සම්බුද්ධත්ව ජයන්තිය
ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනමන්නේ යැයි ද ,
බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම වියයුත්තේ
යැයි ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන නියමය හුදු දේශපාලන හෝ
ආගමික අර්ථයෙන් විග්‍රහ කළ යුතු කරුණක් නො වේ. සිදුහත් කුමරු
බුද්ධත්වයට පත්වීම මානව ශිෂ්ටාචාරයෙන් අපට හමුවන විශිෂ්ටතම
සිදුවීම ලෙස සලකා ඒ පිළිබඳ ව අවධානය යොමු කළ යුතු බව අප ගේ
විශ්වාසය යි. මිනිස් බුද්ධියේ අග්‍රඵලය වන බුද්ධත්වය මානව
ශිෂ්ටාචාරයේ දැවැන්ත ඉදිරි පිම්මක් ලෙස අර්ථ දැක්වීම ඉතා
සාධාරණ ය.
මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් බුදුන් වහන්සේ පිළිබඳ ව තබා ඇති
සටහනක් මෙහි උපුටා දැක්වීම අප පාඨකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත්
වනු ඇත.
‘ක්‍රි. පූ. 6 වන ශත වර්ෂයේ උතුරු දඹදිව ජීවමාන වූ බුදුන්
වහන්සේ ගෝත්‍රයෙන් ගෞතම ද නමින් සිද්ධාර්ථ ද වූ හ. උන්වහන්සේ
ගේ පියා (මෙ කල නේපාලයට අයත්) ශාක්‍ය ජනපදයේ සුද්ධෝදන රජතුමා
ය. මව මහාමායා බිසව ය. එ කල පැවැති සිරිත අනුව සොළොස් වියේ දී
යසෝධරා නමැති රූමත් ගුණවත් කුමරිය සමඟ විවාහිත වූ සිද්ධාර්ථ
කුමාරයාණෝ අපමණ යස ඉසුරු මැද තම ප්‍රාසාදයෙහි වාසය කළ හ. එහෙත්
ජීවිතයේ තත්ත්වය ද මිනිසා විඳි දුක ද දුටු එතුමෝ දුකින් මිදීමේ
මඟක් සොයා යන්නට සිතා ගත් හ. විසි නව හැවිරිදි බෝසතාණන් තම
පුත් රාහුල කුමරුන් උපන් දා රැයෙහි රජ සැප හැර දමා, අබිනික්මන්
කොට ‘කිං කුසල ගවේසි’ තාපසයකු වූයේ එහෙයිනි.”
‘ඉක්බිති එතුමෝ සුප්‍රකට ආචාර්යවරුන් හමු වී, ඔවුන් ගේ ධර්ම
මාර්ගයන් පිළිපදිමින්, දුෂ්කර ව්‍රතවල යෙදෙමින්, සාවුරුද්දක්
මුළුල්ලේ ගංගා නිම්නයෙහි සැරිසැරූහ. එහෙත් එයින් තෘප්තියට නො
පැමිණි එතුමෝ ඒ සියලු සම්ප්‍රදායයන් හැර දමා, නිදහස් මඟක
පිළිපන්හ. මෙපරිද්දෙන් (මෙකල බිහාරයේ ගයා නගරය අසල) නේරංජරා
නදී තීරයෙහි පිහිටි බුද්ධගයාවේ බෝරුක මුල දී තිස්පස් හැවිරිදි
සිද්ධාර්ථ කුමාරයාණෝ සත්‍යාවබෝධය ලබා ‘බුද්ධ’ යන නමින් ප්‍රකට
වූ හ.’
බෞද්ධ චින්තනය ක්‍රමය කුමක්දැයි වල්පොළ රාහුල හිමියන් සඳහන්
කැර ඇත්තේ මෙ සේ ය.
‘ආගම් පිළිබඳ ව සාමාන්‍යයෙන් පිළිගත් අදහසට අනුව ආගම් කර්තෘ
කෙනෙකැයි බුදුන් වහන්සේට කිය හැකි ද යනු සැක සහිත ය. එහෙත්
උන්වහන්සේ ඒ ගණයෙහි ලා සලකා බැලුවහොත්, තමන් මිනිසකු මිස අන්
කිසිවකු නො වන බව පළ කළ එක ම ආගම් කර්තෘවරයා උන්වහන්සේ බව
කියයුතු වෙයි. සෙසු ශාස්තෘවරයෝ තුමූ ඊශ්වරයා හෙවත් දෙවියන්
වහන්සේ ම ය, නැතහොත් ඔහුගේ ම අවතාරය, එ සේ ත් නැතිනම් ඔහු
විසින් මෙහෙයවනු ලැබුවෝ යැයි කියා ගත් හ. බුදුන් වහන්සේ තුමූ
කිසි දෙවියකු විසින් හෝ අන් කිසි බාහිර බලවේගයක් විසින්
මෙහෙයවනු ලැබූ කෙනෙකැයි කියා නො ගත් හ. උන්වහන්සේ වදාළේ තමන්
මනුෂ්‍ය බුද්ධියෙන් ම බුද්ධත්වය ලබා ගත් බව ය. බුද්ධත්වය ලැබ
ගත හැක්කේ මනුෂ්‍යයකු විසින් පමණ ය.”
“බුදුවරයකු වීමේ ශක්තිය සෑම මනුෂ්‍යයකු සතුව ඇත්තේ ය. අවශ්‍ය
වනුයේ වීර්යය, අධිෂ්ඨානය, ශ්‍රද්ධාව, ප්‍රඥාව ආදී ගුණධර්මයි.
බුදුන් වහන්සේ මනුෂ්‍යයකු වුව ද ආශ්චර්ය මනුෂ්‍යයකු වූ හ.
උන්වහන්සේ ගේ් ‘මනුෂ්‍යත්වය’ කොතරම් පරිපූර්ණ වී ද යත් පසු
කාලයේ දී ප්‍රචලිත බුද්ධාගමයෙහි උන්වහන්සේ ‘අති මානුෂ’ ලෙස
සලකනු ලැබූ හ.”
ගෞතම බුදුරදුන් ගේ් බුද්ධත්වය බෞද්ධයන්ට පමණක් නොව සමස්ත මානව
ශිෂ්ටාචාරයට ම කොතරම් වැදගත් දැයි මේ කරුණු මගින් පැහැදිලි
කැරේ. විසිවන සියවසෙහි බිහි වූ විශිෂ්ටතම බුද්ධිමතා ලෙස නම්කළ
සාපේක්ෂතාවාදයේ පියා වන ඇල්බට් අයින්ස්ටන් ගේ් බුද්ධිඵලය ඉතා
ඉහළින් අගය කැරෙන ලෝකයකට බුද්ධත්වය කොතරම් වැදගත් දැයි
අමුතුවෙන් කිව යුතු නැත. බුදු රදුන් එදා සිදුකළ සමාජ විප්ලවය,
උන්වහන්සේ ගේ් අනාගත දැක්ම හා මානව සමාජයට අත්කැර දුන්
විමුක්තිය අනුව සලකන කල බුද්ධත්වය අසමසම මානව ජයග්‍රහණයක් බව
පැහැදිලි ය.
මේ අනුව, 2011 වසරේ වෙසක් පොහෝ දිනට යෙදී ඇති ගෞතම බුදුරදුන්
ගේ 2600 වන සම්බුද්ධත්ව ජයන්ති සැමරුම අතිශයින් වැදගත්
අවස්ථාවකි. එය හුදු සැමරුමකට සීමා නො කොට සම්බුද්ධ ශාසනයේ
අනාගත ආරක්ෂාව, පෝෂණය හා චිරස්ථිතිය උදෙසාත්, ශ්‍රී ලාංකේය
බෞද්ධ සමාජයේ සදාචාරාත්මක ප්‍රතිසංවර්ධනයක් ඇතිකිරීම, බෞද්ධ
සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කිරීම, මානව සංවර්ධන
ක්‍රියාපද්ධතිය ලොව ප්‍රචලිත කිරීම යන කරුණු කෙරෙහි ද අවධානය
යොමු කැර තිබේ.
බෞද්ධ පිළිවෙත් සපුරා 2600 වන සම්බුද්ධත්ව ජයන්තියට පෙළ ගැසෙන
ලෙස අපි සියලු බෞද්ධයන් ගෙන් අයැද සිටිමු. |