UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විමුක්තිය සලසන කුසල පිළිවෙත

සුජිත් නිශාන්ත හේවගේ

කුසලය හා පින ද අකුසලය හා පව ද සමානාර්ථවත් ලෙසින් ව්‍යවහාරයෙහි යෙදුණ ද මෙහි ඉතාමත් සියුම් වෙනස්කම් වේ. මෙහි පිනෙහි ආවේදනාත්මක ස්වභාවයට වඩා සියුම් බවක් කුසල යන්නෙහි ද අකුසලයෙහි ආවේදනාත්මක ස්වභාවයට වඩා රළු බවක් පව යන්නෙහි ද ගැබ්වේ. මෙහි මුලින්ම සිය චර්යාවන් සංස්කරණය කරගනිමින් ආවේදන පැතිකඩ සියුම් බවට පමුණුවා ගැනීම ආරම්භ කර සිටින පුද්ගලයාට උපදෙස් දෙනු ලබන්නේ ජෛව සමාජය කෙරෙහි දක්වන්නා වූ හිතවාදී සංවේදී මානසික ආකල්ප නිසා පව් නමැති ඉතාමත්ම රළු මානසික ආවේදනවලින් වැළකෙන ලෙසය. සබ්බපාපස්ස අකරණං යන්නෙත් එය කියවේ.

ඉන් අනතුරුව තවදුරටත් ජෛව හිතවාදී ස්වභාවයෙහි ඉහළ තලයක් කරා ගමන් ගන්නා පුද්ගල මනස අකුසල නැමැති සෙසු කුඩා රළු මානසික ආවේදනවලින් වැළකීමටත්, පින් නමැති සියුම් මානසික ආවේදනයන්ට හුරු පුරුදු කරගැනීමටත් උපදෙස් දෙනු ලබයි. ඉන් අනතුරුව අදාළ පුද්ගලයාගේ සිත තවදුරටත් සියුම් ආවේදනයන්ගෙන් යුක්ත කරනු සඳහා කුසලය වර්ධනය කරන ලෙස උපදෙස් දෙනු ලබයි. කුසලස්ස උපසම්පදා යන්නෙහි අර්ථය මෙයයි. ක්‍රමානුකූල ලෙස ජෛව ආවේදනයන් සියුම් කිරීමේ ක්‍රියාවළියත් එම ක්‍රියාවලිය අවසානයෙහි සියලු ක්ලේශයන්ගෙන් විනිර්මුක්ත වීම දක්වා සිදුවීම් පෙළ සියලු සත්වයන් සඳහා නිර්දේශ වී තිබෙනුයේ සචිත්ත පරියෝදපනං යන්නෙනි.

ලෝකයෙහි බුදුවරු යම්තාක් පහළ වෙත් ද උන්වහන්සේලා සියලු දෙනාගේම අරමුණ වනුයේ ද ලෝකවාසී සෑම සත්ත්වයෙකුම මෙම වැඩපිළිවෙළ ප්‍රගුණ කරමින් සසරින් එතෙර කරවීම බව ඒතං බුද්ධසාසනං යන්නත් කියවේ. සියලු බුදුවරු මෙම වැඩපිළිවෙළ සමස්ත ලෝකවාසී සත්වයා වෙත හඳුන්වා දෙනු ලබන්නේ උන්වහන්සේලා තුළ සමස්ත ලෝකවාසී සත්වයන් කෙරෙහි ඇති ජෛව හිතවාදී බව පෙරටු කොටගත් අනුකම්පාව නිසාය. මේ ලෝකයෙහි උසස්තම කල්‍යාණ මිත්‍රයන් සම්මා සම්බුදුවරු වනුයේ මේ නිසාය. සියලු සත්ව වර්ගයා විෂයෙහි උන්වහන්සේලා තුළ වර්ධනය වී තිබුණු කල්‍යාණ මිත්‍රත්වය හටගැනීමට හේතුවන ජෛව හිතවාදී බව නිසාම උන්වහන්සේලා මෙකී උපදේශයන් සත්වයන් වෙත ප්‍රදානය කරත්, ආවේදන පැතිකඩ සියුම් කිරීමේ ව්‍යායාමය තුළ ගැබ්වනුයේ ද සාරධර්ම සංකල්පවල භාවිතාවයි.

සියලු සත්වයන් සාරධර්ම සංකල්පවලින් යුක්තව විසීම ජෛව හිතවාදී මානසික ආකල්පයකි. එමෙන්ම එවිට සත්වයා තමන් උපමාවට ගෙන අන්‍යයන් කෙරෙහි සාරධර්ම සංකල්ප ඇතිව වාසය කරයි. යම් පුද්ගලයකු තමන් තමන්ට කොතරම් හිතවත් ද ඒ හා සමානවම අන්‍යයන් කෙරෙහි ද හිතවත් ස්වභාවය වර්ධනය කර ගනියි. යම්කිසි සමාජ ස්ථරයක මේ ආකාරයෙන් සත්වයන් වාසය කරත්ද ඒ සමාජය කිසි දිනෙක පිරිහීමට පත් නොවන අතර දිනෙන් දින දියුණුව කරා පා ඔසවයි. බොහෝ දෙනෙක් ඊනියා දියුණු ව ලෙස දක්නා බාහිර භෞතික දියුණුව නියම දියුණුවක් නොවේ. එය සමාජය හා සමාජය තුළ ඉන්නා පුද්ගලයන් එකිනෙකා රවටාගැනීමක් පමණි. එලෙස මතුපිටින් දියුණුවක් ලෙස පැවතියද ඕජස් ගලන තුවාලයක් ලෙස පිටතින් ආවර්ණිතව ඇතුළත කුණු ගඳ ගසමින් පැහැවමින් දිගින් දිගටම සමාජය නමැති රෝගියා මිය යනතෙක් එය නොසිඳී පවතී.

නමුත් අවංකවම ස්වකීය සිත ඇතුළතින්ම සාරධර්ම සංකල්ප ප්‍රගුණ කරනු ලබන පුද්ගලයකු හෝ එබඳු පුද්ගලයන් සමූහයකින් සෑදී ඇති සමාජයක් එලෙස මතුපිටින් දකින දියුණුව සේම අභ්‍යන්තර දියුණුව නිසා කෙදිනකවත් පිරිහීමක් ඇති නොවේ. එම සමාජ සංස්කෘතිය සමඟ බද්ධව යන කලා ශිල්ප හා පුද්ගල රසාස්වාදය ද සියුම් බවට පත්කරන ලද මිනිස් ආවේදන පැතිකඩ මඟින් හොඳ දේ පමණක් ඒ තුළට ග්‍රහණය කරගත හැකි ආකාරයට එය සකස් වී ඇති නිසා කිසි දිනෙක බාල හරසුන් දේ සමාජය විසින් නොඉල්වනු ලබයි. නිරායාසයෙන්ම සියුම් බවට පමුණුවන ලද ආවේදන තුළින් හොඳ දේ පමණක්ම රස විඳීමට මිනිසා හුරුව ඇති හෙයිනි. මෙයින් පැහැදිලි වනුයේ සමාජයක් පවා සකස් වීමට සාරධර්ම සංකල්ප මඟින් සියුම් බවට පමුණුවන ලද ආවේදන පැතිකඩ මහෝපකාරී වන බවයි.

කලාශිල්ප වලින් සිදුවනුයේ ද මිනිසුන්ගේ රළු මානසික ආවේදන ඔපමට්ටම් කරවා ඒවා සියුම් බවට පැමිණවීම වන නිසා ඒ ආකාරයේ කලා නිර්මාණ එවිට ඒ සමාජයෙහි මුල් තැනෙක ලා වැජඹෙනු ඇත. වර්තමානයෙහි මෙන් හරසුන් දෙයින් මිනිසුන් මුළාවට පත් නොවනු ඇත. මිනිසුන් වඩාත් අගය කරන්නට පෙළඹෙනුයේ ද හැකිතාක් සියුම් වින්දනාත්මක දේ පමණි. මෙතැනට පුද්ගලාභ්‍යන්තරය සකස් කරන්නට නම් සාරධර්ම සංකල්ප වර්ධනය කරගනිමින් ආවේදන පැතිකඩ සියුම් බවට පරිවර්තනය කරගැනීමට මිනිසුන්ට අවකාශ සැලසිය යුතුය. මෙහිදී සමාජයට වගකීම් දෙකක් පැවරේ. එකක් නම් සමාජය විසින්ම අවශ්‍ය දිශානතිය සකස් කර මිනිසුන්හට එකී ආවේදන තත්ත්වයන්ට පැමිණීමට උපකාරවත් වීමයි. දෙවැන්න වනුයේ පෞද්ගලිකවම තම තමන් තුළ ආවේදන ක්‍රියාකාරීත්වය උසස් බවට පමුණුවාගෙන අනතුරුව තමන් තුළින් බාහිර සමාජයට මෙකී තත්ත්වය විහිදෙන ආකාරයට සමාජය තුළ කටයුතු කිරීමයි. දෙවැන්න වඩාත් ප්‍රායෝගික වශයෙන් වැදගත් වුව ද අසීරුතම කාර්යය වේ. සාමාන්‍ය ගිහි සමාජයට ආදර්ශයක් ලෙස ගත හැකි පරිදි සංඝ සමාජයෙහි ව්‍යුහය හා පරමාදර්ශ සකස් වී ඇත. සංඝ යන්නෙහි අර්ථය වනුයේ සමූහය යන්නයි. වෙන් කළ නොහැකි එක මිටියක් සමූහයක් යන අර්ථය ඉන් කියවේ. නමින්ම සංඝ සමාජයෙහි පරමාර්ථ පිළිබඳව දළ අවබෝධයකට පැමිණීමට හැකිවන පරිදි නම් කෙරී ඇත. නමින්ම අර්ථවත් කෙරෙන පරිදි සංඝ සමාජය යනු වර්තමාන සමාජ පාලන රටා අතරින් වඩා දියුණුම ලක්‍ෂණ අන්තර්ගත පරිපාලන ව්‍යුහයක් බව පැවසිය හැකිය. සංඝ සමාජය පුද්ගල නායකත්වයක් වටා ගොනු නොවුවක් වන අතර පුද්ගල නායත්වයක දක්නට ඇති අහිතකර ලක්‍ෂණ කිසිවක් සංඝ සමාජයක් තුළ මේ නිසා දක්නට නොවේ. සංඝ සමාජයක විද්‍යාමාන වනුයේ සාමූහික පාලන රටාවකි. එහි අර්ථය සමස්තයා, සමස්තයා මඟින්ම පාලනය කරනු ලබන්නේය යන න්‍යායයි.

මේ අනුව සංඝ සමාජයෙහි එක් එක් සාමාජිකයාහට සාමාජික වටිනාකමක් මේ මඟින් පවරා දෙනු ලැබ ඇත්තේ ය. මේ සමූහගත සමාජයෙහි කොටස් කරුවකු වීමට නම් තමා හට පවරා දෙනු ලබන යුතුකම් වගකීම් කොටස තමන්ට පුළුවන් උපරිම අයුරින් ඉටු කර දීමට මෙකී සාමාජිකයා අන්‍යයන් වෙත සාමූහිකත්වයෙහි වගකීමෙන් බැඳී සිටියි. මෙම සාමූහිකත්වය ගොනු වී පවතිනුයේ ජෛව හිතවාදී සංවේදී බව හා සමානාත්මතාවය වැනි සමාජමය පරමාදර්ශ වටාය. මේ නිසා කිසියම් නෛතික සිද්ධාන්තයකින් සමාජය පාලනය කරනවාට වඩා වැඩි නිදහසක් මේ ක්‍රමය යටතේ එම සමාජයෙහි එක්එක් සාමාජිකයාට ලැබේ.

සාරධර්ම සංකල්පවල ආවේදන පැතිකඩ සම්බන්ධයෙන් ඉතාම වැදගත් නිර්දේශයන් සංඝ සමාජය ආශි‍්‍රතව සපයා ගත හැකිය. මුල් යුගයෙහි සංඝ සමාජය සකස් වී තිබුණේ පැවිදි ජීවිතයෙහි මූලික පරමාර්ථ උදෙස් පැවිදි වූ පිරිසකගෙන් බැවින් හුදෙක් ඔවුන්ගේ මූලික අභිප්‍රාය වූයේ්ද හැකි ඉක්මනින් එකී පරමාර්ථයන් සාක්‍ෂාත් කරගැනීමයි. මේ සඳහා ඔවුන් විශේෂ දැනුම් දීමකින් හෝ අණ දීමකින් තොරව ඉතාම සහයෝගයෙන් අන්‍යයන් කෙරෙහි දයානුකම්පාවෙන් යුක්තව තම තමන්ගේ මූලික අරමුණ වූ අර්හත්වය ලැබීමෙහි ව්‍යායාමය වටා රොද බැඳගෙන උන්හ. ඔවුහු ස්වභාවයෙන්ම චාම් අල්පෙච්ඡ සහ සිල්වත් ජීවිතයක් ගත කළහ. සන්නිධිකාර පරිභෝජනයෙන් තොරව, භෞතික අවශ්‍යතා අතිශයින්ම සීමා කර පවත්වන සංඝ සමාජයට මූලික නිශ්‍රය සතරක් විය.

මෙම මූලික නිශ්‍රය සතර ආශ්‍රය කරගනිමින් හා මෙත්තා සංකල්පයෙහි ආවේදන පැතිකඩෙහි සියුම් බව අත්දකිමින් සැහැල්ලු ජීවිතයක් ඔවුහු ගත කළහ. සැහැල්ලු බව නිසාම සංඝ සමාජය අතිශයින්ම ජෛව හිතවාදී ආකල්ප වලින් සමන්විත විණි. මුල දී සැහැල්ලු බව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අත්දකිමින් ගෙනගිය අල්පේච්ඡ ජීවිතය ඔවුනොවුන් එකිනෙකාට දක්වන ලද පරෝපකාරී හා සහනශීලී ආකල්ප වියැකීයාමත් සමඟම ක්‍රමයෙන් සංකීර්ණ වන්නට විය. මුල දී සරලත්වය ගැබ් වූ සංඝ සමාජය ආත්මාර්ථකාමී චේතනාව නිසා සහනශීලී අල්පේච්ඡ ජීවන රටාවෙන් බැහැර වී ක්‍රමයෙන් සංකීර්ණ බවට පරිවර්තනය වී අවසානයෙහි සංස්ථාගත වූ බව පැහැදිලිව පෙනෙන්නකි. මේ හැම විටක දීම පැහැදිලිවම පෙන්නුම් කරන්නේ මූලික බෞද්ධ සිද්ධාන්තයක් වූ ත්‍රි ලක්ෂණයෙන් එක් ලක්ෂණයක් ලෙස පැහැදිලි කෙරෙන අනිත්‍යතාව යි. සමාජය කාලානුවර්තිතව, අනුක්‍රමයෙන් වෙනස්වීම අනිත්‍ය සිද්ධාන්තයට අනුව සිදු වීම අතිශයින්ම ස්වභාවික සිදුවීමකි.

එම වෙනස්වීම සිදු වන බව පැහැදිලිවම වටහාගෙන සිටි බුදු හිමියන් එම වෙනස්වීම පාදක කරගෙන ස්වකීය සංඝ සමාජයෙහි මූලික හරයන් විනාශ වී යා නොදී රැක ගැනීම පිණිස යොදන ලද ක්‍රමවත් වැඩපිළිවෙළක් ලෙස සංඝ සමාජය විනය නීති පද්ධතියක් මඟින් සුරක්ෂිත කිරීම පෙන්වා දිය හැකිය. වරෙක සැරියුත් මහ තෙරුන්ගේ හා බුදුන් වහන්සේ අතර ඇති වූ සංවාදයකට අනුව පෙර කල්පයන්හි සිටි ඇතැම් බුදුවරුන්ගේ ශාසන චිරාත් කාලයක් පැවතීමට හේතුව ක්‍රමවත් තත් යුගයෙහි විසූ මිනිසුන්ගේ අභ්‍යන්තර ක්ලේශයන් අවම මට්ටමක පැවතීම මෙන්ම සංවිධානාත්මක ස්වභාවයකින් කටයුතු කිරීම වන අතර තවත් සමහර බුදුවරුන්ගේ ශාසන වහා අතුරුදහන්වීමට හේතුව තත් කාලවකවානුව වන විට විෂම පුද්ගලයන් බහුල වීම හා අසංවිධානාත්මකව කටයුතු කිරීම බව පෙන්වා දී තිබේ.

පශ්චාත් කාලීන වශයෙන් සංඝ සමාජය සංකීර්ණ වුවත් එහි මුල් කාලීන අරමුණුවලින් බැහැර නොවීම සංඝ සමාජය පිහිටුවීමේ අපේක්‍ෂාවය. එබැවින් බුදුරජාණන් වහන්සේ මූලික භික්‍ෂු පරමාර්ථයන්ට හානි නොවන පරිද්දෙන් පශ්චාත් කාලීනව විකාශය වූ සංඝ සමාජය විසින් අත්පත් කරගන්නා ලද ඒ අතිරේක ලාභ පිළිගැනීම හා පරිභෝජනය පිළිබඳ විවිධ විනය නියමයන් ප්‍රකාශයට පත් කිරීමෙහි අවශ්‍යතාව උද්ගත වූ අතර කාලීනව ඇති වූ සමාජ විපර්යාසයන්ට අනුව විනය නියමයන් ද ප්‍රකාශයට පත්විය. පණවන ලද විනය නියමයන් වුවත් කාලයෙහි හා අවස්ථාවෙහි උචිත බව මත අතිරේක පැණවීම් මඟින් සංශෝධනය කරන්නට උත්සහවත්වීම තුළ සංඝ සමාජය ක්‍රමවත්ව සංවිධානය කිරීමෙහිලා උන්වහන්සේ කෙරෙහි පැවති අතිශය ප්‍රජාතාන්ත්‍රික ආකල්පය ප්‍රකට කරවන්නකි.විනය නෛතික පදනමක් ගැබ්වන දෙයක් වුවත්, බුදුසමයෙහි සඳහන් වන විනය නීති හුදෙක් නෛතික පදනමක් පිණිසම පණවන ලද දෙයක් නොවේ. එහි අරමුණ සාරධර්ම සංකල්පවල ගැබ්වන සියුම් මානසික ආවේදනය ඒ වූ ආකාරයෙන්ම සංඝ සමාජය තුළ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කරන මානසික වාතාවරණයක රැකවරණය භික්‍ෂුන්වහන්සේලාට ලබාදීමයි. ප්‍රාතිමොක්ෂය විනයෙහි සඳහන් මූලික ව්‍යවස්ථාවන් පිළිබඳව සැලකිල්ල යොමු කළ විට පැහැදිලිවම විද්‍යාමාන වන දෙයක් වනුයේ එහි පැණවීම් හා විනය නියමයන් පැණවී ඇත්තේ හුදෙක් කිසිවකු බලහත්කාරයෙන් රූක්ෂ ප්‍රතිපදාවක සිරගත කොට තැබීම පිණිස නොව, කාලීන සමාජ අවශ්‍යතාවන් හා එදිනෙදා ව්‍යවහාරික ජීවිතයෙහි දී මුහුණ දීමට සිදු වූ ඇතැම් දුෂ්කර තත්ත්වයන්ගෙන් අත්මිදී නිදහසේ නිවහල්ව ස්වකීය පැවිදි ජීවිතයට අදාළ මූලික අභිමථාර්ථ සම්පාදනය කරගැනීම සඳහා භික්ෂූන් වහන්සේලාහට අවස්ථාව ලබාදීම හා ඊට ඇතිවන බාධාකාරී තත්ත්වයන් ඉවත් කිරීම වෙනුවෙන්ම බවයි. මේ නිසා විනය ශික්ෂාවන්හි ගැබ්වනුයේ එහි මතුපිටින් පෙන්වන ආකාරයෙහි නීතිමය තත්ත්වයකට වඩා ඔබ්බට ගියා වූ සම්මා සම්බුද්ධ ඥානයට පමණක් ඔබින, ශ්‍රාවක ඥානයෙන් පවා අර්ථ ගැන්වීම දුෂ්කර ගැඹුරු සමාජ දර්ශනයක් අන්තර්ගත, අතිශයින්ම මානව හිතවාදී හා සහනශීලී ජීවන පැවැත්මක ස්වරූපයක් බැව් පෙන්වා දිය හැකිය.

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය
සැප්තැම්බර් 21 වන දා ඉරිදා අපර භාග 11.40 ට ලබයි. 22 වන දා සඳුදා අපර භාග 9.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා සඳුදාය
 

මීළඟ පෝය
සැප්තැම්බර් 28 වන දා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]