නිට්ටඹුව පනාවල
සිරිනන්දාරාමය
සටහන හා ඡායාරූප
බන්ධුලපි්රය
මීට වසර 80කටත් වඩා පැරැණි වකවානුවක නිට්ටඹුවේ විද්‍යානන්ද පිරිවෙනෙහි
ඉගෙනුම ලැබූ භික්ෂූන් වහන්සේ නිල්ලෙන් පිරි, සිසිලස රජයන ගැමි පෙදෙසක
නිසසල බිමෙක් වස් වැසීමට ඉතා සුදුසු ස්ථානයක් බව පසක් කර ගත් නිසා එතැන
වස් වැසීමට තෝරා ගන්නා ලදී. ඒ 1928 වැනි වර්ෂයකදී ය.
විහාර මන්දිරය හා චෛත්‍යය |
මහ සඟ රුවනගේ පාදස්පර්ශයෙන් පවිත්‍රත්වයට පත් මේ බිම් කඩ පූජා භූ®මියකට
ඉතා කදිම බව පසක් කර ගත් නිසා 1938 වසරේදී වීදියවත්තේ සුමේධාලංකාර
හිමියෝ එම පින් බිමෙහි විහාරස්ථානයක් ඇරඹීමට මූලික කටයුතු සළසුහ.
භූමිය අයත් ගම්මුලාදෑනි කේ. අතුරුගිරිය මෙන්ම අමාරිස් අප්පුහාමි යන
පින්වන් පරිත්‍යාගශීලීන් පැකිලීමකින් තොරව එම භූමිය එදා සඟසතු කර පූජා
කිරීමට තරම් නිර්ලෝභී වීම නිසා අද එතැන සකලාංගයයෙන්ම පිරි දර්ශනීය
විහාරස්ථානයක් ගොඩ නැගී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීරිගම මැතිවරණ කොට්ඨාසයේ නිට්ටඹුව පනාවල
සිරි නන්දාරාමය නමින් එය හැඳින්වේ.
බෝධීන් වහන්සේ සමීපයේ දර්ශනයක් |
1951 වසර පමණ කාලය වනවිට කුඩා කාමරයක් තරම් වූ විහාර ගෙයක් හා ඉතා කුඩා
ආවාසයකින් පමණක් යන්තමින් පිරිමැසුණු මෙම ස්ථානය සෙමෙන් වර්ධනය වීම
ඇරැඹිණි. 1951 වසරේදී ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත උනන්විටියේ විජේසිරි
හිමියෝ මෙම විහාරස්ථානයට පැමිණියහ.
උන්වහන්සේ ප්‍රදේශයේ අධ්‍යාත්මික දියුණුවත් සමාජීය ප්‍රවර්ධනයත් උදෙසා
සංඝ පීතෘවරයකු වශයෙන් තම යුතුකම වගකීම නොපිරිහෙලා ඉටුකිරීම නිසා එම
පෙදෙස කලඑළි වීම ඇරැඹිණි. එම සත්කාර්යයන් නිසා අදත් උන්වහන්සේගේ නාමය
නොනැසී යුග යුග හා බැඳී පවතී. අවශ්‍ය තරමට පහසුකම් වලින් සපිරි ආවාස
ගෘහය ධර්ම ශාලාව විහාර මන්දිරය, චෛත්‍යය, බෝධීන් වහන්සේ රෝපණය කිරීම,
සීමා මාලකය ආදී විහාරස්ථානයකට අවැසි සියලු දෙයින්ම සම්පූර්ණ වන්නේ
උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ ඵල නිසාය. ගැමි දනන්ගේ අධ්‍යාත්මික
දියුණුව උදෙසා එසේ මේ ගමේ පන්සල ගොඩනැඟුණු අතර හරිහැටි පාරක් තොටක්
නොමැති කරත්ත පාරට අඩි පාරට සීමා වූ ගමට පුළුල් මංමාවත් පවා සකසාදීම
උදෙසා උන්වහන්සේ මූලිකත්වය ගෙන කටයුතු කිරීම සුවිශේෂය. ගව් ගණනක් දුර
පා වාරුවෙන් දැඩි වෙහෙසින් අකුරු කිරීමට ඈත පෙදෙස්වල පාසල් වලට යන ගමේ
දරුවාගේ අධ්‍යාපනය අතර මඟ නතර වීමට ඉඩ නොතබන අපේ හාමුදුරුවෝ පන්සල්
භූ®මිය සමීපයේම විද්‍යාලයක් ඉදිකරදීමට කටයුතු සලසයි. පනාවල ශ්‍රී විජය
ශ්‍රී කණිෂ්ඨ විද්‍යාලය එම පාසලයි. ගමට ජංගම රෝහලක් තැපැල් කාර්යාලයක්
වැනි මූලික අවශ්‍යතාවයන් සැලසීමද උන්වහන්සේ කළ උදාර සේවාවන්ය.
නව මලසුන්ගෙය |
කරත්ත පාරවල් යාන වාහන ප්‍රවාහනයට පුළුල් වූවාසේම ගැමි දනන් එකට
එකමුතුව ඇද බැඳ තබා ගැනීමටත් ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් ග්‍රාම සංවර්ධන
සමිති අවමංගල්‍යාධාර සමිති මෙන්ම තරුණ සමිති ආදී ප්‍රජා සේවාවන් රැසක්
බිහිකර ගම්බිම් වර්ධනීය ඉසව් කරා රැගෙන යාමටත් පෙරගමන් කරුවෙක් වෙමින්
උන්වහන්සේ කළ උදාර සේවාව අදත් මෙහි ජනතාව සිහිපත් කරති.
1981 වසරේදී විජේසිරි හිමියන් අපවත් වුවද මේ පරමාදර්ශී උදාර චරිතයේ
අපරිමිත ගුණ කඳෙක සුවඳ සදා නොමැකෙනු ඇත. මේ සුපේශල බහුශ්‍රැත චතුර ධර්ම
කථික පණ්ඩිත හිමියන්ගේ සෙවණේ් හැදී වැඩුන උන්වහන්සේ ගේ ශිෂ්‍ය ශ්‍රී
ලංකා රාමඤ්ඤ නිකායේ දිසාපාලක පනාවල විජිත සිරිහිමියන් මෙහි
විහාරාධිපතිත්වයට පත්වන්නේ 1992 වසරේදීය. තම ගුරු හාමුදුරුවන් ගිය
නිවැරදි පිවිතුර මාර්ගයේම ගුරු ආදර්ශයෙන් පන්නරය ලත් පනාවල විජිතසිරි
හිමියන් අද ද මෙම විහාරස්ථානයේ විහාරාධිපතිත්වය උසුලති. වත්මන්
විහාරාධිපතින් වහන්සේ තවමත් නොනිමි වූ යුග මෙහෙවරක යෙදෙමින් බෝධීන්
වහන්සේ වටා බෝධි ඝරයක් මෙන්ම බෝධි විහාරයක්. දෙමහල් ආවාස මන්දිරය මෙන්ම
අභිනව විහාර මන්දිරය ගොඩනංවති. විචිත්‍රවත් ලෙස මෙම විහාර මන්දිරය
ඉදිකරනු ලැබුවේ වර්ෂ 2007 දීය. ඒ තුළ 18 රියන් සැතපෙන බුදුපිළිම වහන්සේ
මෙන්ම සමාධි පිළිම වහන්සේ ද දැක ගැනීමට ලැබේ.
බෝධි ඝරයට සම්බන්ධ කර සාදා ඇති කුඩා බෝධි විහාරය සිත් සතන් පහන් වන
දර්ශනයක් නිර්මාණය කරයි. අක්කර 2 ක පමණ භූ®මියෙක පිහිටි මෙම
විහාරස්ථානය මාර්ගය ආසන්නයේම ඇතත් එහි ඇති නිස්කාංසුව විහාරාරාංගයන්
ගෙන් සපිරි දසුන් පෙළ නෙත් සිත් පිනවීමට සමත් වෙයි. දැනට මෙහි ඉතා
සාර්ථක ලෙස දහම් පාසලක්ද පවත්වාගෙන යනු ලබයි. පනාවල, පරණ වේයන්ගොඩ
ලුනුගම්මුල්ල දුම්මල ගොඩැල්ල, වලහේන පිටබෝලවත්ත, ගල්වලහේන හක්වඩුන්න,
සල්ගස්තැන්න, රත්මලේ නෙළුම් පෙසෙස වැනි දායක ගම් මධ්‍යයේ දම් සිසිලස
බෙදා දෙමින් සිරි නන්දාරාමය තව යුග ගණනාවක් පුරා විහාරස්ථානයෙන් සමාජයට
විය යුතු සත්කාර්යය වෙනුවෙන් කැපවෙනු ඇත. |