UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කෙලෙස් නසන දුක් දුරලන සතිපට්ඨානය

ශාස්ත්‍රවේදී, පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි

එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛ දොමනස්සානං අත්ථංගමාය, ඤායස්ස අධිගමාය නිබ්බාණස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා, කතමෙ චත්තාරො? ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති, ආතාපී සම්පජානා සතිමා විනෙය්‍ය ලොකේ අභිජ්ඣා දොමනස්සං වේදනාසුවේදනානුපස්සී විහරති. චිත්තෙ චිත්තානුපස්සී විහරති. ධම්මේසු ධම්මානුපස්සී විහරති.

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් සත්ත්වයන්ගේ සංසාරික මහා දුක්දොම්නස් නැතිකර ගැනීමට චතුරාර්ය සත්‍ය ඤාණය ඇතිකර ගැනීමට නුවණින් සැනසීමට එකම මාර්ගය වූ සතර සතිපට්ඨාන භාවනා මාර්ගය දේශනා කළ සේක. තමන් වහන්සේද බෝසත් අවධියේ මෙම සතර සතිපට්ඨානයට අයත් කායානුපස්සනාවේ ආනාපාන සති භාවනාවෙන් ධ්‍යාන විදර්ශනා වඩා පිළිවෙළින් සෝවාන් ආදී මාර්ගඵල ලබමින් දස සංයෝජන සිඳබිඳ උතුම් අරහත්ඵලයට පත්ව ලොවුතුරා බුද්ධත්වය ලබාගත් සේක.

යමක් අනුව නැවත නැවත විමසා බැලීම අනුපස්සනාවයි. රූපකායේ පැවැත්ම අනුව මනස මෙහෙයවීම කායානුපස්සනාවයි. සත්ත්වයකුගේ ප්‍රධානතම ක්‍රියාකාරීත්වය වන මවුකුසක පිළිසිඳ ගත් දා පටන් මරණය දක්වා සිදුවන ආශ්වාද හා ප්‍රාශ්වාස ක්‍රියාකාරිත්වය පිළිබඳ මෙනෙහි කොට එය සමථ භාවනාවක් වශයෙන් පුරුදුකර ගැනීම විමුක්ති ප්‍රතිපදාවේ පදනම වන්නේ ය යන එන වාතය ස්පර්ශය කරන ශරීරාංග අරමුණට ගෙන එහි අනිත්‍ය දුක්ඛ, අනාත්ම ස්වභාව නැවත නැවත මෙනෙහි කරන විට සිතින් තණ්හාදි කෙලෙස් සමනය වේ.

ගමන, සිටීම, ඉඳගැනීම, නිඳීම යන සතර ඉරියව් සිහි බුද්ධියෙන් පැවැත්වීම මගින් සත්ව පුද්ගල සංකල්පය බැහැරකොට පංචස්කන්ධයේ චලන මාත්‍රයක් ලෙස මෙනෙහි කරනවිට, ඉරියාපථ භාවනාව විදර්ශනාවක් බවට පත්වෙයි.

ශරීරික අවශ්‍යතා අනුව මනසින් සිරුරේ අංගෝපාංග මෙහෙයවන විට එම අවශ්‍යතාවයක්, එයට නතුවන ශාරීරික අංගයත් ප්‍රඥාවෙන්ම මෙනෙහි කළ යුතු වේ. එක් ක්‍රියාවකින් අනිත් කි‍්‍රයාවට මාරුවීමේදී ක්‍රියාවේ මෙන්ම ශරීරයේ හා මනසේද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ සිහිනුවණින් ම කල්පා කරන්නේ්ය. එය නොකඩවා පුරුදු කිරීමෙන් ස්ඛන්ධ, ධාතු ආයතන, හේතු , ප්‍රත්‍යවශයෙන් මනසින් දැකීමේ ස්ථාවරයට පැමිණෙන්නේ ය. එමෙන්ම එම ප්‍රඥාවෙන්ම චතුරාර්ය සත්‍ය දැකීමේ අවස්ථාවට පැමිණිය හැකි වෙයි.

කායානුපස්සනාව

අපගේ ශරීරය යනු කෙස්, ලොම්, නිය, දත් ආදි පිළිකුල් කටයුතු දෙයින් සැදුණු ජරාවට භාජනය වන සිය දහස් ගණන් අංගෝපාංගයන්ගෙන් සංයුක්ත වූවකි. මොහොතින් මොහොත වෙනස්වන දුගඳ හමන අනර්ථකාරී ද්‍රව්‍ය සම්භාරයකි. ඒවා එකිනෙක වෙන්කොට එහි පිහිටීම් වර්ණ සටහන් මෙනෙහි කරන විට සිහි බුද්ධිය මතු වී අනිත්‍යාදි වශයෙන් යථාර්ථය අවබෝධ වෙයි. එමෙන්ම පඨවි, අපෝ, තේජෝ, වායෝ ආදී සතරමහා භූතයන් වශයෙන් මෙනෙහි කිරීම ධාතු මනසිකාර භාවනාවයි.

කායානුපස්සනා භාවනාවේ නවසීවථිකාංගය පිළිකුල් භාවනාවක් ලෙස ද, ධුතාංග භාවනාවක් වශයෙන් ද එමෙන්ම අනිත්‍යාදී වශයෙන් අරමුණු මෙනෙහි කිරීමෙන් විදර්ශනා භාවනාවක් වශයෙන් ද පුරුදු කිරීම කුසලය වැඩී නිවන් අවබෝධයට හේතුවෙයි. ආනාපාන සතිය, ඉරියාපථ මනසිකාරය, සති සම්පජඤ්ඤය, පටික්කූ®ල මනසිකාරය, ධාතු මනසිකාරය, නවසීවථිකය, යන සයාකාර භාවනාව කායානුපස්සනාවට අයත්වන අතර, සෑම භාවනාවකින්ම අනිත්‍යාදී ත්‍රිලක්ෂණ මෙනෙහි කිරීමට සහ එමගින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හැකිය.

අත්ථි කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතාහොති යාවදේව ඤාණමත්තාය, පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහරති නච කිංචිලෝකේ උපාදියති එවම්පි ඛො භික්ඛෙවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති.

තමාගේ ශරීරය දෙස සිහිනුවණින් බැලීමෙන් ඇති ප්‍රයෝජනය ද සෑම භාවනාවක් කෙළවර විස්තර කර ඇත.

01. අත්ථි කායො ති වා පනස්ස සතිපච්චුපටිඨිතා හොති - සත්වයෙක්, පුද්ගලයෙක් නොව හුදු කයක් ඇතැයි යන සිහිය එළැඹේ.
02 යාවදෙව ඤාණමත්තාය හොති - මතුවට විදර්ශනා ඤාණය පිණිස හේතු වෙයි.
03. පතිස්සති මත්තාය හොති - විදර්ශනා ඤණය සඳහා සිහිය පිහිටුවා ගැනීමට උපකාරි වෙයි.
04. නච කිංචි ලෝකෙ උපාදියති- තණ්හා, දිට්ඨි වශයෙන් නොගෙන ඉන් මෙන්ම වාසය කරයි.

ශාරීරය ආත්ම පුද්ගල වශයෙන් ගෙන ආරක්ෂා පෝෂණය කරන්නට යාම නිසා ඇතිවන දහස් ගණන් ආදීනව හා අකුසල්, ආනාපාන සති භාවනාවෙන් අවම වෙයි. නාමයෙන් මෙහෙයවන රූපකාය පිළිබඳ යථාර්ථය එයින් අවබෝධ වෙයි. රූප ශබ්දා දී අරමුණ ලැබෙන විට ඒවා වහා මනසින් අයින් කිරීමට එයින් ලැබෙන සිහිය හා බුද්ධිය උපකාරි වෙයි. එමෙන්ම මතු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් යෝනිසෝ මනසිකාරයෙන් බැලීමට සමර්ථ වන්නා වූ විදර්ශනා ඤාණයට එය මහෝපකාරී වන්නේ ය. නිතර පෝෂණය කරන මෙම ශරීරය පිළිබඳ හට ගන්නා තණ්හා , මාන, දිට්ඨි යන අකුසල චෛතසික තුනී වන්නේ ය. තදංග ප්‍රහාණයෙන් යටපත් කරන අකුසල් සතිපට්ඨාන භාවනාවෙන් කෙදිනක හෝ මූලෝච්ඡින්න කරන්නට හැකි වන්නේ ම ය.

වේදනානුපස්සනාව

වේදනාව යනු ඉන්ද්‍රිය අරමුණු සමඟ ගැටීමෙන් ලබන්නා වූ වින්දනය යි.

චක්ඛුංච පටිච්ච රූපෙච උප්පජ්ති චක්ඛුවිඤ්ඤාණං තිණ්ණං සංගති ඵස්සෝ ඵස්සපච්චයා වේදනා යනුවෙන් වදාළ පරිදි චක්ඛු ඉන්ද්‍රියක් රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණයද එකී ත්‍රිවිධ කරුණු නිසා ස්පර්ශයත්, ඉන් වේදනාවත් හටගනී. වේදනාවක් ඇතිවීම හා එහි ස්වභාවය, එමෙන්ම එය භාවනා අරමුණට ගන්නා පිළිවෙල, සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාවේ විස්තර වෙයි.

සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා යන ප්‍රධාන වේදනා පිළිබඳ සිහි නුවණින් මෙනෙහි කිරීම, වේදනානුපස්සනාව යි. සැප යන සංකල්පය තීරණය වන්නේ ස්පර්ශය අනුවය. දුක් වේදනාව ද උපේක්ෂා වේදනාවද එසේ මැ යි. සුඛ වේදනීයං භික්ඛු ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වේදනා යනුවෙන් අප බුදුරදුන් විසින් ධාතු විභංගයේදී දේශනා කළ පරිදි සුඛ වේදනාවට නිමිත්ත වූ ස්පර්ශය අනුව සුඛ වේදනාව හට ගනියි. මේ නිසා ස්පර්ශය නැති වන විට වේදනාව ද නැතිවේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ වේදනාව නවාකාරයකට දක්වා එය සිහි බුද්ධියෙන් මෙනෙහි කරන විට ඇතිවන ප්‍රතිඵලයද දක්වා ඇත.

වේදනානුපස්සනාවෙහි යෙදෙන විට බුද්ධිය වර්ධනය වී සත්ත්වයෙක් පුද්ගලයෙක් නොව හුදු වින්දනයක් පමණක් යන දැනීම ඇතිවන විට සිහිය පිහිටා මතු මත්තෙහි විදර්ශනා ඤාණ විශුද්ධියට එය ප්‍රතිෂ්ඨාධාර වන්නේ්ය. තණ්හාදී කෙලෙස් සමනය වන, සිත් සතන් නිරවුල් කරන වේදනානුපස්සනාව, දෙලොව අභිවෘද්ධි සාධනයට, ආර්ය ඤාණය ඇතිවීමට සදාකාලික නිවනින් සැනසීමට ආධාර වන්නේම ය.

චිත්තානුපස්සනාව

සිතෙන් සිත බැලීම චිත්තානුපස්සනාව යි. අරමුණු අනුව සිතීමේ ස්වභාවයෙන් සිත එකක් වුව ද, ඇතිවන චෛතසික ධර්ම අනුව සිත ලෞකික ලෝකෝත්තර වශයෙන්, භූ®මි වශයෙන් වෙනස් වෙයි. සතිපට්ඨාන භාවනාවට අරමුණු වන සිත් වර්ග දහසයක් (16) දක්වා අජ්ඣන්තික හා බාහිර වශයෙන් ද සමුදය හා වය වශයෙන් ද එය විස්තර කර ඇත. සරාගි වීතරාගි, දෝස වීතදෝස, ;මීහ වීත මෝහ, සංඛිත්ත වික්ඛිත්ත, මහිග්ගත අමහග්ගත්‍ය උත්තර - අනුත්තර, සමාහිත, අසමාහිත, විමුත්ත - අවිමුත්ත යන සොළසාකර අවස්ථාවන්හි ඇති සිත් පිළිබඳ සිහි බුද්ධියෙන් මෙනෙහි කිරීම, චිත්තානුපස්සනා භාවනාවයි.

ඉතා ඉක්මණින් සිතක් ඇති වී, නැතිවී, යළි සිතක් ඇතිවීම, චිත්ත නියාම ධර්මය යි. එහෙත් භාවනාවෙන් සිත පාලනය කරගත් විට එකම චිත්ත විථිය යළිත් සන්තාන ගතව ගමන් කිරීම නිසා චිත්තානුපස්සනා භාවනාව සිදු වෙයි. එහෙත් එය කුසලයක් වන්නේ රාගාදී සිතිවිලි - සිතින් බැහැර කිරීමෙනි. වස්ත්‍රයක අපවිත්‍ර බව දැක, ආයාසයෙන් එය බැහැර කළ පසු පවිත්‍ර වස්තුව දැක ප්‍රමෝදයට පත්වන්නා සේ රාගාදි රජස් චිත්ත භාවනාවෙන් පවිත්‍රකොට, සිත සමාධි කර ගත යුතුªවන්නේ ය.

අත්ථි චිත්තන්ති පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදෙව ඤාණමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතොච විහරති න කිංචිලොකෙ උපාදියති යනාදී වශයෙන් දේශිත බුද්ධ දේශනාව අනුව,සිතක් මිස සත්ව පුද්ගල සටහනක් නැතැයි යන සතිය ඇතිවීමට මතු විදර්ශනා ඤාණ සම්ප්‍රයුක්ත සතිය ඇතිවීමට තණ්හා දෘෂ්ටියෙන් නොගැනීමට මෙම භාවනාව හේතු වන්නේ ය. චතුරාර්ය සත්‍යාවබෝධයෙන් නිවන් පසක් කර ගැනීමට මෙසේ චිත්තානුපස්සනා භාවනාව මූලික වන්නේ ය.

ධම්මානුපස්සනා

පංචනීවරණ පංචස්කන්ධ, සළායතන, සප්ත බොජ්ඣංග, චතුරාර්ය සත්‍ය යන ධර්ම පිළිබඳ මෙනෙහි කිරීම, එකින් එක වෙන්කොට හඳුනා ගැනීම, ලෝකෝත්තර ඤාණ දර්ශනයට අරමුණු කිරීම, ධම්මානුපස්සනා භාවනාවයි.

සතිපට්ඨාන භාවනාවේ ආනිශංස

01. සිහිබුද්ධියෙන් ක්‍රියා කිරීමට හැකිවීම
02. රාගාදී කෙලෙස් සමනය වීම
03. සෝක පරිදේවාදී මානසික වේදනා නැතිවීම
04. ආර්ය ඤණ අධිගම ලැබීමට හැකිවීම
05. සිහි නොමුලාව මරණයට පතවීම
06. සුගතිගාමී වීම
07. ඉතා ඉක්මනින් නිවන් පසක් කර ගැනීමට හැකිවීම.

මිනිසත් බව ලැබූ තැන මෙතරම්
බියකරු සසර දුකින් මිදීමට
සතිපට්ඨාන භාවනාව අවංකව
පුරුදු කළ යුතු වන්නේ ය.
ඔබ සැමට තෙරුවන් සරණයි!

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය
සැප්තැම්බර් 21 වන දා ඉරිදා අපර භාග 11.40 ට ලබයි. 22 වන දා සඳුදා අපර භාග 9.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා සඳුදාය
 

මීළඟ පෝය
සැප්තැම්බර් 28 වන දා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]