නූතන පරිභෝජනවාදය
සහ
ජීවන වියදම
ආචාර්ය පී.ඤාණාරාම හිමි
පරිවර්තනය - නාරාවිල පැට්රික්
ව්‍යාපාරික ව්‍යවසායකයෝ නූතන සන්නිවේදන ක්‍රමෝපාය මඟින්, දිවා රෑ නොබලා
අලුත් පන්නයේ නොයෙක් භාණ්ඩ හඳුන්වා දෙන්නට සහ එමඟින් ඒවා භාවිතයට අප
පොළඹවන්නටත් බලවත් වෑයමක යෙදී සිටිති. ඔවුන් අපේ මේ යුගයේ අපට හුස්මක්
කටක් අර ගන්නට විවේකයක් නොතබා පුවත්පත්, සඟරා, ගුවන් විදුලිය,
අන්තර්ජාලය, ගුවන් තැපෑල, විවිධ ආදර්ශක හා දුරකථන ඇමතුම් මඟින් අප
අත්අඩංගුවට ගත්තා සේ ය.
වාණිජ තාක්‍ෂණය එතරම් ආකර්ෂණීය ද, කර්ණරසායන ද වෙයි. ඔවුන්ගේ පාරිභෝගික
භාණ්ඩ, මේ දැන් නැවෙන් බාගත් ගමන් ද, ඒවා සීමිත තොග ද, නැවත ලබා ගත
නොහැකි ද ඒවා බව අපට ඒත්තු ගන්වන්නට නොදරන උත්සාහයක් නැත.
ඔවුන්ගේ මන මෝහනීය ප්‍රචාරණය කෑමබීම, ඇඳුම් පැළඳුම්, බෙහෙත් ද්‍රව්‍ය
සහ තවත් කී නොකී පාරිභෝගික භාණ්ඩ වලට පමණක් සීමා වූයේ නොවේ. එනම්,
වඩාත් පුළුල් පරාසයක ව්‍යාප්තව යාන්ත්‍රික හා විද්‍යුත් උපකරණ සහ ඒවාට
අදාළ නොයෙක් දිග, කෙටි, හතරැස්, අටපට්ටම්, කවාකාර ආදී හැඩ ඇති අඬු බඩු
මෙවලමින් ද සෑදුණේ ය. ඔවුන්ගේ චිත්තාකර්ෂණීය ප්‍රචාරණයෙන් පාරිභෝගිකයෝ
බිලිකොකු ගිලගත් මසුන් සේ ඇදී එති. ඔවුන්ගේ ආකල්ප සමුදාය තරගකාරී ලෙස
මධුර ස්වරයෙන් සංධ්වන කොට ඇත. පාරිභෝගිකයෝ තමන් වරප්‍රසාද ලත් යශෝධරයන්
වනු පිණිස යටකී නවතම තොග අත්පත් කර ගන්නට පොර වදිති.
මේ නම් එක දිගට ඇදී එන වසංගතයකි. එය සමෘද්ධිමත් යැයි කියනු ලබන
රටවලින්, දියුණු වෙමින් පවතින රටවල් යැයි කියනු ලබන ඒවාට ශීඝ්‍රගාමීව
ව්‍යාප්ත වෙමින් පවතී. මේ පරිභෝජනවාදී මෝස්තරය දසක කීපයක් තිස්සේ
වර්ධනය වනු අත්දකින්නට ලැබේ. එය පැහැදිලි ලෙස, අඛණ්ඩව, පියවරින් පියවර
වියදම් ක්‍රියාවලිය තියුණු කරන්නක්වී ඇත. ලොව පුරා පාරිභෝගිකයන් අතර එය
පුරුද්දක් බවට ගියා සේ පෙනේ. ඇතැමකු කෙනෙකුගේ ජීවන තත්ත්වය ඔහුගේ වැය
ශීර්ෂය අනුව මනිනු විය හැකි ය. එහෙත් ඇතැමකු විසින් වඩ වඩාත්
ශීඝ්‍රගාමී පරිභෝජන රටාවකට ජනතාව දිරි ගන්වනු පෙනේ. එක අතකින් එය
අල්පේච්ඡතාව, සන්තුෂ්ටිය පරම ධනය සේ සැලකීම සහ සරල ජීවන පැවැත්ම වැනි
බෞද්ධ පරමාදර්ශයනට ඉඳුරා පටහැනි ආගමික තත්ත්වයට පත්ව ඇතිවා සේ ය.
නරකම අනුපිළිවෙළ
ඉහළ ආදායම් පදනමක් ඇති සමාජ කාණ්ඩය අතර පරිභෝජනවාදයට පෙළඹවීමක් ඇතිවීම
ස්වාභාවිකය, එබැවින් එය තේරුම් ගැනීම පහසු ය. එහෙත් අඩු ආදායම් ලබන
පිරිස විසින් ඉහළ ආදායමක් ලබන්නවුන් අන්ධානුකරණය නම් සත්තකින් ම
ඛේදජනකය. පාරිභෝගිකයෝ “දැන් ගන්න, පස්සෙ දෙන්න” පිළිවෙතට ක්‍රමානුකූලව
පොළඹවනු ලබන්නෝ නොවෙත් ද? මේ සඳහා තමන්ගේ මිලදී ගැනීමේ හැකියාව සිතන්නට
මොහොතක් නොදී, ඕනෑම දෙයක් ගන්නට පහසු කරන සේ, “සම්මානනීය ණයවරපත්”
ප්‍රදානය කරනු ලැබේ. ආර්ථික විශේෂඥයෝ පරිභෝජන වියදම අනුව ආර්ථික
උත්පාතය ගණනය කරති. ජනතාව කෙතරම් හොඳින් හෝ නරකින් ආර්ථික පීඩනය සමඟ
පොර බදන්නේ දැයි අනුමාන කරන මිනුම් ලකුණ ලෙස සැලකෙන්නේ එය යි.
මේ අතර මූල්‍ය වෙළඳපොළෙහි හණික ආර්ථික අර්බුදයක් අත්දකින්නට ලැබෙයි. ණය
වරපත් මඟින් වැය කිරීම, නීතිරීති හා පරිපාලනයේ දුබලතා සහ පෙර උපදෙස්
පිළිබඳ ඌනතා හා වෙනත් නොයෙක් බලාපොරොත්තු රහිත සිදුවීම් ආදිය පශ්චාත්
අර්බුද වලට හේතුදායක විය හැකි ය. එහිලා නරකතම අනුපිළිවෙළ වන්නේ
අර්බුදයේ ප්‍රතිඵල අපේ දොරකඩ එළිපතට ම පැමිණ තිබීම යි. එයට හේතුව
ගෝලීයකරණ කාර්යාවලියට සාපේක්‍ෂ වෙළඳාම විෂයයෙහි ආර්ථික අන්‍යෝන්‍ය
උපජීවනය, ව්‍යාජ ආටෝපයෙන් යුත් ප්‍රාග්ධන වෙළඳපොළ සහ ඊට අනුරූප ගනුදෙනු
කිරීමයි.
එබැවින් වර්තමාන අර්බුදය සහ පසුබැසීම, පශ්චාත් කාර්මික රටවල් වෙත බෝවන
රෝගයක් මෙන් කර්මාන්ත පැතිර යෑමේ බලපෑම සහ එය ගෝලීය විසින්
ප්‍රදර්ශනයවීම ආදියට පමණක් සීමා නොවේ. එහිලා වාණිජ ක්‍රියාකාරීත්වය
පිළිබඳ බාධක, බැංකු බිඳවැටීම, නිවාස හා නිවාස යෝජනා ක්‍රමය පිළිබඳ
මායාව, ව්‍යාපාර ඉරිතලායෑම, මිනිස් ශ්‍රමය නොතකා හැරීම නිසා විරැකියාව,
ජීවන වියදම හා බඩුමිල ඉහළයෑම, කොටස් වෙළඳපොළ බිඳවැටීම හා හැම ආර්ථික
කාර්යාවලියක ම අසමතුලිතතාව ආනුෂංගික වන්නේ ය.
සිංගප්පූරුවෙන් ලත් වාර්තාවකට අනුව, සිංගප්පූරුවෝ ද ණයවරපත් වලට
ගෙවීමෙන් නිදහස් නොවෙති. පහත දැක්වෙන්නේ 2008 ඔක්. 24 වැනිදා
සිංගප්පුරු ණය උපදේශක ආයතනයේ නිරීක්‍ෂණයකට අනුව “සිංගප්පූරුවෝ ණය
මඩගොඩක එරී සිටිති” මැයින් නිකුත් කරන ලද වාර්තාවකි. “ණයවරපත් මත යැපෙන
ණය, ඩොලර් මිලියන 3300 කට ඉහළ නැඟ තිබේ. එය මාස 12 ක් තුළ ඩොලර් මිලියන
296 කින් වැඩිවීමකි. ඊට පෙර මාස 12ට වඩා එය ඩොලර් 94 කින් වැඩිවීමකි.
නිවාස ණය ඩොලර් මිලියන 6600 කි. “සිංගප්පූරුවන් ශීඝ්‍රගාමී අනුපාතයකින්
ණය නකන්දක් නඟිමින් සිටිතියි එහි ණය උපදේශක ආයතනයේ සභාපති ක්වෝ හව්
නාම් සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් ජනමාධ්‍ය වලට කියයි.”
බෞද්ධ ප්‍රවේශය
ලෝක බැංකුවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කාර්යසාධක පූර්වෝපායික
ක්‍රියාමාර්ග පිළිබඳ විස්තර තොරතුරු සොයා දැන ගනු ඇත. අපි අපේ බලපෑමේ
කක්ෂයෙන් බාහිර වූ, පිළියම් නොයෙදිය හැකි ආර්ථික බලවේග වලට අත පොවන්නට
අපහසු තත්ත්වයෙන් සිටිමු. ඒ අතර බුදුදහම පැහැදිලි ලෙස වෛකල්පික, සජීවී
මඟ පෙන්වීමක් කර ඇත. එහිදී ධනෝපායනය, සැලසුම්කරණය හා අයවැය තුලනය
විෂයයෙහි අභිමානවත් ක්‍රමෝපාය ඉදිරිපත් කර තිබේ. බුදුන් වහන්සේගේ
ඉගැන්වීමට අනුව අපට සන්හිඳියාවෙන් සහ නිර්භීතවත්, නායයෑමකින් හෙවත්
පසුබෑමකින් තොරවත් ජීවිතය අධ්‍යයනය කළ හැකි ය. ඒ කෙසේද? අපි ණය මත
යැපෙන, පමණ ඉක්මවා ගිය ජීවන රටාවෙන් වළකිමු, සැලසුම් සහගත අල්පේච්ඡ සහ
සන්තුෂ්ටියෙන් යුත් දිවි පෙවෙතකට නැඹුරු වෙමු. බුදුන් වහන්සේ අත්ථිසුඛ
නම් වූ ආර්ථික ස්ථාවරත්වයෙන් ලබන සතුටක් ද, අණන සුඛ නම් වූ ණයෙන්
තොරවීමෙන් ලබන සතුටක් ද, ආරක්ඛසම්පදා නම් වූ අනාගතය සඳහා තමන් උපයන
දෙයින් ඉතිරි කිරීමේ සම්ප්‍රදායයක් ද, සමජීවිකතා හෙවත් සමතුලිත අයවැයක්
පිළිබඳ ජීවන ක්‍රමයක් ද දේශනා කළ සේක. මේ සියල්ල සන්තුෂ්ටිය ජීවිතයට
පරම ධනයක් වන්නට උපකාරක සාධකයෝ ය.
උන්වහන්සේ යළිත් සුභර නම් වූ පහසුවෙන් නඩත්තු කළ හැකි වූත්, සන්තුස්සක
නම් වූ මූලික අවශ්‍යතා සපුරා ලන්නට පමණක් සීමාවූත්, අප්පකිච්ච නම් වූ
හැකිතාක් වගකීම් හා බැඳීම් වලින් තොරවූත්, සල්ලහුකවුත්ති නම් වූ
සැහැල්ලු දිවි පෙවෙතකට අදාළවූත් ජීවන ක්‍රමයක් ඉදිරිපත් කළ සේක. එවිට
කරවටක් දියේ ගිලුණත් හිස ඔසොවා පණ බේරා ගන්නා තරමින්වත් සැනසීමක්
ලබන්නට බැරි නොවේ. ඒ ටිකටවත් ගොඩව ඇද දමන්නට තරම් යහගුණ සම්පන්න
මිනිසුන්ගෙන් ද සමාජය හිස්ව නැත. එබැවින් පරිභෝජනවාදය ඉදිරියේ තරයේ
උපේක්‍ෂා සම්පන්නව විමසිලිමත් වීමෙන් බුද්ධානුශාසනය පිළිපැදීම මැනවි.
එහිලා දැහැමි ද, බුද්ධිමත් ද වෙමින් මල නොතළා රොන් ගන්නා මී මැස්සකු සේ
කිසිවකුට හානියක් නොවන පරිදි මඳින් මඳ සම්පත් උපයා ගැනීම යහපති. කෙසේ ද
යත්,
“ඒවං භෝගේ සමාගන්ත්වා -
අලමත්ථෝ කුලේ ගිහී
චතුධා විභජේ භෝගේ -
සවේ මිත්තානි ගන්ථති”
“මෙසේ ධන සම්පත් රැස් කරන්නා එසේ රැස් කොට නියතයෙන් ගිහි ගෙයි විසීමට
සමතෙක් වෙයි. හෙතෙම ධන සම්පත් සිවු කොටසකට බෙදා පරිභෝජනය කරමින්
මිතුරන්ගේ සිත් දිනා ගෙන වෙසෙයි.
“ඒකේන භොගේ භුඤ්ජෙය්‍ය -
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථඤ්ච නිධාපෙය්‍ය -
ආපදාසු භව්ස්සති”
“උපයන ධනයෙන් හතරෙන් එකක් එදිනෙදා ජීවන වියදමට යොදනු මැනවි.දෙකොටසක්
ව්‍යාපාර ආදියෙහි ආයෝජනය කරනු යහපති. සිව්වැනි ඉතිරි කොටස ලෙඩ දුක්
කරදරාදිය සඳහා ගන්නට ඉතිරි කර තබනු යෙහෙකි.”
(2009.09.04 වැනිදා බුදුසරණ පුවත්පතේ පළ කරන ලද සිංගප්පූරුව, බෞද්ධ
හා පාලි විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය ආචාර්ය පී.ඤාණාරාම හිමියන්ගේ
Consumerism and Cost of Living මැයින් වූ ලිපියේ පරිවර්තනයකි)
|