ඇත.
ඝෝෂයෝ සියලු සමය දර්ශනයන් පිළිබඳ විශාරදයෙක් බවට පැමිණ තිබේ. දිනකට
පද්‍ය 1500 පාඩම් කියා ඇත. මේ මහා වාදකරුවා දමනය කිරීම ප්‍රතිඵලදායක
යැයි දුටු රේවත හිමියන් දිනක් ඔහුගේ නිවැසට ගොස් ඔහුගේ අසුනෙහි වැඩ
සිටියේය. ඒ දුටු ඝෝෂයෝ කෝපයට පත්ව අවමන් කොට වේදය හෝ වෙන යම්
මන්ත්‍රයක් දන්නේදැයි ප්‍රශ්න කළේය. වේදයත් සෙසු මන්ත්‍රත් දන්නා බව කී
විට ග්‍රන්ථිස්ථාන කියවැයි කී කළ එය විසඳූ ආකාරය දැක විශ්මයට පත්ව
තිබේ. අතිශයින් විශ්මයට පත් ඝෝෂයෝ බුද්ධ මන්ත්‍රය තමාට කියා දෙන ලෙස
ඉල්ලීය. එය ලබාදීමට නම් පැවිදි විය යුතු බවත් ගිහියකුට බුද්ධ මන්ත්‍රය
නොදෙන බවත් කීම නිසා එය ඉගෙන ගිහි වෙමියි සිතා පැවිදි විය.
රේවත හිමියන් විසින් ඝෝෂයන්ට මහණකම දී තචපඤ්චක කමටහන ද දී තිබේ. එයින්
ආර්ය මාර්ගයත් ත්‍රිපිටක ධර්මයත් දැනගත් ඝෝෂ ත්‍රිවේදයෙහි අසාරබව
දැනගත්තේය. එතැන් පටන් ඝෝෂ බුද්ධඝෝෂ නමින් ම හැඳින්විණ.
“ බුද්ධස්ස විය ගම්භීර – ඝෝසත්ථානං ව්‍යාකරුං
බුද්ධඝෝසේහි ඝෝෂෝති – බුද්ධෝම්හි මහී කලේ”
සද්ධම්මසංගහයෙහි දැක්වෙන ආකාරයට රේවත නම් රහතන් වහන්සේ වැඩ විසූ
විහාරයට පැමිණි එක් බ්‍රාහ්මණ මානවකයෙක් පාතඤ්ජලී යෝග දර්ශනය පාඩමින්
කියමින් සිටියේය. ඒ ඇසු තෙරණුවෝ මොහු දමනය කිරීම උචිතයැයි සිතා
කොටළුවකු මෙන් කෑ ගසන්නේ කවරෙක්දැයි අසා ඇත. එය ඇසු බ්‍රාහ්මණ මානවකයා
තෙරුන්ගෙන් වේදාංගයෙහි ග්‍රන්ථිස්ථාන ඇසූ බවත් තෙරුන් එය විසඳා පෙරළා
ඔහුගෙන් යමකප්‍රකරණයෙහි චිත්ත යමකය ඇසූ බවත් කියැවේ. එයට උත්තර දීගත
නොහැකිව එය කාගේ මන්ත්‍රයක්දැයි අසා බුද්ධමන්ත්‍ර යැයි කී කල එය
ගැනීමට පැවිදි වී තිබේ.
දිනක් බුද්ධඝෝෂ භික්‍ෂු තෙමේ පිටකත්‍රයෙහි මාගේ ඥානය විශාලද නැතහොත්
මාගේ ගුරුවරයාගේ ඥානය විශාලදැයි සිතීය. පරසිත් දන්නා රේවත තෙරුන්
වහන්සේ මෙය දැන එසේ සිතීම වරදක් බව දක්වා ඇත. ඊට දඬුවම් වශයෙන් ලක්දිවට
ගොස් හෙළුබසින් පවත්නා අටුවා පෙළබසට නගන්නැයි ප්‍රකාශ කෙරිණ.
පසුව ඔහු පියා මිත්‍යාලබ්දියෙන් මුදවනු වස් ස්වකීය වාසස්ථානයට ගොස්
ගඩොල් පුවරු දෙකක් තනා එකක සහල්, වතුර, ගිතෙල් ආදිය තබා තම පියා ඊට යවා
දොරවල් වසා දැමීය. පියා සම්‍යක්දෘෂ්ටිය වැළදගන්නේ නම් පමණක් එහි දොරවල්
විවර කරන බව ද දැන්වීය. දින හතරක් ගතවු පසු පියා මිත්ථ්‍යාලබ්දියෙන්
වෙන්ව සෝවාන්ඵලයට පත්ව ඇත. අනතුරුව එහි දොර හැර පියා එළියට ගෙන අසීමිත
සතුටට පත්ව ඇත.
අනතුරුව තම ගුරු රේවත හිමියන්ගේ අවසරගෙන ලක්දිවට වැඩම කර තිබේ.
මහාවිහාරයට පැමිණි බුද්ධඝෝෂ හිමියන් මහාවිහාරයෙහි සංඝරාජ මහතෙරුන්
වහන්සේගෙන් ධර්ම විනය උගන්නා භික්‍ෂූන්ට පිටුපසින් එක්තැනක සිටියේය. මහ
තෙරුන් වහන්සේ එක් ග්‍රන්ථිස්ථානයකට පැමිණ එහි අදහස විස්තර කිරීමට
නොහැකිව එතැනින් නැගිට ඒ ගැන සිතමින් ලෙනට වැඩම කළේය. බුද්ධඝෝෂ තෙරුන්
වහන්සේ එම ග්‍රන්ථිස්ථානයේ අදහස කළුලෑල්ලක ලියන ලදී. ආපසු එහි පැමිණි
සංඝරාජයන් වහන්සේ එය දැක එතැන් සිට භික්‍ෂූ පිරිසට ත්‍රිපිටකය තොප
විසින් ඉගැන්විය යුතුයයි බුද්ධඝෝෂ හිමියන්ට පවරා ඇත.
එය ප්‍රතික්ෂේප කළ බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ තමා මෙහි පැමිණියේ
සිංහලාර්ථකථා මාගධියට පෙරලනු පිණිස බව දන්වා ඇත. එබඳු වැඩකට නම්
ත්‍රිපිටකවර්ණනාවෙහි දක්‍ෂකම බැලිය යුතුයැයි පවසා සංයුක්ත නිකායේ එන
අන්තෝ ජටා බහි ජටා යන ගාථාව අනුසාරයෙන් ග්‍රන්ථයක් රචනා කරන්නැයි නියම
කළේය.
ඒ අනුව ලියන ලද ග්‍රන්ථය විශුද්ධි මාර්ගයයි. පුරාවෘත්තයට අනුව එකම
රැයක් තුළ තෙවරක් මේ පොත ලියා ඇත. පළමු හා දෙවන වර ලියන ලද ග්‍රන්ථ
දෙවියන් විසින් සොරාගත් බවත් තෙවන වර ග්‍රන්ථය ලියා සිවුරු කොනින් එය
ගැටගසාගත් බවත් එහි සඳහන් වේ. පසුව එම ග්‍රන්ථ තුනම සැසඳීමේදි කිසිදු
වෙනසක් නොතිබුණ බවද දක්වා තිබේ. සත් මහලින් යුත් ගොඩනැගිල්ලක පහත මාලයේ
සිට දිනපතා පිඬුසිඟා වැඩීමෙන් අනතුරුව තල්කොළ අහුලාගෙන අවුත් ඒවායේ
පොත් ලිවීම ආරම්භ කරනු ලැබීය. එක්තරා වෙළෙන්දෙක් උන්වහන්සේ වඩිනා මඟ
තල්කොළ විසුරුවා හැර සැගවී බලාසිටි බවත් ඒවා ගෙනගොස් පොත් ලියනවා දැක
දිනපතා දානය ද දෙන්නට වූ බවත් සඳහන් වේ. කුදුගත්සඟියේ පොත් කිහිපයකට
හැර සෙසු සියලු ත්‍රිපිටකයට තුන්මසකින් අටුවා ලියූ බවද කියැවේ.
“පරිවත්තේසි සබ්බාපි – සීහලට්ඨ කථා තදා
සබ්බේ සං මූල භාෂ්‍ය – මාගදාය නිරුත්තියා “
සංඝරාජයන් වහන්සේ බුදුගොස් හිමියන්ට බෙහෙවින් පසසා සිංහලාර්ථකථා ගිනි
ලැවූ බවද කියැවේ. ගිනිලැවූ ග්‍රන්ථ සංඛ්‍යාව මධ්‍යම ප්‍රමාණයේ ඇතකුගේ
උසට සමාන වූ බවද එහිම සඳහන් වේ.
බුදුගොස් හිමියන් ග්‍රන්ථ රචනා කොට ආපසු යන්නට සූදානම් වූ විට මේ
තෙරුන් වහන්සේ ත්‍රිපිටකපාලිය පිළිබඳ අපට ගුරුකම් දුන්නේ නමුදු සංස්කෘත
නොදන්නේයැයි සිංහල භික්‍ෂූන් අතර කතාවක් ඇතිවිණි. එයට පිළිතුරු ලෙස ඊළඟ
දිනයෙහි මහසෑමළුවේදි සිවුපිරිස රැස්කරවා සංස්කෘතයෙන් ධර්ම දේශනාවක් කළ
බවද කියැවේ. ස්ථානෝචිත ඥානය ද ඒ හිමියන් සතුවූ විශේෂ ලක්ෂණයකි. දිනක්
තරුණ දාසියන් දෙදෙනකු කළයක් බීම නිසා ආරවුලක් ඇතිකර ගත්තේය. ඒ සිද්ධිය
දුටු මේ තෙරුන් වහන්සේ එම නඩුව දුරදිග ගියහොත් එය දුටු තමාට ද
සාක්‍ෂිදීමට සිදුවන බව දැන එය තම අත් පොතෙහි සටහන් කර තැබීය. නඩුව රජු
දක්වා ම ගියේය. සාක්‍ෂි දීමට බුද්ධඝෝෂ හිමියන්ට ද සිදුවිය. එහෙත්
ගිහියෙක් හා සම්බන්ධයෙන් සාක්ෂි දීමට භික්‍ෂුවකට කැප නොවේ. අසාධාරණයක්
වීමට ද ඉඩ දිය නොහැකිය. එබැවින් තම අත් පොතේ සටහන සාක්‍ෂියක් වශයෙන්
රාජ සභාවට යවන ලදී. එයින් නඩුව සාධාරණව විසඳීණි. බුද්ධඝෝෂ හිමියන්ද
ආපත්තියකට අසුනොවී බේරිණි.
බුද්ධඝෝෂ ඝෝෂය පිළිබඳව සැක සහිත තැන් ද දැකගත හැකිය. එක් දිනක් ඇතුළත
තෙවතාවක් විශූ®ද්ධිමාර්ගය ලිවීම, අටුවා පෙළට නැගූ පසු එතෙක් පැවති
අටුවා පුළුස්සා දැමීම, මාස තුනකින් සියලු අටුවා ග්‍රන්ථ සම්පාදනය එවැනි
තැන් කිහිපයකි. බුදුගොස් හිමියන් ම සඳහන් කරන්නේ සමන්තපාසාදිකාව ලිවීමට
වසරක් ගතවූ බවයි. කෙසේ වෙතත් සමන්තපාසාදිකාව, කංඛාවිතරණී,
සුමංගලවිලාසිනි, පපංචසූදනී, සාරත්‍ථප්පකාසිනී, මනෝරථපූරණී,
පරමත්ථජෝතිකා , අත්‍ථසාලිනී, සම්මෝහවිනෝදනී, පංචප්පකරණට්ඨකථා ආදි
වශයෙන් අටුවා ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ලියා ඇත්තේ බුද්ධඝෝෂ හිමියන්
විසිනි. ඒ නිසාම ලංකාවේ අටුවා සම්බන්ධයෙන් කතාකරන තැන අටුවාචාරීන්
වහන්සේ යන අන්වර්ථ නාමය ඒ හිමියන්ට ලැබී තිබේ. |