දිගම්පතහ මාගල්ලෙන රජ මහා විහාරය
සටහන හා ඡායාරූප – ජනක වෙත්තසිංහ
උස් ගල් කුළු, කටාරම් සහිත ලෙන්, පොකුණු ආදියෙන් සමන්විත අසිරිමත් පින්
බිමක් වූ දිගම්පතහ ශ්‍රී මාගල්ලෙන රජ මහා විහාරය සංචාරකයන්ට මෙන්ම
බෞද්ධ සැදැහැවතුන්ටත් නරඹා තුටු පහටු විය හැකි කදිම ස්ථානයකි.
දිගම්පතහ ගමට නම සැදී ඇත්තේ ද මෙම පුදබිම ආශ්‍රයෙන් වීමෙන්ම පෙනී යන්නේ
ප්‍රදේශයේ මෙම විහාරස්ථානයට ඇති ප්‍රමුඛතාවයයි. දිගු ගල් තලයක් මත වූ
පතහ හෙවත් පොකුණ නිසා දිග්ගල් පතහ නමින් කියැවී පසුව දිගම්පතහ වශයෙන්
ප්‍රචලිතව ඇත. ගමට නම තැබූ දිගු ගල් තලයත්, පොකුණත් ඉතිහාස කථාව වළ
නොදමා අද ද දැක ගැනීමට හැකිව තිබේ.
ගල් ලෙන තුළ ඇති ප්‍රතිමා |
විහාරස්ථානයට ඇතුල් වන තැනි බිමේ වම්පස ඇති ගල් කුල මධ්‍යයේ එකිනෙකට
යාව පිහිටි කටාරම් සහිත ලෙන් දෙකත් පාදමේ ඇති ලෙනත් ගිරග මත ඉදිවෙමින්
පවතින ස්තූපයත් තැනිබිමේ ඇති ආවාස ගෘහය සහ බෝධීන් වහන්සේ ආදියෙන් විහාර
පරිසරය සැකැසී තිබේ.
අපූර්වත්වයෙන් දර්ශනය වන ඉහත ගල්කුල මධ්‍යයේ ඇති ලෙන් දිවිත්වයට
පිවිසීමට පාදමේ සිට ඉහළට තනා ඇති පියගැටපෙළ උපකාර වෙයි.
පළමු ලෙන කුඩාය. එයට ඇතුල් වන්නේ විචිත්‍රවත් ලෙස තනා ඇති මකර තොරණක්
සහිත දොරටුවකිනි. ඇතුලු ගර්භයේ ඇති අඩි 5 1/2 ක් පමණ උසැති බුද්ධ
ප්‍රතිමා වහන්සේ දෙපස සැරියුත් මුගලන් දෑගසවු ප්‍රතිමාත්, පසෙකින් අඩි
10 ක් පමණ උසැති මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව, ආනන්ද මහා කාශ්‍යප
ප්‍රාතිමා මෙන්ම විශේෂයක් වශයෙන් දැකිය හැකි විෂ්ණු දේව ප්‍රතිමාවද,
බුද්ධත්වයේ සත් සතියේ සිතුවම් පෙළද මෙම කුඩාලෙනෙහි නිර්මාණය කර ඇත්තේ
නුවර යුගයේ කලා සම්ප්‍රදායට සමීප වෙමිනි.
මෙම විහාරස්ථානයේ සුවිශේෂී අංගය වන්නේ දෙවැනි ලෙන ය. මෙය සොබා දහම
නිර්මාණය කළ විශේෂ ආකෘතියක් වැන්න. ලෙන ඉතා දිග වූවත් පළලින් පටු ය.
හරියට එය දුම්රිය මැදිරි පෙළක් මෙනි.
මෙහි දෙපස ශෛලමය බිත්ති මත බදාමයෙන් නිර්මාණය කර ඇති ප්‍රතිමා සහ බිතු
සිතුවම් රාශිය මතු කරන්නේ සිත් නෙතු පිරිපුන් කරනා දර්ශනයකි. එකිනෙක
ප්‍රතිමාවන්ගේ විචිත්‍ර වර්ණයන් ලෙනෙහි මන්දාලෝකයෙන් මතු කරනා දසුන
චමත්කාර්යක් ජනිත කරවන සුළු ය. හරියට මෙය මහා කලාගාරයකදී බුදු පෙරහරකට
මැදිවී ලබනා අපූරු ආශ්වාදයක් වැනි ය.
පිදුරංගල හා සිගිරිය දර්ශනය වන අයුරු |
මෙහි ප්‍රතිමා නිර්මාණය කර ඇත්තේ මෑත ඉතිහාසයේ 1954 වර්ෂයේ පමණ මාතලේ
පඬිවිට විමලරතන හිමියන්ගේ යුගයේ දී ය. මෙම ප්‍රතිමා පෙරහර පිළිබඳව
ගුණාත්මක පක්‍ෂය පිළිබඳ විග්‍රහ කිරීම පසෙක තැබූව ද මෙවන් ලෙනක් තුළ
පිරීතිරී යන ලෙස ප්‍රතිමාරාශියක් සෑදීමේ කාර්යය නිසා මෙම විහාරස්ථානය
මෑත ඉතිහාසයේ විශේෂත්වයකට පත්වෙයි.
සිද්ධාර්ථ උප්පත්තිය, බුද්ධත්වය, මහාපරිනිර්වාණය සිට සම්බුදු සිරිත,
ඓතිහාසික බෞද්ධ පසුබිමේ සන්සිද්ධීන් හා සූවිසි විවරණය ආදිය, ප්‍රතිමා
මඟින් ප්‍රතිර්මාණය කර තිබීමේ මහා ප්‍රයත්නය මේ පරිසරයේ අමුත්තක් සමඟ
නෙතට හසුවීමෙන්, සිතට දැනෙනා අමුතු හැඟීම වෙනත් විහාරස්ථානයකදී දැක
ගැනීමට නොලැබෙන තරම් විරල දසුනක් මව යි. මෑත යුගයේ මෙසේ ආකර්ෂණීය ලෙස
ග්‍රහණය කර ගන්නා මාගල්ලෙන විහාරයෙහි විශේෂත්වය තවත් තීව්‍ර වන්නේ මෙහි
ඇති ඓතිහාසික වටිනාකම නිසා ය. එහි කටාරම් කොට න ලද ලෙන් කීපය නිසාත්
ඒවායේ කොටා ඇති ලෙන් ලිපි නිසාත් විහාරස්ථානයේ ඓතිහාසිකත්වය මොනවට
තහවුරු වෙයි. ඒ එක් ලෙන් ලිපියක් මැකී ගොස් ඇතත් අනෙක් ලෙන් ලිපිය තරමක
පැහැදිලි තත්ත්වයක පවතී. එය මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් කියවා
තිබේ. මෙයින් කියැවෙන්නේ එම ලෙන භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් පූජා කළ
බවෙකි.
මාගල්ලෙන විහාරයේ දසුනක් |
සීගිරිය, පිදුරන්ගල, එඬේරගල, දක්‍ෂිණාගිරි වෙහෙර ආදී ඓතිහාසික පුදබිම
සමීපයේ මෙම මාගල්ලෙන පුද බිම ද පිහිටා ඇති නිසාත් මෙය ක්‍රි.ව. 5 වැනි
සියවසේ දී එනම් ක්‍රි.ව. 477 දී පමණ සිට හෝ ඊටත් එපිට සිට පැවැත එන්නක්
බව සිතිය හැක. එකල සීගිරිය බලකොටුව කරගනිමින් තම අණසක පැතිර වූ සීගිරි
කාශ්‍යප රජතුමාගේ අනුග්‍රහය මත මෙයද ගොඩ නැගුණු බව කියැවේ. ඒ හා බැඳුණු
භූගෝලීය ඓතිහාසික හා ආගමික පසුබිම එයට සාක්‍ෂ්‍ය දරයි.
පබ්බත විහාර ආකෘතියේ විහාරස්ථානයක් ලෙස ඉතිහාසයේ මෙය ගොඩනැංවී තිබුණු
බවට මේ භූමියේ ඇති පැරැණි සාධක සාක්‍ෂි දරන අතර, එය තව තවත් පුළුල් ලෙස
ගවේෂණය කරන්නේ නම් අප නොදත් තවත් බොහෝ පුරාවිද්‍යාත්මක රහස් හෙළිකර
ගැනීමට හැකිවනු ඇත. ඒ සඳහා අදාළ වියතුන්ගේ නෙත් සිත් යොමුකිරීම වටී.
මැදගම ඤාණරතන හිමි |
ඉහත සඳහන් කළ ගල් පව්වේ එක් පසෙකින් මුදුනට පිවිසීමේ දී ඒ හා බැඳි වනයේ
ගහ කොළ අතර ඉතා වටිනා ඖෂධ පැළෑටි ආදිය දැක් ගැනීමට ලැබේ.
විවිධ සත්ව වර්ගයන්ට ද කෙම්බිමක් වූ මේ පරිසරයේ අලි පවා කරක් ගසනා බව
දැනගන්නට ලැබුණි. එසේ පරිසර පද්ධතියේ ද මහඟු දායාදයන් වූ පුද බිම
ආශි‍්‍රත භූමියේ මුදුනත ගල් තලාවේදී නැගෙනහිර දිසා ගතව සීගිරි පව්වත් ඒ
සමීපයේ ඇති පිදුරංගල විහාරස්ථාන අයත් පව්වත් දැක ගැනීමට ලැබේ. එය දැක
වින්දනය කළ හැකි රමණීය දසුනකි.
දැනට මෙම පර්වත ඉස්මත්තේ ඉදිවෙමින් පවතින ස්තූපය සැදී අවසන් වන විට ඒ
හා බැඳෙන පරිසරයේ දර්ශනය මොනතරම් නම් ආශ්වාදනීය වේදැයි සිතින් සිතාගත
හැක. මෙම චෛත්‍ය කර්මාන්තය දැනට කෙරෙන්නේ අපහසුතාවයන් රාශියක් මධ්‍යයේ
ය. ඒ සඳහා වත්මන් විහාරාධිපති, හබරණ මහා මහින්ද පිරිවෙන් ආචාර්ය
ශාස්ත්‍රවේදී ප්‍රවීණාචාර්ය මැදගම ඤාණරතන හිමියන්ගේ අපමණ වූ දිරිය
පැසසිය යුතු ය.
ඉතිහාසයේ ආගමික සංස්කෘතියක් ඔද වත් කළ ශ්‍රී මාගල්ලෙන රජ මහා
විහාරස්ථානය වර්තමානයෙන් නොනැවැතී අනාගතයට ද රැගෙන යන මේ දායාදයන් දැක
පැහැද සිත් සතන් සනහාගන්නට ඔබ සැමට ද ආරාධනා කරමි.
|