UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වාදපථ ඉක්ම වූ මහා දාර්ශනිකයාණෝ

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,

රාජකීය පණ්ඩිත, ආචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමි

වි සි එක් වන සියවස ලංකාව නමැති කුඩා දූපතෙහි වෙසෙන අපට වාද විවාදවල රඟ අමුතුවෙන් කියා දිය යුතු නැත. මාධ්‍ය ඔස්සේ සංවාද නමින් කෙරෙන විවිධ විසංවාද නිසා වාද කරන්නන්ගේ හිස්, හිස් බවම කියා පායි. මෙහි ඉතිහාසය බුදුන් වහන්සේගේ කාලයටත් එහාට දිව යන බැවින් කරුණු දන්නවුන්ට මෙහි අරුමයක් ද නැත. මුල් බුදුසමයට අයත් සූත්‍ර දේශනාවල වාද විවාදවල ස්වරූපය පැහැදිලි කරන තැන්වල නිතරම යෙදෙන පද හතරක් ඇත. ඉන් පළමු වැන්න ‘භණ්ඩනජාතා’ යන්නයි. කෝලාහල කිරීමට පෙර එකිනෙකාගේ වැරැදි කියමින් දොස් පැවරීම නින්දා කිරීම මෙයින් අදහස් වේ. දෙවැන්න ‘කලහජාතා’ නමින් දක්වා ඇත. කෑකෝ ගසමින් දඬුමුගුරු පෙන්වමින් කෝලාහල කිරීම ඉන් අදහස් වේ. මෙය ද අපට නුහුරු දසුනක් නොවන හෙයින් විස්තර කළ යුතු නැත. තෙවැන්න තමන් පවසන දේ අසත්‍ය බව දැන දැනත් අනෙකාගේ මතය සාවද්‍ය බව දැක්වීමට හැම වචනයකටම ප්‍රතිවාදියා විසින් විරුද්ධ අදහස් ගෙනහැර පෑමයි. එය ‘විවාදාපන්නා’ යන පදයෙන් විස්තර කොට ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මුඛය නමැති කොපුවෙහි බහා ඇති වචන නමැති අවිය අමෝරා පහරදීම ‘මුඛසත්තිහි චිතුදන්තා’ යන සිවුවන පදයෙන් කියැවේ. මේ නිසා බුද්ධ දේශනාවට අනුව වාද කිරීමෙන් සිදුවන යහපතක් නැත.

උපාලි වැනියවුන් නිවටුන්ගේ දුර්මත පොදි බැඳ බුදුරදුන් හමුවට පැමිණියේ සංවිධානගතව සිටි අන් අයගේ මතවාද තහවුරු කොට බුදුදහමට පහර දෙනු පිණිසය. සච්චක වැනියවුන් පැමිණියේ දැනුමෙන් කුරුවල් වූ මනසින් බුදුරදුන් තෙද බිඳ දමන බවට වහසි බස් දොඩමිනි. එතෙකුදු වුවත් බුදුරදුන්ට එබඳු කිසිවෙක් ගැටලුවක් වූයේ නැත. සත්‍යයේ ස්වභාවය ඉදිරියේ වාද විවාද කිරීම නිසරු පිළිවෙතක් බව බුදුන් වහන්සේ මැනවින් පෙන්වාදුන් සේක. ඇතැම් කරුණු වාදයෙන් හා තර්ක කිරීමෙන් පසක් කර ගැනීමට තමන් වෙතට පැමිණි සමහරුනට බුදුන් වහන්සේ පිළිතුරු දීමෙන් වැළකී සිටියහ. එහිදී ඇතැම්හු පිළිතුරක් නොලදහොත් උපැවිදි වන බව කීහ. ඇතැම්හු බුදුරදුන් කෙරේ අප්‍රසාදය පළ කළහ.එතෙකුදු වුවත් බුදුන් වහන්සේ තම සෘජු ස්ථාවරය වෙනස් කළේ නැත. ඊට හේතුව සතුට අප්‍රසාදය හෝ වෙනත් සාධක හේතුවෙන් සත්‍යයේ ස්වභාවය වෙනස් කළ නොහැකි වීම ය.

මහණෙනි මම ලෝකයා සමඟ වාද නොකරමි. ලෝකයාම මා සමඟ වාද කරයි. (නාහං භික්‍ඛවෙ ලොකෙන වදාමි, ලොකොච මයා සිද්ධිං විවදති) යන පාඨය ;ලාව්තුරා බුදුන් වහන්සේ ලෝකය නමැති මඩ ගොහොරුවෙන් සත්‍යය නමැති කෙම් බිමට පැමිණීමට වාදය සැරයටියක් ලෙස භාවිත නොකළ බවට කදිම නිදසුනකි. එපමණත් නොව සංයුත්ත නිකායේ පුප්ඵ සූත්‍රයේ සඳහන් වන මෙම කරුණක් සමග බුදුන් වහන්සේ ලෝකයෙහි ධර්මවාදී තැනැත්තා කිසිවකු සමග වාද නොකරන බව ද දක්වති. මේ නිසා දහමෙහි පැවැත්ම මෙන්ම නැණ ගුණ දියුණුව ගැන සිතන සැම දෙනා විසින්ම මේ පිළිබඳ ගැඹුරින් සිතීම සුදුසු ය. ලෝකයට මෙන්ම ශාසනයට ද වැඩියෙන් වුමනා වන්නේ කියමන් නොව අරුත්බර ක්‍රියාකාරකම් ය. දහමෙහි සළුපිළි පොරවා දහම ගැන නො කියා තැන තැන පෙනෙන ලෞකික දේ ගැන ගුණ දොස් කියමින් වාද විවාද කරමින් පුරුෂෝත්තමයන් ලෙස පෙනී සිටීම බුදුන් වහන්සේ අපේක්‍ෂා කළ දේ නොවේ. එය හුදෙක් අසත්‍යසේ හා මායාවේ අවතාරයකි. මෙම මායාවෙන් විනිර්මුක්ත වූ බුදුන් වහන්සේ ලෝකයේ පණ්ඩිත සම්මත ජනයා විසින් යමකට ඇතැයි කියනු ලැබේ නම් එයට තමන් වහන්සේ ද ඇතැයි වදාරන බවත් නුවණැති මිනිසා විසින් යමකට නැතැයි කියනු ලැබේ නම් එයට නැතැයි වදාරන බවත් පවසති. පණ්ඩිත සම්මත ජනයා යථාර්ථයක් වශයෙන් නැති ලෙස පිළිගත්තේ රූප වේදනා සඤ්ඤා සංඛාර හා විඤ්ඤාණ යනාදියයි. බුදුන් වහන්සේ ද එයට එකඟය. දහමින් ඇති ලෙස ලොව දැකිය හැකි එකම දෙය නම් රූප වේදනා ආදියේ අනිත්‍යතාවයි.

ලෝකයේ සියලු දේවල්වල පැවැත්මෙ න්‍යායක් ඇත. මෙය ලෝක ධර්මතා නමින් අදහස් වේ. තථාගතවරු එය මැනවින් දැක අවබෝධ කර ගනිති. එසේම එය විශ්ලේෂණය කොට විවරණය කොට ලෝකයාට දෙසති. එතෙකුදු වූවත් පුහුදුන් නුවණ මඳ පණ්ඩිතමානී ජනයාට මෙය තේරුම් ගැනීමට ශක්තියක් නැත. එහිදී එබඳු පුද්ගලයන්ගේ ස්වභාවය වන්නේ තම දැනුම අනුව වාද විවාද තර්ක විතර්ක ඉදිරිපත් කරමින් තම මතය තහවුරු කිරීම පිණිස උත්සාහ ගැනීමයි. ගහ දන්නා අයට කොළ කඩා පාන්නාක් මෙන් සිදුවන මෙබඳු බොළඳ ක්‍රියා පිළිබඳ සානුකම්පිතව බලා සිටීම මිස නුවණැත්තාට කළ හැකි වෙනත් දෙයක් නැත. සත්‍යයේ ස්වභාවය පිළිබඳ දැනුවත්වීම සමාජයේ පොදු අවශ්‍යතාවයක් වන අතර ආගම ධර්මයේ මූලික අවශ්‍යතාවකි. එය එසේ නොවුණු කල්හි එකම අරමුණක් කරා යන පැවිද්දෝ පැවිද්දන් හා ගැටෙති. බල අරගලය උදෙසා රජ මැති ඇමැතිවරු එකිනෙකා ගැටෙති. ජීවන අරගලය උදෙසා ශ්‍රමිකයෝ ආයතන ප්‍රධානයන් සමඟ අරගල කරති. දරුවෝ මවුපියන් හා විරසක වෙති. ඇතැම් විට වාද විවාද හේතුවෙන් සහයෝගයෙන් ජීවත්විය යුතු මෙකී ජන කොටස් බිඳීගිය මැටි බඳුන් මෙන් යළි එක් නොවෙති. මේ නිසා ආගම ධර්මය විසින් ලබා දෙන බුද්ධිමය සංවරය රටක නිරවුල් ඉදිරි ගමනට ආශිර්වාදයක් වේ.

උදානපාලි නම් ත්‍රිපිටක ග්‍රන්ථයෙහි වාද පිරිස් උපමා කොට ඇත්තේ ඇතෙකු අතගා සිය අදහස් දැක්වූ ජාත්‍යන්‍ධයන් පිරිසකටය. පෙර කල උපතින් අන්ධ පිරිසක් ඇතෙකුගේ එක් එක් අවයව අතගා ඇතා වංගෙඩිය, කොස්ස, ස බිස්ස, කුල්ල වැනි වස්තූනට උපමා කොට කී බව එහි සඳහන් වේ. මෙසේ ඔවුන් පැවසුයේ ඇතුගේ එක් අවයවයක් පිළිබඳ පමණක් දැන සිටි හෙයිනි. මෙය බුදුදහමේ දැක්වෙන්නේ ඒකාංගික සත්‍යය ලෙසය. මෙය වැරැදි සහිත නමුත් තම වරද කිසිවකු නො පිළිගත්තේ ය. එහි වඩාත් අනර්ථකාරී ප්‍රතිඵලය වන්නේ වරද නො පිළිගැනීමටත් වඩා තම මතයම නිවැරැදි යැයි තහවුරු කිරීමට දඬු මුගුරු අවි ආයුධවලින් ද පහර දෙමින් කරුණු ගෙනහැර දැක්වීමයි. තවද වච්ඡගොත්ත නම් පරිබ්‍රාජකයා බුදුරදුන් සමග පුනර්භවය ගැන කළ සංවාදයක අවසානයේ තමා තුළ බුදුරදුන් කෙරේ තිබූ පැහැදීමත් නැති වූ බව ප්‍රකාශ කළේ ය. එහෙත් ඒ සම්බන්ධයෙන් බුදුරදුන් වච්ඡගොත්ත සමග කිසිදු ප්‍රතිඋත්තර දීමක් කළේ නැත. බුදුරදුන්ගේ පිළිතුර වූයේ ඔබ වැන්නෙකු අපහැදීම සුදුසුමය යන්නයි. මෙම නිසා වාද විවාද ඉදිරියෙහි බුදුන් වහන්සේගේ චර්යාවෙන් ඒවා උපේක්‍ෂාශීලීව හා බුද්ධියෙන් දරා සිටීමේ බෞද්ධ ප්‍රතිපදාව පැහැදිලි වෙයි. ශාසන ප්‍රතිපදාව තුළ භික්‍ෂූන්ට බුදුන් වහන්සේගේ තදබල උපදේශය වූයේ වාද විවාද නොකළ යුතු බවය. යම් අර්බුදකාරී ගැටලුවක් ඇතිවුවහොත් වරින්වර රැස්වී ධර්ම න්‍යායට අනුව එය විසඳා ගත යුතු වේ. එසේම වාදවිවාද හේතුවෙන් ඇති වූ ලෝභය අලෝභයෙන් ද ද්වේෂය මෛත්‍රියෙන් හා මෝහය අමෝහයෙන් ද දිනිය යුතු ය. ධර්මානුකූල විග්‍රහයෙහිදී වාදයෙහි පදනම ලෙස ත්‍රිපිටයෙහි පෙන්වා දී ඇත්තේ ලෝභ දෝස මෝහ යන අකුසල මුල ධර්ම තුනය. කාමරාග දෘෂ්ටි ග්‍රහණ යනාදී සියල්ලක්ම මේ කරුණු තුනට ඇතුළත් ය. මේ නිසා සත්‍යය විනිවිද දැකීමට පැවිදි සමාජය අකුසල මූලමය පදනමකින් යුතු මාවතක් සොයා යාම වැරදිය. අනෙක් අතින් කරණීයමෙත්ත සූත්‍රයෙහි දැක්වෙන ‘දිට්ඨිඤ්ච අනූපගම්ම සීලවා’ යනාදී ප්‍රසිද්ධ ගාථාවෙන් දෘෂ්ටිවාද ගෙන වාද කිරීම පවතින තුරු කෙනකුට නිර්වාණය නොලැබෙන බව දක්වා ඇත. රටක ජාතියක පොදු සමාජය සම්බන්ධයෙන් කිවයුත්තේ ද මෙයට සමාන අදහසකි. අර්ථමූලික සමාජ ව්‍යුහය තුළ ලොව සිදු වන්නේ රටවල් හා මිනිසුන් තුළ වාදබේද හා ගැටුම් ඇති කොට කූට අරමුණු මුදුන් පමුණුවා ගැනීමයි.

බුදුරජාණන් වහන්සේ කරුණාවෙහි අගතැන්පත් මහා පුරුෂයාණෝ කෙනෙක් වෙති. උන්වහන්සේ ලෝක සත්වයාගේ යහපත සඳහා වාද විවාදයන්ගෙන් යහපතක් වන බව බුදු ඇසින් දුටුසේක් නම් එය සත්‍යය විනිවිද දැකීමේ උපාය මාර්ගයක් ලෙස කිසිසේත් පිටු නොදකිති. එහෙත් උන්වහන්සේ එහි අයහපතක් මිස යහපතක් නොදුටු හෙයින්තම ශ්‍රාවකයන්ට එය ආදර්ශයෙන් පෙන්වූහ. එපමණක් නොව මිදුණු සිතින් යුත් භික්‍ෂුව කිසිවකු සමග වාද නොකරන බවත් ලෝක ව්‍යවහාරය අනුව බස හසුරුවන බවත් අදානග්‍රාහී ලෙස නොගෙන කටයුතු කරන බවත් වදාළ ආකාරය දීඝනඛ පරිබ්‍රාජකයාට පෙන්වා ජන්හ. තවද විවාදයට හේතුවන කරුණු හයක් ද තම දේශනාවෙහි දී ශ්‍රාවකයන්ට පැහැදිලි කර දුන්හ. ක්‍රෝධය, වෛරය, ශාස්තෘවරයා පිළිබඳ ගෞරවය නැති බව, ධර්මය පිළිබඳ ගෞරවය නැති බව, සංඝයා කෙරෙහි ගෞරවය නැති බව හා ශික්‍ෂා නොපුරන බව යන කරුණු නිසා සංඝයා අතර විවාද උපදී.

මෙම විවාදමූල හේතුවෙන් යමෙක් විවාද කෙරේ නම් එයින් ලෝක සමාජයට ඔහු මහත් විනාශයක් සිදු කරන බවත් එහෙයින් විවාදයෙන් දුරුවීමට උත්සාහ කළ යුතු බවත් සංයුක්තනිකායේ විවාදමූල සූත්‍රයේ ප්‍රකාශ කොට ඇත.

බුදුරජාණන් වහන්සේට ‘වාදපථාතිවත්ති’ යනුවෙන් අපර නාමයක් ද වේ. සියලු වාද මාර්ග ඉක්ම වූ හෙයින් බුදුන් වහන්සේ එනමින් හඳුන්වනු ලැබූහ. විවිධ මානසික තත්ත්වයන්ගෙන් හෙබි පුද්ගලයන්ගෙන් සැදුම් ලද සමාජයක වෙසෙමින් ඔවුන්ගේ අනේකවිධ විපරිත ක්‍රියාකාරකම් දකිමින් උපේක්‍ෂාශීලීව සිටීමට යමකුට හැකිවේ නම් එය උසස් ගුණයෙකි.

මහණෙනි යමෙක් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියයි නම් එහිදී තෙපි සතුටු නොවෙව්. එසේම යමෙක් අගුණ කියයි නම් කෝප නොවව්. එසේ කරන්නා බුද්ධ වචනය රකින්නෙක් වේ යැයි බුදුන් වහන්සේ විසින් කරන ලද අනුශාසනාවෙන් පැහැදිලි වන්නේ ද ශ්‍රාවකයන් වාදවිවාදවලින් බැහැර කොට සිතීමේ විමසීමේ මාවතකට යොමු කළ ආකාරයයි. බොහෝ අය වාදයට පෙළඹීමට තරුණකම ද කරුණක් බව බුදුදහම පිළිගෙන ඇත. ආවේගය වාද කිරීමේ සාධකයක් බව මෙයින් සනාථ වේ. යමෙකුට වයස අවුරුදු 18 හි දී විප්ලවීය හැඟීම් පහළ නොවේ නම් ඔහුට හදවතක් නැත. එසේම වයස අවුරුදු හතළිහේ දී විප්ලවීය හැඟීම් පහළ වේ නම් ඔහුට බුද්ධියක් නැතැයි වරක් බර්නාඩ් ෂෝ කළ ප්‍රකාශය ද මෙහි දී සිහි තබා ගැනීම වැදගත් වේ.

මෙසේ හෙයින් තත්කාලීන ආගමික දාර්ශනික පසුබිම තුළ පැවැති නිර්වචනවලට අනුව ශාස්වත අශාස්වත ආදී කිසිදු වාදයකට බුදුන්වහන්සේ හෝ බුදුදහම ඇතුළත් කිරීම සුදුසු නැත. සැබවින්ම බුදුරදුන් කිසියම් වාදයකට ඇතුළත් කිරීම පිණිසත් උන්වහන්සේ කිනම් වාදී ද යන්න දැන ගැනීම සඳහාත් බොහෝ අය උත්සාහ කළ අයුරු සූත්‍ර දේශනාවල දක්නා ලැබේ.

ඇත්ත ඇති සැටියෙන් වදාරන හෙයින් ‘යථාවාදි’ යන හැඳින්වීම පමණක් අදාළ කර ගත හැකි වූවත් වඩාත් සුදුසු හඳුනා ගැනීම නම් බුදුන් වහන්සේ සියලු වාද බැහැර කළ උතුමෙකු වන බවය. බුදුදහම ප්‍රායෝගික භාවිතය තුළින් අත්දැකිය යුතු ජීවන ප්‍රතිපදාවක් මිස වාද විවාද තුළින් සාක්‍ෂාත් කළ යුතු දෙයක් නොවන බව විශේෂයෙන් කිවයුත්තක් ද නොවේ.

අතක්කාවචරො යන ධර්මය වෙසෙසා දක්වන පදයෙන් ද බුදුදහම තර්කමය සාධනීය ලක්‍ෂණයෙන් වියුක්ත වූවක් බව පෙන්වා දෙයි. එබැවින් ධර්මය හා ප්‍රතිපදාව දෑස් කඩතුරා හැර විමංසන බුද්ධියෙන් දැන සදාචාරමය ගුණාංග වඩා භාවනා මාර්ගයෙන් අධ්‍යාත්මය උසස් කර ගැනීම බුදුන් වහන්සේට කරනු ලබන උසස්ම උපහාරයයි.

වෙසක් පුර පසළොස්වක පෝය


වෙසක් පුර පසළොස්වක පෝය මැයි 8 වන දා සිකුරාදා පූර්ව භාග 8.58 ට ලබයි. 9 වනදා සෙනසුරාදා පූර්වභාග 9.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 8 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය මැයි මස 17 වනදා ඉරිදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 8

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]