ධම්මපදය හා ප්‍රාග්ධනය
ඩේලි නිව්ස් පුවත්පතේ කර්තෘ ජයතිලක ද සිල්වා මහතා විසින් සිංහල
භාෂාවට පරිවර්තනය කරන ලද කාල් මාක්ස් ගේ ප්‍රාග්ධනය (
Das kapital ) නමැති කෘතිය දොරට වැඩීම සඳහා උත්සවයක් පසුගිය 17 වන
දා කොළඹ මහජන පුස්තකාලයේ දී පැවැත් විණ. නූතන ලෝකයට ප්‍රාග්ධනය
කෘතියෙහි අදාළත්වය පිළිබඳ ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ දර්ශන
විද්‍යා අංශයේ මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතා එහි දී
පැවැත් වූ දේශනය එම විශිෂ්ට පරිවර්තන කාර්යයට මෙන් ම කාල්
මාක්ස් නමැති විශිෂ්ට චින්තකයාට ද කළ නිගරුවකි. එ පමණක් ද නො ව
බුදුන් වහන්සේට කළ අවමානයකි.
කාල් මාක්ස් නමැති මහා චින්තකයාට බුදුන් වහන්සේ පවා සමාන කළ නො
හැකි යැයි මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතා එහි දී කී ය.
මේ බුද්ධිමත් මහාචාර්යවරයාට අනුව ධම්මපදය කියවන්නකුහට, මාක්ස්
ගේ් ප්‍රාග්ධනය කියවා තේරුම් ගත නො හැකි ය. ආගම අබිං යැයි
මාක්ස් කියා ඇත්තේ ඒ නිසා බව ඔහු ගේ අදහස ය.
කාල් මාක්ස් (1818 - 1883) විශිෂ්ට චින්තකයකු බවට කිසිදු
විවාදයක් නොමැත. එහෙත් උත්කෘෂ්ට පෞරුෂයකින් ද, පරමාදර්ශී මානව
ගුණයෙන් ද, විශිෂ්ට බුද්ධිමය සම්ප්‍රදායකින් ද, අසමසම
කැපවීමකින් ද යුතු ව බමුණු අධිපතිවාදය අවිහිංසාවාදී
විප්ලවයකින් පරාජය කොට මානව ශිෂ්ටාචාරයට ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක්
දායාද කළ ගෞතම බුදුන් වහන්සේ සමඟ කාල් මාක්ස් පමණක් නො ව ලොව
මෙතෙක් පහළ වූ කුමන චින්තකයකු හෝ සැසැඳීම අනුවණකමකි.
යුදෙව් විරෝධයෙන් බේරීම සඳහා ප්‍රොතෙස්තන්තවාදය වැලැඳ ගත්
ජර්මනියේ විසූ යුදෙව් පවුලක සාමාජිකයකු වන කාල් මාක්ස් ගේ
විශිෂ්ට සොයා ගැනීම කුමක් දැයි අප පාඨකයන් දැනගත යුතු ය.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ලියූ ‘බුදු සමය යි මාක්ස්වාදය යි
පරස්පර විරෝධී ද? යන ලිපිය ඒ සඳහා මෙහි උපුටා දක්වනු ලැබේ.
‘කාල් මාක්ස් විද්‍යාත්මක ආකල්පයකින් යුතු ව සමාජ විකාශනය දෙස
බලා ප්‍රධාන සංකල්ප හතරකට එළඹුණේ ය. පළමුවැන්න ඉතිහාසය පිළිබඳ
ආර්ථික අර්ථකථනය යි. දෙවැන්න, අතිරික්ත වටිනාකම පිළිබඳ සංකල්පය
යි. තෙවැන්න, ප්‍රාග්ධනය සංකේන්ද්‍රවීමට දක්වන ප්‍රවණතාව
පිළිබඳ නියාමය යි. සිවුවැන්න පන්ති සටන පිළිබඳ සංකල්පය යි.’’
කාල් මාක්ස් ආගම පිළිබඳ ව දැරූ මතය දෙසට අපි දැන් හැරෙමු.
ජර්මන් දාර්ශනිකයයකු වූ ජී. ඩබ්ලිව් එෆ්. හෙගල් (1770 - 1831)
ගේ philosophy of Right නමැති කෘතිය විවේචනය කිරීම පිණිස
මාක්ස් ලියූ ඒ A Contribution to the
Critique of Hegel’s Philosophy of Right නමැති කෘතියෙහි ඔහු මෙ සේ සඳහන් කැර
තිබේ.
‘මිනිසා ආගම නිර්මාණය කරයි. ආගම මිනිසා, නිර්මාණය නො කරයි.
සත්‍ය ලෙස ම ‘ආගම යනු මිනිසා ගේ ස්වයං උපලබ්ධියයි. ආත්ම
සම්භාවනාව යි. හෙවත් ආත්ම වින්දනය යි. මෙහි දී මිනිසා එක්කෝ
ආත්ම ප්‍රතිෂ්ඨාපනය හෝ ආත්ම ග්‍රහණය නො කළ කෙනෙකි. නැතහොත්
නැවත ද ආත්ම අපගත වූවෙකි. මිනිසා ලෝකයෙන් බැහැර ව උක්කුටිකයෙන්
සිටින වියුක්ත සත්ත්වයෙක් නො වේ. ඔහු මේ ලෝකයට රාජ්‍යයට හා
සමාජයට අයත් මිනිසා ය. මේ රාජ්‍යය හා සමාජය ද ආගම නිර්මාණය
කරයි. එය විපරිත කරන ලද ලෝකය පිළිබඳ විඥානයකි. මක්නිසා ද යත්,
ඒවා විපරීත කරන ලද ලෝකයට අයත් වන බැවිනි. ආගම යනු මේ ලෝකය
පිළිබඳ සාමාන්‍ය න්‍යාය යි. එම ලෝකයේ විශ්වකෝෂයට සමාන සංග්‍රහය
යි. එහි ජනපි‍්‍රය ස්වරූපයෙන් පවත්නා ආකෘතිය යි. වියුක්ත ඌන
පූරණය යි. එහි ශෝකගමනයේ හා නිර්දෝෂීකරණයේ සාර්වත්‍රික පදනම යි.
එය මනුෂ්‍යයා ගේ අද්භූත අවබෝධය යි. මක්නිසා ද යත්, මනුෂ්‍ය
සාරයට යථාර්ථයක් නැත. ඒ නිසා ආගමට විරුද්ධ අරගලය වක්‍ර ලෙස එම
ලෝකයට විරුද්ධ අරගලය යි. ආගම යනු එම ලෝකයේ ආත්මීය සුගන්ධය යි.
ආගමික පීඩනය සැබෑ පීඩනයට විරුද්ධ ප්‍රකාශනයක් ද වන්නේ ය. ආගම
යනු පීඩිත ප්‍රාණියාගේ් සුසුම් ය. හදවතක් නැති ලෝකයේ හදවත යි.
හැඟීම යි. ආත්මයක් නැති ස්වභාවයේ ආත්මය යි. එය ජනතාව ගේ අබිං
ය. ජනතාව ගේ මායාමය සන්තුෂ්ටිය ලෙස පවත්නා ආගම විලෝපනය කිරීම
ඔවුන් ගේ සැබෑ පී‍්‍රතිය සඳහා අවශ්‍ය වූවකි.”
කාල් මාක්ස් විසින් ආගම ගැන කැර තිබෙන මේ විවේචනය බුදු දහමට
අදාළ නැතැයි තර්ක කිරීමට අපට බොහෝ අවකාශ තිබේ.
ඒ සඳහා උපයෝගී කැරගත හැකි තර්කයක් අප කලින් සඳහන් කළ ලිපියෙහි
ම කාලෝ ෆොන්සේකා මහතා මෙ සේ දක්වා ඇත.
“බුදුරජාණන් වහන්සේ ගේ චතුරාර්ය සත්‍යය යි, චලිතය පිළිබඳ
නිව්ටන් ගේ නියාම යි එකිනෙකට පරස්පර විරෝධී ද යන ප්‍රශ්නයට
‘ඔව්’ යනුවෙන් පිළිතුරු දීමට කිසිවකු උත්සුක නො වන බව නිසැක ය.
පරස්පර විරෝධී යැයි යම් අයකු තර්ක කරතොත්, එක්කෝ චතුරාර්ය
සත්‍යය, නැතහොත් නිව්ටන් ගේ නියාම ඔහුට ප්‍රතික්ෂේප කිරීමට
සිදු වේ. මිනිසා සාර්ථක ව හඳට ගිය ගමනින් ද සනාථ වූ චලිතය
පිළිබඳ නිව්ටන් ගේ නියම ප්‍රතික්ෂේප කිරීම මේ යුගයේ ජීවත්වන
අපට උගහට ය. ඇත්ත වශයෙන් ම චතුරාර්ය සත්‍යයි චලිතය පිළිබඳ
නිව්ටන් ගේ නියාම යි අතර පරස්පර විරෝධීභාවයක් නැත. ඒ දෙක ම
පිළිගන්නා වූ උගත් බෞද්ධයෝ අප්‍රමාණ ව සිටිති’’.
මේ අනුව මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතාට බුදුදහම ගැන
නිසි වැටහීමක් නොමැති බව පැහැදිලි ය. එහෙත් ඒ නොදැනුවත්කම
අවමන් කිරීමක් දක්වා ගමන් කිරීම වරදකි. |