දැල්තර ශ්‍රී සුමනාරාම මහා විහාරය
සටහන හා ඡායාරූප
ජනක වෙත්තසිංහ
සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ |
වසර 150 ක් තරම් අතීත උරුමයකට හිමිකම් කියන දැල්තර ශ්‍රී සුමනාරාමය
ප්‍රදේශයේ ඇති පැරැණි වටිනා පූජනීය ස්ථානයකි.
පිළියන්දල සිට මොරටුව දක්වා දිවෙන මාර්ගයේ සුවරාපොළ හන්දියෙන් වමට
හැරී දැල්තරට විත් මෙම විහාරස්ථානයට පිවිසිය හැක. වර්ෂ 1861 දී
යන්තමින් අටවාගත් ආවාස ගෘහයකින් ආරම්භවන අවදියේ දී එක් භික්‍ෂූන්
වහන්සේ නමක් හැර වෙනත් කිසිවෙක් හෝ කිසිවකුත් විහාරස්ථානයේ නොවීය.
අක්කර 1 1/2 ක පමණ භූමියක ඇතිඅමරපුර නිකායට අයත් සුමනාරාමයේ මූලාරම්භක
භික්‍ෂූන් වහන්සේ කතලුවේ ශ්‍රී ගුණරතන තිස්ස නාහිමියන් ය.
අසූ මහා රහතන් වහන්සේගේ ප්‍රතිමා |
විහාර භූමියට අත්‍යවශ්‍ය අංගයක් වූ බෝධීන් වහන්සේ රෝපණය කෙරෙන්නේ 1878
වසරේදී ය. දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ නමක් වූ බෙල්ලන්විල රජමහා
විහාරයේ බෝධීන් වහන්සේගේ අංකුරයකින් පැණ නැඟුණු බෝධීන් වහන්සේ මෙම
ස්ථානයට වඩමාගෙන එන ලද්දේ අද පවතින මාර්ග ඔස්සේ නොවේ.
එදවස ඝන වනයෙන් වැසී තිබුණ මේ ප්‍රදේශයට ගමන් පහසුව සළසන ලද්දේ කරත්ත
පාරවල් ය. එම නිසා පානදුර ගග තරණය කරමින් ඕලන්ද ඇළට වැටී එතනින්
බෙල්ලන්විල පුද බිමට ගොඩ බැස මහත් පුද සත්කාර මධ්‍යයේ බෝ පැළය මෙම
ස්ථානයට වැඩමවා ගෙන එන ලදී.
අදත් මෙම විහාරස්ථානය ආසන්නයේ ඇති බොල්ගොඩ ජලාශය නිසා එදා පාරුගමන
වඩාත් පහසු විය. එදවස මෙහි විහාරාධිපති වූයේ තංගල්ලේ අග්ගසාර මා
හිමියන් ය.
මෙම බෝධීන් වහන්සේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් ප්‍රදේශයේ බැතිබර දනන්ගේ
අඳුරු දිවියට මහත් එළියක් වූ අතර මෙතනට පිහිට පතා ඇදී එන ජනතාවට නිතර
දේවතා එළි දකින්නට ලැබුණු බව අදත් කටවහරේ පවතින කතාවකි.
එදා බෝධීන් වහන්සේ ද අද දකින්නට නැත. එතැන අද චෛත්‍ය ගොඩ නැඟී ඇත. 1918
වසරේ දී ඝන්ටාර කුළුණත්, 1921 දී ධර්මශාලාවත් මෙන්ම චෛත්‍ය රාජයාණන්
වහන්සේ, විහාර මන්දිරය, බෝධීන් වහන්සේ වශයෙන් වර්තමානය වන විට ශ්‍රී
සුමනාරාමය සකලාංගයන්ගෙන්ම පිරිපුන් විහාරස්ථානයක් ලෙස වර්ධනය වී තිබේ.
විහාර මන්දිරය |
මෙහි දකින්නට ලැබෙන විහාර මන්දිරය මාල දෙකකින් සමන්විත වේ. ඇතුල් මාලය
වඩාත් සුවිශේෂී වෙයි. එහි සුවිසල් ලෙස සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ
මෙන්ම දෙපස බිත්ති මත දහ අටරියන් හිටි බුද්ධප්‍රතිමා වහන්සේ නෙලා ඇත.
සමාධි ප්‍රතිමාව පසුබිම බිත්තියට සවිකර ඇති අසූමහා රහතන් වහන්සේගේ
ප්‍රතිමා සහ වියන් චිත්‍ර ආදියත් දැකගත හැක.
චෛත්‍ය රාජයාණන් වහන්සේ |
විහාරමන්දිරයේ ඇති ඉහත ප්‍රතිමා පිළිබඳව විශේෂයෙන් යමක් සටන් කිරීම
වටින්නේ ය.
එදවස ධර්මදාස නම් මූර්ති ශිල්පියකු විසින් මෙම ප්‍රතිමා ඉතා
විචිත්‍රවත් ලෙසත් දැවැන්ත ලෙසත් නිර්මාණය කර තිබේ. මේ ශිල්පියාගේ
ප්‍රතිභාව මෙන්ම නිර්මාණශීලී හැකියාව ඉතා උසස් තලයක තිබුණු බවට මෙම
ප්‍රතිමා සාක්‍ෂි දරයි.
අසූමහ ශ්‍රාවක රහතන් වහන්සේ, සමාධි බුද්ධ ප්‍රතිමාව පසු බිමේ මූර්තිමත්
කර ඇත්තේ අහස්තලයේ වළාකුළු අතර වැඩ සිටින ආකාරයටය. මෙම දර්ශනය බොහෝ
විහාරස්ථානයන්හිදී අපට දක්නට නොලැබෙන දුලබ එහෙත් ආකර්ෂනීය දසුනකි.
එසේම මකර තොරණ ද සුවිසල්ය. සුන්දරය. ඇඹුම්, කැටයම් ආදිය ද උස් තලයක
පවතී. මෙහි විශේෂිත දෙය නම් එදවස මේ මකර තොරණට බර පැන දරා ඇත්තේ
ත්‍යාගරාජා නම් ද්‍රවිඩ ජාතික පින්වතුකි විසින් වීමය. මකර තොරණ අභිමුව
සුවිසල් ලෙස නෙලා ඇති මෛත්‍රී බෝධිසත්ව පිළිමයත් දෙපස මූර්තිමත් කර ඇති
මෛත්‍රී බුද්ධ ශාසනයේ අග සව් දෙනම වන දුටුගැමුණු සද්ධාතිස්ස රජවරුන්ගේ
පිළිරූ ද ඉතා ආකර්ෂණීය වෙයි. බුද්ධ චරිතය මෙන්ම බුදු සසුනේ විවිධ
අවස්ථා නිරූපනය කරනා බිතු සිතුවම් ප්‍රතිමා ආදිය පිටමාලයේ දැනට
නිර්මාණය වෙමින් පවතී.
අලුතෙන් නිර්මාණය කර ඇති සිතුවම් |
මෙම වටිනා නිර්මාණයන් රැගත් බුදු මැදුර එක් යුගයක දී ගරා වැටී විනාශයේ
අභිමුවට පැමිණි බවක් කියැවේ. වර්තමාන විහාරාධිපති දැල්තර ඤාණසිරි නා
හිමියන් 1992 වසරේ දී මෙම ස්ථානයේ විහාරාධිපති වශයෙන් පත්ව එන්නේ පන්සල
ගරා වැටෙමින් පැවැති යුගයක මහත් අභියෝග රැසකට මුහුණ දෙමිනි.
ඤාණසිරි නා හිමියන්ට ප්‍රථමයෙන් පැණ නගින අභියෝගාත්මක ගැටලුව වන්නේ
විහාරස්ථානයට මහත් වටිනාකමක් එක්කළ බුද්ධ මන්දිරය මරණ මංචකයෙන් ඔසවා
තැබීම ය. වහා ක්‍රියාත්මක වන උන්වහන්සේ ගමේ දායක කාරකාදීන් කැඳවා මෙම
වටිනා නිර්මාණයන්හි අගය වටහාදීමෙන් අනතුරුව විහාර සංවර්ධන කමිටුව නමින්
සංවිධානයක් පිහිටුවා බුදු මැදුරේ ප්‍රතිසංස්කරණ කාර්ය ඉතා ඉක්මනින්
සාර්ථකව අවසන් කරයි.
නාහිමියන්ගේ අපරිමිති දිරිය හඳුනාගත් පරිත්‍යාගශීලීන් ද විහාරාධිපති
වහන්සේ තනි නොකරමින් විහාරස්ථානය වර්ධනයට මහත් වූ දායකත්වයක් සපයති.
විහාරාධිපති
දැල්තර ඤාණසිරි නා හිමි |
එසේම ගරා වැටුණු ධර්ම මන්දිරය ද සම්පූර්ණයෙන්ම පිළිසකර කර තිබේ.
දොළොස්මහේ පහන, පිවිසුම් වාහල්කඩ, ජලනල පහසුකම් දහම් පාසල් දරුවන්
වෙනුවෙන් වෙනම ශාලාවක් ආදියද ඉදිවන්නේ මෙම පරිත්‍යාගශීලී පිරිස එකතුව
ගොඩනැඟෙන දායක සභාව ශ්‍රී සංඝමිත්තා කුළඟන සමිතිය, ගමේ සුබ සාධනය
වෙනුවෙන් ගොඩනැඟුණු පරෝපකාර සුබ සාධක සමිතිය ආදියේ උපකාරයෙනි.
ගමේ ප්‍රදේශයේ උන්නතිය වෙනුවෙන් ද වෙහෙසෙන ඤාණසිරි නාහිමියෝ ගමට
‘සර්වෝදය’ හඳුන්වාදීමටද මූලිකවෙති. ගමේ සුබ සාධනය වෙනුවෙන් ද සමිති
සමාගම් පිහිටුවමින් අනුශාසකත්වය සපයති.
දැල්තර ඤාණසිරි නාහිමියෝ සුමනසාර සිරි සුමේධ වංශාලංකාර ශ්‍රී සද්ධර්ම
ශිරෝමනී විනයාචාර්ය විචිත්‍ර භානක අමරපුර ශ්‍රී සුමංගල කාරක සංඝ සභාවේ
කාරක සභික ධර්මාචාර්ය සම්මාන නායක ලෙස පිදුම් ලබති.
නව ධාතු මන්දිරය |
ශාසනයේ උන්නතිය වෙනුවෙන් ද වෙහෙසෙන උන්වහන්සේ හෙට දින ශාසනයට ආලෝකයක්
වන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ දහතුන් නමක් පමණ සංඝ සමාජයට දායක කර ඇත.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ තරුණ භික්‍ෂූන් වහන්සේ ද ඒ අතර සිටීම
අගය කළ යුතු වේ.
දම්පේ, බටකැත්තර හැඩිගම ආදී වූ ගොදුරු ගම් මධ්‍යයේ ඇති ශ්‍රී සුමනාරාම
මහා විහාරයේ මුල් යුගයේ පැවැති ධාතු මන්දිරය ගරා වැටුණු නිසා මේ වන විට
නව ධාතු මන්දිරයක් ලහි ලහියේ ඉදිවෙමින් පවතී.
නව ධාතු මන්දිරය මේ මස 22 වැනි දා ප.ව. 3.30 ට යෙදෙන සුබමොහොතින්
වර්තමාන පාර්ලිමේන්තුවේ කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා අතින් සසුනට
පූජා කෙරේ. එදිනට සමස්ත අමරපුර මහා සංඝසභාවේ උප සභාපති රාජකීය පණ්ඩිත
අම්බලන්ගොඩ සුමංගල මහානාහිමි, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු
නාහිමි, දොඩංගොඩ අස්සජී නාහිමි රාජකීය පණ්ඩිත මහාචාර්ය කහපොළ සුගතරතන
මහා නාහිමි සහ ශාස්ත්‍රපති අලුත්නුවර අනුරුද්ධ නාහිමි ඇතුළු මහා
සංඝරත්නයද සහභාගීවෙති ප්‍රදේශයේ සියලු පක්‍ෂ නියෝජනය කරන නියෝජිත පිරිස
ද ඇතුළු සම්භාවනීය පිරිසකගෙන් එදින උත්සව සභාව වර්ණවත් කෙරේ.
|