ආචරියවාදය බිහිවූයේ කෙසේ ද?
ඌරුගමුවේ අස්සජී හිමි
ද්විතීය සංගීතියෙන් සිදුවුයේ අපේක්ෂිත පරමාර්ථයට වඩා වෙනස්
ප්‍රතිඵලයකි. එදා පැන නැගී තිබුණු ශාසනිත ප්‍රශ්න තුනෙන් දෙකක්ම
නිරාකරණය නොකිරීම නිසාත්, අධර්මවාදීන් මැඩලීම සඳහා සුදුසු ප්‍රතිකර්ම
නොයෙදීම නිසාත් මෙතෙක් කල් සිදුනොවූ ආරවුලක් මෙයින් පැන නැගිණි. එදා
බුද්ධ
පරිනිර්වාණයෙන් වසර සියයක් ගතවත්ම එතෙක් එක් භික්ෂූ පිරිසක්ව සිටි
සංඝයා වහන්සේ ථෙරවාද - මහා සාංඝික යන නමින් දෙකොටසකට බෙදී ගියහ. භික්ෂූ
ශාසනය නිකාය වශයෙන් වෙන් වී ගියේ මෙතැන් සිට ය.
බුදුසමයෙහි ආචාර්යවාද බිහිවීමට බලපෑ මූලික සිද්ධාන්ත අනුක්‍රමයෙන්
සංවර්ධනය වී විකාශයට පත්වීමට ශතවර්ෂ ගණනාවක් ගතවිය. පශ්චාත් කාලීන ධර්ම
සංඝායනාවන්ගෙන්ද ආචාර්යවාද බිහිවීමෙහිලා යම් තරමක අනුබලයක් ලැබුණි.
බෞද්ධ සංස්කෘතියේ විකාශයටත්, ශාසනික විප්ලවයටත්, ශාසන දියුණුවටත් ධර්ම
සංඝායනාවන් උපස්ථම්භක වී යැයි, කිවහොත් එය අතිශයෝක්තියක් නො වේ. එහෙත්
සංගායනා නිසා ආචාර්යවාද බිහිවීම වැනි සිද්ධීන් ද උදා නොවූයේ යැයි, කිව
නොහැකි ය.
බුද්ධ පරිනිර්වාණයෙන් නොබෝ කලකට පසු ‘පංචසතිකා විනය සංගීතිය’ සිදු
කෙරිණි. එතැන් පටන් බු.ව. 2500දී බුරුමයේ සිදුකළ ඡට්ඨ මහා සංගීතිය
දක්වා එදාමෙදා තුර ථෙරවාදීන් මෙන් ම මහාසාංඝිකාදී අන්‍ය නිකායිකයින්
විසින්ද ධර්ම සංගීති බොහෝ ගණනක් සිදුකරන ලද බව ථෙරවාද ශාසන
ඉතිහාසයෙනුත් මහායාන බෞද්ධ සාහිත්‍යයෙනුත්, ප්‍රකට වෙයි. එසේ වුවත්
ආචාර්යවාද බිහිවීමට ධර්ම සංගායනාවලින් ලැබුණු අනුබලය ප්‍රකට කිරීමේදී
ඓතිහාසික වැදගත්කමකින් සමන්විත වූ මුල් ධර්ම සංගායනාත්‍රය පිළිබඳව
විචාරාත්මක අධ්‍යයනයක් සිදු කිරීම ප්‍රමාණවත් ය.
පළමු ධර්ම සංගීතිය පැවැත්වීමේදී එහි මූලිකත්වය ගෙන ක්‍රියාකළේ මහා
කාශ්‍යප මහරහතන් වහන්සේ ය. සම්පූර්ණ සංගීතිය සහභාගිත්වය යටතේ පැවැති
බව සෑම බෞද්ධ සම්ප්‍රදායක්ම පිළිගෙන තිබෙයි. උන්වහන්සේ නියෝජනය කළේ
‘ආර්ය සංඝ’ යන මුල් පරපුරයි. බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව
ආරම්භ කළ මෙම සංගීතිය අජාසත් මහරජතුමාගේ ආරක්ෂාව ලැබෙන හෙයින්
රජගහනුවර සප්තපර්ණී ගුහා ද්වාරයෙහි සිදු කිරීමට මහා කාශ්‍යප
මහරහතන්වහන්සේ තීරණය කළ හ. මෙම සංගීතිය රජගහනුවර ම පැවැත්වීමට හේතු වූ
කරුණු අතර රාජකීය බලය හා රැකවරණය ලබාගැනීම ද එක් ප්‍රධාන හේතුවක් වූ බව
ඒ අනුව පෙනේ. මේ කාලය වනවිට රජගහ නුවර පැතිරී තිබුණේ අජාසත් මහරජුගේ
බලය නිසා රාජකීය ආරක්ෂාව ඇතිව මෙම සංගීතිය පැවැත්වීමට රජගහනුවර හැර
අන්තැනක් නො වීය.
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රථම ධර්ම සංගීතිය පැවැත්වීමෙන්
බලාපොරොත්තු වූ පරමාර්ථයන් කිහිපයක් විය.
1. ධර්ම විනයෙහි ආරක්ෂාව
2. භික්ෂු සංඝයාගේ සමගිය
3. සුභද්‍ර වැනි අහිතකර විසම අදහස් දරන්නන් මගින් සසුනට සිදුවිය හැකි
උපද්‍රවයන් ගෙන් සසුන ආරක්ෂා කර ගැනීම
මෙකී පරමාර්ථයන්ගෙන් ඇතැම් ඒවා බලාපොරොත්තු වූ අයුරින් ම ඉටු වූ බව
කිවහැකි වුවත්, භික්ෂු සාමගි‍්‍රය නම් සාර්ථක අන්දමින් ඉටු වී යැයි,
කීමට තරම් ප්‍රබල සාක්ෂි ත්‍රිපිටකයෙන් හමු නොවෙයි. එයට එක් නිදර්ශනයක්
ලෙස පුරාණ තෙරණුවන් පිළිබඳ සිද්ධිය පෙන්වාදිය හැකි ය.
සංගීතිය සිදුවන සමය තුළ පුරාණ තෙරුන් වහන්සේ තවත් අනුගාමික භික්ෂූන්
පන්සියයක් ද සමග දක්ඛිණාගිරියෙහි වාසය කළහ. උන්වහන්සේ ශාසන භාරධාරී
මහතෙරනමකි. ධර්ම සංගායනාව අවසානයෙහි අනුගාමික භික්ෂූ පිරිස ද සමග පුරාණ
තෙරුණුවෝ රජගහනුවර වේළුවනාරාමයට පැමිණියහ. එහිදී පුරාණ තෙරුණ් අමතා
සංගීතිකාරක මහරහතන් වහන්සේලා මෙසේ සඳහන් කළ හ.
‘ආයුෂ්මත් පුරාණයෙනි, ස්ථවිරවරුන් විසින් ධර්ම විනය සංගායනා කරන ලද හ.
එම සංගායනාව ඔබ වහන්සේ අනුගමනය කරන්න’.
එය ඇසූ පුරාණ තෙරුණුවන් ගේ පිළිතුර මෙසේ විය.
‘ආයුෂ්මතුනි, ස්ථවිරවරුන් විසින් ධර්ම විනය මනා ලෙස සංගායනා කරන ලද හ.
එසේ වුණත් මම බුදුන් හමුවෙහි ඇසු දේම පිළිගනිමි. එයම ධාරණය කරමි.
චුල්ලවග්ග පාලියේ පංචසතිකක්ඛන්ධකයෙහි එන මෙම අදහස ප්‍රථම සංගීතිය
සියලුම භික්ෂූන් අවිවාදයෙන් නොපිළිගත් බවට ඉඟියෙකි. පුරාණ තෙරුන් වැනි
මහා පිරිස් ඇති ප්‍රබල බලවතෙකු සංගීතිය නොපිළිගෙන ක්‍රියාකළ බව ඉහත
සිද්ධියෙන් මනාව පැහැදිලි ය. එබැවින් ප්‍රථම සංගීතියෙන් අපේක්ෂිත වූ
සංඝ සාමගි‍්‍රය ඉටුවූයේ යැයි සැලකිය නොහැකි ය. එය ආචාර්යවාද පරම්පරාවෙක
වර්ධනය කෙරෙහි හේතුවක් විය.
තව ද මෙම සංගීතිය භික්ෂූන් ගේ ඒකමතික තීරණයට ලක් නොවූවක් බව ගෙනහැර
පෑමට ඇතැම් විචාරකයෝ ‘ගවම්පති’ තෙරුන් පිළිබඳ කථාවක් ද ඉදිරිපත් කරති.
එදා භික්ෂූ සමූහයා අතර විසූ මහරහතන් වහන්සේ අතුරෙන් ගවම්පති තෙරුණුවෝ
ප්‍රබල උතුමෙක් වූ හ. එහෙත් උන් වහන්සේ ද සංගායනාවට සහභාගි නො වූ හ.
සංගීතියෙන් පසු මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ගවම්පති තෙරණුවන් වෙතට පැමිණ
ධර්ම සංගීතිය පිළිගත යුතු යැයි, ඉල්ලා සිටියහ.
එහෙත් උන්වහන්සේ කිසිවක් කථා නොකොට තුෂ්ණීම්භූත වූ හ. මේ අයුරින්
ගවම්පති තෙරුන් ද එය නො පිළිගත්තේ නම් එමගින් ද ප්‍රථම සංගීතියෙන්
ආචාර්යවාද බිහිවීමෙහිලා ලැබුණු අනුබලය ප්‍රකට කරවයි.
ප්‍රථම සංගීති අවස්ථාවෙහි ඒ ඒ දහම් කොටස් වෙන වෙනම ආචාර්ය පරම්පරාවන්ට
පවරන ලද බව දැකිය හැකි ය. එ අනුව,
1. විනය පිටකය (උපාලි මාහිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පරපුර)
2. දීඝ නිකාය (ආනන්ද මාහිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පරපුර
3. මජ්ඣිම නිකාය ( සැරියුත් මාහිමියන් ප්‍රමුඛ පරපුර
4. සංයුක්ත නිකාය (මහා කාශ්‍යප මාහිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පරපුර)
5. අංගුත්තර නිකාය (අනුරුද්ධ මාහිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පරපුර)
6. ඛුද්දක නිකාය (මෙය යම් ආචාර්ය පරපුරකට භාර දී නොමැත. පොදුවේ සියලුම
භික්ෂූන් වෙත මෙය පැවරිණි)
මෙසේ ඒ ඒ ධර්ම කොට්ඨාසයන් ආරක්ෂා කිරීම වෙන වෙනම ආචාර්ය පරම්පරාවලට
භාරකිරීම නිසා ධර්මය නොනැසී ආරක්ෂා වූයේ යැයි කිවහැකි වුවත්, එමගින්ද
අපේක්ෂිත පරමාර්ථයට වඩා වෙනස් ප්‍රතිඵල ද ලැබුණු බව කිව හැකි ය.
බුද්ධඝෝෂ අටුවාචාරීන් ගේ නිගමනයන් අනුව සලකතොත් යථෝක්ත ආචාර්ය
පරම්පරාවන් පසුකාලයේ දී අටළොස් භාණකයන් බවට පත්වී ධර්මය පිළිබඳ විවිධ
අදහස් පළ කිරීම නිසා ධර්ම විනය පිළිබඳ විවිධ නිගමනයන් ඇති වන්නට විය.
බුද්ධඝෝෂ අටුවාවල පෙනෙන
දීඝ භාණකයෝ මෙසේ කියති, මජ්ඣිම භාණකයෝ මෙසේ කියති....’ යනාදී
යෙදුම්වලින් මෙම කාරණය මනාව පැහැදිලි වෙයි. මෙසේ අනුක්‍රමයෙන්
ආචාර්යවාද වර්ධනය වීම නිසා ප්‍රථම සංගීතියෙන් ඒ කෙරෙහි ලැබුණු අනුබලය
කවරාකාර වූවක්ද යන්න වටහා ගැන්ම දුෂ්කර නොවෙයි.
තව ද ප්‍රථම සංගීතියට සහභාගි කරවාගත්තේ භික්ෂූන් වහන්සේ පන්සිය නමකි.
එහෙත් ඒ හා සමාන සුදුසුකම්වලින් යුත් (රහත් බව) තවත් විශාල භික්ෂූ
පිරිසකට ඊට සහභාගි වීමට අවස්ථාවක් නොලැබුණි. මෙසේ භික්ෂූන්වහන්සේ
කොටසක් කෙරෙහි පමණක් විශේෂත්වයක් දැක්වීම ඇතැම්විට භික්ෂුන් අතර
මතභේදයකට හේතුවීමට පිළිවන. එයද ආචාර්යවාද බිහිවීමෙහිලා ප්‍රථම
සංගීතියෙන් ලත් මූලික අනුබලයක් ලෙස පෙන්වාදිය හැකි ය.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු භික්ෂූ පිරිස ඒ ඒ ආචාර්යවාදවලට අනුගතවීමත්,
අජාසත් රජුගෙන් පසු ඉන්දියාව දේශපාලන අතින් කැඩීබිඳී යෑමත් නිසා
කාලාශෝක රාජ්‍ය සමය වනතුරු ශාසන ඉතිහාසය පිළිබඳ සත්‍ය තොරතුරු දැන
ගැන්මට ප්‍රමාණවත් සාධක අප හමුවේ නැත. එබැවින් ප්‍රථම සංගීතියෙන් පසුව
වසර සියයක් ගතවනතුරුම ශාසන ඉතිහාසය නිහඬය. මේ කාලය තුළ ශාසනික තොරතුරු
ගැන ලියැවුණු වංශ ග්‍රන්ථවලින් ආචාර්ය පරම්පරා පිළිබඳ විස්තර විනා
බෞද්ධ සංස්කෘතික තොරතුරු දත නොහැකි ය. එහෙත් බුද්ධ පරිනිර්වාණයෙන් වසර
සියය ඉක්මෙත්ම ධර්ම සංගීතියකින් ශාසන ශෝධනයක් කිරීමට තරම් ශාසනික
අර්බුදයක් පැන නැගිණි.
ප්‍රථම සංගීතිය පවත්වා වසර සියයක් ඉකුත් වූ පසු කාලාශෝක රජදවස විශාලා
මහනුවර දියුණුවට පත්ව තිබුණි. ගංගා නදියෙන් උතුරු පෙදෙසේ විශාලාව
පිහිටා ඇත. දකුණු පෙදෙසේ සිටි භික්ෂූ පිරිස මේ වනවිට වෙනම භික්ෂු
මණ්ඩලයක් ලෙසද සකස් වී සිටියහ. ද්විතීය සංගීතියේ නිදානය වශයෙන්
ථෙරවාදීන් ගේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ මෙම විශාලා මහනුවර මහාවන
විහාරයෙහි විසූ වජ්ජිපුත්තක භික්ෂූන් විසින් උපදවනු ලැබූ විනය විරෝධී
දස වස්තුවකි. ‘සංඝයා කැමැති නම් ඛුද්දානුඛුද්දක ශික්ෂාපද වෙනස් කරගත
හැකි යැයි බුදුරදුන් වදාළ නියමය ද බලවත් අවියක් කරගත් වජ්ජිපුත්තක
භික්ෂූහු පහත සඳහන් කරුණු දහය ඉදිරිපත් කළ හ.
1. අඟක බහාගෙන ලුණු පරිහරණය කිරීම කැප ය
2. ඉර අවරට ගොස් ඡායාව දෑඟුලක් වනතෙක් සෙවණ වැඩෙන තුරු වැළඳීම කැප ය.
3. භෝජන පවාරණය සිදුකළ භික්ෂුවක විසින් කැප නො කළ භෝජනය වෙන ගමකදී
වැළඳීම කැප ය.
4. මහා සීමාවක් තුළ වෙන් වෙන්ව පිහිටි ආවාසවල වෙන වෙනම පොහොය කිරීම
කැපය.
5. එක් සීමාවක් තුළ වසන භික්ෂූන් ගේ ඡන්දය නොගෙන පොහෝ පවුරුණු කොට
පසුව ඡන්දය ගැනීම කැප ය.
6. ආචාර්ය උපාධ්‍යායාදීන් කළ දෑ කැප ය.
7. කිරි බැවින් තොර, දී කිරිබවට නො පැමිණි කිරි වැළදීම කැප ය.
8. නොපැසුණු නොමුහු කළ රා බීම කැප ය.
9. දහවලු නැතිව කළ නිසීදන පරිහරණය කැප ය.
10. රන්, රිදී, මසු , කහවණු පිළිගැන්ම කැප ය.
ද්විතීය සංගායනාවට හේතු වූ දස වස්තුව පිළිබඳ විනිශ්චය ඉතා බැරෑරුම්
එකක් විය. මෙම දස වස්තුව පිළිබඳ විවිධ අදහස් ඒ ඒ නිකායිකයන් විසින්
ගෙනහැර දක්වා තිබීම එයට හේතුවයි. ඒ සියලු තැන්හිම එහි අන්‍යෝන්‍ය
සම්බන්ධතාවක් ඇති බව පෙනෙන්නට තිබෙන හෙයින් ධර්ම විනය විරෝධී කරුණු 10
ක් නිරාකරණය කිරීම සඳහා මෙම සංගීතිය පැවැත්වූවාට සැකයක් නැත. එසේ වුවද
මෙම සංගීතියට අතිරේක වශයෙන් හේතු වූ තවත් කරුණු ද පැවතිණි. චුල්ලවග්ග
පාලියෙහි එන පහත වැකිය එයට සාක්ෂි දරයි.
‘බුදුවරු පෙරදිග ජනපදයන් හි උපදිති. ප්‍රාචීන දේශවාසී භික්ෂූහු
ධර්මවාදීහු ය. පාවෙය්‍යක භික්ෂූහු අධර්මවාදීහු ය’ යන මෙම ප්‍රකාශය
අනුවත් තවත් කරුණු 02 ක් ඉදිරිපත් කළ හැකි ය. එසේ ගතහොත් මෙම සංගීතියට
හේතු වූ කරුණු 03 කි. එනම්
1. දස වස්තුක විනයානුකූ®ලදැයි නිරාකරණය කිරීම
2. බුදුවරු කවර ජනපදවල උපදිත්දැයි නිරාකරණය කිරීම
3. ප්‍රාචීනක - පාවෙය්‍යක භික්ෂූන් ගෙන් කවරහු ධර්මවාදීහු වෙත් දැයි,
නිරාකරණය කිරීම.
එසේ වුවද චුල්ලවග්ග පාලිය අනුව පෙනෙන්නේ මෙම සංගීති කාරකයින් විසින්
නිරාකරණය කරන ලද්දේ යථෝක්ත ප්‍රශ්න තුනෙන් දස වස්තුක පිළිබඳ වූ
ප්‍රශ්නය පමණක් වන බව යි.
දස වස්තුව ඉදිරිපත් කළ වජ්ජීපුත්තක භික්ෂූන් ප්‍රමුඛ අධර්මාවදීන්
බැහැරකොට ශාසනය පිරිසුදු කිරීමේ අදහසින් කළ ද්විතීය සංගීතියෙන්
සිදුවුයේ අපේක්ෂිත පරමාර්ථයට වඩා වෙනස් ප්‍රතිඵලයකි. එදා පැන නැගී
තිබුණු ශාසනිත ප්‍රශ්න තුනෙන් දෙකක්ම නිරාකරණය නොකිරීම නිසාත්,
අධර්මවාදීන් මැඩලීම සඳහා සුදුසු ප්‍රතිකර්ම නොයෙදීම නිසාත් මෙතෙක් කල්
සිදුනොවූ ආරවුලක් මෙයින් පැනනැගිණි. එනම්, සංගායනාවෙන් පසු දස වස්තුව
පිළිගත් දස දහසක් පමණ වූ භික්ෂූන් අධර්මවාදීන් යැයි, නිගමනය කොට ඔවුන්
සංඝයා ගෙන් බැහැර කිරීමයි. පසුව කාලාශෝක රජුගෙන් උපකාරයක් නොලැබෙන බව
දත් ඔවුහු වේසාලියෙන් කෝසම්බියට ගොස් එහි ඝෝෂිතාරාමයේදී ප්‍රදේශාධිපති
රජකු ගේ සහාය ලබාගෙන වෙනම සංඝායනාවක් පවත්වා ‘මහා සාංඝික’ නමින්
කොටසක් පිහිටුවා ගත්හ. එදා බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගතවත්ම
එතෙක් එක් භික්ෂූ පිරිසක්ව සිටි සංඝයා වහන්සේ ථෙරවාද - මහා සාංඝික යන
නමින් දෙකොටසකට බෙදී ගියහ. භික්ෂූ ශාසනය නිකාය වශයෙන් වෙන් වී ගියේ
මෙතැන් සිට ය. ‘මහා සංගීතිය’ හා ‘ආචරියවාද’ යන නම්වලින් හැඳින්වෙන
වජ්ජි භික්ෂූන් ගේ සංගීතිය ගැන පැහැදිලි ඓතිහාසික තොරතුරු බෞද්ධ
සාහිත්‍යයෙන් ලබාගැනීම අපහසුය. එහෙත් දීපවංසයෙහි 03 වැනි පරිච්ඡේදයේ
මෙසේ සඳහන් වෙයි.
‘ඒ භික්ෂූන් සාසනය විලෝම කළහ. මූල සංග්‍රහය බිඳ අනික් සංග්‍රහයක් කළහ.
සූත්‍රයන් පෙරලූ හ. නිකාය ග්‍රන්ථ, පංචකයෙහි අර්ථ බින්දහ. එක්තැනෙක
දෙසූ ධර්මය වෙන තැනෙක තැබූ හ. ව්‍යඤ්ජනච්ඡායාව අනුව අර්ථය නැසූහ.
පරිවාර - අර්ථෝද්වාර අභිධර්ම ෂට් ප්‍රකරණ - පටිසම්භිදා, නිර්දේශපාලි සහ
සමහර ජාතක ද ඉවත් කළ හ. ඒ වෙනුවෙන් වෙනත් දේ එකතු කළ හ. එසේම සූත්‍රයන්
ගේ් නාම ලක්ෂණාදිය ද වෙනස් කළ හ. මෙම ප්‍රකාශය සර්ව සම්පූර්ණ යැයි කිව
නොහැකි වුවත් ත්‍රිපිටකයේ යම් යම් වෙනස්කම් දසවස්තුවාදීන් ගේ
සංගායනාවෙන් සිදු වූ බව පිළිගත හැකි ය. මහා සාංගික නිකාය ඇතිවීමෙන්
පසුව මූලික කොටස ‘ථෙරවාද’ නාමයෙන් ප්‍රකට විය.
ශත වර්ෂයක් ඇතුළත ථෙරවාද මහා සාංඝික දෙපක්ෂයෙන් ප්‍රභවය වූ ආචාර්යවාද
සොළසක් විය. බුද්ධ පරිනිර්වාණයෙන් ප්‍රථම ශත වර්ෂයේ පැවැතියේ එකම
ථෙරවාදය පමණකි. අන්‍ය වූ ආචාර්යවාදයෝ එයින් පසුව පහළ වූහ. දෙවැනි සියවස
තුළ දී හටගත් ආචාර්යවාදයෝ දාහතක් වෙති.
කාලාශෝක , ධර්මාශෝක දෙ රජුන් අතර වූ සියක් අවුරුදු කාල පරිච්ඡේදය තුළ
බෞද්ධ භික්ෂූන් ආචාර්යවාද හෙවත් නිකාය සම්ප්‍රදාය වශයෙන් බෙදීගිය අන්දම
නිකාය සංග්‍රහයෙහි මෙසේ දැක්වෙයි. ‘එතැන් පටන් ක්‍රමයෙන් අවුරුදු
සියයක් ඇතුළත මහා සංඝිකය, ගෝකුලිකය, ඒකබ්බෝහාරිකය, ප්‍රඥාප්තිවාදීය,
බාහුලිකය, ;;චත්‍යවාදීය, මහිංසාසකය, වජ්ජිපුත්තකය, ධර්මෝත්තරිය,
භද්‍රයානිකය, ඡන්නාගරිකය, සම්මිතීයය, සර්වථවාදීය, ධර්ම ගුප්තිකය,
කස්සපීය, සංකප්පිය, සූත්‍රවාදී යයි කියා සතළොස් වූ හ.’ මෙසේ දෙවැනි
සියවස තුළ හටගත් ආචාර්යවාදයන් ගේ සංඛ්‍යාව ථෙරවාදයක් සමග අටළොසකි. මින්
එකොළසක් ථෙරවාදයෙන් ද ඉතිරි සත මහා සංඝිකයන් ගෙන් ද, බිඳී ගියේ ය.
ක්‍රි.ව. 7 වන සියවසේ දී ඉන්දියාවට පැමිණි ඉට්සිං නමැති චීන යාත්‍රිකයා
පවසන අන්දමට සර්වාස්තිවාදී නිකාය ඉන්දියාවේ උතුරු දිග පළාත්වල ද,
සම්මිතීය නිකාය වයඹ දිග පළාත්වල ද, ථෙරවාදය දකුණු දිග ද, පැතිරී ගියබව
පෙනේ.
ක්‍රි.ව. 7 වන සියවස වනවිට මෙම ආචාර්යවාද අටළොසින් ශේෂවූයේ, කිහිපයක්
පමණි. එයිනුදු ථෙරවාදි, මහා සංඝික හා සර්වාස්තිවාදීන් ගේ මූලස්ථානය
මථුරාව විය. ඔවුහු මථුරාවේ සිට කාශ්මීරය දක්වා පැතිර ගියහ. මහා
සංඝිකයන් ගේ මූලස්ථානය දකුණු ඉන්දියාව විය. ථෙරවාදීහු මගධය මූලස්ථානය
කොටගෙන උජ්ජයිනී කෝසම්බිය දක්වා ව්‍යාප්ත වූ හ. (මිහිඳු මහරහතන් වහන්සේ
විසින් ලංකාවට ගෙනඑන ලද්දේ උජ්ජයිනියේ පැවැති ථෙරවාදී බුදු සමය යි)
කෙසේ වුවත් දෙ වැනි සංගායනාව නිසා ශික්ෂාකාමී විනය ගරුක භික්ෂු
සංවිධානයක් ඇතිවූහ. බුද්ධශ්‍රාවක භික්ෂූන් අතර මතභේදයන් හට ගැනීමෙන්
සංගීතියෙන් අපේක්ෂිත පරමාර්ථයට පටහැනිව ආචාර්යවාද බහුල ලෙස
ව්‍යාප්තවීමේ ප්‍රතිවිපාක අත්විණැ යි, කිව හැකි ය.
දෙවැනි ධර්ම සංගීතියෙන් පසු ධර්මාශෝක රාජ්‍ය සමය වනතුරු ථෙරවාදීන්
පිළිබඳ පැහැදිලි තොරතුරක් සඳහන් නො වේ. ඇතැම් විට මේ කාලය තුළ
ථෙරවාදීන් ගේ් බලය හීන වී යන්නට ඇතැ යි, අනුමාන කළ හැකිය. ‘සාහස්සිකා
සංගීතිය’ නමින් ප්‍රකට තෘතීය සංගීතිය පැවැත්වූයේ, ශික්ෂාකාමී භික්ෂූන්
ඉක්මවා අන්‍ය තීර්ථක කොටස් සසුනට බහුලව පිවිසීම මුල් කරගෙන ය. මෙම කාල
වකවානුව වනවිට ශික්ෂාකාමී භික්ෂුහු සසුන අපවිත්‍ර බැවින් උපෝසථ කර්මය
සිදුකිරීම පවා අතහැර සිටියහ. තෘතීය සංගීතිය පිළිබඳව බෞද්ධ සාහිත්‍ය
ග්‍රන්ථවල කිසිදු සඳහනක් නැත. ඒවායෙහි තෙවැනි සංගීතිය වශයෙන් සඳහන්
වන්නේ කණිෂ්ක රජු ගේ සහායයෙන් කරනු ලැබූ සර්වාස්තිවාදීන් ගේ සංගායනාව
යි. මෙම නිසා තෘතීය සංගීතිය පිළිබඳව ඓතිහාසික ලේඛනයක් බෞද්ධ
සාහිත්‍යයෙන් ලබා ගැනීම සුකර කාර්යයක් නො ෙව්. ප්‍රථම හා ද්විතීය
සංගීති ගැන සඳහන් වන චුල්ලවග්ගපාලියේ දී තෘතීය සංගීතිය ගැන කිසිවක්
සඳහන් නො වේ. එයට හේතුව තෘතීය සංගීතියට පළමු කොට චුල්ලවග්ග පාලිය
සම්පූර්ණ වී තිබුණු බැවිනැයි විශ්වාස කෙරෙයි. පසුව ලියැවුණු සමන්ත
පාසාදිකාවෙහි මෙන්ම වංසකථාවන් හි ද මෙම සංගීතිය පිළිබඳ තොරතුරු සඳහන්ව
ඇත. ඒ අනුව ධර්මාශෝක අධිරාජ්‍යයා ගේ මැදිහත්වීමෙන් මොග්ගලීපුත්තතිස්ස
මහරහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පැලලුප් නුවර අශෝකාරාමයේදී තෙවැනි
ධර්ම සංගීතිය පැවැත්විණි. විභජ්‍යවාදි නොවන භික්ෂූන් සැට දහසක් පමණ
සසුනින් නෙරපා හැරීම මෙමගින් සිදු විය.
තෘතීය සංගීතියේ අපේක්ෂිත පරමාර්ථය වූයේ මිථ්‍යාවාද මථනය කොට ශාසනය
පිරිසුදු කිරීමයි. ඒ සඳහාම අභිධර්ම පිටකයට ‘කථාවත්ථුප්පකරණය’ නමැති නව
කෘතියක් ද ඇතුළත් කෙරිණි. පරවාදමත පන්සියයක් සමර්ථනය කරමින්
කථාවත්ථුප්පකරණය සපයා ධර්මය දූෂිතවීම වලක්වා ලූ බව වාර්තා වී තිබේ.
මෙහි පරවාද අතරත ද්විතීය සංගායනාවෙන් පසු අවස්ථාවක භික්ෂු සංඝයා තුළ
ඇති වූ නිකායික ආචාර්යවාදයන් ඇතුළත් වී තිබේ. එම පරවාද මථනයෙන්
ස්ථවිරවාදය ආරක්ෂා කරලීම අපේක්ෂා කර තිබේ.
මෙම කථාවත්ථුප්පකරණය නිසා අභිධර්ම පිටකය දාර්ශනික පක්ෂයෙන් මෙන්ම
තාර්කික පක්ෂයෙන් ද වැඩිදුරටත් පෝෂිත විය. එහෙත් තෘතිය සංගීතිය මගින්
අපේක්ෂිත පරිදිම පරවාද මර්දනයක් සිදුවිණැයි සිතීමට නොහැකි ය. බුදු සමයට
රිංගාගත් මිථ්‍යාවාදයන් බැහැර කිරීමට අශෝක අධිරාජ්‍යයාට හෝ සංගීතිකාරක
භික්ෂූන්ට හැකියාවක් නොලැබුණි. යම් සේ එවැනි හැකියාවක් ලැබුණි නම්
ථෙරවාදීන් අභිබවා සර්වාස්තිකවාදීන් ප්‍රධාන කොට ඇති අන්‍ය නිකායිකයින්
හිස එසවීම එතරම් සුළු කාලයකින් සිදුවීමට ඉඩක් නැත. භාරතීය බෞද්ධ
ඉතිහාසය දෙස විමසිලිමත්ව බැලීමේදී පෙනී යන්නේ අශෝකයන් ගෙන් පසු ථෙරීය
භික්ෂූන් ගේ වර්ධනයක් සිදු නොවූ අතර අන්‍ය නිකායිකයන් ගේ සීඝ්‍ර
දියුණුවක් සිදු වූ බව ය.
බෞද්ධ පිළිවෙතින් පිරිපුන් අශෝක අධිරාජ්‍යයා දුර්මතධාරී භික්ෂූ
ප්‍රතිරූපකයන් සසුනෙන් බැහැර කළේ වී නමුත් ඔවුන්ට මරණ දඬුවම් දී නැවත
සසුනට රිංගා ගැනීමට තිබූ මාර්ගයන් අවහිර කිරීමක් නො කෙළේය.
ථෙරවාදීන් ගෙන් පළිගැනීමේ චේතනාවෙන් පැසුණු සසුනෙන් බැහැර වූ භික්ෂූ
ප්‍රතිරූපකයෝ මහා සංඝකාදී අන්‍ය නිකායන් හි පැවිදිව ආචාර්යවාද සමූහයක්
බිහිකළ හ.
ඒවා මැඩ පවත්වා ගෙන ථෙරවාදය බැබළවීමට තරම් භක්තිමත් රජෙක් අශෝකයන් ගෙන්
පසු ඇති නොවීම නිසා ඔවුහු ථෙරවාදය මැඩගෙන නැගී සිටීමට තරම් ප්‍රබල වූ
හ. මේ අනුව තෙවැනි සංගීතිය නිමිති කරගෙන ද ආචාර්යවාද සමුහයක් ගොඩනැගුණේ
යැයි සැලකීමට හැකියාවක් ඇත. මෙම සංගීතියෙන් සිදු වූ ශාසනික විප්ලවය ගැන
සඳහන් කරන නිකාය සංග්‍රහයෙහි මෙසේ සඳහන් වෙයි.
‘මෙම සංගායනාවෙන් පසු ථෙරවාදීන් විසින් ධර්මාශෝක රජු ලවා ශාසනයෙන්
බැහැර කරවනු ලැබූ අන්‍ය ලබ්ධික භික්ෂූ ප්‍රතිරූපකයන් රජගහනුවර සමීපයේ
නාලන්දාවට රැස්ව ශාක්‍යපුත්‍ර භික්ෂූන් ගේ ධර්ම විනය බිඳිමු යැයි
සාකච්ඡා කරගෙන මහාසංඝිකාදි අන්‍ය නිකායන්තරයන් හි මහණව කොසඹෑ නුවරට
ගොස් හේමවතය, රාජගිරිකය, සිද්ධත්ථිකය, පුබ්බසේලීය, අපරසේලීය, වාජිරිය,
වෛතුල්‍යකය, අන්ධකය, අන්‍ය මහා සංඝික යැයි නිකාය නවයක් පිහිටුවා ගෙන
ත්‍රිපිටකය විපර්යාස කළ හ.
මේ අනුව පෙනී යන්නේ ද්විතීය සංගායනාවෙන් පසු බිහි වූ අටළොස්
ආචාර්යවාදයට ඇතුළත් නොවූ තවත් ආචාර්යවාද නවයක් බිහිවුණු බවයි. ඒවානම්,
1 හේමවත 2. රාජගිරික 3. සිද්ධත්ථික 4. පුබ්බසේලීය 5. අපරසේලීය 6.
වාජිරිය 7. වෛතුල්‍යය 8. අන්ධක 9. අන්‍ය මහා සංඝික යනු යි.
මෙම නිකාය නවය හැරුණු විට ලංකාවේදී හටගත් තවත් නිකාය තුනකි. එනම්
1. මහා විහාර
2. ධම්මරුචි (අභයගිරි නිකාය)
3. සාගලික (ජේතවන නිකාය) යනුයි.
තෘතීය සංගීතියෙන් පසුව බුදුදහම නොයෙක් රටවල පැතිරීයාමේ ප්‍රතිඵලයක්
වශයෙන්, ඒ ඒ ආචාර්යවරු නා නා නිකායන් පිහිටුවා ගත්හ. මෙහිදී ඒ ඒ
ආචාර්යවාද සම්ප්‍රදායන් මුල්කර ගන්නා ලදී.
මෙම ඓතිහාසික ප්‍රවෘත්ති අනුව පෙනී යන්නේ අශෝකයන් ගේ සහාය නිසා එදා
පැවැති ශාසන අර්බුදයන් සන්සිඳවීමට තාවකාලික ප්‍රතිකර්මයක් කළ හැකි
වුවත්, දීර්ඝකාලීන ශාසන ශුභ සිද්ධියකට තෘතීය සංගීතිය ද හේතු නො වූ
බවයි. එසේ වුවත් මෙම සංගායනාවෙන් සිදු වී යැයි වංශකතාවන් හි සඳහන් වන
රටවල් නවයක් මුල් කොටගත් ධර්මදූත ව්‍යාපාරය නිසා පූර්වෝක්ත
සංගායනාද්වයටම වඩා පෘථුල අර්ථ සිද්ධියක් මෙ මගින් සැලසුණු බව සඳහන් කළ
යුතු ය. මෙසේ ඓතිහාසික වැදගත්කමකින් සමන්විත වූ මුල් ධර්ම සංගායනානුය
පිළිබඳව විචාරාත්මකව අධ්‍යයනය කිරීමේදී එමගින් බෞද්ධ සංස්කෘතියේ
විකාශනයත්, ශාසනික විප්ලවය හා දියුණුවත් සිදු වූ අතර ආචාර්යවාද බිහිවීම
වැනි ශාසනික වශයෙන් එතරම් හිතකර නො වූ සිද්ධීන් ද සිදු වූ බව පැහැදිලි
වෙයි. |