දූරදර්ශී පියවරක්
ආගමික ස්ථාන ඉදිකිරීමේ දී ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ
අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට රජය තීරණය
කැර තිබේ. දිනමිණ පුවත්පත වාර්තා කළ අන්දමට, මේ තීරණය අනුව
පන්සල්, පල්ලි, කෝවිල් ආදී පූජනීය ස්ථාන ඉදිකිරීමේ දී මහජන
විරෝධතා හා යෝජනා මෙන් ම ආගමික කටයුතු පිළිබඳ ඇමැතිවරයා ගේ
නිර්දේශය ද සැලැකිල්ලට ගෙන අමාත්‍යාංශ ලේකම් විසින් ඉදිකිරීම්
සඳහා අනුමැතිය ලබාදිය යුතු ය. ආගමික සිද්ධස්ථාන කෙරෙහි මහජනතාව
තුළ පවතින ගෞරවය ආරක්‍ෂා කිරීමේ අරමුණින් මෙ සේ නීති සම්පාදනය
කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ආගමික කටයුතු ඇමැති, නාගරික
සංවර්ධන හා පූජා භූමි සංවර්ධන ඇමැති සහ අමාත්‍යාංශ ලේකම් වෙත
උපදෙස් දී ඇතැයි ද එම ප්‍රවෘත්තියේ දැක් වේ.
මෙය ඉතා වැදගත් යෝජනාවක් බව අප ගේ විශ්වාසය යි. ජාතික සමඟියට
පවා බාධා වන තරමට හා ආගමික ගැටුම් නිර්මාණය වන ආකාරයට ආගමික
ගොඩනැඟිලි ඉදි කැරෙන අවස්ථා අපි දැක ඇත්තෙමු. අන්තවාදී ආගමික
කණ්ඩායම් ඉතා රහසිගත ව සිය මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම ද විශාල
ගැටලුවකි. ආගමික කටයුතු සඳහා යොදා ගන්නා ඇතැම් අනවසර ඉදිකිරීම්
ඉවත් කිරීමට පියවර ගැනීම නිසා විරෝධතා මතු වූ අයුරු අපට මතක ය.
මෙයට අමතර ව අප ගේ අවධානය යොමු විය යුතු තවත් කරුණක් තිබේ.
එනම්, මංසන්ධියක්, මංසන්ධියක් පාසා බුදු පිළිම තැන්පත් කිරීම
ය. බුදුරදුන් උදෙසා කැරෙන ගෞරවයකට වඩා මෙය අගෞරවයක් වන තරමට
තත්ත්වය අයහපත් වී ඇත. මහ මඟ අසල කුණු දැමීම වැළැක්වීම සඳහා ද
බුදු පිළිම තැන්පත් කිරීම කෙ තරම් කනගාටුවට කරුණක් ද?
ආගමික සිද්ධස්ථාන ඉදිකිරීමේ සිද්ධි මුල්කොට ගෙන ඇති වූ ගැටුම්
හා දේශපාලන අර්බුද කිහිපයක් පිළිබඳ ව මෑත කාලයේ දී ඉන්දියාවෙන්
අසන්නට ලැබිණ. එ බඳු ආගමික ගැටුමක් ශ්‍රී ලංකාවේ ඇති වූයේ 1915
වර්ෂයේ දී තරම් ඈත කාලයේ වීම අප ගේ භාග්‍යයකි.එ කල මහනුවර
දිසාපතිවරයා වූ ජී.ඒ. සැක්ස්ටන් මෙන් අමන ලෙස ක්‍රියා කරන
නිලධාරීන් අද දක්නට නැතත් එම අතීත සිදුවීම වර්තමාන සමාජයේ
අවධානයට යොමු කිරීම වැදගත් යැයි සිතමු. ආමන්ඩ් ද සූසා විසින්
ලියන ලද “1915 යුද්ධ නීතිය යටතේ ලංකාවේ දවස් සියයක්” නමැති
කෘතියෙහි මෙ සේ දැක් වේ.
‘වහලගොඩ දේවාලය පිහිටා තිබෙන්නේ ගංගා සිරිපුර නමින් පුරාණ
කාලයේ හඳුන්වනු ලැබූ දැනට ගම්පොළ නමින් පළ වී තිබෙන නගරයෙහි ය.
14 වන සියවසේ සිංහල රාජධානියක් වූ මේ නගරය අවුරුදු 800 කට පමණ
පෙර එහි රජ කළ පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදි කරන ලද්දකි. මේ
නගරයෙහි හෙන කඳ බිසෝ බණ්ඩාර බිසවගේ භෂ්මාවශේෂ තැන්පත් කැර
තිබෙන බව පුරාවෘත්තයෙහි පැවැතෙන්නකි.’
‘අවුරුදු 800 කට පමණ පෙර වහලගොඩ දේවාලය බෞද්ධයන් ගේ භරකාරත්වයට
පත් වූ දා සිට වසරක් පාසා ගම්පොළ පෙරහර පැවැත්වීම සිරිතක් විය.
සාමාන්‍ය සිරිතට අනුව මේ පෙරහර පැවැත්වීමට කලින් ඒ සඳහා නුවර
මහ දිසාපතිතුමා ගෙන් අවසරයක් ගත යුතු ය. මේ අවසරය කිසි කලෙකත්
ප්‍රතික්‍ෂේප නො වී ය. ගංගාතිලක විහාරයට පැමිණෙන මේ පෙරහර
ක්‍රිස්තියානි පල්ලි එකකට වැඩි ගණනකුත් මුස්ලිම් පල්ලි දෙකක්
ඇතුළු තවත් පූජනීය ස්ථාන කිහිපයකුත් පසු කැර යා යුතු ය.’
‘1915 මැයි මස 2 වන හා 3 වන දින කිසි බාධාවක් නැතිව නියමිත
වීදි දිගේ පෙරහර ගමන් කළේ ය. එහෙත් 4 වන දින, කාසල් හිල්
වීදියේ මුස්ලිම් පල්ලියට ළඟා වෙත් ම (මෙයින් සති තුනකට පසු
වෙසක් කෝලාහලය ඇති වූ ස්ථානය ම ය.) හම්බයෝ හා ඇෆ්ගන්
මුස්ලිම්වරු කණ්ඩායමක් කාවඩි ගෙනයන්නකුට පහර දී සෙසු අයට
පරහදීමේ තර්ජනයක් කළ හ. එ කෙණෙහි ම පෙරහරේ ගමන් මඟ වෙනස් කළහ.
එහෙත් එම මුස්ලිම්වරුන් විසින් ම වෙනත් මුස්ලිම් පල්ලියක් ළඟ
දී ගල් හා පොලුවලින් පෙරහරට පහර දුන් හ.’
ඉතා අවාසනාවන්ත ආගමික ගැටුමක් නිර්මාණය වූ ආකාරය එම විස්තරයෙන්
අපට පැහැදිලි කැරේ. ශබ්ද දූෂණ චෝදනා ආදිය නිසා සමාජය නොසන්සුන්
වී ඇති මෙ වැනි යුගයක ආගමික කටයුතු පිළිබඳ ව දැඩි සංවේදීතාවක්
අවශ්‍යය ය. එ බැවින්, ආගමික ස්ථාන ඉදිකිරීමේ දී අනුගමනය කළ
යුතු නව නීති පැනවීම දූරදර්ශී පියවරක් ලෙස හඳුන්වා දීමට
පුළුවන. |