දිළිඳුකම විකිණීම
ශිෂ්ටාචාරයක් නිර්මාණය වන්නේ කෙ සේ ද යන්න ගැන කතා කිරීම කාලීන
වශයෙන් වැදගත් බව අප ගේ විශ්වාසය යි. ශිෂ්ටාචාරයක් නිර්මාණය
වීම සඳහා භූගෝලීය සාධක වලට අමතර ව බුද්ධිමතුන් ගේ කාර්ය භාරය
ඉතා වැදගත් යැයි ‘ඉතිහාස අධ්‍යයනය’ නමැති කෘතියෙහි ආර්නෝල්ඩ්
ටොයින්බි සඳහන් කැර තිබේ. මානව ශිෂ්ටාචාරය ගොඩනැඟීමට දායක වූ
මේ බුද්ධිමය ශ්‍රමය හඳුනා ගැනීම සඳහා ඇති හොඳ ම මඟ එ කල පැවැති
දාර්ශනික මතවාද හා සාහිත්‍යය හැදෑරීම ය.
දැනට ලෝකයේ ප්‍රබල ම සාහිත්‍යය ලෙස සැලැකෙන ඉංගී‍්‍රසි
සාහිත්‍යය දෙසට හැරෙමු. දියුණු ඉංගී‍්‍රසි සාහිත්‍යයක් පිළිබඳ
ව කතා කිරීමට හැකි වන්නේ ක්‍රි.ව.1066 දී නෝර්මන්වරුන් විසින්
එංගලන්තය ආක්‍රමණය කළ පසු ව ය. ග්‍රන්ථාරූඪ කළ ඉංගී‍්‍රසි
සාහිත්‍යය හමුවන්නේ ක්‍රි.ව. 8 වන සියවසට පසු බැව් සැලැකේ. එ
සේ වූව ද ඊට වඩා බොහෝ සෙයින් ඈතට දිවයන සාහිත්යික උරුමයක්
ආසියානුවන්ට තිබේ. ඉන්දියානු සාහිත්‍යය ආරම්භ වන්නේ ක්‍රි.පු.
15 වන සියවසේ දී පමණ සංග්‍රහ කැර තිබෙන වේද සංහිතා වලිනි.
මානව ශිෂ්ටාචාරයේ ඉදිරි ගමන වේගවත් වීම සඳහා ලෝහ භාවිතය හේතු
වූ බව අපි දනිමු. එම ලෝහ යුගයේ ආරම්භය සටහන් වන්නේ බටහිර
ආසියානුවන් තඹ භාවිතා කොට ආයුධ සෑදීම පටන් ගැනීමත් සමඟ ය. ඒ
ක්‍රි.පූ. 4000 තරම් ඈත යුගයක දී ය. ක්‍රි.පූ. 2000 තරම් ඈත
කාලයක සිට බටහිර ආසියානුවන් යකඩ භාවිත කැර තිබේ. මානව
ශිෂ්ටාචාරයේ ඉදිරි ගමනට ආසියානුවන් ගේ දායකත්වය තේරුම් ගැනීමට
මේ කරුණු ප්‍රමාණවත් යැයි සිතමු.
ලොව පුරා ව්‍යාප්ත ව ඇති ප්‍රධාන ආගම් තුනට නිජබිම වූයේ ද
ආසියාව හා මැද පෙරදිග ය. ක්‍රි.පූ. 6 වන සියවසේ දී ලොව පහළ වූ
බුදුන් වහන්සේ ගේ නිජබිම වර්තමාන නේපාලයට අයත් ලුම්බිණිය බව
අපි දනිමු. ජේසුතුමා ක්‍රි.පූ. 4 වන වර්ෂයේ දී උපන්නේ බෙත්
ලෙහෙමේ දී ය. මහමත්තුමා (ක්‍රි.ව. 570 – 632 ) අරාබි
අර්ධද්වීපයේ දී උපන්නේ ය. මෙ බඳු ආගම් කර්තෘවරයකු බිහි කිරීමට
යුරෝපය සමත් වී නොමැත. මෙහි සැබෑ අර්ථය නම්, දියුණු ආගමික
මතවාදයක් බිහි කිරීමට අවශ්‍ය බුද්ධිමය සමාජ පසුබිමක් යුරෝපයේ
නො පැවැති බව ය.
එහෙත්, මේ ශ්‍රේෂ්ඨ ආසියානුවන්ට සිදු වී ඇත්තේ කුමක් ද? බුදු
රදුන් උපන් නේපාලය දිළිඳුකමෙන් හා දේශපාලන කැලඹීම් වලින් පිරි
දේශයකි. ජේසුතුමා හා මහමත්තුමා උපන් මැදපෙරදිග ඇවිලෙන යුද
ගිනිදැල් නිවා දැමීමට කිසිවකු සමත් වී නැත.
මේ ශ්‍රේෂ්ඨ ජාතීන්ට අත් වී අඇති අවාසනාවන්ත තත්ත්වයට කාර්මික
විප්ලවය නිසා බලවත් වූ යුරෝපීයයන් ගේ බලයට නතුවීම එක් හේතුවකි.
අනෙක් කරුණ නම්, තම පාරම්පරික ඥානයේ විශිෂ්ටත්වය ඔවුන් විසින්
ම නො සලකා හැර තිබීම ය.
ආසියානුවන් පත් වී ඇති මේ අවාසනාවන්ත තත්ත්වය පසු ගිය දා අවසන්
වූ 81 වන ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ දී දක්නට ලැබිණ.
ඉන්දියානු නිර්මාණයක් වන මුඩුක්කුවේ ලක්‍ෂපතියා යන අරුත දෙන
ස්ලම්ඩෝග් මිලියනර් (Slumdog Millionaire) චිත්‍රපටයට එහි දී
සම්මාන අටක් හිමි වීම මඟින් ආසියානු ඛේදවාචකය පිළිඹිබු විය. අප
එ සේ පවසන්නේ ඇයි දැයි යමකු විස්මයට පත් වීමට පුළුවන. බුකර්
සම්මානලාභී විකාස් ස්වරාජ් ගේ ‘කිව් ඇන්ඩ් ඒ’
(Q and A) නමැති
නව කතාව පදනම් කොට නිපද වූ මේ චිත්‍රපටයේ කතාව වෙත අවධානය යොමු
කිරීමෙන් එය වටහා ගැනීම පහසු වනු ඇත.
මුම්බායිහි මුඩුක්කු ජීවිතයක් ගත කරන ජමාල් සහ සලීම් යන
සොහොයුරන් ගේ මව හින්දු - මුස්ලිම්, කෝලාහලයකින් මිය යයි.
පාතාල කල්ලියක් විසින් ඔවුන් දෙදෙනා හිඟමනට පුරුදු කැරේ. එ
තැනින් පැනයන මේ සොහොයුරන් දෙදෙනාට සිදුවන්නේ ජීවත්වීම සඳහා
සොරකම, ගැට කැපීම සංචාරක මඟ පෙන්වන්නන් ලෙස ක්‍රියා කිරීම ආදිය
තෝරා ගැනීමට ය. රූපවාහිනී මධ්‍යස්ථානයක කාර්යාල කාර්ය සහායකයකු
වශයෙන් රැකියාවක නිරත වන ජමාල් ප්‍රශ්නවිචාරාත්මක වැඩ සටහනකට
ඉදිරිපත් වී සාර්ථක ව පිළිතුරු දෙමින් සිටින අතර පොලීසිය
විසින් අත්අඩංගුවට ගනු ලැබේ. නිසි අධ්‍යාපනයක් නොමැති මුඩුක්කු
තරුණයකු මෙ සේ සාර්ථක අයුරින් පිළිතුරු දීම ගැන පොලීසිය
ඔහුගෙන් වධ දී ප්‍රශ්න කැරේ.
මෙය බැලූ බැල්මට සාමාන්‍ය බොලිවුඩ් චිත්‍රපට කතාවක් බව ඇත්ත ය.
එ සේ වූව ද දිළිඳු දරුවන් යොදා ගෙන දිළිඳු කම විදහා දැක්වෙන
අයුරින් කළ මේ චිත්‍රපටය සඳහා ඔස්කාර් සම්මාන අටක් හිමි වූයේ
ඇයි දැයි විමසා බැලිය යුතු ය. ශ්‍රේෂ්ඨ ආසියානු ශිෂ්ටාචාරය
වෙනුවට ආර්ථික දිළිඳුකම බටහිර ලෝකයට වැදගත් මාතෘකාවක් වීම ඊට
හේතුවයි. එහෙත් මෙහි ඇති සැබෑ ඛේදවාචකය එය නො ව, මේ ශ්‍රේෂ්ඨ
ජාතීන් තම ශ්‍රේෂ්ඨත්වය වෙනුවට දිළිඳුකම විකුණා සංස්කෘතික
හිඟන්නන් බවට පත් වී සිටීම ය. |