UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන් විසින් ශ්‍රී මහා බෝධි මූලයේ දී අත්පත්කරගත් බුද්ධත්වය නමැති සත්‍යාවබෝධය යනු තමන් විසින් තමන් පිළිබඳවම ලබාගත් පරිපූර්ණ අවබෝධයකි. සංයුක්ත නිකායේ රෝහිතස්ස සූත්‍රයෙහි එන පරිදි අප අත්දකින මුළු ලෝකයම ඇත්තේ අප තුළම නිසා අප විසින් අපවම පරිපූර්ණ ලෙස අවබෝධ කරගැනීම යනු, මුළු ලෝකයම අවබෝධ කර ගැනීමකි.

වෙසක් යන සිංහල වචනය නිර්මාණය වී ඇත්තේ වේශ යන සංස්කෘත වචනයෙන් බිහිවෙන වෙස් යන්නත්, අග්‍ර යන සංස්කෘත වචනය අග් යනුයෙන් ලිහිල් වී ඉන් පසුව එය තවදුරටත් ලිහිල් වීමෙන් බිහිවෙන එක් යන්නත් එක්වී වෙස්+ආක් යැයි වෙසක් බවට පත්වීමෙනි. එම නිසා වෙසක් මහිම යන්නෙහි වාච්‍යාර්ථය වන්නේ අග්‍රම වේශයේ මහිමය නොහොත් මාහැඟි බව යන්නයි.

ශ්‍රී ලංකාව වැනි උත්තාර්ධගෝලීය රටවල ස්වභාව සෞන්දර්යයෙහි අග්‍රම වේශය මතුවන්නේ මල් හා පලබර වසන්තයෙහි විශිෂ්ටතම ස්වරූපය ජනිතවෙන වෙසක් මාසයේදීය. එම නිසා ඒ මාසය වෙසක් මහ නමින් හැඳින්වීම අර්ථාන්විතය.

මුළු මහත් විශ්වයේ සකලවිධ ජීව හා අජීව නිර්මාණයන් අතර අග්‍රම වේශය වන බුද්ධ වේශය මෙලොව පහළ වූයේත් ස්වභාව ධර්මයේ අග්‍රම වේශය පහළ වන වෙසක් මාසයකදීය. මිනිස් සිරුරක පැන නැගිය හැකි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සහ අසිති අනුව්‍යඤජනයන්ගෙන් සමන්විත භෞතික කයක් සිදුහත් බිළිඳුන් ලෙස මෙලොව බිහිවූයේත් වෙසක් මාසයකදීය. බුද්ධත්වයෙන් අත්වන අග්‍රම ඵලය වන මහා පරිනිර්වාණය සිදු වූයේත් වෙසක් මාසයකදීය.

මහා පරිනිර්වාණය යනු ස්වභාව ධර්මයට අනුව වයසත් සමග දිරාපත් වී රෝගාතුර වූ බුද්ධ ශරීරයේ ඇතිවන නෛසර්ගික පීඩාවලින් පවා බුද්ධත්වය සදහටම මිදී ඊට පන්සාළිස් වසකට පෙර බුද්ධත්වයේදී බුදු සිත් සියලු දුක් පීඩාවලින් මිදුනා සේ බුදු සිරුරද සියලු දුක් පීඩාවලින් සදහටම නිදහස් වීමය. ලොවුතුරා බුද්ධත්වයෙහි ඇතිවන මෙම අග්‍රතම මහිමය ලොවට හෙළි වූයේත් වෙසක් මාසයකය.

බුදුන් යනු ස්වභාවිකව ජරා ජීර්ණය වන බුදුකය නොව පරම සැනසිලිදායක අචින්ත්‍ය වූ බුද්ධ චිත්ත ස්වරූපය බවයි ‘යෝ ධම්මං පස්සති සො මං පස්සති’ යනුවෙන් බුදුසමිඳුන් වක්කලී හිමියන්ට කළ ප්‍රකාශයෙන් හෙළි වන්නේ. එම ප්‍රකාශයෙහි වාච්‍යාර්ථය ධර්මය දකින්නාට පමණක් බුදුන් දැකිය හැකි බවයි. මෙහි ධර්මය යනු පරම සැනසිලිදායක නිර්වාණ ධර්මය යි.

නිර්වාණ ධර්මය දැකිය හැක්කේ, අරහත් ඵලයෙන් එම නිර්වාණ ධර්මය සාක්ෂාත් වූ රහතන් වහන්සේ නමකට පමණි. ඒ අනුව නියම බුද්ධ ස්වරූපය දැක ගැනීම සඳහා රහත් වී නිවන් දැකීම අවශ්‍ය වේ.

නිවන් දුටු උතුමන් බුදුන් දකින්නේ කර්තෘ, කර්ම, ක්‍රියා යන ත්‍රිභේදයෙන් තොරවයි. බුදුනුත් තමනුත් ඒකාත්මික වීමෙන් නොහොත් ඒකීයභාවයට පත් වීමෙනුයි. ප්‍රඥාවන්තයන් මෙසේ බුදුන් දුටුවද පොතපතේ දැනුමෙන් හිස පිරුණු ඥානවන්තයන් බුදුන් දකින්නේ් කර්තෘ, කර්ම, ක්‍රියා යන ත්‍රිභේදයෙන් යුක්තවයි. විඤ්ඤානවන්තයින් බුදුන් දකින්නේ නිර්වාණාවබෝධයෙන් බුදුන් හා අනන්‍ය වීමෙනි.

බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා භේදයකින් තොරව අත්දකින්නේ එකම නිවනේ එකම ස්වරූපයයි. එම බුදු, පසේ බුදු, මහරහත් අනුව වෙනස් වන විවිධ මට්ටම් ලෝකෝත්තර නිවනෙහි නැත.

මෙලොව ජීවිතයේදී බුදුවරුන් අතර මෙන්ම ශ්‍රාවකයන් අතරත් කායික හා මානසික වෙනස්කම් තිබුණද, නිවනේදී ඒ සියල්ලන්ටම ඇත්තේ එක හා සමාන ස්වරූපයකි. සම්‍යක් සම්බුද්ධ ප්‍රත්‍යෙක බුද්ධ හා ශ්‍රාවක බුද්ධ යන බුද්ධ ස්වරූපයේ විශිෂ්ටත්වය එයයි.

මෙලොවදීම අත්දැකිය හැකි විශිෂ්ටතම මානසික ස්වරූපය වන බුද්ධ ස්වරූපය නොහොත් බුද්ධ වේශය අප තුළ සහජයෙන්ම නිධන්ගතව ඇත. ඒ අග්‍රතම වේශය කෙදිනක හෝ අප තුළින් අවදි වන්නේ රහත් වූ දිනකය. ඒ අග්‍ර වේශය පළමු වරට මෙලොව පහළවීම නිමිති කරගෙන වෙසක් උළෙල සමරන්නවුන්ගෙන් සිදුවිය යුතු වැදගත්මකාරිය වන්නේ මේ තුන් ලෝකයේම අග්‍රතම ස්වරූපය වූ ආර්ය ස්වරූපය තම තමන් තුළද සැඟ වී ඇති බව තේරුම් ගෙන ඒ උත්තම ස්වරූපය තමා තුළින් අවදි වීමට අවශ්‍ය වත්පිළිවෙත්හි යෙදීමයි. ඒ සියලුම වත් පිළිවෙත්වලට පදනම් වන්නේ සියල්ලම හා සියල්ලන්ටම හිතසුව කැමැති මෛත්‍රීයයි.

මෛත්‍රීයෙන් තොරව නියම දන් දීමක්වත් සිල් රැකීමක්වත්, භාවනා කිරීමක්වත් භාවනාවෙන් සමාධිගත වී නිවන් දැකීමක්වත් සිදු නොවේ.

එහෙත් මෛත්‍රීය යනු කරන දෙයක් නොව නොකෙරෙන දෙයකි. ලෝභ, ද්වේශ, මෝහ යන අකුශල මූලයන් පදනම් කරගෙන අප තුළ පොදි බැඳගත්තා වූ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛරාදී ක්ලේශ ධර්මයන් ක්‍රියාත්මක නොවන විට අප තුළ රැඳෙන්නේ අලෝභ, අදෝස, අමෝහයන් මූලික වූ මෛත්‍රී ධර්මය යි. මෛත්‍රීය යනු ලෝභ, දෝස, මෝහ පාදක ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරාදිය නොකර සිටීමයි. මිනිස් සිතක පහළ විය හැකි අග්‍රවේශය නමැති අක් වෙස් නොහොත් වෙසක් මහිමය මෙයයි.

සෑම මනුෂ්‍යයකු තුළින්ම කෙදිනක හෝ මතුවිය හැකි අග්‍රම වේශය වන ආර්ය ස්වරූපයේ පදනම වන්නේ සක්කායදිට්ඨිය නමැති මමත්වය නොහොත් ආත්මීය හැඟීම සෝවාන් ඵලයේදී මමවත් මගේවත් නොවේය යනුවෙන් සදහටම නැති වී යාමයි. පවිත්‍ර මෛත්‍රීයක් සිතක පහළ වන්නේ එසේ මමත්වයෙන් තොර වූ විටය. එම නිසා මෛත්‍රීය වනාහී කරන්නෙක් නොමැතිව කෙරෙන්නකි. නිරායාසයෙන් සිදුවන්නකි.

මමත්වයෙන් යුක්ත පෘථග්ජනයන් මෛත්‍රී කරන්නේ අඩුම වශයෙන් ආත්ම තෘප්තියක් හෝ අපේක්ෂාවෙනි. එහෙත් බුදු, පසේබුදු, මහරහතන් යන ආර්යන් වහන්සේලාගෙන් මෛත්‍රීය කෙරෙන්නේ කිසිම පෞද්ගලික අපේක්ෂාවකින් තොරවය. නිරපේක්ෂක වූ උපේක්ෂාවෙනි. ආයාසයකින් තොරව නිරායාසයෙනි.

ආයාසයක් කිරීම සඳහා ආයාස කරන්නකුත් ඒ සඳහා ආශාවක් නොහොත් ඕනෑකමකුත් අවශ්‍ය වේ. එසේ ආශාවකින් නොහොත් ඕනෑකමකින් ආයාසයක් කරන්නාට අඩුම ගණනේ ආත්ම තෘප්තියක් හෝ ලබාදෙන අරමුණක් අවශ්‍ය වේ.

බුද්ධත්වයෙන් පසු බුදුන් වහන්සේගේ සියලුම කාරියන් සිදුවූයේ ආයාසයකින් නොහොත් උත්සාහයකින් තොරවය. බුදුවරුන් ‘කතකිච්චො’ නමින් හැඳින්වෙන්නේ කළයුතු කෘතීන් සියල්ල කර අවසන් වූ උතුමන්ය යන අරුතිනි. ‘කතං කරණීයං නාපරං ඉත්තක්ථායාති’ යැයි කියන පරිදි බුද්ධත්වයෙන් පසු කළයුතු කිසිවක් ඉතිරි නොවේ. ඉන් පසු හැම දෙයක්ම සිදුවන්නේ නිරායාසයෙනි. ස්වභාවිකවය. ස්වභාව ධර්මයෙහි අග්‍රම නිර්මාණය වන්නේ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනක ලොව පහළ වූ බුද්ධත්වය යි.

වෙසක් පුර පසලොස්වක් පොහෝ දිනක බුදුහිමියන් අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ඉහත සඳහන් පරිදි දුක්ඛ නමැති සත්‍යයේම පැති සතරකි. විශ්වයේ අග්‍රම වේශය වන බුද්ධ වේශය පහළ වූයේ මෙම චතුරාර්ය සත්‍යය මෙලොව පළමුවන වරට සර්ව ප්‍රකාරයෙන් අවබෝධ වීමෙනි.

බුද්ධ යන වචනයෙහි වාච්‍යාර්ථය වන්නේ සත්‍යය අවබෝධ කරගත් උත්තමයා යන්නයි. බුද්ධ යන අග්‍ර වේශය නොහොත් අනගිතම වෙසක් මහිමය මෙම සත්‍යාවබෝධයයි. ඒ සත්‍යාවබෝධයෙන් මතුවන අග්‍ර වේශයේ බීජයක් අප හැම කෙනකු තුළම සැඟ වී තිබේ.

චතුර්විධ දුක්ඛ සත්‍යයක් එය අවබෝධවෙන ද්වාදසාකාරයත් ඇත්තේ අප තුළමය. මෙසේ අවබෝධ කළයුතු දුක්ඛය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී සැකෙවින් විස්තර වන්නේ ‘පංච උපාදානක්ඛන්ධාපි දුක්ඛා’ යනුවෙනි. ඉන් අදහස් වන්නේ දුක්ඛ යනු පංච උපාදානස්කන්ධය බවය. මෙසේ පංච උපාදානස්ඛන්ධ නමින් ඛ්ැඳින්වෙන්නේ අපේ සිතුවිලි නිර්මාණයේදී පසුවෙන පියවර නොහොත් අවස්ථා පහකි. රූප, වේදනා, සංඥා, සංඛාර හා විඤ්ඤාණ නමින් දැක්වෙන්නේ එම අවස්ථා පහයි.

බුදු රදුන් විසින් ශ්‍රී මහා බෝධි මූලයේදී අත්පත්කරගත් බුද්ධත්වය නමැති සත්‍යාවබෝධය යනු තමන් විසින් තමන් පිළිබඳවම ලබාගත් පරිපූර්ණ අවබෝධයකි. සංයුක්ත නිකායේ රෝහිතස්ස සූත්‍රයෙහි එන පරිදි අප අත්දකින මුළු ලෝකයම ඇත්තේ අප තුළම නිසා අප විසින් අපවම පරිපූර්ණ ලෙස අවබෝධ කරගැනීම යනු මුළු ලෝකයම අවබෝධ කර ගැනීමකි. දතයුතු සියල්ල දත හැකි සර්වඥභාවයට පත් වීමකි.

වෙසක් පුර පසළොස්වක පෝය


වෙසක් පුර පසළොස්වක පෝය මැයි 8 වන දා සිකුරාදා පූර්ව භාග 8.58 ට ලබයි. 9 වනදා සෙනසුරාදා පූර්වභාග 9.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 8 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය මැයි මස 17 වනදා ඉරිදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 8

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]