සිරි දළදා පුවත
මහාචාර්ය
ජේ.බී. දිසානායක
දළදා පෙරහර කෘතියෙනි ලෝකවාසී බෞද්ධ
නරපතීන් හා ජනතාව විසින් අපරිමිත ශ්‍රද්ධා භක්තියෙන් පුදනු ලැබූ
ස්වර්ණාභරණයෙන් වැසුණු මේ දළදා
කරඬුව යට තවත් රන් කරඬු හයක් ඇත. දළදා වහන්සේ වැඩ සිටින්නේ එහි යට ම
පිහිටි කුඩා ම කරඬුවෙහි ය. එය හේමමාලා කුමරිය
දඹදිවින් ගෙන ආ කරඬුව යැයි සැලකෙයි.
අද දළදා වහන්සේ වැඩ සිටින්නේ කරඬුවක බැවින් උන් වහන්සේ සිය දෑසින් දැක
බලා ගැනීමට කිසිවෙකුට නුපුළුවන. දළදා වහන්සේට මල් පහන් පිදිය යුත්තේ
උඩු මාලේ පිහිටි පිරිත් මණ්ඩපය අසල දී ය.
නැතහොත් ඒ මල් දළදා කරඬුව සමීපයෙහි තේවාවෙහි යෙදෙන හාමුදුරුනමකට භාරදිය
යුතුය.
ලෝකවාසී බෞද්ධ නරපතීන් හා ජනතාව විසින් අපරිමිත ශ්‍රද්ධා භක්තියෙන්
පුදනු ලැබූ ස්වර්ණාභරණයෙන් වැසුණු මේ දළදා කරඬුව යට තවත් රන් කරඬු හයක්
ඇත.
දළදා වහන්සේ වැඩ සිටින්නේ එහි යට ම පිහිටි කුඩා ම කරඬුවෙහි ය. එය
‘හේමමාලා කුමරිය’ දඹදිවින් ගෙන ආ කරඬුව යැයි සැලකේ.
පෙරහරේ ඇතු පිට ගෙන යන්නේ මේ රන් කරඬුව නොවේ. ඊට දකුණු පසින් තැන්පත්
කොට ඇති කුඩා කරඬුවයි. මේ කරඬුව මාලිගාවේ ඇතු පිට තබන්නේ දියවඩන නිලමේ
තුමාය. පෙරහරේ අන්තිම රාත්‍රියෙහි දී මේ කරඬුව තාවකාලික ව අස්ගිරි
විහාරයේ ‘ගෙඩිගේ විහාරයෙහ’ තැන්පත් කෙරේ.
අද රජෙකු නැති නිසා දළදා වහන්සේ ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේ
මහානායක හිමිවරුන් දෙනමකටත් දියවඩන නිලමේ නම් ගිහි නිලධාරියෙකුටත් ය. ඒ
මහානායක හිමිවරු දෙනම නම් අස්ගිරි මහ විහාරයේ මහානායක හිමිපාණන්
වහන්සේත් මල්වතු මහා විහාරයේ මහානායක හිමිපාණන් වහන්සේත්ය.
එක් වර්ෂයක් එක් මහා විහාරයකින් ද ඊළඟ වර්ෂය අනික් මහා විහාරයෙන් ද යන
අනුපිළිවෙළින් දළදා වහන්සේ උදෙසා තේවා කටයුතු පැවැත්වේ. තේවා මුරය මාරු
වන්නේ ඇසළ මස පුර පසළොස්වක් පෝය දාය. තේවා කටයුතු සඳහා එක් භික්ෂූන්
වහන්සේ නමක් දළදා මාලිගාවෙහි ම නවාතැන් ගෙන සිටිති.
දළදා වහන්සේ මුලින් වැඩ සිටියේ දඹදිව හෙවත් ඉන්දියාවෙහි ය. නැගෙනහිර
දඹදිව පිහිටි කාලිංග දේශයෙහි හෙවත් කලිඟු රටෙහි ය. එය අද හැඳින්වෙන්නේ
‘ඔරිස්සා ‘ යන නමිනි. එහි දළදා වහන්සේ වැඩ සිටි නුවර ‘දන්ත පුර ‘ නමින්
ප්‍රසිද්ධ විය. දළදා වහන්සේ බලා කියා ගත්තේ ගුහසීව නම් බෞද්ධ රජු ය.
දඹදිව ඇතැම් හින්දු රජවරුන්ගෙන් දළදා වහන්සේට සිදු වුණු උවදුරු වැඩි
වූයෙන් උන් වහන්සේගේ ආරක්ෂාව තකා උන් වහන්සේ සිංහල දේශයට එවීමට ගුහසීව
රජතුමා කල්පනා කළේය. මේ කාර්යභාරය පැවරුණේ එතුමාගේ දියණියන් වූ හේමමාලා
කුමරියටත් ඇගේ සැමියා වූ දන්ත කුමරුටත් ය.
හේමමාලාවෝ දළදා වහන්සේ සිය කේශ කලාපයෙහි සඟවා ගෙන රජ කුමරියක බව හඳුනා
ගත නොහැකිවන පරිදි වෙස් වළා ගෙන ‘තාමලිත්ති’ නම් වරායෙන් නැව් නැඟ
‘ලංකාපට්ටන ‘ නම් වරායෙන් මෙරටට සේන්දු වූහ. එතැන් සිට දුරු මඟ ගෙවා
අගනුවර වූ අනුරාධපුරයට පැමිණියහ.
එවක ලක්දිව රජ කළේ ‘කීර්ති ශ්‍රී මේඝවර්ණ ‘ හෙවත් ‘කිත් සිරි මෙවන් ‘
රජතුමා (ක්‍රිස්තු වර්ෂ 303 - 331 ) ය . කිත්සිරි මෙවන් රජතුමාණෝ ඉතා
සතුටින් හා සැදැහැ සිතින් දළදා වහන්සේ පිළිගෙන අනුරාධපුරයෙහි එක රමණීය
මන්දිරයක තැන්පත් කොට පුද පූජා පැවැත්වූහ.
දළදා වහන්සේ වැඩ සිටි මේ මන්දිරය ‘ධම්මචක්ක ගේහ ‘ යන නමින් දෙවන පෑතිස්
නරනිඳුන් විසින් ගොඩ නඟන ලද්දකි. දළදා වහන්සේ මෙහි තැන්පත් කරන්නට
කලින් ‘මේඝගිරි ‘ නම් විහාරයෙහි ද කෙටි කලක් තැන්පත් කොට තිබුණු බව
කියවේ. එදා මේඝගිරි විහාරය අද ‘ ඉසුරුමුණි විහාරය’ සේ සැලකේ.
අවුරුද්දකට වතාවක් දළදා වහන්සේ ධම්මචක්ක ගේහයෙහි සිට අභයගිරි විහාරයට
පෙරහරින් වඩම්මවන ලදහ. උන් වහන්සේ තුන් මසක් අභයගිරි විහාරයෙහි වැඩ
සිටියහ. මෙරට පැවැත්වුණු මුල්ම දළදා පෙරහර මෙය වන්නට ඇතැයි අනුමාන කළ
හැකිය.
එදා මේ පෙරහර දුටුවන් අතුරෙහි ‘ෆාහියන් ‘ නමැති චීන හාමුදුරුවෝ ද වූහ.
පස්වන සිය වසෙහි දී මෙරටට ආ උන් වහන්සේ දෙවසරක කාලයක් අනුරාධපුරයෙහි
අභයගිරි විහාරයෙහි වැඩ සිටි බැවින් තමා සියැසින් දුටු පෙරහර පිළිබඳ
විස්තරයක් සිය චාරිකා සටහන් වල මෙසේ ඇතුළත් කොට ඇත.
“බුදුන් වහන්සේ දළදාව තැන්පත් කොට තිබෙන මන්දිරය ද මේ නගරයෙහිම වෙයි.
මේ දන්තධාතු මන්දිරය මුළුමනින්ම නිමවා ඇත්තේ සත් රුවනිනි. සිරිත් පරිදි
දන්තධාතු ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ තුන්වන මස මැදදීය. ප්‍රදර්ශනය
ආරම්භ කිරීමට දින 10 කට කලින් රජතුමා විසින් හස්තියෙකු හස්ත්‍යාභරණයෙන්
සරසවා ඌ මතුයෙහි රාජකීය සළු - පිළියෙන් සැරසුණු ව්‍යක්ත කථිකයෙකු
නංවයි. ඉක්බිති ඔහුට බෙරයක් වයා (සෙනඟ රැස් වූ කල්හි)) පහත සඳහන්
ප්‍රකාශය කරන ලෙස අණ කරවයි. ‘අද සිට දින දහයක් ‘ ගිය තැන බුදුන්
වහන්සේගේ දන්ත ධාතුව පිටතට ගෙන අභයගිරි විහාරය කරා වැඩම කරවනු ලැබේ.
පින් රැස් කර ගැනීමෙහි කැමති ගිහි පැවිදි සියල්ලෝ මං සම කෙරෙත්වා. නුවර
කෝවේ මාවේ සරසත්වා. හැකි හැම අයුරකම සුවඳ දුම් මල් ඈ පූජා ද්‍රව්‍ය
පිළියෙල කර ගනිත්වා.
මේ ප්‍රකාශය කරනු ලැබූ පසු රජතුමා බුදුන් වහන්සේ අතීතයේ බෝධි සත්ත්ව
භූමියෙහි සිටියදී ගන්නා ලද 500 ක් ආත්මභාවයන් (ජාතක) පිළිබඳ
ප්‍රතිරූපයන් මඟ දෙපස තැන්පත් කරයි. දක්ෂ ලෙස අඳින ලද්දා වූ ද
දීප්තිමත් ලෙස වර්ණරංජිත වූ ද මෙම ප්‍රතිරූප සර්වප්‍රකාරයෙන් ම සජීව
රූප මෙන් පෙනේ. ඉක්බිති දන්ත ධාතූන් වහන්සේ මන්දිරයෙන් පිටතට ගෙන
ප්‍රධාන මාර්ගය දිගේ වැඩම කරවනු ලැබෙත්, දළදා වහන්සේ අභයගිරි විහාරස්ථ
ප්‍රදර්ශන ශාලාවට ළඟා වන තෙක්ම මඟ දිගට මිනිස්සු පූජා පවත්වති. අනතුරුව
භික්ෂූහුද ගිහියෝද එක් රැස්ව සුවඳ දුම් දීමත් පහන් දැල්වීමත් වෙනත්
ආගමික පූජා පැවැත්වීමත් නැවතීමක් නැතිව රෑ දාවල් දෙකෙහිම සිදු කරති.
අනූ දවසකට පසු නගරයේ පිහිටි දන්ත ධාතු මන්දිරය කරා දළදා වහන්සේ වැඩම
කරනු ලැබෙත් .”
(ෆාහියන්ගේ දේශාටන වාර්තාව - බලගල්ලේ අනුවාදය 96 පිට) දළදා වහන්සේ
වැඳීමට සිංහල බෞද්ධයන් භාවිත කරන ගාථාවක් ඇත.
ඒකා දාඨා තිදස පුරේ - ඒකා නාගපුරේ අහු
ඒකා ගන්ධාර විසයෙ - ඒකාසි පුන සීහළේ මෙහි සඳහන් වන ආකාරයට බුදුන්
වහන්සේගේ දළදා වහන්සේ අතුරින් එක් දළදා වහන්සේ නමක් තිදස පුරෙහි හෙවත්
තව්තිසා දෙව් ලොවෙහිය. තවත් දළදා වහන්සේ නමක් නාග පුරේ හෙවත් නා ලොවෙහි
ය.
තවත් දළදා වහන්සේ නමක් ගන්ධාර දේශයෙහි ය. තවත් දළදා වහන්සේ නමක් සිංහල
දේශයෙහි ය. අද මහනුවර දළදා මාලිගාවෙහි වැඩ සිටින්නේ හේමමාලාවන් විසින්
සිංහල දේශයට වැඩම කරවනු ලැබූ ඒ දළදා වහන්සේ යි.
|