UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිවනත් - සැනසුමත් ගෙනෙන බොදු ආර්ථික පිළිවෙත්

මෙම ලිපිය තුළ අපගේ සාකච්ඡාවට යොමු කරන්නේ බුදු දහමෙන් අර්ථ ගැන්වෙන ආර්ථික ක්‍රමය කුමක්ද යන්න පිළිබඳයි. විශේෂයෙන්ම බුදු දහමට අනුව මෙවැනි මාතෘකාවක් පිළිබඳ සාකච්ඡා කරන විට පළමුවෙන් සඳහන් කළ යුතු වන්නේ, බුදු සමය ඍජුවම ආර්ථික විද්‍යාව පිළිබඳ කරුණු ඉදිරිපත් කළ දහමක් නොවන බවයි. එනමුත් සමාජයක් ඉලක්ක කරගත් මඟ පෙන්වීමක් කළ බුදුරජාණන් වහන්සේට ආර්ථිකය පිළිබඳ බෞද්ධ අදහස කුමක්ද යන්න පැහැදිලි කිරීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු දෙයක් බවට පත්වුණා.

බුදුන් වහන්සේ විවිධ ස්ථානයන්හිදි ආර්ථිකය පිළිබඳ, ධනය සම්පාදනය, පරිභෝජනය සහ ශ්‍රමය වැනි සංකල්ප පිළිබඳ ඉදිරිපත් කළ අදහස් සූත්‍ර පිටකය හොඳින් අධ්‍යයනය කරන විට දක්නට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවිතයේ පැවැත්මට අවශ්‍ය ප්‍රධාන ආහාර වර්ග හතරක් ගැන දේශනා කළා.

ඉන් පළමුවැන්න “කබලිංකාරාහාර “ යි එයින් අදහස් වූයේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමට අපි ප්‍රයෝජනයට ගන්නා ආහාරපානයි.

මිනිසාගේ භෞතික ජීවිතයේ පැවැත්මට කායික නිරෝගිතාවට ආහාරපාන වල අවශ්‍යතාව බුදු දහම විසින් අවධාරණ කර තිබෙනවා. එවිට ආර්ථිකයෙන් ඒ සමග බැඳී තිබෙන බව අපට අමතක කරන්නට බැහැ. තවත් එක් අවස්ථාවක “ සබ්බේ සත්තා ආහාරට්ඨිකා “ (සියලුම සත්වයෝ ආහාරයෙන් ජීවත්වෙති) යනුවෙන් දේශනා කර ඇත.

ඒ අනුව මිනිස් ජීවිතය පවත්වාගෙන යෑමට අනිවාර්යයෙන් ආර්ථිකය සම්බන්ධ බව පැහැදිලියි. දීඝ නිකායේ කූට දන්ත සූත්‍රය “ තුළ ගොවිතැන තුළින්, වෙළහෙළඳාම් තුළින්, රාජ්‍ය සේවය තුළින් මිනිසුන් ධනය සම්පාදනය කිරීමට කටයුතු කළ යුතු බව පෙන්වා දී තිබෙනවා. බුදු සමය ආර්ථිකය අවශ්‍ය බව පිළිගත්තත් ධාර්මික ලෙස ධනය ඉපයීම තමයි බුදු දහම අනුමත කරන්නේ සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය කිසිසේත් තවත් සත්වයකුගේ පැවැත්මට හානිකර නොවන ලෙස පවත්වාගත යුතු බවයි, බුදුසමය පෙන්වා දී තිබෙන්නේ. ඒ අනුව මිනිස් සමාජයේත් සත්ව සමාජයේත් විනාශයට ප්‍රධාන හේතු සාධක වන බරපතල ව්‍යසන ඇතිවන අධාර්මික ව්‍යාපාර පහක් බුදුසමය මගින් ඍජුව ප්‍රතික්ෂේප කර තිබෙනවා. එනම් අවි ආයුධ වෙළෙඳාම මස් පිණිස සතුන් වෙළෙඳාම, විෂ වෙළෙඳාම වහල් වෙළෙඳාම සහ මත්ද්‍රව්‍ය වෙළෙඳාම යනු, ඒ ව්‍යාපාරයි. මේ වෙළෙඳාම් පහ තුළින් ඉතා ඉක්මනින් ධනය සම්පාදනය කරන්න හැකියාව ලැබුණත් බුදුසමය පෙන්වා දෙන්නේ එමගින් සමාජයට විශාල හානියක් සිදුවන නිසා එමගින් ධනය සම්පාදනයට ගිහියා නොපෙළඹිය යුතු බවයි. එසේම ධාර්මික වෙළෙඳාමක් සිදුකළත් තුලා කූට, මාන කූට, කංස කූට ආදී හොර කිරුම් මිනුම් ආදියෙන් තොරව එය කරගෙන යායුතු බවයි බුදුරදුන් දේශනා කර ඇත්තේ බුදු සමයෙන් ප්‍රකාශ වන ආර්ථික ප්‍රතිපත්ති වලින් එකක් පහත දැක්වෙයි.

උට්ඨාන විරියාධි ගතා
සේදා වක්ඛිත්තා
බාහා බල පරිචිතා
ධම්මිකා ධම්ම ලද්දා ‘

මිනිසුන් විසින් දැහැමිව ධනය සම්පාදනය කරනවා නම් එහිදී අනිවාර්යයෙන් එය, උට්ඨාන වීර්යයෙන් හෙවත් කම්මැලි නැතිව උත්සාහයෙන් බානා බල පරිචිතා “ යැයි දෙසු ලෙස බාහු බලය යෙදවීමෙන් දහඩිය වැගිරීමෙන් (සේදා වක්ඛිත්තා ) එපමණක් නොව “ ධම්මිකා ධම්ම ලද්දා “ ධාර්මිකව ඉපැයූ ධනයක් විය යුතු බවයි පෙන්වා දී තිබෙන්නේ. ඒ නිසා

ඔබ බෞද්ධයකු ලෙස ධනය සම්පාදනය කිරීමෙහි ක්‍රියාවලියෙහි යෙදී ‘අත්ථි සුඛය “ හෙවත් මට තිබෙනවාය කියන ඒ සතුට භුක්ති විඳින්නට අපේක්‍ෂා කරනවා නම් ඉහත සඳහන් ක්‍රම ඔස්සේ ධනය සම්පාදනය කළ යුතු බවයි. බුදු සමය ඔබට පෙන්වා දී තිබෙන්නේ.

විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ කුටදන්ත සූත්‍රයේදී පෙන්වා දී තිබෙනවා රජවරුන් විසින් රාජ්‍යය විසින් අනිවාර්යෙන් දැහැමි වු ව්‍යාපාරයන්ගේ නියැළෙන්නා වූ පිරිසටත් ගොවිතැනෙහි කෘෂිකර්මාන්තයෙහි යෙදෙන්නා වූ පිරිසටත් ධනය අඩු පොළියට ණය වශයෙන් ලබා දිය යුතු බව කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය බීජ පොහොර, භූමිය ආදිය ලබාදීමත්, වෙළෙඳාම් සඳහා වෙළෙඳපොළ සකසාදීමත් වැනි කරුණු රජය විසින් ඉටු කළ යුතු ය.

ඒ අනුව බුදු දහම ඍජුව ආර්ථික විද්‍යාවක් ලෙස හැඳින්විය නොහැකි වුවත් ආර්ථිකයට සම්බන්ධ බොහෝ කාරණා බුදු සමය විසින් අවධාරණය කර ඇති බවත් අපට මෙහිදී අවබෝධ කරගන්නට පුළුවන්. බෞද්ධ විමුක්ති මාර්ගයේ මූලික අරමුණ වන්නේ ජීවිතය අනිත්‍ය , දුක්ඛ, අනාත්ම බව කල්පනා කර ලෝකය පිළිබඳ ඇලීමකින් ගැටීමකින් තොර තත්ත්වයට පත්වීම හෙවත් නිර්වාණාවබෝධයට පත්වීමයි. එහෙත් එතෙක් යන ගමනේදී අනිවාර්යයෙන් ආර්ථික දියුණුව අවශ්‍ය බව බුදු සමය පිළිගනියි. භාවනානුයෝගියකුට කිසිසේත් මධ්‍යම ප්‍රතිපදාවේ නොසිට ආහාරපාන ;නාගෙන භාවනාව කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එසේ නම් භාවනාව තුළින් විමුක්තිය සොයන යෝගියකු නඩත්තු කිරීමේ කාර්යය උපාසක උපාසිකා සමාජයට පැවරෙනවා. උපාසක උපාසිකා සමාජය විසින් විමුක්තිය සොයා යන කෙනෙකු නඩත්තු කිරීමට නම් අනිවාර්යයෙන් ඔවුන් විසින් ධනය සම්පාදනය කළ යුතු වෙනවා. එබැවින් අපි අවබෝධ කරගත යුත්තේ ආර්ථික කටයුතු වලින් නිදහස් වෙලා ආර්ථිකයෙන් අයින්වෙලා ගිහියාට විමුක්තිය ලබාගැනීම අසීරු බවයි.

බුදුරජාණන් වහන්සේ විවිධ දේශනාවලදී ධනය පරිභෝජනය කළ යුතු අයුරු ඉදිරිපත් කර තිබෙනවා.

ඒතේන භොගෙ භුඤ්ජෙය්‍ය
ද්වීහි කම්මං පයෝජයේ
ධතුත්ථංච නිධාපෙය්‍ය
ආපුදාසු භවිස්සති “

සම්පාදනය කරන්නා වූ ධනයෙන්, කොටසක් පරිභෝජනය පිණිසත්, කොටස් දෙකක් ආයෝජනය පිණිසත්, තුන් වන කොටස ආපදාවකදී භාවිතා කිරීම පිණිසත් තබාගත යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.

පරිභෝජනය පිළිබඳ මඟපෙන්වමින් දේශනා කර ඇති වැදගත් කරුණු සූත්‍ර පිටකයේ සිඟාලෝවාද සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය ආදී සූත්‍ර තුළ විශේෂයෙන් දැකගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේදී පුද්ගලයාගේ ආර්ථික පරිහානියට හේතු වන ප්‍රධාන කරුණු තුනක් ඉත්ථි දුත්තෝ, සුරා දුත්තෝ හා අක්ඛ දුත්තෝ යනුවෙන් දක්වා ඇත. පුද්ගලයාට කොතරම් ධනය ලැබුවත් මෙම ලොල්වීම් නිසා එය ආරක්ෂා කරගන්නට නොහැකි බවයි, උන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ.

ඒ නිසා පුද්ගලයා , තම්පරා භවතෝ මුඛං “ යනුවෙන් පරාභවයට (පිරිහීමට) පත් වන බවත්, බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. එමෙන්ම “ ව්‍යග්ගපජ්ජ සූත්‍රය” තුළදී අපට දැකගන්නට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ බෞද්ධ ගිහියාට අය වැය සමව පවත්වාගෙන යන්නට ලබාදී ඇති උපදේශනය පුද්ගලයාගේ ආර්ථිකය උන්වහන්සේ ආර්ථිකයට සම කර දක්වන්නේ වැවකට . වැවක වතුර, වැවට ඇතුළු වන දොරටු සහ වැවේ ජලය පිටවන දොරටු වශයෙන් දොරටු වර්ග කිහිපයක් තිබෙනා බවත් යම් කිසි කෙනකු විසින් වැවේ ජලය ඇතුළු වෙන දොරටු වසා දමා පිට වන දොරටු පමණක් විවෘත කර තැබුවහොත් අනිවාර්යෙන් ම එම වැවෙහි ජලය සම්පූර්ණයෙන්ම හිස්ව යන්නා සේ , ධනය සම්පාදනය නොකර, වියදම් කිරීම පමණක් කළහොත් ඔහුගේ ආර්ථිකය පරිහානිය, කරා යන බවයි, බුදු සමය පෙන්වා දී තිබෙන්නේ. එමෙන්ම යම් ආකාරයකින් වැවට ජලය එන දොරටුත් වැවේ ජලය පිටවන දොරටුත් විවෘත කළහොත් එහි ජලය නොරැඳෙන්නේ සේ තමන් විසින් හරිහම්බ කරන සියලු ධනය ඉතා කෙටි කලකින් කෑම බීම ඇඳුම් පැළදුම් උදෙසා විය පැහැදම් කිරීමෙන් කටයුතු කිරීම තුළ පුද්ගලයා ආර්ථිකමය වශයෙන් පරිහානිය කරා යන බවත්, පැහැදිලි කර ඇත. එපමණක් නොවෙයි වැවේ ජලය පිට වන දොරටු වසා දමා ජලය ඇතුළුවන දොරටු ඇර තැබීමත් බුදුසමය අනුමත කරන්නේ නෑ. පරිභෝජන කාර්යේදී ආත්මාර්ථකාමී වීමද සුදුසු නොවන බවයි. බුදු සමය පෙන්වා දී තිබෙන්නේ. ඒ අනුව “ රාජ බලි “ රජ්ජුරුවන්ට ගෙවිය යුතු අය බදු, “ ඥාති බලි “ නෑයන් වෙනුවෙන් කළ යුතු සංග්‍රහ “ අතිති බලි” ආගන්තුකයන් වෙනුවෙන් කළ යුතු සංග්‍රහ,

‘පුබ්බ පේත බලි ‘ (මිය ගිය ඥාති මිත්‍රාදීන් වෙනුවෙන් කළ යුතු පින්දීම් ) ආදිය සේම “දේවතා බලි” ආගම දහම වෙනුවෙන් සිදු කළ යුතු සංග්‍රහද ඉටු කළ යුතු බව බුදුරදුන් පෙන්වා දී තිබෙනවා. යම් කිසි පුද්ගලයකු විසින් “ පංච බලි “ ලබාදීමෙන් තොරව තමන් තනිවම භුක්ති විඳිනවා නම් එය වැවක ජලය පිටවන සියලු දොරටු වසා දැමූ විට එහි ජලය පිරී ඉතිරී බැමි කැඩී විනාශ වී යන්නා සේ පුද්ගලයා සමාජයීය වශයෙන්ද ආධ්‍යාත්මික වශයෙන්ද පිරිහීම කරා යන බවයි. බුදු සමය පෙන්වා දෙන්නේ.

එබැවින් වැවට ජලය එන දොරටු ඇර, පිට වන දොරටු වසා තැබුවත් අවශ්‍ය මොහොතේදී අතිරික්ත ජලය ඉවත් වීමට අවශ්‍ය දොරටු පමණක් විවෘත කර තබන ලෙස පෙන්වා දෙන බුදුසමය අත්‍යවශ්‍ය මොහොතේදී හැකි පමණින් මිනිසුන්ට උදව් උපකාර කරමින් අනෙක් අයගේ ජීවිතවලට ද උපකාරයක් රැකවරණයක් වෙමින් අරපරිස්සමෙන්ද කටයුතු කළ යුතු බව පරිභෝජන ක්‍රියාවලිය පිළිබඳ මඟපෙන්වමින් දේශනා කර ඇති ආකාරය අපට දැකගන්නට පුළුවන්.

බුදු සමයේ පෙන්වා දී තිබෙන්නේ ධනය සම්පාදනය කිරීමේදී පැවතිය යුතු ධාර්මික බව පිළිබඳ විනිවිද බව පිළිබඳ ප්‍රධාන අවධානය යොමු කරන ලෙසයි. මේ අනුව බෞද්ධ දර්ශනය තුළ තිබෙන ආර්ථිකය පිළිබඳ ආකල්ප විමුක්ති මඟටද උපයෝගී වන අයුරින් දේශනා කර ඇති බව පැහැදිලිය.

බක් පුර පසළොස්වක

බක් පුර පසළොස්වක පෝය මාර්තු 29 වන දා සඳුදා පූර්ව භාග 11.04 ට ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්ව භාග 07.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 29 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 06 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]