වෙඩි නො වදින සංස්කෘතිය
යුද්ධය යනු මානව සබඳතා බිඳ වැටීම ය. එ සේ වූව ද යුද බිමේ සිටින
සෑම සොල්දාදුවෙක් ම මානව ගුණ රහිත පුද්ගලයකු යැයි එයින් අදහස්
නො වේ. අතිශයින් කුරුරු යුද්ධයක දී පවා උදාර මානව ගුණ ප්‍රකට
කැරෙන සිදුවීම් වාර්තා වනුයේ එ බැවිනි. මේ උදාර මානව ගුණ
අන්තර්ජාතික නීති මඟින් දිනාගත හැකි තත්ත්වයක් නො ව සොල්දාදුවා
ගේ ජීවිතයට බලපා ඇති සංස්කෘතික හික්මීම අනුව ලැබෙන
ප්‍රතිඵලයකි.
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් මානව සබඳතා බිඳ
දැමීම නිසා ඇරැඹි යුද්ධයේ දී වුව ද ශ්‍රී ලංකා හමුදාව උදාර
මානව ගුණ ප්‍රකට අවස්ථා බොහෝ දක්නට ලැබිණ. කොටි නායක
වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ මළ සිරුර වෙතට එන මැස්සන් එළවා දමන
හමුදා සොල්දාදුවකු රූපවාහිනියෙන් අපට දැකගත හැකි විය.
ප්‍රභාකරන් තම ප්‍රධාන සතුරා මෙන් ම ම්ලේච්ඡ ඝාතකයකු බව නො
සලකා සමීප ඥාතියකු ගේ මළ සිරුරකට මෙන් සැලැකීමට එම සොල්දාදුවාට
හැකි වූයේ සංස්කෘතිය මඟින් ලද හික්මීම නිසා ය.
එහෙත්, ස්ත්‍රී දූෂණය යුද්ධයේ දී ආයුධයක් ලෙස ශ්‍රී ලංකා
හමුදාව යොදාගත් බව ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්
මහත්මිය එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂ මණ්ඩලය හමුවේ පසුගිය
සැප්තැම්බර් මස 30 වන දා ප්‍රකාශ කැර තිබේ. එය ශ්‍රී ලංකා යුද
හමුදාවේ ප්‍රතිරූපය කෙලෙසීම සඳහා හිතා මතා කළ අසත්‍ය
ප්‍රකාශයක් බවට ශ්‍රී ලංකා රජය විරෝධය පළ කිරීම නිසා ඇය එම
ප්‍රකාශය ඉල්ලා අස්කැර ගත්තා ය.
මෙහි දී කරුණු තුනක් කෙරෙහි අප ගේ අවධානය යොමු විය යුතු ය.
එකක් නම්, යුද්ධයක දී සොල්දාදුවන් ගේ හැසිරීම අස්වාභාවික වන්නේ
ඇයි ද යන්න යි. දෙවැන්න වන්නේ, ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහි ව
මෙ බඳු අසත්‍ය චෝදනා ඉදිරිපත් වන්නේ ඇයි ද යන්නයි. තුන්වැන්න
නම්, ශ්‍රී ලංකා හමුදාවන් මේ ආකාරයේ අස්වාභාවික හැසිරීමක්
ප්‍රකට නො කළේ ඇයි ද යන්න යි.
යුද්ධයක දී සොල්දාදුවන් අස්වාභාවික අයුරින් හැසිරෙන්නේ ඇයි ද
යන්න තේරුම් ගැනීමට වෛද්‍ය රුවන් එම්. ජයතුංග ලියූ ‘යුද ආතතියේ
මනෝ විද්‍යාත්මක බලපෑම’ නමැති කෘතිය උපුටා දැක්වීමට
කැමැත්තෙමු.
‘පළමු ලෝක යුද සමයේ ජර්මානු සොල්දාදුවකු මෙන් ම පසුකාලීන
සාහිත්‍යධරයකු වූ එරික් රිමාකේ ඔහු ගේ ඒතත ඳභඪඥබ ධද බඩඥ
ඹඥඵබඥපද ටපධදබ නමැති කෘතියේ යුද ආතතියට ලක් වූ සෙබළුන් තුළ
පැවැති අසාමාන්‍ය ගති ලක්‍ෂණ, සුළු කරුණක දී වූව ද අතිශයින්
කෝපයට පත් වීම, බෝම්බ වැටෙන විට හිස්ලූලූ අත අසිහියෙන් මෙන්
දිවයෑම සහ බියපත් වූ සොල්දාදුවන් යළි යුද පෙරමුණ කරා යෑමට
දක්වන භීතිය ගැන සඳහන් කරයි. එ සේ ම රිමාකේ, සොල්දාදුවන්,
විශේෂයෙන් යුද සිරකරුවන් අතර පැවැති අසාමාන්‍ය ලිංගික චර්යා
ගැන සඳහන් කරයි. අසාමාන්‍ය ලිංගික චර්යාවන් ද ඇතැම් විට යුද
ආතතිය සමඟ බැඳී පවතියි. යුද ආතතිය නිසා අධිලුබ්ධිය මෙන් ම
ලුබ්ධිය අඩු වීම ද (ලුබ්ධිය යනු කාමාශාවයි) දැකිය හැකි ය.
උදාහරණයක් ලෙස ජුලියස් සීසර් අධිලුබ්ධියෙන් යුක්ත විය. ඔහු තම
සෙබළුන් ගේ භාර්යාවන්ට ද අයුතු බලපෑම් කළ බව පැවැසේ. නැපෝලියන්
ඇතැම් විට ලිංගික වශයෙන් හීනමානයක් ගොඩනඟා ගත්තේ ය. මේ තත්ත්වය
හිට්ලර් කෙරෙන් ද විද්‍යමාන විය. රිමාකේ ගේ යුද විරෝධී
සාහිත්‍ය නිසා ඇඩොල්ෆ් හිට්ලර්, ඔහු ගේ කෘති වාරණයට ලක් කරයි.”
ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහි ව මෙ බඳු අසත්‍ය චෝදනා ඉදිරිපත්
කිරීමට හේතුව බටහිර බලවතුන් ගේ න්‍යාය පත්‍රයට අනුව අප කටයුතු
නො කිරීම ය. ශ්‍රී ලංකා හමුදාවන් මේ යුද්ධයෙහි නිරත වූයේ
රැකියාවක යෙදෙන අරුතින් ම නො වේ. ඔවුන් මවුබිම වෙනුවෙන් සටන්
කළේ දේශානුරාගයෙන් යුතුව ය. උත්තරීතර අරමුණක් වෙනුවෙන් ජීවිත
පරිත්‍යාගයෙන් සටන් වැදුණු එ බඳු පිරිසක් කාම අපරාධ කෙරෙහි
නැඹුරු වීමට ඇති ඉඩ කඩ සීමිත ය. කොටි සංවිධානය වැනි ශක්තිමත්
ආත්මනාශක හමුදාවක් පරාජය කිරීමට හා සාමාන්‍ය දෙමළ ජනතාව සමඟ
සුහද ව කටයුතු කිරිමට ශ්‍රී ලංකා හමුදාවන්ට හැකි වූයේ මේ මානව
ගුණය නිසා ය.
මේ තත්ත්වය වියට්නාම් යුද්ධයේ දී ද දක්නට ලැබිණ. ජනරාල් වො
න්ගුයෙන් ගියෙප් මෙහෙය වූ වියට්නාම් විමුක්ති හමුදාව ප්‍රංශ
හමුදාව සමඟ සටන් කොට 1954 මැයි 07 වන දා ඩියන් බියන් පූ මහ
බලකොටුව ජය ගැනීම ලෝක යුද ඉතිහාසයේ අමරණීය සිද්ධියකි. දිළිඳු
වියට්නාම් විමුක්ති හමුදාව, ප්‍රංශ ජනරාල් නවාරේ හා ඇමරිකානු
ජනරාල් හෙන්රි වැනි යුද විශේෂඥයන් දණ ගැස්වීමට සමත් වූයේ කෙ සේ
ද යන්න ඇමරිකාව තවමත් අවබෝධ කැර ගෙන නොමැති බව රාජ්‍ය
ලේකම්වරිය ගේ එම ප්‍රකාශයෙන් පැහැදිලි කැරේ.
කෙ සේ වූව ද මේ කරුණු දැක්වූයේ අප යුද්ධයට පක්‍ෂ නිසා නො ව
බුදු දහමෙන් පෝෂිත ශ්‍රී ලාංකික සංස්කෘතිය යුද බිමේ දී පවා
විනාශ නො වූ බව පෙන්වාදීමට ය. |