තමා ගේ සතුරා තමා ම ය
අතීතයේ දී ධර්මද්වීපය ලෙස හැඳින් වූ ශ්‍රී ලංකාව අද වන විට
අපරාධකරුවන් ගේ පාරාදීසයක් වී ඇතැයි යන විවේචනය අපට බොහෝ
අවස්ථාවල දී අසන්නට ලැබේ. අප රටේ සිදුවන අපරාධ ප්‍රමාණය හා
ඒවායේ කුරිරු ස්වභාවය දෙස බැලූ විට මෙය අසාධාරණ විවේචනයක් යැයි
කිව නො හැකි ය. නිරන්තරයෙන් බණ අසන සමාජයක් මෙ වැනි තත්ත්වයකට
පත් විය හැකි ද යන්න බොහෝ දෙනා අසන්නට පුරුදු වී සිටිති.
මේ තත්ත්වයට වගකිව යුත්තේ කවුරුන් ද? මේ තත්ත්වය වෙනස් කළ
හැක්කේ කෙ සේ ද? මේ තත්ත්වය වෙනස් කිරීමට අප විසින් ඉටු කළ
යුතු යුතුකම් මොනවා ද? යන ප්‍රශ්න මෙහි දී මතුවීම වැළැක්විය නො
හැකි ය. එම ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීමට ඇති හොඳ ම මඟ
ශ්‍රී ලාංකිකයන් ගේ බෞද්ධකම පිළිබඳ ව විමසා බැලීම ය. මෙ රට
විසූ විශිෂ්ට පඬිවරුනක් වන ගණේගම සරණංකර නා හිමියන් එය මෙ සේ
විග්‍රහ කැර තිබේ.
“මේ රටේ බෞද්ධයන් දැනට බුද්ධාගම අදහා ගෙන යන තාලයෙන් පෙනී
යන්නේ වැඩිකල් නො ගොසින් බුදුන් වහන්සේ බලාපොරොත්තු වුණාට වඩා
හාත්පසින් ම වෙනස් වූ ඇදහිලි ක්‍රමයක් බවට බුද්ධාගම පරිවර්තනය
වන බවයි. බෞද්ධයකු මූලික ගුණධර්ම පහක් වූ පන්සිල් උත්සවයක හෝ
රැස්වීමක හෝ ආරම්භයේ දී කියනු ලබන පාඨ පහක් බවට පත්ව ඇත. සියයට
සියයක් ම ක්‍රියාවේ යෙදවිය යුතු පන්සිල් සියයට සියයක් ම
ක්‍රියාවේ නො යෙදෙන පාලිවචන බවට පත් ව ඇත. මෙ කල පන්සිල් ඇත්තේ
පන්සිල් දෙන භික්‍ෂූන් වහන්සේ තුළ ය. හැම තැනක දී ම පන්සිල්
සමාදන් වන දහසක් දෙනා ගෙන් එක් කෙනකුට දෙන්නෙකුට පමණි පන්සිල්
ඇත්තේ. හැම වැදගත් අවස්ථාවක දී ම එදිනෙදා ජීවිතයේ සිදුවන, සිදු
විය හැකි වැරැදි පහක් (පව් පහක්) නො කැරෙමි යි පොරොන්දු වන එක
ම මිනිස් ජනකාය බෞද්ධයෝ යි. මේ පොරොන්දු පහ ඇත්ත වශයෙන් ම කඩ
නොකොට රකිතොත් ඒ මිනිස් ජනකාය ගේ ඇති ශ්‍රේෂ්ඨකම කිව නො හැකි
තරම් ය.”
1973 වසරේ පළ වූ විශිෂ්ට කෘතියක් ලෙස රාජ්‍ය සම්මානයෙන් පුද ලද
‘බුදුහාමුදුරුවෝ නමැති ග්‍රන්ථයෙහි ඇතුළත් මේ විවේචනය අදට
වඩාත් හොඳින් ගැළැපෙන්නකි. බුදුන් වහන්සේ දේශනා කළ මාර්ගය
කුමක් දැයි ගණේගම සරණංකර හිමියෝ එහි දී මෙ සේ පැහැදිලි කළ හ.
බුදුන් වහන්සේ ඇත්ත වශයෙන් ම බලාපොරොත්තු වූයේ මැටියෙන්,
ඉටියෙන්, සිත්තමෙන්, ගලෙන්, බදාමෙන් උන්වහන්සේ ගේ රූපය අඹා
ගෙන, හදා ගෙන, ඇඳගෙන, තනා ගෙන ඒවාට වැඳ වැඳ සිටින, පුද පූජා
කැරෙමින් සිටින පිරිසක් නො වේ. ඒවාට වැඳීම පිදීම හොඳ ය. වරදක්
නැත. එහෙත් බෞද්ධයන් ගෙන් උන්වහන්සේ බලාපොරොත්තු වූයේ එය ම නො
වේ. උන්වහන්සේ බලාපොරොත්තු වන එක ම දෙය නම් උන්වහන්සේ පෙන් වූ
ඒ ශ්‍රේෂ්ඨ මාර්ගයෙහි ගමන් කිරීම යි. ඒ ශ්‍රේෂ්ඨ මාර්ගය නම්
ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ මාර්ගයේ ගමන් නො කොට උදේ සිට
හැන්දෑ වන තුරු දවසක් දෙකක් නොව අවුරුදු සීයක් වැඳ වැඳ
සිටියත්, පුද පූදා සිටියත්, ගරු කැරෙමින් සිටියත් නිවන් දැක්ක
නො හැකි ය. නිවනට යෑමට උන්වහන්සේ පෙන් වූ මාර්ගයෙහිම යා යුතු
ය. යමකු නියම බෞද්ධයකු වන්නේ බුදුන් වහන්සේ පෙන් වූ මාර්ගයෙහි
එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කළොත් පමණකි.”
බුදු රදුන් වදාළ එම මඟ නො යන අප බෞද්ධයන් ගේ හැසිරීම කෙ බඳු ද?
සමාජ පිරිහීම ලෙස අප දකින මේ ව්‍යාජ බෞද්ධයන් ගේ හැසිරීම ගණේගම
සරණංකර නා හිමියන් විස්තර කැර ඇති ආකාරය මෙ බඳුය.
“හොරකම, කපටිකම, වංකකම, බොරුව, තණ්හාව, ඊර්ෂ්‍යාව ආදී දහසක්
අගුණ වලින් හෙවත් දුර්වලකම් වලින් බෞද්ධ නමින් සිටින වැඩි දෙනා
වෙළී සිටිති. ධන ලෝභයෙන්, බලලෝභයෙන්, කීර්ති ලෝභයෙන්, තනතුරු
ලෝභයෙන් බොහෝ දෙන මහත් සටනක් කැරෙති. බෞද්ධකම තබා ශිෂ්ටකම නො
මිනිස්කම පවා අමතක කොට ඇත. ආගම නිතර සිහි කරන අය දුර්ලභ ය.
පාංශු කූලයටත්, දානයටත්, පිරිතටත්, පන්සිල් සමාදන් වීමටත් එය
සීමා වී ඇත. බුද්ධාගම එක් තැනක ය. බෞද්ධයන් අන් තැනකය.”
‘ලංකා ජනතාව‘ නමැති කෘතියෙහි ආචාර්ය නන්දදේව විජේසේකර තබා ඇති
මේ සටහන ද අප ගේ අවධානයට ලක් විය යුතු ය.
“බුදුන් වහන්සේ ගේ ජීවිතයට සම්බන්ධ නො වූ යම් යම් දේට වැඳුම්
පිදුම් කිරීම බුද්ධාගම නො වේ ම ය. එ සේ කිරීමේ දී අධ්‍යාත්මික
ගුණයට වඩා යම් කිසි ආනුභාවයකින් සැප සම්පත් බලාපොරොත්තු වන බව
පෙනේ. බුදුන් හැර වෙන දෙවිවරුන් වැඳීමෙන් ලාභ ප්‍රයෝජන
අපේක්‍ෂාවක් පවතී. තවත් සැලකිය යුත්තක් නම් මිනිසා කොයිතරම්
දියුණු වූවත් ආදිකල්පික ඇදහිලි ඔහු ගේ සිත තුළින් බැහැර වී
නැති බවයි. එ වැනි ඇදහිලි විෂයෙහි ඇති චිත්තාකර්ෂණය මෙන් ම
ලෞකික වූ ඓශ්වර්යය කෙරෙහි පෙළඹීමකුදු ඇත.”
සැබෑ බෞද්ධයකු වීමට ඇති ප්‍රධාන බාධකය අප ගේ ජීවන රටාව ය. එය
තේරුම් නො ගෙන තම දරුවා ජනපි‍්‍රය පාසලකට ඇතුළත් කිරීම සඳහා
වංචනික උපක්‍රම යෙදීමට දෙමවුපියෝ පුරුදු ව සිටිති. එය අවසානයේ
සමස්ත සමාජයට ම අයහපත් ලෙස බලපාන බව අප තේරුම් ගත යුතු ය.
අප, අප ගේ ම ජීවිත තුළට එබී බලා නිවැරැදි කැර ගැනීම හැර සමාජය
යහපත් කිරීමට අන් මඟක් නැත. |