දළදා මැඳුර තැනූ නිරිඳුන් වග මෙහෙමයි
වත්තේගම
(හිටපු) කලාප අධ්‍යාපන අධ්යක්ෂ
එස්.කේ. ජයවර්ධන දළදා වහන්සේ හිමිකරු රටේ නායකයා ය යනු එදා පිළිගැනීම විය. ඒ අනුව
ඉමහත් ගෞරවයෙන් දළදා හිමි පිළිගත් මායාදුන්නේ රජු කුරුවිට දෙමහල්
දෙල්ගමු විහාරයේ දළදා හිමි තැන්පත් කර පුද පූජා පවත්වා ඇත. 1557 සිට
1592 සීතාවක රාජ්‍යය බිඳ වැටෙන තුරු දෙල්ගමු විහාර දළදා මැඳුරේ දියවඩන
නිලමේ පදවිය දැරුවේ මුලින් කෝට්ටේ දළදා මැඳුරේ අන්තිම වරට දියවඩන නිලමේ
පදවිය දැරූ
හිරිපිටියේ
රාළමය. ඒ බව මේ ආසන්න කල ලියවුණු දළදා පුවත කාව්‍ය
ග්‍රන්ථය
කියයි.
කෝට්ටේ රජ කළ ධර්මපාල රජු 1557 රෝමානු කතෝලික ධර්මය වැළඳ ගැනීමත් සමඟ
සිංහල රජු බෞද්ධයකු විය යුතු බව යන ඉපැරැණි චාරිත්‍රය කඩ කළේය. ධර්මපාල
රජු සමඟ රජුගේ බිසෝවරු රජ පවුලේ අය, ඇමතිවරු, රටේ ප්‍රධානීහු රෝමානු
කතෝලික ධර්මය වැළඳ ගත්හ. ප්‍රකට බෞද්ධ වෙහෙර විහාර කතෝලික පූජකවරුන්ට
පවරා දෙන ලදී. කෝට්ටේ තිබූ දළදා මැදුරේ මෙකල දියවඩන නිලමේ පදවිය දැරුවේ
ගම්පහ හිරිපිටිය පවුලට අයත් හිරිපිටියේ ඒකනායක දියවඩන නිලමේය. දළදාවත
විස්තර වලදී දියවඩන නිලමේවරයෙකුගේ නම හා තොරතුරු සඳහන් වන පළමු
අවස්ථාව මෙයයි. දියවඩන නිලමේ පදවිය කෝට්ටේ කළ පමණ ඇති වූ තනතුරක් බව
පෙනී යයි. පසුකල සෙංකඩගල අග අවදිය වන විට දියවඩන නිළමේ පදවි 04 තිබී
ඇත.
1. දළදා මාළිගාවේ දියවඩන නිලමේ,
2. රාජකීය උල්පැන්ගේ දිව නිලමේ,
3.
රාජකීය බිසෝවරුන් හා කුමාරවරුන්ගේ දිව නිලමේ,
4. පැරැණි ප්‍රසිද්ධ
විහාරයක හෝ දේවාලවල දිව නිලමේ.
මේ තනතුර ඒ විහාරය හෝ දේවාලයට සීමා විය.
සෙංකඩගල අග රාජධානියේ වනවිට මහා අදිකාරම් දෙවැනි අදිකාරම් වැනි ඉහළ
නිලධාරියකුට තිබූ තනතුරු රාශියකට අමතරව දියවඩන නිලමේ පදවියද තවත් එක්
තනතුරක් පමණක් විය.
ධර්මපාල රජු කතෝලික ධර්මය වැළඳගත් පසු සිංහල දළදා වංශය දළදා පුවත
කාව්‍ය ග්‍රන්ථය අනුව දිනක් රෑ සිහිනයක් දැක ඇත. ‘කෝට්ටේ කලාලේ දත මැද
ගන්න රාළේ’ ඔහුට සිහිනෙන් කියා ඇත. මේ සිහිනයේ අර්ථය වටහාගත්
හිරිපිටියේ ඒකනායක දියවඩන නිලමේ වෙස් වලාගෙන දළදා වහන්සේ හිසේ ජටාවක
සඟවාගෙන දියවන්නා ඔයෙන් එතෙර වී සීතාවක රජකළ මායාදුන්නේ රජු (1521 -
1581) හමු වී දළදා හිමි භාර දී ඇත.
දළදා වහන්සේ හිමිකරු රටේ නායකයා ය යනු එදා පිළිගැනීම විය. ඒ අනුව
ඉමහත් ගෞරවයෙන් දළදා හිමි පිළිගත් මායාදුන්නේ රජු කුරුවිට දෙමහල්
දෙල්ගමු විහාරයේ දළදා හිමි තැන්පත් කර පුද පූජා පවත්වා ඇත. මෙකල
ලියවුණු අලගියවන්න මුකවැටිගේ සැවුල් සංදේශයේ දෙල්ගමු විහාරය හා එහි
අධිපති මහින්දාලංකාර හිමියන් ගැන වර්ණනා වෙයි. 1557 සිට 1592 සීතාවක
රාජ්‍යය බිඳ වැටෙන තුරු දෙල්ගමු විහාර දළදා මැඳුරේ දියවඩන නිලමේ පදවිය
දැරුවේ මුලින් කෝට්ටේ දළදා මැඳුරේ අන්තිම වරට දියවඩන නිලමේ පදවිය දැරූ
හිරිපිටියේ රාළමය. ඒ බව මේ ආසන්න කල ලියවුණු දළදා පුවත කාව්‍ය ග්‍රන්ථය
කියයි.
සීතාවක කළ දළදා පෙරහර පැවැත්වූයේ දෙල්ගමු වෙහෙර සිට රත්නපුර සමන්
දේවාලයටයි. දෙල්ගමු විහාරයේ වැඩසිටි දළදා හිමියන් සතුරන්ගෙන් වඩාත්
ආරක්ෂාව පිණිස යෝධ කුරහන් ගලක යට පළුවේ සිදුරක සඟවා තිබූ බව කියැවෙයි.
මායාදුන්නේ රජු මියගිය පසු සීතාවක රාජසිංහ රජු රජවිය. පසුකළ ඔහු
ශිවාගමට නැඹුරු විය. තමාට විරුද්ධ භික්ෂුන් ප්‍රධානීන් මරා දැමීම විය.
රාජසිංහ රජු විසින් බොරු වළකලා මැරවු වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොණප්පු
බණ්ඩාර කොළඹට පැනගොස් පෘතුගීසින්ට එකතු වී දොන් ජුවන් කොණප්පු බණ්ඩාර
නමින් බෞතීස්ම විය. පෘතුගීසි හමුදාවක් සමග උඩරටට පැමිණි දොන් ජුවන්
කොණප්පු බණ්ඩාර පසුව පෘතුගීසීන්ට විරුද්ධව නැගී සිට ඔවුන් පළවා හැර
බුදුදහම වැළදගෙන පළමු විමලධර්ම සූරිය නමින් උඩරට බලයට පත්විය. පළමු
විමලධර්මසූරිය රජුට රාජ්‍ය අයිතිය තහවුරු කර ගැනීමට ප්‍රධාන ගැටළු
දෙකක් විය. ඉන් පළමුවැන්න නම් සීතාවක දෙල්ගමු විහාරයේ වැඩ සිටි
දළදාහිමි සෙංකඩගලට ලබා ගැනීමයි. දෙවැන්නනම් උඩරට රාජ්‍යය නීතියානුකූ®ලව
හිමි මියගිය කරල්ලියද්ධ බණ්ඩාර රජුගේ (1551 - 1581) දූ වූ පෘතුගීසින්
ළඟ හැදුණු වැඩුණු දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවිය පාවා ගැනීමයි.උඩරට
අළුතින් බලයට පත් පළමු විමලධර්ම රජුට විරුද්ධව සීතාවක රාජසිංහ රජු
යුද්ධයට ආවේය. 1592 බලන සටනින් පැරදුණු රාජසිංහ රජු සිත්තැවුලෙන් ආපසු
යද්දී පෙතන්ගොඩ උයනේදී විෂ උණ කටුවක් ඇනී ලේ විෂ වී රාජසූරිය කුමරුගේ
උපදෙස් පිට දොඩම්පේ ගණිතයා විෂ බඳින ලදුව ලේ විෂ වී මළේය.
උඩරට රජ වූ විගස පළමු විමලධර්ම රජු දෙල්ගමු විහාරයේ වැඩවසන දළදා වහන්සේ
ලබා ගැනීම සඳහා සැලැස්මක් සකස් කළේය. ඒ තමාට ඉතා විශ්වාසී ඇල්ලේපොල
මංගල හිමියන් තවත් සාමණේර පස්නමක් සමඟ දෙල්ගමුව දළදා මැදුරට යවා එහි
දියවඩන නිළමේ වූ හිරිපිටියේ ඒකනායක රාළ උඩරට රජු වෙත ක්‍රමයෙන් නම්මවා
ගැනීමයි.
සීතාවක රාජසිංහ රජු ශිවාගම වළඳගත් පසු අරිට්ඨ කී වෙණ්ඩු බලගතු වීම,
සීතාවක අභ්‍යන්තර ආරවුල් සමඟ සීතාවක රාජ්‍ය දුබල විය. අළුතින් බිහි වූ
සෙංකඩගල පළමු විමලධර්මසූරිය රජු බුදුදහමේ ආරක්ෂකයා ලෙස පෙනී සිටියේය.
හිරිපිටියේ ඒකනායක දියවඩන නිළමේ උඩරට රජු වෙත නම්මවා ගැනීමට ඇල්ලේපොල
මංගලහිමියන් සමර්ථ විය.
දෙල්ගමුවේ වැඩ සිටින දළදා වහන්සේ රහසේ සීතාවකට වැඩමවීමට අවශ්‍ය සියලු
පසුබිම හිරිපිටියේ රාළ සමඟ දළදා මැදුර අවට වසමින් ඔහුගේ සිත් දිනාගෙන
ඉටුකිරීමට හා ඒ තොරතුරු උඩරට රජුවෙත දැන්වීමට ඇල්ලේපොල මංගල හිමියන්ට
හැකිවිය. සෙංකඩගලට දළදා වහන්සේ වැඩමවීමට මාස තුනකට පෙර පළමු විමලධර්ම
රජු හා ගලඋඩ හිමියන් දෙල්ගමුව සිට කුමන මාර්ගයකින් උඩරටට වැඩම වීමට ඉඩ
ඇතිදැයි සාකච්ඡා කළ බව ‘දළදා පුවත’ කාව්‍ය ග්‍රන්ථය කියයි.
ඉදල්ගස්හින්න හරහා ඌව පාරෙන් සෙංකඩගලට වැඩමවිය හැකි බව රජුගේ අදහස විය.
රජු බලාපොරොත්තු නොවූ මොහොතක දෙල්ගමුවේ වැඩ සිටි දළදා වහන්සේ සෙංකඩගලට
වඩමවන පණිවිඩය රජුට ලැබී ඇත. දළදා පුවත අනුව රජු මහනුවර නගරය සරසවා
ඇමතීන් සමඟ පෙර ගමන් ගොස් දළදා වහන්සේ පිළිගෙන ඇත.
දළදා වහන්සේ සෙංකඩගලට වැඩමවීමට මූලික වූ අය
1. සීතාවක රාජසිංහ රජුට විරුද්ධව පළමු විමලධර්ම රජු බලයට පත් කිරීමට
බෙහෙවින් වෙහෙස වූ එකල සංඝරාජ පදවිය දැරූ දෙවනගල රත්නාලංකාර මාහිමි.
2. කෝට්ටේ අණකල කෝට්ටේ හා ඉන්පසු අවුරුදු තිස් පහක් දෙල්ගමුව දළදා
මැදුරේ දියවඩන නිළමේ වූ හිරිපිටියේ ඒකනායක දිව නිලමේ (දළදා පුවත අනුව
සෙංකඩගලට දළදා 1592 වැඩම වූ පසු තුන්වැනි වරට සෙංකඩගල පළමු දියවඩන
නිලමේ ලෙස කටයුතු කළ බව ‘දළදා පුවත’ කියයි. ඒ අනුව රාජධානි තුනක
අවුරුදු 50 වැඩි කලක් ඔහු දිව නිලමේ පදවිය දරා මහළුවියේදී ක්‍රි.ව.
1600 මිය ගොස් ඇත.
3. කිරිඇල්ලේ ඤාණවිමල හිමි ‘සබරගමුවේ පැරණි ලියවිලි’ හා ‘සබරගමු දර්ශන’
ග්‍රන්ථවලදී හා දළදා පුවත කාව්‍යයේ දළදා වහන්සේ සෙංකඩගලට වැඩම වීමට
මුල් වූ ගලඋඩ හිමියන් ගැන කියයි. (මුලින් සඳහන් කළ දෙවනගල රත්නාලංකාර
හිමියන් වැඩ සිටියේ අඩි 2000ක් පමණ උස දෙවනගල කඳුගැටයේ විහාරයකය. ඒ
නිසා දෙවනගල රත්නාලංකාර හිමියන්ට ගලඋඩ හිමියන් ලෙස පොදු ජනයා
හැඳින්වූවා විය හැකිය)
4. දෙල්ගමුවට ගොස් දළදා වහන්සේ සෙංකඩගලට වැඩමවීමට අවශ්‍ය පසුබිම සකස්
කළ ‘අස්ගිරි උපත’ පුස්කොල ග්‍රන්ථයේ සඳහන් ඇල්ලේපොල මංගල හිමි.
මහනුවර වැඩමවූ දළදා වහන්සේ මුලින්ම වැඩසිටි ස්ථාන
දෙල්ගමුව සිට ඉදල්ගස්හින්න අම්පිටිය හරහා දළදා වහන්සේ සෙංකඩගලට වැඩමවන
විට හවස් විය. දළදා වහන්සේ වැඩ සිටීමට සෙංකඩගලට දළදා මැදුරක් තිබුණේ
නැත. ‘අස්ගිරි උපත’ කියනුයේ එක් රැයක් දළදා වහන්සේ මහනුවර ආදාහන මළුව
ගෙඩිගේ විහාරයේ තැන්පත් කළ බවයි. එක් රැයක් දින කීපයක් හෝ කෙටි කලක්
ආදාහන මළුව ගෙඩිගේ විහාරයේ දළදා වහන්සේ වැඩසිට ඇත. (මේ සිහි කිරීමට
අදත් මහනුවර ඇසළ පෙරහරේ දියකපන දා රාත්‍රී පෙරහර කරඬුව ආදාහන මළුව
විහාරයේ ශාලාවක එක් රැයක් සියලු පුද පූජා සහිතව තැන්පත් කර තබයි.
දළදා පුවත අනුව ඉන්පසු පළමු විමලධර්මසූරිය රජුගේම රජ මැදුරේම කොටසක් වූ
සඳ දක්නාගෙයි දළදා වහන්සේ වැඩ වාසය කර ඇත. සඳ දක්නා ගෙය රජ මැදුරේම
කොටස් විය. හදිසියේ දළදා මැදුරක් ඉදිකරන තුරු දළදා වහන්සේ වැඩ සිටියේ
සඳ දක්නා ගෙයි තුලය.
සෙංකඩගල ඉදිකළ පළමු දළදා මැදුර, පළමු විමලධර්ම රජු දෙමහල් මැදුර
දළදා වහන්සේ වැඩමවීමට පෙරම පළමු විමලධර්ම රජ දළදා මැදුරක වැඩ ඇරඹු බව
‘දළදා පුවත’ කාව්‍ය ග්‍රන්ථය කියවන විට හැගීයයි. දළදා වහන්සේ වැඩ
සිටීමට සුදුසු ස්ථානයක් නොවූ බැවින් හදිසියේ ඉතා ඉක්මණින් පළමු
විමලධර්ම රජු දෙමහල් දළදා මැදුරක් ඉදිකළ බව සිංහල වංශය - අස්ගිරි
තල්පත, සුළු රාජාවලිය , චූලවංශය, දළදා පුවත, අස්ගිරි උපත, නරේන්ද්‍රා
චරිතාව, ලෝකන ප්‍රදීපිකාව කියයි. මේ පළමු දෙමහල් දළදා මැදුර රජු මැදුර
අසලම පිහිටා තිබුණි.
පළමු විමලධර්ම රජ කරවු තුන්මහල් දළදා මැදුර
රජු හදිසියේ කර වූ දෙමහල් දළදා මැදුර දළදා හිමිට සුදුසු මදිබව පෙනී
ගියෙන් වඩාත් ගෞරවය පිණිස මුල් දෙමල් දළදා මැදුර අසලම තුන්මහල් දළදා
මැදුරක් පළමු විමලධර්ම රජු පසුකළ ඉදිකළ බව එකල ලියවුණු මූලාශ්‍ර හතරක
කියැවෙයි. සිංහල දළදා වංශය, දළදා පුවත, දෙවන දළදා පූජාවලිය,
ශ්‍යාමෝසම්පදාවත ඒ මූලාශ්‍රයි. රජු මුලින්ම කර වූ දෙමහල් දළදා මැදුර
අසලම මේ තුන්මහල් දළදා මැදුර විය.
පරිවාර ගමන් මාළිගා
මෙකල නිරන්තරයෙන් උඩරටට එල්ල වූ පෘතුගීසි ආක්‍රමණ වලදී දළදා වහන්සේ
සඟවා තැබීම සඳහා රටේ කැළෑබද දුර්ගම ස්ථානවල කුඩා දළදා මැදුරු කීපයක්
මුල්කළ විය. රජු සතුරන් එනවිට පළා යද්දී රහසිගතව දළදා වහන්සේ අවුල්
සංසිදෙන තුරු මේ පරිවාර කුඩා ගමන් මාළිඟා වල පුදපූජා සහිතව තබා ඇත.
එවැනි පරිවාර ගමන් මාළිගා මැද මහනුවර - උඩදුම්බර හුන්නස්ගිරියේ ගලේ
නුවර බලකොටුව තිබී ඇත.
තුන්වන දළදා මැදුර - දෙවැනි රාජසිංහ රජු දෙමහල් දළදා මැදුර
පෘතුගීසින් මුල් දළදා මැදුර වැනසූ පසු දෙවැනි රාජසිංහ රජු (1636 -
1687) අලුතින් දෙමහල් දළදා මැදුරක් කළ බව සිංහල දළදා වංශය - දෙවැනි
දළදා පූජාවලිය, ඩුළු රාජාවලිය කියයි. මෙකල ලියවුණු ගොතටුව කවියා ලියූ
දෙවැනි දළදා පූජාවලිය කාව්‍ය ග්‍රන්ථයේ හා ‘මඟ සළකුණ සංදේශ කාව්‍යයේ
මෙම දෙමහල් දළදා මැදුර වර්ණනා වෙයි.
කෙටි කාලයක් තුල දළදා මැදුරු හයක් ඉදිවීමට හේතු
1. පෘතුගිසීන් මහනුවර නගරය ආක්‍රමණය කොට කොල්ල කා රජ මැදුර දළදා මැදුර
කඩාබිඳ දමා ගිණි තබා වැනසීම.
2. ඕලන්දයන් කළ වෑන් ඊක් උඩරට ආක්‍රමණය කොට දළදා මැඳුර කඩා වනසා දළදා
මැදුර ගිනි තැබීම
3. පැරණි දළදා මැදුරු වෙනුවට වඩාත් ඉඩකඩ ඇති අළුත් දළදා මාළිගා
ඉදිකිරීම.
දළදා මැදුරුවල සැලැස්ම
1765 ඕලන්ද චිත්‍ර ශිල්පියකු අදින ලද මහනුවර නගර සිතියමක පැරණි දළදා
මැදුර මෙන්ම අලුත් දළදා මැදුරු දක්වයි. මේ සැලැස්මේ පිටපතක් මහනුවර
දළදා මාළිගා කෞතුකාගාරයේද ඇත. මුල සිටම තිබු දළදා මැදුරුවල බිම්
සැලැස්ම දොර ජනෙල් උළුවහු සැලැස්ම එක සමාන විය. වෙනස් වූයේ තට්ටු ගණන
පමණකි.
විනාශ දළදා මැදුරු තිබූ ස්ථාන
විනාශ වූ මුල් දළදා මැදුරු අද දක්නට ඇති දළදා මැදුර සීමාවේම හෝ ඒ
ආශි‍්‍රත නුදුරුම බිමේ තිබුණු බව පෙනී යයි. විනාශ කළ පැරැණි දළදා
මැදුරු වල නටඹුන් ඉවත් කර අලුත් දළදා මැදුර එම ස්ථානයේම ගොඩ නැගීම
සම්ප්‍රදාය විය.
මහනුවර ඉදිවූ හතරවැනි දළදා මැදුර - දෙවැනි විමලධර්මසූරිය රජ ඉදිකළ
තුන්මහල් දළදා මැදුර
උඩරට රජු වූ දෙවැනි විමලධර්මසූරිය රජු (1687 - 1707) රජමැදුර අසල
තුන්මහල් දළදා මැදුරක් කළ බව සිංහල දළදා වංශය, දෙවැනි දළදා පූජාවලිය,
සුළු රාජාවලිය, ශ්‍යාමෝ සම්පදාවත , චූලවංශය කියයි. මෙම තුනිමහල් දළදා
මැදුර පළලින් පටු දිගින් වැඩි එකක් විය.
එහි වහල වර්තමාන දළදා මාළිගාවේ මුළුතැන්ගෙය දක්වාම පටුව දිගට විහිද
තිබූ බව හොකාර්ට් ලියූ ‘ද ටෙම්පල් ඔෆ් ද ටූත් ඉන් කැන්ඩි’ ග්‍රන්ථයේදී
පෙන්වා දෙයි.
මෙම තුන්මහල් මන්දිරයේ ගරා වැටුණු කොටස් 1925 පමණ කඩා ඉවත් කර ඇත. ඒ
දළදා මැදුරේ අද දක්නට ඇති තුන්මහල් අලුත් දළදා කෞතුකාගාර ගොඩනැගිල්ල
සෑදීමට ඉඩකඩ ගැනීම සඳහාය.
සෙංකඩගල ඉදිවූ පස්වැනි දළදා මැදුර - නරේන්ද්‍රසිංහ රජුකරවූ දෙමහල් දළදා
මැදුර
දෙවැනි විමලධර්මසූරිය රජ කළ තුන්මහල් දළදා මැදුර සුදුසු පරිදි අවශ්‍ය
කොටස් කඩාදමා තුන්වන මහල ඉවත් කොට නැත්නම් කොටසක් කඩා බිඳ දමා රජුගේ
පුත් කුණ්ඩසාලේ රජකළ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (1707 - 1739)
දෙමහල් කොට සකස් කළ බව වංශකතා කියයි. තම පියා කරවූ තුන්මහල් දළදා මැදුර
වෙනස් කොට නරේන්ද්‍රසිංහ රජු දෙමහල් දළදා මැදුර සකස් කර ඇත. මේ පිළිබඳ
විස්තර චූලවංශය - දෙවැනි දළදා පූජාවලිය, ශ්‍යාමෝසම්පාදවත කියයි.
චූලවංශය අනුව රජු දළදා මැදුරේ ජාතක කතා තිස් දෙකක චිත්‍ර ඇන්ද වූ බව
කියයි. බොහෝ දෙනා විශ්වාස කරනුයේ අද දළදා වහන්සේ වැඩවසන දෙමහල් දළදා
මැදුර නරේන්ද්‍රසිංහ රජු කරවූ දෙමහල් දළදා මැදුර බවයි. එහෙත් අදහසට
අභියෝග එල්ලවන තොරතුරු කීපයක් රාජාවලිය අතිරේක පිටපතක දාඨාගෝත්‍ර
ප්‍රදීපය හා ශ්‍යාමෝසම්පදාවත දක්වයි.
නරේන්ද්‍රසිංහ රජු කර වූ දෙමහල් දළදා මැදුර ඕලන්දයින් වැනසීම
කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රජු කර වූ දෙමහල් දළදා මැදුර 1765 වෑන්ඊක්
යටතේ් ආ ඕලන්ද හමුදාව කඩා බිඳ දමා ගිණි තබා වනසා ඇත. මේ විනාශය කෙතකරම්
දරුණු වී ද යත් ඒ නැවත ඉදිකිරීම ඉතා අසීරු විය. ශ්‍යාමෝසම්පදාවත
පැහැදිලිවම කියනුයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඕලන්දයින් වැනසූ පැරණි
දළදා මැදුර අසලම අලුතින් දළදා මැදුරක් ඉදිකළ බවයි.
සෙංකඩගල අද ඇති හයවැනි දළදා මැදුර - කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඉදිකළ
දෙමහල් දළදා මැදුර
1765 වෑන් ඊක් යටතේ ඕලන්දයින් නරේද්‍රසිංහ රජු කරවූ දෙමහල් දළදා මැදුර
කඩා බිඳ ගිණිතබා වැනසූ බැවින් කීර්ති ශ්‍රී රාජසිංහ රජු අවුරුදු දහයක්
කාලය ගතකර අලුත් දළදා මැදුරක් ඉදිකළ බව මූලාශ්‍ර තුනක පැහැදිලිවම කිය
යි. මහචාර්ය සුරවීර සංස්කරණය කළ රාජාවලිය පොත අග එන රාජාවලිය අතිරේක
පිටපතක වැලිගල කිවිදු ලියූ දාඨාගෝත්‍ර ප්‍රදීපය කාව්‍ය ග්‍රන්ථය හා
ශ්‍යාමෝසම්පදාවත ඒ මූලාශ්‍ර තුනයි. මින් අලුත් දළදා මැදුර ගැන වඩාත්
විස්තර එන්නේ ශ්‍යමෝසම්පදාවත ග්‍රන්ථයේය. ඕලන්දයින් වැනසු දළදා මැදුර
අසලම කීර්ති ශ්‍රී රජු අලුතින් දළදා මැදුරක් ඉදිකළ බව ශ්‍යාමෝසම්පදාවත
කියයි. මෙම අලුත් දළදා මැදුරට කීර්ති ශ්‍රී රජු යොදාගත් ගල් ගඩොල් දැව
දළදා මැදුරේ දිග පළල එහි අඳින ලද ජාතක කතා හා චිත්‍රවල විස්තර ඉතා
දීර්ඝ ලෙස ශ්‍යමෝසම්පදාවත දක්වයි. මේ දළදා මැදුර යාව රජු හේවිසි
මණ්ඩපයක්ද ඉදිකර ඇත. ඒ වන තුරු ඕලන්දයින් වැනසූ පැරැණි දෙමහල් දළදා
මැදුර තාවකාලිකව ප්‍රතිසංස්කරණය කොට අලුත් දෙමහල් දළදා මැදුරේ වැඩ නිම
වෙනතුරුම පැරැණි දළදා මැදුරේම දළදා වහන්සේ තබා ඇත. ශ්‍යාමෝසම්පදාවත
අනුව බු. ව. 2319 හෙවත් ක්‍රි.ව. 1776 පැරණි දළදා මැදුරේ සිට මහත් දළදා
උත්සවයක් පවත්වා අලුත් දළදා මැදුරට දළදා හිමි වැඩමවු බව
ශ්‍යාමෝසම්පදාවත පැහැදිලිව ම කියයි. ඒ අනුව මේ කීර්ති ශ්‍රී රජු කරවූ
අලුත් දළදා මැදුර බු.ව. 2319 හෙවත් ක්‍රි.ව. 1776 වෙසක්පුර පසළොස්වකදා
විවෘත කර ඇත. පැරැණි දළදා මැදුරේ තාවකාලිකව වැඩසිටි දළදා හිමි අලුත්
දෙමහල් දළදා මැදුරට එදින වැඩමවා ඇත. චූලවංශය 100 පරිච්ඡේදයේ සඳහා
කීර්ති ශ්‍රීරජු පැවැත් වූ දීර්ඝ දළදා පූජාව මේ උත්සවය බව පෙනී යයි.
1. පළමු විමලධර්මසූරිය රජු පටන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්වා
අවුරුදු 184 ක කාලය තුල සෙංකඩගල දළදා මැදුරු හයක් ඉදි වි ඇත.
2. අද දක්නට ඇත්තේ කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රජු ඉදිකළ ෙ;දමහල් දළදා
මැදුර නොවේ. එය 1765 ඕලන්ද ආක්‍රමණයෙන් පසු අත්හැර දමා විනාශ විය.
3. අද සෙංකඩගල දක්නට ඇති දෙමහල් දළදා මන්දිරය ක්‍රි.ව 1776 වෙසක් පුර
පසලොස්වක දා විවෘත කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඉදිකළ දෙමහල් දළදා
මැදුරයි.
4. 1925 අවට කඩා ඉවත් කළේ නරේන්ද්‍රසිංහ රජු කරවූ දෙමහල් දළදා මැදුරේ
ඉතිරිව තිබූ කොටස් වීමටද ඉඩ ඇත. |