UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව:


සැම කල බැබළෙන ලොවුතුරු මුනිඳු

නමෝතස්ස භගවතෝ
අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
දිවාතපති ආදිච්චෝ
රත්තිං ආභාති චන්දිමා
සන්නද්ධෝ ඛත්තියෝතපති
ක්‍ධායී තපති බ්‍රාහ්මණෝ
අථ සබ්බ මහෝ රත්තිං
බුද්ධෝ තපති තේජසා’තී

කාරුණික පින්වත්නි,

අද මගේ මාතෘකාවට අයත් ගාථා ධර්මයේ අදහස මෙයයි. “හිරු බැබළේ දිවාකල පුර හඳ බැබළේ රෑ කල , ක්ෂත්‍රීය, රජු බැබළේ රජ සිරින් යනෙන කල මහ රහතුන් බැබළේ දැහැන් බවුන් වඩනා කල ලොවුතුරා මුනිඳු බැබළේ බුදු තෙදින් දිවා රෑ දෙක්හිම “

පින්වත් ඔබ පුංචි කාලයේ ඉඳලම අහල පුරුදුනේ සැවැත්නුවර පිළිබඳව. මේ සැවැත්නුවර ඉතාම ප්‍රසිද්ධ ආරාම දෙකක් තිබුණ. එකක් අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ජේතවනාරාමය. අනෙක විශාඛා මහෝපාසිකාව විසින් කරවන ලද පූර්වාරාමය . එක් පුන් පෝදිනක සන්ධ්‍යාවේදී අමාමෑණී බුදුපියාණන් වහන්සේ මේ පූර්වාරාමයේ සුගන්ධ කුටියෙ වැඩ ඉන්නවා, ඒ වෙලාවෙ බුද්ධෝපස්ථායක ආනන්ද හාමුදුරුවෝ එළිමහනේ සක්මන් කරනව. වට පිට බලන උන් වහන්සේගේ සිතට අපූරු සිතුවමක් මැවෙනව.

“ඈත බටහිර අහසෙ හිරු බැහැගෙන යනව . හරිම ලස්සනයි . ඈත පෙරදිග අහසෙ පුරා හඳ පායාගෙන එනව. හරිම ලස්සනයි. කොසොල් මහ රජතුමා රාජකීය ඇඳුම් පැළඳුම් වලින් සැරසිලා හරිම ලස්සනයි. කාළුදායි මහරහතන් වහන්සේ මිදුලෙ තුරු සේවනේ වාඩිවෙලා භාවනාවෙ යෙදෙනව. හරිම ලස්සනයි. මේ හැම දේටම වඩා තුන් ලොව නිවා සනහා වදාළ, මහා කාරුණික බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්නවා. හරිම ලස්සනයි.

ආනන්ද හාමුදුරුවෝ කල්පනා කළා. මේ සිතිවිල්ල බුදු හාමුදුරුවන්ට කිවුවොත් වටිනා බණක් අහන්න පිළිවන් කියල. උන් වහන්සේ සුගන්ධ කුටියට වැඩිය. තම සිතිවිල්ල ගැන සිහිපත් කළා. ඒ වෙලාවෙ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනව. ආනන්දය, දිවා තපති ආදිච්චෝ හිරු දවාලට බබළණවා. හිරු රාත්‍රියට බබළන්නෙ නැහැ “රත්තං ආභාති චන්දිමා “ පුරා හඳ රාත්‍රියට බබළනවා ඒත් සඳ දවාලට බබළන්නෙ නැහැ.”සන්නද්ධෝ ඛත්තියෝ තපති” මහරජු සන්නාහ සන්නද්ධව සිටින විට බබළණව. “ක්‍ධායි තපති බ්‍රාහ්මණෝ පව් බැහැර කළ මහ රහතන් වහන්සේ පවා බබළන්නෙ බවුන් වඩන විට යි. ඒත් ලොවුතුරා බුදුරජාණන් වහන්සේ දිවා රෑ දෙකේම හැම තැනදිම බබළනවා. පංච තේජසකින් බබළනව.

ඔබට බියක්, දුකක්, සෝකයක් , තැති ගැනීමක් ඇති විට බුදු ගුණ සිහි කරන්න. දහම් ගුණ සිහි කරන්න, සඟ ගුණ සිහි කරන්න. එවිට සියලු බිය තැති ගැනීම් නැති වෙනවා. කුමක්ද ඊට හේතුව?” වීතරාගෝ - වීතදෝසෝ - වීතමෝහෝ “ ඒ ත්‍රිවිධ රත්නය සහමුලින්ම රාගයෙන් තොරයි. වීතරාගියි සහමුලින්ම ද්වේශයෙන් තොරයි. “ වීතදෝසෝ “ සහමුලින්ම මෝහයෙන් තොරයි. වීත මෝහියි

මෙහිදී අපට පැහැදිලියි මේ මුළු තුන්ලෝකෙම බුදු ගුණයට, බුදු බලයට ඉහළ බලයක් නැහැ කියල .මේ නිසා තමා දම්සක් පැවතුම් සුතුරෙ සඳහන් වන්නෙ බුද්ධානුභාවය දේවානුභාවය ඉක්මවා ගිය බව,

පින්වත්නි, බුද්ධ තේජස ආකාර පහක්, මොනවද ඒ පංචාකාර තේජස්, ඒ තමා පුන්‍ය තේජස , ගුණ තේජස, සීල තේජස, ප්‍රඥා තේජස , ධර්ම තේජස , බුදුරජාණන් වහන්සේගේ පින් බලය මහා අසිරිමත් උන් වහන්සේ සූවිසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පින් රැස් කළා. පින් කියන්නේ යහපත් දෙයක් කරල ලබන සතුට. මහ බෝසත් කාලෙ උන් වහන්සේ විවිධ පරිත්‍යාග කරල සතුටු වුණා. අප්‍රමාණ සම්පත් දන් දුන්නා. අඹු දරුවන් දන් දුන්නා. ශරීරාංග දන් දුන්නා. ජීවිත පවා දන් දුන්නා. ඒ හැම දන් දීමක්ම කළේ බලවත් සතුටින්, ඒ දන් දීමේදි මේ මිතුරා, මේ හතුරා මේ නොනෑයා, මේ කුලවතා කියල වර්ග කළේ නැහැ. බලන්න සුමේධ තාපස කාලය ගන්න. සතර වාහල් දොරටු හැර දැම්මා කැමති කැමති දෙයක් ඕනැ කෙනකුට ගෙනියන්න කියල අණ බෙර ගැහුවා. වෙස්සන්තර ආත්ම භාවය ගන්න. මේ මහ පොළව කම්පා කර දන් දුන්නා. ඒ දන් දීම කළේ අත් හැරීම පුරුදු කරමින් එහි විපාක උන් වහන්සේට ලැබුණ.

බුදු බව ලද ආත්මෙදි දෙතිස් මහා පුරිස ලකුණු,108 ක් සිරිපා මඟුල් ලකුණු ඇතිව ඉපදුණ අතර දුෂ්කර ක්‍රියාවෙන් ඒවා මැකී යද්දි ආයෙත් ඒවා පහළවුණු හැටි පුදුමයි. ඒ විතරද බලන්න. උන් වහන්සේ පිරිණිවී දැන් වසර 2552 ක් ගතවීමට ආසන්නයි. මේ වෙනකොට ඒ ශ්‍රී සම්බුද්ධ නාමයට පූජාවෙලා තිබෙන මල් ප්‍රමාණය පමණක් කෙතරම්ද? අප්‍රමාණයි නේද? ඒ මහා කාරුණිකයන් වහන්සේට ලැබුණු සහ පිරිවර කෙතරම්ද?

ඒ පිරිවරේ හිටියෙ , දිවි තිබෙනා තුරා සිල්වත් වූ මහා සීලවන්තයො මහා පින්වන්තයො මහා යෝගීවරු මහා ප්‍රඥාවන්තයො මහා ඍද්ධිවන්තයො සහමුලින් සියලු කෙළෙස් නැසූ මහරහතන් වහන්සේලා එවැනි ගුණ නුවණින් උතුම් වූ පිරිසක් වෙන කිසිම ශාස්තෘවරයෙකුට හිටියෙ නෑ, උන් වහන්සෙගෙ මහා පින් බලය හමුවෙ, මිස දිටු බලවේග බිඳ වැටුණා.

ඒ වගෙම බුදුරජාණන් වහන්සේගෙ ගුණ තේජස අප්‍රමාණයි. පින්වත්නි, බුදු සසුනෙ ජීවය තමා මහා කරුණාව මහා ප්‍රඥාව , බුදු පියාණන් වහන්සේගෙ මහා කරුණාව අසිරිමත් වර්ගීකරණය නොකොට සියලු සත්වයන් සසර දුකින් මිදවීම මහා කරුණාව මුළු මහත් තුන්ලෝකයෙම සියලු සත්වයන්ගෙ කරුණා ගුණය එකට එකතු කළත් බුදුරජාණන් වහන්සේගෙ කරුණා ගුණයට සම කල නොහැකියි. උන් වහන්සේ බුදු බව පැතුවෙ මහ කරුණාවෙන් පාරමී ධර්ම පිරුවේ, ලොවුතුරා බුදු බව පතමින් මම ජීවිතය සසර ගැන පරම සත්‍ය ය අවබෝධ කරමි. අනුන්ටද අවබෝධ කරවමි. මමද සසර දුකින් මිදෙමි. අනුන්ද සසර දුකින් මුදවමි. මම සසර නමැති ඕඝය තරණය කරමි. අනුන්ද සසර නමැති ඕඝයෙන් එතෙර කරවමි. මේ සසර නමැති සැඩ පහර ලොව ඇති විශාලම බියයි “ බලන්න මෙවැනි සිතුම් පැතුම් ඔබටත් ඇති වෙනවද කියල.

මහා බෝසත් සිතේ පහළවුණු හැම සිතිවිල්ලෙම ගැබ් වෙලා තිබුණෙ. මගේ මේ සිතිවිල්ලෙන් සිතිවිල්ලට සියලු සත්වයෝ සියලු දුකින් මිදෙත්වා කියන මහා කරුණාවමයි. කතා කළ හැම වචනයම කතා කළේ මගේ් මේ වචනයේ බලයෙන් සියල්ලෝ දුකින් මිදෙත්වා කියන මහා කරුණාවෙන්මයි. තැබූ තැබූ සිරි පතුලෙන් පතුලට සියල්ලෝ දුකින් මිදෙත්වා කියන මහා කරුණාවමයි බුදුරජාණන් වහන්සේට තිබුණෙ. මේ එකම මහා කරුණා ගුණය ගැන වුණත් මුළු ජීවිතයේදීම කතා කරල අවසන් කළ නොහැකියි.

ඊළඟට සීල තේජස , බුදුරජාණන් වහන්සේ ගෙ සීලය අසිරිමත් සීලය කියන්නෙ කය වචන දෙකේ සංවරය

ඊළගට ප්‍රඥා තේජස බුදුරදුන්ගේ ප්‍රඥාව උන් වහන්සේගෙ ප්‍රඥා තේජස ඇරඹෙන්නෙ, සුතමය ඤාණයෙන් “සෝතාවධානේ පඤ්ඤා සුතමයේ ඤාණං “ ධර්මයට කණ් දෙකින් අවධානය යොමු කළාම ශ්‍රැත ඤාණය ලැබෙනව, උගතාට නුවණ තිබෙනවන. සීලයට යොමු වුණා, සීලයක පිහිටල යහපත් අරමුණක සිත පිහිටුවා ගත්තා. ඒ සමාධිය ඔස්සේ සංස්කාර ධර්ම යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට සිහි නුවණ යොමු කළා. අනිත්‍ය , දුක්ඛ, අනාත්ම යන තිලකුණු මෙනෙහි කිරීමෙන් විපස්සනා ඤාණය ලැබුවා. සසර දුකෙහි කළකිරුණා , ඇස,කණ , නාසය, දිව , කය , මනස පාලනය කර ගත්තා. කෙලෙස් වගුරුවන අපිරිසුදු සිතිවිලි සහමුලින් නැති කළා. අරිහත් මඟ ඵල නැණ ලැබුවේ එහෙමයි. මුළු මහත් බුදු දහම තුල තිබෙන්නෙ, මහ කරුණාව, මහා ප්‍රඥාව , බුදුරදුන්ගේ ප්‍රඥා තේජස අසිරිමත්

ඊළඟට ධර්ම තේජස , පින්වත්නි, බුදුරදුන් දේශනා කළ ධර්මය , මුලත් පිරිසුදුයි, මැදත් පිරිසුදුයි. අගත් පරිසුදුයි. ඒ ධර්මය යහපත් දැකීමෙන්, යහපත් ප්‍රතිඵලවලින් යුක්තයි. කල් නොයවාම විපාක දෙයි. ඒ ධර්මයේ තර්ක විතර්ක වලින්, වාද විවාද වලින් කිසිවෙකුට නොසිඳීය හැකි , නොබිඳිය හැකි පරම සත්‍යවාදී ධර්මයක් . සිහි නුවණ ඇති අය විසින් අවබෝධ කළ යුතු ධර්මයක්, බුදුරදුන් වදාළ ධර්මය.

මෙම පංච තේජස මෙවන් දේශනාවකින් විස්තර කොට අවසන් කළ නොහැකියි. ඔබේ ජීවිතයද උසස් බබළණ ජීවිතයක් කර ගැනීමට නම් පින ගුණ සීල ප්‍රඥා ධර්ම ඔබේ සිත් කුටියට වැඩම කර ගන්න. එවිට ඔබේ දිවි මඟ සුවඳවත් වේවි. සියලු සසර දුකින් අත මිදීමට ඔබත් බුදු මඟ යන්න ඔබට සම්මා සම්බුදු සරණයි!

දුරුතු අමාවක පෝය


දුරුතු අමාවක පෝය
ජනවාරි 25 වනදා ඉරිදා
පූර්ව භාග 11.09 ට ලබයි. 26 වන දා සඳුදා අපරභාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි
25 වනදා ඉරිදා ය .

මීළඟ පෝය පෙබරවාරි
02 වනදා සඳුදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]